ගරා වැටුණු ක්‍රීඩා සමාජවලට සහන් එළියක් | සිළුමිණ

ගරා වැටුණු ක්‍රීඩා සමාජවලට සහන් එළියක්

ඔටර් ක්ලබ්හි පිහිනුම් තටාකය

කොළඹ නගරයේ පිහිටා තිබෙන පැරැණි ක්‍රීඩා සමාජයන්හි ඉදිරි අනාගතය පිළිබඳව පසුගිය කාලයේ නොයෙක් කතාන්දර ඇසිණි. ඒ අතරින් කොළඹ හත නිදහස් චතුරස්‍රය ආසන්නයේ නිදහස් මාවතෙහි අංක 25 දරන ස්ථානයේ පිහිටි 80 ක්ලබ් පිළිබඳව මෙන්ම බෞද්ධාලෝක මාවතෙහි 380/1 ස්ථානයේ පිහිටි ඔටර් ඇක්වටික් ක්ලබ් හෙවත් ඔටර් ජල ක්‍රීඩා සමාජය ගැන කතාබහක් වූයේ එම ක්‍රීඩා සමාජ ද්විත්වයෙහි නිසි පරිදි බදු ගෙවීම් සිදු නොවූ හෙයින් රජයට අයත් භූමියන්හි පවත්වාගෙන ගිය එකී ක්‍රීඩා සමාජ නැවතත් රජයටම පවරා ගැනීමට දරන ප්‍රයත්නයක් ගැනයි. 

එම හාහූවන් ඔස්සේ සිදු කළ ගවේෂණ ඇසුරින් සිළුමිණ අපද මේ පිළිබඳව පසුගිය කාලයේ කීප විටෙකදීම වාර්තා පළ කළේය. එහිදී අප අවධාරණය කර සිටියේ මෙරට තිබෙන පැරැණිම ක්‍රීඩා සමාජ වන මෙකී ක්‍රීඩා සමාජයන්හි සේවාව තවදුරටත් ජනයාට ලබා ගැනීමට ඉඩහසර විවර කරමින් ඒවායෙහි අනාගතය තීන්දු කරන ලෙසටයි.

ඉකුත් දින කීපයේ වාර්තා වූයේ 80 ක්ලබ් සහ ඔටර් ක්‍රීඩා සමාජ ද්විත්වය රජයට පවරාගත් බවයි. අප මේ පිළිබඳව මුලින්ම විමසීමක් කළේ එකී ක්‍රීඩා සමාජ පිහිටි භූමියන්හි නිසි බලධාරි ලෙස ක්‍රියා කළ තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් ප්‍රියන්තා දිසානායකගෙනි.

“එම ක්‍රීඩා සමාජ දෙක පසුගියදා රජයට පවරා ගත්තා. ඔටර් ක්ලබ් සැප්තැම්බර් 30 වැනිදාත්, 80 ක්ලබ් නොවැම්බර් 15 වැනිදාත් පවරා ගැනීම සිදු වුණා. මේ වන විට එම ක්‍රීඩා සමාජයන්හි බලය නාගරික සංවර්ධන අධිකාරියට පැවැරීමට කටයුතු සිදු වෙමින් පවතිනවා. නාගරික සංවර්ධන අධිකාරිය හරහා එම ක්‍රීඩා සමාජවල ඉදිරි අලුත්වැඩියා කටයුතු සහ සංවර්ධන කටයුතු සිදු කෙරෙනවා. නාගරික සංවර්ධන අධිකාරියට පැවැරූ පසු අපට මේ ක්‍රීඩා සමාජ පිළිබඳ කිසිම බලයක් නැහැ.

හැබැයි අපි එම ක්‍රීඩා සමාජවල හිටපු කමිටුවලට ලිඛිතව දැනුම් දීලා තියෙනවා පසුගිය කාලයේ තිබූ හිඟ බදු වාරික ගෙවන්න කියලා. මොකද එම හිඟ වාරික තියෙන්නෙ ක්‍රීඩා සමාජ ඔවුන් විසින් පවත්වාගෙන ගිය කාලයට අදාළවයි.

මේ පිළිබඳව අපි නුදුරු දිනකදීම එම ක්‍රීඩා සමාජ හිටපු බලධාරින් හා පුළුල්ව සාකච්ඡා කරන්නයි කටයුතු කරමින් සිටින්නෙ. යම් හෙයකින් ඔවුන් හිඟ බදු වාරික ගෙවීම පැහැර හැරියොත් අපිට අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සිදු වෙනවා.“

මුලින්ම කරළියට ආ ඔටර් ක්‍රීඩා සමාජය හිඟ බදු වාරික නොගෙවීම නිසාවෙන් පසුගිය ඔක්තෝබර් 30 වැනි දින හෝ එදිනට පෙර දිනකදී එකී භූමියෙන් ඉවත්කරගන්නා ලෙසට දන්වමින් ‘අස්කිරීමේ දැන්වීම‘ නිකුත් කළේද තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් ප්‍රියන්තා දිසානායකගේ අස්සනින් යුතුවයි.

එම අවස්ථාවේදී සිළුමිණට ප්‍රාදේශීය ලේකම්වරිය මෙසේ කීවාය,

“ගිය වර්ෂයේ සැප්තැම්බර් 30 වැනිදායි ඔටර් ක්‍රීඩා සමාජයේ තිස් අවුරුදු බදු ගිවිසුම අවසන් වුණේ. රජයේ වෙනත් අවශ්‍යතාවක් සඳහා මේ භූමියට ඒ වන විට ඉල්ලුමක් තිබුණේ නැහැ. හිඟ වාරික මුදලත් තිබූ නිසා අපි ක්‍රීඩා සමාජයේ බලධාරින්ට වර්ෂයක කාලයක් ලබා දුන්නා හිඟ වාරික බදු මුදල් ගෙවන්නත්. පසුව එම ක්‍රීඩා සමාජයේ පාලනාධිකාරිය හිඟ මුදල්වලින් යම් ප්‍රමාණයක් ගෙවීම් කළා. ඒත් මිලියන 31කට අධික මුදලක් ගෙවිය යුතුව තිබුණා.“

මේ වන විට වාර්තාවන්නේ රජයට පවරාගත් ඔටර් ක්‍රීඩා සමාජය නාගරික සංවර්ධන අධිකාරිය යටතේ මනා පරිපාලනයකින් යුතුව පැරැණි සේවක පිරිසද යොදවා පවත්වා ගෙන යන බවකි.

ඔටර් ක්‍රීඩා සමාජයට එවන් තත්ත්වයක් උදා වෙද්දී හිඟ වාරික බදු මුදල් නොගෙවීමත් වසර 100කට අධිකව පැරැණි කොළඹ නගරයේ හදවත බඳු ස්ථානයක විශාල භූමි ප්‍රදේශයක පිහිටි 80 ක්ලබ්හි තත්ත්වයද ශෝචනීය විය. ඒ මෑත කාලයේ හිටපු පාලනාධිකාරින්හි වගකීමෙන් තොර පාලනය නිසාවෙන් 80 ක්ලබ්හි පැරැණි ගොඩනැඟිල්ලද නිසි අලුත්වැඩියා කටයුතුවලින් තොරව ක්‍රීඩා සමාජය පවත්වාගෙන යාමත් හිඟ බදු මුදල් ගෙවීමද පැහැර හැර තිබීමත් නිසා පසුගිය 15 වැනිදා එම ක්‍රීඩා සමාජයද රජයට පවරා ගැනීම සිදු විණි. 80 ක්ලබ්හි පැන නැඟුණු තත්ත්වය පිළිබඳව ද පසුගිය කාලයේ සිළුමිණ තැබූ සටහනකදී එවකට සභාපතිව සිටි අමල් ද මෙල් අපට කීවේ 80 ක්ලබ් ක්‍රීඩා සමාජයේ ගොඩනැඟිල්ලේ යම් යම් තැන්වල වූ ගරා වැටුණු ස්වභාවය මේ ක්‍රීඩා සමාජය පිළිබඳව රජයේ අවධානයට ලක්වීමට ප්‍රධාන ලෙසටම බලපෑ බවයි.

එවැනි තත්ත්වයක් ඇතිවීමට මූලික ලෙසටම හේතු වූයේද මෑත කාලයේ ක්‍රීඩා සමාජයේ පරිපාලනයට පැමිණි බලධරයන්ගේ අවිධිමත් පරිපාලනය බවද හෙතෙම පැවැසීය. ඊට අමතරව පර්චස් 257කින් යුත් ක්‍රීඩා සමාජයේ පර්චස් 200ක් සහ පර්චස් 57ක් ලෙස බදු ගිවිසුම් දෙකකින් යුත් භූමියට අදාළව පර්චස් 57හි භූමියට නිසි ලෙස බදු නොගෙවීමද ඊට බලපෑ බවයි.

වත්මන් තත්ත්වය පිළිබඳව 80 ක්ලබ්හි හිටපු සභාපති අමල් ද මෙල් කීවේ,

"මේ වන විට ක්‍රීඩා සමාජය මුළුමනින්ම අලුත්වැඩියා කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කරමින් සිටිනවා. අපේ හිටපු සියලුම සාමාජිකයන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ. සේවක පිරිසත් නැවත ක්‍රීඩා සමාජය විවෘත වූ විට සේවයට එක්කරගන්නා බවට නාගරික සංවර්ධන අධිකාරියේ බලධාරින් එකඟ වී තිබෙනවා."

කොළඹ නගරයේ පිහිටා තිබෙන යටත්විජිත සමයේ ආරම්භව අදටත් ක්‍රියාත්මක වන සිංහල ස්පෝට් ක්ලබ් (එස්එස්සී), කලම්බු ජිම්කානා, කලම්බු රෝවින් ක්ලබ්, කලම්බු ක්‍රිකට් ක්ලබ්, රෝයල් කලම්බු ගොල්ෆ් ක්ලබ්, මැලේ ක්‍රිකට් ක්ලබ්, ස්විමිං ක්ලබ්, එයිටිස් ක්ලබ් ආදි මෙකී නොකී ක්‍රීඩා සමාජ අතුරින් ඔටර් ක්‍රීඩා සමාජය, 80 ක්ලබ් සහ ජිම්කානා ක්‍රීඩා සමාජයේ තුම්මුල්ල හන්දියේ පිහිටි ටෙනිස් හා ස්කොෂ් ක්‍රීඩාව සිදුකරන ක්වින්ස් ක්‍රීඩා සමාජ භුමියට ඇතුළු කිහිපයකට පසුගිය යහපාලන රජය යටතේ සිදු කළ බදු ප්‍රතිපත්තිය මත වාරික බදු මුදල් ඉතාම ඉහළ අගයකින් ඉහළ නැංවීම මෙවැනි අර්බුදයකට මූලික වූ බවත් ක්‍රීඩා සමාජ බලධාරින්ගෙන් නැඟුණු චෝදනාවකි. 

කෙසේ හෝ මෙවන් තත්ත්වයක් එකී ක්‍රීඩා සමාජයෙන්ම හටගැනීම නිසාවෙන් රජයට පවරාගත් එම ක්‍රීඩා සමාජ පිළිබඳව පසුගිය දිනවල සමාජ මාධ්‍යයන්හිද නොයෙක් කතාන්දර පළ විය. රජයට පවරාගත් ක්‍රීඩා සමාජයන්හි පරිපාලනය චීන සමාගම්වලට පැවැරීමට යන බවටද සමාජ මාධ්‍යයන්හි පළ විණි. රජයට පවරාගත් මෙකී ක්‍රීඩා සමාජයන්හි වත්මන් පරිපාලනය බාර නාගරික සංවර්ධන අධිකාරියටයි. එම ක්‍රීඩා සමාජයන්හි වත්මන් තත්ත්වය සහ එහි අනාගතය කෙබඳු වේදැයි අප නාගරික සංවර්ධන අධිකාරියෙහි අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රසාද් රණවීරගෙන්ද විමසීමක් කළෙමු.

“මම මුලින්ම කිව යුතුයි, ක්‍රීඩා සමාජවල සාමාජිකයන්ට කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. ඒ වගේම එම ක්‍රීඩා සමාජයන්හි සේවය කළ අයත් අපේ පරිපාලනය යටතේම සේවයෙහි පිහිටුවනවා. මීට මාස කීපයකට පෙර පවරාගත් ඔටර් ක්‍රීඩා සමාජය එහි තිබූ යම් යම් අලුත්වැඩියා කටයුතුවලින් පසුව නාගරික සංවර්ධන අධිකාරියෙහි පාලනය යටතේ මේ වන විට පවත්වා ගෙන යනවා. 80 ක්ලබ් පවරා ගැනීම සිදුවූයේ මීට දින කීපයකට පෙරයි. එය සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කළ යුතු තත්ත්වයක තියෙන්නෙ. එම නිසා ඒ ක්‍රීඩා සමාජය මේ දිනවල වහලා තියෙන්නෙ.

එහි සම්පූර්ණ අලුත්වැඩියා කටයුතු ඉදිරි මාස තුන ඇතුළත අවසන් කරන්නයි නියමිතව තිබෙන්නෙ. ඉන්පසු නාගරික සංවර්ධන අධිකාරියෙහි පාලනය යටතේ පවත්වාගෙන යනවා. ඒ ක්‍රීඩා සමාජවල සාමාජිකයන්ට දිගටම සමාජිකත්වය පවත්වාගෙන යන්න පුළුවන්.

හැබැයි පාලනාධිකාරිය වෙනස් වුණා. නාගරික සංවර්ධන අධිකාරිය යටතේ සියලු පරිපාලනයන් සිදුවන්නෙ. එහෙම නැතිව මේ ක්‍රීඩා සමාජ කිසිම විටෙක වහන්නෙවත් වෙනත් රටවල පැවරීමක්වත් සිදුවෙන්නෙ නැහැ. වඩාත් සුරක්ෂිත ලෙස ඉදිරි පරම්පරාව වෙනුවෙන් මේ ක්‍රීඩා සමාජ පවත්වා ගෙන යනවා.“

අප මීට පෙරද අවධාරණය කර සිටියේ කොළඹ නගරයේ අනන්‍යතාව බඳු මෙකී ක්‍රීඩා සමාජ නඟා සිටුවමින් ඉදිරි පරපුර සඳහාත් පවත්වාගෙන යන ලෙසටයි. ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරියෙහි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ද පැහැදිලි කළ ආකාරයෙන්ම එම ක්‍රීඩා සමාජයන්හි හෙට දවස පිළිබඳව පැහැදිලි චිත්‍රයක් මේ වන විට මවාගත හැකිය. එනම් මෙකී ක්‍රීඩා සමාජවල හෙට දවස වත්මන් රජය යටතේ අනාගත පරම්පරාවට ඔබින ලෙස සුරක්ෂිත වී ඇති බවයි.

Comments