අනාගත ලොව අඳුරු නොකර පාසල් ඇරීම | සිළුමිණ

අනාගත ලොව අඳුරු නොකර පාසල් ඇරීම

පාසල් වසා දරුවන්ගේ අනාගතය වසා දැමිය නොහැකියි
- අධ්‍යාපන ඇමැති

තම පාසල් සුරක්ෂිත බව දරුවෝ දන්නවා
- මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ

අවදානම අපි බාර ගන්නවා
- අධ්‍යාපන ලේකම්

ගැටලු තිබුණත් අපි දරුවෝ වෙනුවෙන් පාසල පවත්වාගෙන යනවා
- විදුහල්පතිවරු

කොවිඩ් තෙවැනි රැල්ලෙන් අනතුරුව 10,165 කට අධික පාසල් සංඛ්‍යාවෙන් පාසල් 5,233 කට ආසන්න ප්‍රමාණයක් පසුගියදා විවෘත වූයේ කොවිඩ් සමඟ ජීවත් විය යුතුය යන පණිවඩය රටට පසක් කරමිනි. මින් පෙර අධ්‍යාපන අමාත්‍යාංශය කොවිඩ් දරුණුවට පැතිර යන මොහොතක විභාග දෙපාර්තමේන්තුව එක්ව ලක්ෂ 7 කට ආසන්න අපේක්ෂකයන් පිරිසක් සහභාගී වන ප්‍රසිද්ධ විභාග දෙකක් පවත්වා භාර දූර කර්තව්‍යක් ඉටු කළේ දරුවන්ට සාධාරණයක් ඉටු කරමිනි.

එහිදි දරුවෝ ලොවට ලබා දුන්නේ ‘කොවිඩ්වලට අපේ ජීවිත වසා තැබිය නොහැකිය‘ යන පණිවිඩයයි. මෙම වසර යනු පාසල් දරුවන්ගේ අභාග්‍යතම වසර යැයි පැවසුවොත් එය නිවැරදිය. සාමාන්‍යයෙන් වසරකට පාසල් පැවැත්විය යුතු දින ගණන වන්නේ දින 190 ත් 200 ත් අතරය. එහෙත් වරින් වර පැවැති කොවිඩ් අවදානම හේතුවෙන් ප්‍රාථමික අංශ දරුවන්ට දින 75 ක් වත් පාසල් යන්නට නොහැකි විය. ද්විතීයීක අංශයේ දරුවෝ දින 100 ක් වත් පාසල් ගියේ නැත. මේ වසරේ දරුවන්ගේ ශිෂ්‍ය කාලය අඩකටත් වඩා අඩු වෙත්ම එම දරුවන්ගේ වසරේ අපේක්ෂිත ඉලක්කයන් සියල්ලම සුනු විසුනු විය. තවත් දින කිහිපයකින් සාමාන්‍ය පෙළ විභාගයට සිසුහු විශාල පිරිසක් මුහුණ දෙති.

ලොව සෞඛ්‍ය විශේෂඥයන් අනතුරු අඟවා ඇත්තේ මේ භයානක ව්‍යසනයක් සමඟ තවත් කාලයක් අපට ජීවත් විමට සිදුවන බවකි. මෙවන් මොහොතක අධ්‍යාපන ඇමැතිවරයා වන මහාචාර්ය ජී.ඇල් පීරිස් ඉතා වටිනා ප්‍රකාශයක් රට හමුවේ තැබුවේ පසුගියදාය.

“ කොවිඩ් අභියෝගයේ අවදානම සම්පූර්ණයෙන්ම අවසන් වීමට තවත් වසර දෙකහාමාරක් පමණ ගත වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබුණා. එවන් තත්ත්වයක් මත පාසල් වසා තබනවා කියන්නේ දරුවන්ගේ අනාගතය වසා තැබීමක්. ඒකෙන් අදහස් කරන්නේ දරුවාගේ සෞඛ්‍ය තර්ජනයකට ලක් කරමින් පාසල් විවෘත කළ යුතුය කියන එක නොවේ. දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරමින් පාසල් පවත්වා ගෙන යාමට අපි රජයක් වශයෙන් අවතීර්ණ වී සිටිනවා. මෙවන් අභියෝග මැද ශිෂ්‍යත්ව විභාගය පවත්වා දින 33 කින් විභාග ප්‍රතිපල දෙන්නට හැකි වුණා. අසීරු අවස්ථාවක අභියෝගයෙන් පලා යාම වෙනුවට අභියෝගයට මුහුණ දීමයි, අමාරු. .....“ ඒ අධ්‍යාපන ඇමැතිවරයාය.

මෙරට පාසල් අතරින් සිසුන් සංඛ්‍යාව 500 ට අඩු පාසල් ප්‍රතිශතය 77.3% කි. සිසුන් සංඛ්‍යාව 501-1000 අතර පවත්නා පාසල් ප්‍රතිශතය 13.6% කි. ඒ අනුව සමස්ත පාසල් සංඛ්‍යාවෙන් සියයට අනූ එකක්ම 1000 ට අඩු සිසුන් සිටින පාසල් ය. මෙසේ හෙයින් දුරස්ථභාවය ඇතුළු අනිකුත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පාසල් පැවැත්වීම ප්‍රායෝගිකව අසීරු නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ අදහසයි.

පාසල් තෙවැනි වාරය අවසන් වීමට තව ඇත්තේ දින කිහිපයකි. ඒ නිසාවෙන් බොහෝ අය පවසා සිටින්නේ දින කිහිපයකට හෝ අධ්‍යාපන අමාත්‍යාංශය එවැනි අවදානමක් ගන්නේ ඇයිද යන්නය. මේ පැනයට අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල. සී. පෙරේරා පැවැසූයේ මෙවන් අදහසකි.

“ප්‍රාථමික ශ්‍රේණි දරුවන් වෙනුවෙන් පාසල් ආරම්භ කිරීම සම්බන්ධවද ඉදිරියේදී තීරණයක් ගන්නවා. දරුවන් වෙනුවෙන් ගනු ලැබූ මෙම තීරණය වඩාත් යහපත්ව පවත්වාගෙන යාම වෙනුවෙන් පුරවැසි වගකීමක්. මේ නිසා සියලු පාර්ශ්වයන්ගේ පූර්ණ සහාය පළ විය යුතුයි. දරුවන්ගේ පැමිණීම හා ගුරුවරුන්ගේ පැමිණීම හොඳ තත්ත්වයේ පවතිනවා. මේ සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්ව විසින් විවේචන එල්ල කළත් මෙය දරුවන් වෙනුවෙන්ම, ඔවුන්ගේ මගහැරෙන අධ්‍යාපනය නැවත ලබා දීමේ අරමුණින්ම ගත් තීරණයක්. සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් පූර්ණ වගකීම අපි දරනවා......“ ඒ අධ්‍යාපන ලේකම්වරයාය.

කෙසේ වෙතත් විවිධ පිරිස් මේ සම්බන්ධයෙන් විවිධ චෝදනා මතු කළද, පාසල් කොවිඩ් පොකුරක් නිර්මාණය විය හැකි බව අනතුරු ඇඟවුවද අධ්‍යාපන ලේකම්වරයා පවසන්නේ යම් හෙයකින් එවැනි දෙයක් වුවහොත් රජය වෙනුවෙන් තමන් එහි වගකීම දරන බවකි.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති 15/ 2020 දරන චක්‍රලේඛය හා මාර්ගෝපදේශ සංග්‍රහය අනුව දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියලු පළාත්, කලාප සහ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ විදුහල්පතිවරුන් දැනුම්වත් කළේය. මේ අනුව බස්නාහිර පළාත හැර පාසල් විවෘත වූ සෙසු පළාත් සියල්ල අවශ්‍යතාව මත විෂබීජහරණයකට නතු කරන්නට පියවර ගෙන තිබුණි.

“අපේ පළාතේ පාසල් දරුවන්ගෙන් 45% කට පමණයි, දුරස්ථ ඉගෙනුම් අවශ්‍යතා සම්පූර්ණ කර ගත හැකි වන්නේ. මේ නිසා අභියෝග මැද පාසල් විවෘත කළ යුතුයි. දරුවෝ දන්නවා තමන්ගේ නිවස වගේම පාසලත් සුරක්ෂිතයි කියලා. නමුත් දරුවන්ව පාසලට සුරක්ෂිතව ඇරලවීම හා යළිත් රැගෙන යාම සුරක්ෂිතව සිදුවිය යුතුයි. මධ්‍යම පළාතේ පාසල් 1519 ක් තියෙනවා. මෙයින් පාසල් 57 ක් හැර සෙසු පාසල් සියල්ල විවෘත වුණා. පාසල් තුළදී දරුවාට ආරක්ෂාව සැලසීම සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටු පත් කර තියෙනවා. මේ කමිටුවට වගකීම පැවැරෙනවා, මේ සම්බන්ධ තීරණ ගැනිමට. අපේ පළාත තුළ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වන දරුවන්ට විෂය 9 ටම අදාළ ස්වයං අධ්‍යයන කට්ටල ලබා දුන්නා. අගෝස්තු අනාවරණ පරීක්ෂණ දරුවන් 41,000 කටම සිදුකළා. මේ සියල්ලම කළේ දරුවන්ගේ පාසල් අධ්‍යාපනය වැදගත් නිසයි. ප්‍රවාහන ගැටලු පැවැතුණත් දරුවන්ගේ පැමිණිම හොඳ මට්ටමක තියෙනවා “ ඒ කොවිඩ් ආසාදනය තරමක් වැඩියෙන් පවතින මධ්‍යම පළාතේ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ඊ. පී. පී. කේ ඒකනායකය.

පසුගිය 23 වැනිදා මධ්‍යම පළාතේ හුදෙකලා වූ පළාත්වල පාසල් හැරෙන්නට සෙසු පාසල් විවෘත වුවද යළිත් මධ්‍යම පළාත තුළ නගර සීමාවේ වූ පාසල් 45 ක් වැසූයේ දරුවන්ගේ ආරක්ෂාවට සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටුව ගත් තීරණයක් වශයෙනි. එසේම අම්බලන්ගොඩ පළාත් තුළ වූ ප්‍රසිද්ධ පාසල් දෙකකද යළිත් මෙවැනිම තත්ත්වයක් ඇතිවූයේ කොවිඩ් ආසාදිත මවුපියන් දෙදෙනකුගේ දරුවන් පාසල් එවීම නිසාය.

මේ වන විට විවෘත කර ඇති පාසල්වල පන්ති පැවැත්වෙන්නේ 6- 13 දක්වා පමණි. ඒ අනුව නියමිත සිසුන් ප්‍රමාණය පවත්වා ගනිමින් දුරස්ථ සීමා පවත්වා ගනිමින් පාසල් පවත්වා ගෙන යාමේ වැඩි වගකිම් හිමි වන්නේ විදුහල්පතිවරුන්ටය. නමුත් පසුගිය කොවිඩ් කාලයේ මෙන් නොව මෙවර ඊට වඩා දැඩි අවදානමක් පවතින හෙයින් මේ වගකීම දැරීම පාසල් ප්‍රධානීන්ට ලෙහෙසි පහසු දෙයක් නොවේ. විශේෂයෙන්ම සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටුවේ ප්‍රධාන සාමජිකයකු වන පළාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට තම නිශ්චිත රාජකාරිවලට අමතරව පාසල් ගණනාවක වගකීම් දරන්නට සිදුවෙයි. පසුගියදා ඇඹිලිපිටිය පළාතේ උදැසන රැස්විමකදි දරුවෙකු අසනීපව ඇති විටක කිසිදු ගුරුවරයකු සිසුවා අසලට ළංවීමට කැමැත්ත පළ කර නැත. ඒ දරුවාගේ දිවි සුරැකුණේ සුව සැරිය සෞඛ්‍ය සේවාව නිසාවෙන් බව මවුපියෝ පවා මාධ්‍යයට පවසා තිබුණි. මේ එක උදාහරණයකි. එවන් කනගාටුදායක අවස්ථා මින් පෙර වාර්තා වූයේ නැත. ගුරුවරුන් අද දරුවාගේ අසනීපයකදී පවා ළං නොවන්නේ මේ කුරිරු රෝගයට ඇති බිය නිසාවෙනි. අද ගුරුවරු සිය රැකියාව කරන්නේ මෙවැනි දැඩි අවදානමක සිටය.

මේ සියලු අභියෝග දරමින් විදුහල්පතිවරු දරුවන් වෙනුවෙන් පාසල් විවෘත කිරිමට සූදානම්ය. ගුරුවරුන්ගේ පැමිණීම සියයට 85 කටත් වඩා ඉහළ විය. මේ පාසල් කිහිපයක විදුහල්පතිවරුන්ගේ අදහස්ය.

“ කොවිඩ් වසංගතය හමුවේ අපි දුරස්ථ අධ්‍යාපනය ක්‍රියාත්මක කළත් අපේක්ෂිත ඉලක්ක සාධනය කර ගන්න අමාරුයි. කොවිඩ් අවසන් කර පාසල් ආරම්භ කරන්න සිතුවොත් ඊට වසර 2-3 ක් යන්න පුළුවන්. මේ නිසා කෙසේ හෝ පාසල් විවෘත කර සුරක්ෂිතව පවත්වා ගෙන යාම හොඳයි. අපි විශේෂ අවධානයක් යොමු කරන්නේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. අරම්භයේදි දරුවන්ගේ පැමිණීම අඩුවුවත් පසුව එය ක්‍රමිකව වර්ධනය වුණා. මේ කටයුත්ත රජයට තනියම කරන්න අපහසුයි. ඊට සියලු දෙනාගේ සහය ලැබිය යුතුයි. මෙතැනද අපිට වගේම දෙමවුපියන්ට සිසුන්ට වගකීමක් තියෙනවා. දෙමවුපියන් දරුවන්ව සුරක්ෂිතව පාසලට ඇරලවිය යුතුයි. “ ඒ ගාල්ල රිච්මන්ඩ් විදුහලේ විදුහල්පති තිලක් වත්තුහේවාය.

නාගරික පාසල්වලට මෙන්ම ග්‍රාමීය පසල්වලටද මේ අභියෝගය එලෙසම නොපැවතුණත් එම පාසල්වල විදුහල්පතිවරුන්ද වැඩි අවධානයක් යොමු කරන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබා දී ඇති සෞඛ්‍ය නිර්දේශානූකූලව පාසල පවත්වා ගෙන යෑමටය.

“අපි පාසල ආරම්භ කළේ ආදි සිසුන්, දෙමවුපියන් සියල්ල දැනුම්වත් කරලයි. අපි පාසල් විවෘත කරන කාලයෙන් වැඩි ඉඩක් ගන්නේ සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වන දරුවන්ට. 6-9 පන්ති දරුවන්ව ගෙන්වා ගන්නේ දිනකට භාගයක් පමණයි. දිනෙන් දින දරුවන්ගේ පැමිණීම ඉතා හොඳයි. පාසල් දිගමට වසා තැබීම අපි අනුමත කරන්නේ නැහැ. ඒ නිසා කුමන බාධා මැද වුවත් විවෘත කිරීම හොඳයි. මෙතැනදි ගුරුවරු පවා පාසල් එන්නේ දැඩි අවදානමක් දරා ගෙන. එත් ගුරුවරු උදැසන 6.30 වෙනකොට පාසල් එනවා, දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. අපේ පාසල් වටපිටාවේ කොවිඩ් ආසාදිත අය ඉන්නවා. මේ නිසා දරුවෝ පාසලේදි සුරක්ෂිත වුණාට අතරමඟදි සුරක්ෂිත නැහැ. ඒ අයට විධිමත් ආකාරයෙන් ප්‍රවාහන සේවයක් ලබා දිය යුතුයි. ....“ ඒ කරල්ලියැද්ද කනිෂ්ඨ විදුහලේ විදුහල්පති බන්දුල සේනානායකයි.

“ අපේ පාසල්වලට කොරෝනා අවදානමක් නැහැ කිව්වට කුඩා දරුවන්ගේ පන්ති පැවැත්වීම ගැන අවදානමක් තියෙනවා. කුඩා දරුවන්ට නිරෝධායන ක්‍රමවේද ගැන දැනුමක් නැහැ. පාසලේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන්නේ සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටුව හරහායි. එහෙත් යම් යම් ප්‍රායෝගික ගැටලු මතු වෙනවා. අපේ ගිරාදුරුකෝට්ටේ මහජන සෞඛ්‍ය පරීක්ෂකට පාසල් 28 ක් ගැන බැලිය යුතුයි. මෙය ප්‍රායෝගිකව අපහසු කටයුත්තක්. අපිට සිසුන් ගෙන්වීමට හැකිවන්නේ දිනකට භාගයක් වශයෙන්. ශාලා පහසුකම් පවා අඩුයි. මේ නිසා එකම ගුරුවරයාට දෙවරක් එකම පාඩම කරන්න සිදු වෙනවා.“ ඒ ඌව අධ්‍යාපන කලාපයට අයත් පාසලක් වන මහියංගන දිවුලපැලැස්සේ බ/රොටලවෙල විදුහලේ විදුහල්පති සරත් රූපසිංහ ය.

කොවිඩ් අපෙන් ඉවත්ව නොයන්නේ නම් අපි කොවිඩ් සමඟ ජීවත් විය යුතුය. දරුවන්ගේ පාසල් ඇරීම විශාල අභියෝගයක් වුවත් ඒ දුෂ්කර මාවත අපි ජය ගත යුතුය. ලොව බොහෝමයක් රටවල් මේ අභියෝගය ජය ගන්නට මේ වන විටත් කටයුතු කර ඇත.

Comments