සොයු­රු­දමේ මතක අහු­ලන | සිළුමිණ

සොයු­රු­දමේ මතක අහු­ලන

නංගි ගෙනාව දවසේ මම අත්පුඩි ගගහා ගේ වටේ ගියා

- කාංචන

අයියා විසි කැත්තෙන් තාත්තගෙ කොණ්ඩෙ කපන්න හැදුවා

- අරුණි

ඔහු ජනප්‍රිය රංගන ශිල්පියෙකි. ඇය නව පරපුරේ ජනප්‍රිය නිවේදිකාවකි. දෙදෙනා අතර ඇත්තේ ‍එකම රුහිරෙන් බැඳුණු ආදරණීය බැඳීමකි. 'අයියා-නගෝ' විශේෂාංගය සරසමින් සහෝදරකමේ සුන්දර මතකය ඔබ සමඟ බෙදාගැනීමට එක්වූ ඔවුන්, කාංචන කොඩිතුවක්කු සහ අරුණි කොඩිතුවක්කු ය.

" නංගි ඉපදෙද්දි මම අවුරුදු හතරක පොඩි දරුවෙක් වුණාට නංගි ඉපදිලා ගෙදර ගෙනාව දවස මට අද වගේ මතකයි. එදා මට පුදුම සතුටක් දැනුණේ. ඒකට හේතුව ඒ වෙනකම් මගේ ලෝකේ හිටියේ අම්මයි, තාත්තායි, ආච්චියි විතරයි. ඉතින් නංගි කෙනෙක් එන එක මට ලොකු සතුටක් වුණා. මං වෙනුවෙන් තව එක්කෙනෙක් එනවා කියන සතුට තමයි එදා මගේ හිතට දැනුණේ. "කාංචන අතීතය මතක සිහිකරද්දි අරුණිද කතාවට එකතු වූවාය.

"අම්මා කියනවා මාව ගෙදර ගෙනාව දවසේ අයියා හරිම සතුටින් අත්පුඩි ගගහා ගේ වටේ ගියාලූ. තේරෙන දවසේ ඉඳන්ම අයියයි මමයි හිටියේ එකටමයි. අපි දෙන්නා පුංචි කාලේ දඟ වැඩ කරපු දෙන්ෙනකුත් නෙවෙයි. එක දවසක් මට මතකයි තාත්තා නිදාගෙන ඉන්නකොට එයාගේ කොණ්ඩෙ කපන්න අයියා මට විසිකැත්ත ගේන්න කිව්වා. හොඳ වෙලාවට මම විසිකැත්ත ගේද්දිම තාත්තා ඇහැරුණා. අයියා තමන්ගේ පාඩුවේ ඉන්න කාටවත් කරදරයක් නැති කෙනෙක්. පොඩි කාලේ වගේම දැනුත් අයියා හරිම කූල් චරිතයක්. අයියගේ මම දකින විශේෂම ‍දේ එයා පවුලට ගොඩක් ආදරෙයි. අයියට යාළුවෝ ගොඩක් නැහැ. අම්මා, තාත්තා, මං ගැන ගොඩක් හොයලා බලනවා. පුළුවන් විදිහට හැමෝටම උදවු කරන ආදරණීය චරිතයක්. එයා කැමති හැම වෙලාවෙම පවුල එක්කම රැඳෙන්නයි. අයියා එයාගේ දුවට පණ වගේ ආදරෙයි."

නැඟණිගේ වදන් දිගේ කාංචන තවත් මතක දිග හැරියේය. " මුලින් අපි දෙන්නම ගියේ රාවතාවත්ත මෙතෝදිස්ත විදුහලට. මම ශිෂ්‍යත්වය සමත් වෙලා මොරටුව වේල්ස් කුමර විද්‍යාලයට ගියා. නංගිත් පසුව වේලස් තුමරි විදුහලට ඇතුළත් වුණා.

පාසලේදි අපි දෙන්නම කලා කටයුතුවල යෙදුණට පාසල් කාලේ මම හිතාගෙන හිටියේ නළුවෙක් වෙන්න නෙවෙයි. මට ඕන වුණේ ක්‍රීඩකයෙක් වෙන්න."

එසේ වුවද රංගන ශිල්පියකු ලෙස ජනාදරයට පත්වී සිටින සිය සොහොයුරා ගැන අරුණිගේ සිතෙහි ඇත්තේ නිහතමානී ආඩම්බරයකි. ඇය ඒ බව වදන්වලට පෙරළුවේ මෙසේය. "අයියා පාසල් කාලයේ ඉඳලම කලාවට නැඹුරුයි. මුලින්ම අයියා රඟපෑවේ තිස්ස ගුණවර්ධන සර්ගේ වේදිකා නාට්‍යවල. රංගනයට කැමැති වුණාට අයියා ලැබුණු හැම අවස්ථාවම බාරගත්තේ නැහැ. අයියා වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රයේ රැකියාවක යෙදෙන අතරයි රංගන කටයුතුවල යෙදුණේ. නමුත් අයියා ප්‍රේක්ෂකයන්ට මතක හිටින චරිත කිහිපයක්ම කළා. මම හිතනවා අයියා කලා ක්ෂේත්‍රය තුළ දිගටම නිරත වුණා නම් රංගන ශිල්පියෙක් විදියට තවත් සාර්ථක වෙන්න තිබුණා කියලා. ඒ කෙසේවෙතත් අයියාගේ රංගන හැකියාව ගැන වගේම මේ වෙද්දි ඔහු සිටින ස්ථාවරත්වය ගැන මම ගොඩක් සතුටු වෙනවා. " ඇය කියන්නී ස්නේහයෙනි. නැඟණියගේ සිතුම්පැතුම් ගැන කාංචන මෙසේ කීවේය.

" නංගි ඉක්මන් තීරණ ගන්න කෙනෙක්. ඒ වගේම එයා කියන දේ ‍කෙළින් කියන ඍජු චරිතයක්. අපි ඒ කාලේ හිතුවේ නංගි නීතිය ඉගෙන ගනී කියලා. ඒ කාලේ ඉඳලා එයා ඕනම දෙයක් පොයින්ට එකට කතා කරන්න දක්ෂයි. නංගි ගැන තියෙන මතකය එකින් එක වෙන් කරලා කියන්න අමාරුයි. නමුත් මට එයාව හිතට ගොඩක් දැනෙනවා. නංගි කවදාවත් මං ගැන කියලා ජනප්‍රිය වෙන්න හෝ අවස්ථාවන් ලබාගන්න උත්සාහ කළ කෙනෙක් නෙවෙයි.

නංගියි මමයි එකට රූපවාහිනී වැඩසටහනක් ඉදිරිපත් කළ අවස්ථාව සුවිශේෂියි. ඒ, සියත නාළිකාවේ Star War වැඩසටහන. ලංකාවේ පළමු වතාවට අයියා - නගෝ දෙන්නෙක් එවැනි වැඩසටහනක් කළ පළමු අවස්ථාව එයයි. ඒ වෙලාවේ ඇත්තටම අපි දෙන්නටත් වඩා සතුටු වුණේ අම්මයි තාත්තයි. මේ වෙද්දි මම සුප්‍රිම් ටීවී එකේ නාළිකා ප්‍රධානි ලෙසත් නංගි එහි නිවේදන කළමනාකර විදිහටත් කටයුතු කරනවා. ඒ වගේම නංගිත් දැන් මාස 3ක පුංචි පුතෙක්ගෙ අම්මා කෙනෙක්. නංගිගේ ජීවිතේ සාර්ථකතත්වය ගැන ගොඩක් සතුටුයි. "

සොහොයුරාගේ සෙනෙහස ගැඹුරින්ම අත්විඳි මොහොත පිළිබඳ අරුණි සිහි කළේ මෙලෙසිනි.

"අයියා රැකියාවකට ගියේ අවුරුදු 19දී. මම ඒ කාලේ ඉස්කෝලෙ යනවා. අම්මා ඒ කාලේ අයියට කියලා තියෙනවා තව ටිකක් ඉගෙන ගන්න කියලා. ඒත් අයියා කිව්වෙ නංගිට උගන්වමු කියලයි. මට මතකයි පළවෙනි වැටුපෙන් අයියා මට චොක්ලට් ගොඩක් ගෙනාවා. අයියා ආදරේ ප්‍රදර්ශන කරන කෙනෙක් නොවුණට එයා මං ගැන ගොඩක් හොයලා බලනවා. ඒ වගේම මම සාමාන්‍ය‍ෙයන් ගොඩක් තනි තීරණ ගන්න කෙනෙක්. එහෙම ගත්ත සමහර තීරණ වැරදුණු අවස්ථා තියෙනවා. එහෙම වෙලාවට මට හිතිලා තියෙනවා අයියා කියපු දේ ඇහුව නම් හොඳයි කියලා. තවමත් ඉස්සර වගේම අපේ බැඳීම තියෙනවා.

මම හිතන්නේ අයියාගෙන් මට ලැබුණු හොඳම තෑග්ග එයාගේ දුව. තවම එයාට අවුරුදු 7යි. ඒත් අම්මා කෙනෙක් වෙන්න කලින්ම දරුවෙක් ගැන අම්මා කෙනෙක්ට තියෙන ආදරේ මම දැනගත්තේ එයා නිසයි. අයියයි මායි අතර වගේම ලොකු ආදරයක්, බැඳීමක් දුවයි මායි අතර තියෙනවා. මම හිතන්නේ දුව මට එච්චර ආදරේ අයියත් මට ගොඩක් ආදරේ කරන නිසා වෙන්නැති"

 

Comments