කොවිඩ් හමුවේ කලා­ක­රු­වන්ගේ හැසි­රීම වග­කී­මෙන් ද? | සිළුමිණ

කොවිඩ් හමුවේ කලා­ක­රු­වන්ගේ හැසි­රීම වග­කී­මෙන් ද?

පසුගියදා මෙරට ජනප්‍රිය රංගන ශිල්පියකුට කොවිඩ් ආසාදනය වී ඇති බවත් ඔහු සමඟ රංගනයේ යෙදී සිටි නාට්‍ය කණ්ඩායම ඇතුළු ඔහුගේ ආශ්‍රිතයන් ද නිරෝධායනය වී ඇති බව දැන් රටම දනී. සමාජය හමුවේ එයින් තහවුරු වී ඇත්තේ මේ වයිරසයට පුද්ගල තත්ත්වය, තරාතිරම, ජවය, තාරුණ්‍යය අදාළ නැති වගය. ඒ යථාර්ථය පුන පුනා සෞඛ්‍ය අංශ කීවේය. එහෙත් ඇතැම් අය සිතුවේ කොවිඩ් ආසාදනය වන්නේ තමන්ට නොව, තමාට අදාළ නැති කොහේ හෝ සිටිනා ජීවි කොට්ඨාසයකට බවය.

 

එහෙත් අද සමාජයේ ඕනෑම අයකුට කොහේ කොතැනකදී හෝ කොවිඩ් ආසාදනය විය හැකි බව දැන් යථාර්ථයක් බවට පත්ව ඇතිවා පමණක් නොව එය තහවුරු වී ද අවසන් ය. කොවිඩ් ආසාදිත ජනප්‍රිය රංගන ශිල්පියා පිළිබඳ විවිධාකාර විශේෂ ප්‍රවෘත්ති නිර්මාණය වන්නේ ඔහු සමාජයේ ආකර්ෂණීය චරිතයක් නිසා වුවත් මේ ලියන මොහොත වනවිට ඔහු ආසාදිතයන් 17,000 ඉක්මවා ගිය මෙරට දෙවැනි කොවිඩ් රැල්ලේ එක් ආසාදිතයකු පමණකි. ඔහුගේ සහෝදර රංගන ශිල්පීන්, ශිල්පිනියන් පවසන්නේ ඔහු කොවිඩ් ආසාදිත බව දැනගන්නා තෙක්ම සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමින් කොවිඩ් වයිරසයෙන් වැළකී සිටීමට නිරතුරුවම කටයුතු කළ බවයි. එමෙන්ම ඔහු ආසාදිත බව දැනගත් පසු සෙසු සහෝදර ශිල්පීන්, ශිල්පිනියන් ස්වයං නිරෝධායනයට ලක්වීමට කටයුතු කළේ මෙම ජාතික ව්‍යසනය හමුවේ තම වගකීම් මනාව වටහා ගනිමිනි.

එහෙත් මේ සිදුවීම ඔස්සේ සංවාදයට නැඟෙන කරුණක් ඇත. ඒ, ලබා දී ඇති අවකාශය තුළ කලා කටයුතුවල නිරත වන කලාකරුවකු සතු සමාජ වගකීමේ ප්‍රමාණය ය. එක් සුළු අත්වැරදීමක් නොසලකා හැරීමක් සමස්ත කර්මාන්තයක්ම දෙදරා යෑමට ලක්වන ආකාරය ය. රට තිගැස්වෙන ආකාරය ය. මේ වනවිට මේ රටේ ජනාදරයට පත් නළු නිළියන් විශාල සංඛ්‍යාවක් ද නිරෝධායනයේ ය.

ජාතික අවශ්‍යතාවක් සේ සලකා මේ කොවිඩ් සමය තුළ නිර්මාණ කටයුතුවලට ඉඩ දී තිබිණි. ඒ අවකාශය අප වගකීමකින් පරිහරණය කළා ද යන්න දැන් සමාජය ඉදිරියේ ඇති ගැටලුවය. මේ සම්බන්ධව කොවිඩ් නිරෝධායන තත්ත්ව යටතේ නිර්මාණකරණයෙහි යෙදෙමින් සිටිනා ප්‍රවීණ අධ්‍යක්ෂවරු කිහිප දෙනෙකු සමඟ අප කතා කළෙමු.

 

තමන්ගේ වගේම අනිත් අයගේ ආරක්ෂාව ගැනත් හිතන්න

- සෝමරත්න දිසානායක

 

සමස්ත ලෝකයම අර්බුදයකට ඇද දාපු කොවිඩ් වසංගතය කලා ක්ෂේත්‍රයේ දී වැඩිපුරම බලපෑවෙ සිනමාකරුවන් වන අපට. සිනමාශාලා වසා දැම්මා. තිරගත වූ චිත්‍රපට නැවතුණා. චිත්‍රපටයකට වියදම් කරලා අවදානමක් ගත්තු නිෂ්පාදකවරු බිඳවැටුණා. එහෙම ප්‍රශ්නයකට මුහුණ දීපු එක්කෙනෙක් තමයි මම.

මගේ ‘සුනාමි‘ චිත්‍රපටය සාර්ථකව තිරගත වෙනකොටයි මේ තත්ත්වය ඇවිත් සිනමාශාලා වැහුවේ. අප පත්වුණු තත්ත්වය ගැන අඩු තරමේ රාජ්‍ය මට්ටමින් හෝ චිත්‍රපට සංස්ථා මට්ටමින් කිසිම විමසීමක් කරලා නැහැ. අපි කරපු ඉල්ලීම්වලට ඇහුම්කන් දීලත් නැහැ. සිනමාව වෙනුවෙන් චිත්‍රපට සංස්ථාව තියෙනවා. එතනින් වත් කිසිම විමසීමක් වුණේ නැහැ.

එහෙම වුණා කියලා මම නැවතිලා නෑ. සිනමාවට ආදරය කරන සිනමාකරුවෙක් ලෙස මොන අවදානම තිබුණත් මම දැන් චිත්‍රපටයක් නිර්මාණය කරනවා. ඒ කටයුතු සියල්ල සිදුවෙන්නේ සෞඛ්‍ය අංශ නීතී රීතිවලට පූර්ණව අනුගත වෙමින්. දර්ශන සිදු කරන තැන් විෂබීජහරණය කර, මුඛ ආවරණ පැලඳ, විෂබීජ නාශක පරිහරණය කරමින් වාහනවල සීමිත පිරිසක් මීටරේ දුර තබාගෙන ප්‍රවාහන පහසුකම් සපයමින් තමයි වැඩ කටයුතු කරන්නේ.

මම අපේ ක්ෂේත්‍රයේ සෑම ශිල්පියෙක් හා ශිල්පිනියකගෙන්ම ඉල්ලා සිටින්නේ රජය කියන නිසාම නෙමෙයි, තමන් ආරක්ෂා වෙන ගමන් අනිත් අයගේ ආරක්ෂාව ගැනත් හිතලා සෞඛ්‍ය පිළිවෙත් අනුව වැඩ කරන්න කියලයි.

 

අප කටයුතු කරන්නෙ වගකීම් සහිත පුරවැසියන් විදිහට

- නාලන් මෙන්ඩිස්

 

මේ මොහොතේ රසිකයන්ට නිර්මාණ කෘතියක් විඳින්න ඇති එකම අවකාශය හැදෙන්නෙ රූපවාහිනිය එක්ක විතරයි. අප නිර්මාණ කරන්නේ ඒ කොටු වුණු මිනිස්සු වෙනුවෙන්. කලාකරුවන්ට වැඩ කරන්න නිදහස තිබිය යුතු වූවත් මේ තත්ත්වය එක්ක අප ප්‍රධාන කොටම ඒ සෞඛ්‍ය නීති රිතීන්වලට අනුගත විය යුතුයි. මාස්ක් දාගෙන, සැරින් සැරේ අත් සේදිම අපහසුවක් තමයි. නිර්මාණකරුවෝ විදිහට පුද්ගල ආශ්‍රයකින් තොරව වැඩ කිරීමත් ඒ වගේම අමාරුයි. ඒත් මේ මොහොත තුළ අප එය පිළිගත යුතුයි. ඒ නිසා පුළුවන් උපරිමයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නීති මාලාවට අනුව රූගත කිරීම් කරනවා.

රංගන ශිල්පින්ගෙන් සියයට 90ක් පමණ එන්නේ තමන්ගෙ පෞද්ගලික වාහනවලින්. ඉතිරි අයට සෞඛ්‍යාරක්ෂිත ප්‍රවාහන පහසුකම් සපයනවා. කට්ටියම ඉන්නේ එකම ලොජ් එකක. එතන විෂබීජහරණය කරනවා. මේකප් බ්‍රෂ් එකේ සිට ස්පොන්ච් එක පවා එක්කෙනෙක්ට එක ගානෙ තමයි භාවිත කරන්නෙ.

අපේ නිර්මාණයේ රූගත කිරීම් සිදු කරන ප්‍රදේශවල ලොකු අවදානමක් නැහැ. තව කොහෙන් හරි මෙහෙම දෙයක් වාර්තා වුණොත් අපිට මේක නවත්තන්න වෙනවා. දැනට විශේෂ අවසරය දීලා තියෙන්නෙ විකාශනය වන නාට්‍ය ටික සම්පූර්ණ කරන්න විතරයි. ඒ වගකීම අප දන්නවා. අප කටයුතු කරන්නෙ වගකීම් සහිත පුරවැසියන් විදිහට.

මේ ක්‍රමය යාන්ත්‍රික වූවත් වගකීමෙන් කළමනාකරණය කළ යුතුයි...

- දුලීකා මාරපන

 

අපි මේ අවස්ථාව හසුරුවා ගන්නේ කලාකරුවො විදිහට. ලෝකයම සමස්ත සමාජයම අර්බුදයෙන් අර්බුදයට ගිය වෙලාවක්. මේ වගේ වකවානුවක අප නිර්මාණ කටයුතු කළ යුත්තේ පවතින යථාර්ථය පිළිඅරන්.

රජය නිර්මාණ කටයුතු සඳහා අවකාශ නිර්මාණය කර දුන්නා. ඔවුන් සෞඛ්‍ය අංශ උපදෙස් මත නිරෝධායන නීති මාලාවක් ගෙනාවා. ඒ නීති ගෙනාව මොහොතෙම අප කළේ කණ්ඩායමේ අඩක්ම අඩු කිරීම. අපි රූගත කරන ප්‍රදේශය, පසුතලය ගැන අපි ඒ ප්‍රදේශයේ පී.එච්.අයිට මුලින්ම දැනුම් දෙනවා. යන පිරිස ගැන කියනවා. ෂූටිං ෂෙඩූල් එක දෙනවා. එතකොට පී.එච්.අයි දවසකට ඔහුට පහසු වෙලාවක දෙතුන් වරක් අපේ කටයුතු නිරීක්ෂණය කරනවා.

කණ්ඩායම හැසිරෙන්නේ දැඩි වගකීමෙන්. පැය බාගෙන් බාගෙට සැනිටයිස් කරනවා. කූල් දෙන්නෙ නෑ, ඉඟුරු කොත්තමල්ලි තමයි හැමෝටම. කෑම ගැනත් කල්පනා කරනවා. අපි ඔවුන්ට දෙන්නෙ කෑම පාර්සල්. ආර්ටිස්ට්ලා වැඩ කරන්නේ වගකීමෙන්. ඔවුන් යන්නෙ එන්නේ පෞද්ගලික වාහනවලින්. ප්‍රඩක්ෂන් එකට කෘ කැබ් තුනක් තිබෙනවා. ප්‍රවාහන කටයුත්තෙ සිට සියල්ල ආරක්ෂිතයි. රූ ගත කිරීම් කරන්නෙ සති දෙකෙන් දෙකට. දර්ශන තලයට ආවට පස්සේ කිසිම කෙනකුට ඉන් පිටවන්න බෑ. සති දෙක ඉවර වෙලා ගෙදර ගිහින් සති දෙකක් ඉඳලා තමයි නැවත රූගත කිරීම් පටන් ගන්නේ.

ෂූටින් ඉවර වුණාම පැදුරු පාටි නෑ, සුහද හමු නෑ. හරිම යාන්ත්‍රිකයි තමයි. නමුත් විශේෂයෙන්ම කලාකාරයෝ හැටියට මේ අවස්ථාව අපි වගකීමෙන් කළමනාකරණය කිරීම කළ යුතුයි.

Comments