සිංහල සිනමාවේ තරුණයා: අමරසිරි කලංසූරිය | සිළුමිණ

සිංහල සිනමාවේ තරුණයා: අමරසිරි කලංසූරිය

අසූ හැවිරිදි තරුණයෙක් කොටුගොඩ “මිලේනියම්සිටි“ හී අංක විස්ස දරන නිවසේ පදිංචිව සිටී. ඔහු සෑම දිනම උදෑසන 4.30 ට අවදිවෙයි. මුළුතැන්ගෙට යන හෙතෙම හීටරයෙන් වතුර උණුකර ගෙන තේ එකක් හදා ගනී. තව තේ එකක් සාදා උණුවතුර ප්ලාස් එකට දමා බිරිඳ නැගිටින තෙක් පොතක් බැලීම පටන් ගනි.

උදේ 5.30 ට පමණ පසු බිරිඳ අවදිව උණු තේ එක බී මුළුතැන්ගෙට ගොස් සැමියා උදේට කෑමට කැමති කිරිබත් හා කට්ට සම්බෝලය සූදානම් කරන්නීය. ඒ අතර මුරුංගා කොළ සහිත කැකුළු හාල් කැඳ කෝප්පයක් ඇගේ අතින් පිළියෙල වී සැමියා අතට එන්නීය.

සැමියා උදෑසන පොතක් බලයි. බිරිඳ ඒ අසළටවිත් සැමියා කියවන පොත කුමක්දැයි බැලුවාය.

“ඔයා උපන්දා සිට“ පොත කීපවතාවක්ම කියෙව්ව නේ ද?“

“වික්‍රමසිංහ මහත්තයාගේ මේ පොතේ ඕනෑම පිටුවක් පෙරළලා කියවන්න පුළුවන්. ඒ තරම්ම රසවත්.“

“ඔයා හරි, මම ත් කීපවතාවක් “උපන්දා සිට“ පොත කියෙව්වා.

මේ අසූ හැවිරිදි තරුණයා අමරසිරි කලංසූරිය නම් විශිෂ්ට රංගවේදියාගේ ගත කරන ජීවිතයයි. ඔහු තම බිරිඳ අජන්තාවන් සමඟ මුනුපුරු මිනිපිරියන්ගේ ආදරය ලබමින් සැහැල්ලු ජීවිතයක් ගත කරති.

පොතපත කියවීම, රූපවාහිනියේ ප්‍රවෘත්ති පමණක් නැරඹීම හා විශ්ව සම්භාව්‍ය සිනමා කෘතිවල DVD නරඹමින් හෙතෙම කාලය ගත කරයි. “ඔබගේ පසුගිය ජීවිතය දෙස ආපසු ආවර්ජනය කළොත්“ වසර 50 කට වැඩි මිතුරකු වූ මෙම ලියුම්කරු කලංසූරියගෙන් ඇසූ විට එකවිටම කීවේ “ඔබ මා ගැන දන්නා තරම් දේවල් මමවත් දන්නේ නෑ“ යයි කලංසූරිය විහිළුවක් කළේය.

ජීවිතයේ කටුක අත්දැකීම් ලබා පදම්ව ජීවිතය ජයගත් මිනිසුන් අතරින් කෙනෙකි කලංසූරිය.

“පැපොල් හා දෙල් තම්බා කමින්, කරත්තයක් ගෙයක් කරගෙන ජීවත් වූ කොල්ලෙකු ගැන ඔබ අසා තිබුණා ද? ඒ කොල්ලා මම. පුංචි කාලේ මමත්, අයියත්, මල්ලිලා දෙන්නත් වින්ඳ අප්‍රමාණ දුක් කන්දරාව ගැන අද ආපසු හැරී බලන කොට පුදුම හිතෙනවා. ඒත් ජීවිතය හරිම රසවත්.“ අසූ හැවිරිදි කලංසූරිය අදත් ආඩම්බරයෙන් මතක් කරයි.

අමරසිරි කලංසූරිය 1940 සැප්තැම්බර් 20 වෙනිදා දකුණු පළාතේ මීපාවල නම් ගමේ උපන්නේ ප්‍රැන්සිස් අප්පුහාමිට හා බංගමගෙදර පොඩිහාමිනේට දාව දෙවෙනි දරුවා ලෙසය. ඔහුගේ වැඩිමහල් අයියා නිශ්ශංක ය. ඔවුන්ට බාල පද්මසේන හා ආරියපාල නම් සොහොයුරෝ දෙදෙනෙක් ද වූහ.

“මගේ ජීවිත කතාව හරියට චිත්‍රපටයක් වගෙ. වරෙක තිත්තයි; වරෙක කටුකයි; වරෙක මිහිරියි; මගේ තාත්තා ගමේ ඉඳල බර කරත්තයකින් භව බෝග රැස් කරගෙන ඒවා විකුණන්න සබරගමු පළාතේ බිබිල, මහියංගනය ආදි අති දුෂ්කර පළාත්වල කරක් ගහල මහනුවර බහිරව කන්දට ඇවිල්ලා වෙළඳාම් කරන කොට තමයි අම්මාව හමුවෙලා තියෙන්නේ. ඊට පස්සේ බහිරව කන්දේ පැලක් අටවගෙන ජීවත් වෙලා තියෙන්නේ. අපි පුංචි හතරදෙනා සමඟ ආදරෙන් හිටි කාලෙම අම්මා මිය ගියේ වැව් මාළු සමඟ බත් කනකොට කටුවක් උගුරේ හිර වීමෙන්. පුංචි වියේ සිටි අපි හතර දෙනාගේ ජීවිතවලට කණ කොකා හැඬුවේ ඊට පස්සේ. ටික කලකින් තාත්තා පුංචි අම්මා කෙනෙකු කැඳවා ගෙන ආවා. කරුණාවතී නම් ඇය තම දරුවන්ට මෙන් අපිව හොඳින් බලා ගත්තා. ඔවුන්ට දරුවන් තිදෙනෙකු ලැබූ පසු අයියායි මමයි මල්ලිලායි තනියම ජීවත් වෙන්න හිතුවා.“

කිරිබත්කුඹුර ශ්‍රී ස්වර්ණජෝති විද්‍යාලය, ශාන්ත ක්‍රිස්ටෝපර් විද්‍යාලය, මහනුවර ධර්මරාජ විද්‍යාලය කලංසූරිය ඉගෙන ගත් පාසල් ය.

“හිනාවෙන කෙනෙකු අඬනවාට වඩා අඬන කෙනෙකු හිනාවෙන කොට හරිම සුන්දරයි කියලා මම හිතන්නෙ. මමත් අඬන ගමන් හිනාවුණු කෙනෙක්. ධර්මරාජයේ ඉගෙනගන්න කාලේ මං දක්ෂ ක්‍රීඩකයෙක්. ඒ කාලේ පාන්දර හතරට අවදිවන මම හැතැප්ම 10 ක් පමණ විතර දුවනවා. මලල ක්‍රීඩාවලින් (මීටර් 800) ධර්මරාජයේ වාර්තාවක් පිහිටෙව්වේ මේ නිසා වෙන්න ඇති. අන්තර් විද්‍යාලයීය ක්‍රීඩා තරගවලදි මම දෙවැනියා වුණා. ධර්මරාජයේ බොක්සිං ක්‍රීඩාවට මම වර්ණ ලබා ගත්තා.“කලංසූරිය අතීතයට යොමු වෙමින් කීවේය.

කලංසූරිය සමඟ ධර්මරාජයේ එකම පන්තියේ ඉගෙනගත් මිතුරන් අතර ධර්මසේන පතිරාජ (චිත්‍රපට අධ්‍යක්ෂ), දයා තෙන්නකෝන් (රංගවේදී), කේ.ඩී.කේ. ධර්මවර්ධන (ගීත රචක) පී.බී. ඉලන්ගසිංහ (ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි) ලලිත් හීන්ගම (පරිපාලන නිලධාරි) ද වෙයි.

තම ජීවිතයේ කටුක අත්දැකීමක් තවදුරටත් ඔහු විස්තර කළේ මෙසේ ය.

“මගේ අම්මා මිය ගිය අලුත අපි ජීවත් වුණු පන්සල් වත්තේ පුංචි නිවසින් නොදරුවන් වූ අපව හිටි හැටියේ එළවා දැම්මා. ගෙවල් කුලී නොගෙවීම නිසා ප්‍රසිද්ධියේ අණ බෙර ගසමින් අපව එළවා දැම්මා කීවොත් ඔබ එය පිළිගන්නවා ද? මමත් සහෝදරයන් තිදෙනාත් ජීවත් වුණේ ඉවතලූ කරත්තයක් නිවසක් ලෙස තාවකාලිකව හදා ගැනීමෙන්. පැපොල් හා දෙල් තම්බා කමින් අව්ව වැස්ස, සුළඟ, උණුසුම මේ කොයිවාටත් ඔරොත්තු දෙමින්. කිරිබත්කුඹුර ගමේ පොළේ විකිණීමට තිබූ දෙල්වලින් ගෙඩියක් හොරෙන් අරං තම්බා කමින් බඩගින්න නිවා ගත්ත අවස්ථා තිබුණා.“

කලංසූරිය වරෙක මයියංගන පැත්තේ ගල් කැඩූ අතර මහනුවර “ලියෝන් කැෆේ“ අවන්හලේ බත් එතූ බව ද නිහතමානීව සඳහන් කළේය. වැඩිකල් ගියේ නැත.

වයස අවුරුදු 18 දී දෙවෙනි ස්වේච්ඡා සිංහ රෙජිමේන්තුවේ සෙබළෙකු ලෙස සේවය කර ඇත. හමුදාවේ සිටියදී තමාට ගුරු උපදේශ දුන් බ්‍රිගේඩියර් පානබොක්කේ, මේජර් කුලසිංහ, මේජර් පලීල්, කර්නල් පැල්පොල, සාජන් මේජර් යාපා, මේජර් ලංකාතිලක, කෝප්‍රල් ප්‍රේමචන්ද්‍ර කලංසූරිය ආදරෙන් අදත් සිහිපත් කරයි.

සිනමාවට ආදරය කළේ පතිරාජ, දයා, ඉලංගසිංහ ආදින් සමඟ චිත්‍රපට බැලීමට ගිය ඔහුගේ ප්‍රියතම නළුවන් වී ඇත්තේ ෂාං පොල් බෙල්මෙන්දෝ, ලෝරන්ස් ඔලිවර්, චාල්ස් බ්‍රොන්සන්, ක්ලින්ට් ඊස්ටවුඩ්, සිඩ්නි පොයිටියර් ඇන්තනි ක්වීන් ආදින් ය.

මහනුවර මල්ලිකා ස්ටුඩියෝවේ ඔහු සේවය කරන 1966 වසරේ මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ ශිෂ්‍යයකු වූ ඡායාරූප සංගමයේ සාමාජික තරුණයෙක් නිතර එහි ඇවිත් ඇත. ඔහු මිලිමීටර් 8 ප්‍රමාණයේ චිත්‍රපටයක් නිපදවීමට සැලසුම් කර තිබූ නිසා එහි ප්‍රධාන නළුවාට කලංසූරිය තෝරා ගත්තේය. ඒ කලංසූරියගේ මුල් රඟපෑම ය. “රැයත් දවාලත්“ එම චිත්‍රපටයේ ප්‍රධාන නිළිය ලෙස රඟපෑවේ අනෝමා වත්තලදෙණියයි. ඇය පසුව අධ්‍යක්ෂ රංජිත් පෙරේරා සමඟ විවාහ විය. ඇය රූපවාහිනි නිවේදිකාවක් ද වූවාය.

සුගතපාල සෙනරත් යාපා ගේ “හන්තානේ කතාව“ චිත්‍රපටයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු ලෙස රඟපෑමට අවස්ථාව ලැබුණේ ධර්මසේන පතිරාජගේ රෙකමදෝරුවෙනි. මේ චිත්‍රපටයේ රඟපෑමේදී තමාගේ ජීවිතයේ හමුවූ මනුස්සකම අතින් උසස් ම පුද්ගලයා වූ විජය කුමාරතුංග හමු වූ බව කලංසූරිය කියයි.

සියලු දුක් කටුක අත්දැකීම්වලට තිත තබමින් ඔහු මහනුවර නගරයේ ව්‍යාපාරයක් ආරම්භ කර ඇත්තේ 1970 වසරේදී ය. එනම් පරණ බෙල් විකිණීමය. එයින් ලාභ ලැබූ ඔහු මහනුවර නගරයේ “මයි ඉන්“ නමින් පුංචි ඇඳුම් මහන ආයතනයක් පටන් ගත්තේ ය.

ඒ අතර ඔහු ප්‍රතිභාපූර්ණ රංගවේදියකු ලෙස පතිරාජගේ “අහස් ගව්ව“, ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ අක්කර පහ, රංජිත් ලාල්ගේ නිම්වළල්ල චිත්‍රපටවල විවිධ චරිත රඟපෑවේය. තරංගා - බඹරු ඇවිත්, අපේක්ෂා, අනූපමා, පොඩි මල්ලී, කාංචනා, පරිත්‍යාග, සිංහබාහු, වජිරා, සක්විති සුවය, යස ඉසුරු, ඩොරින්ගේ සයනය, පූජා, පොඩි විජේ, අහස් මාළිගා, සාගරයක් මැද චිත්‍රපට ඔහු රඟපෑ චිත්‍රපට අතර කිහිපයකි. 1974 ‘අහස් ගව්ව‘ හි රඟපෑමට විචාරක සම්මාන දිනූ ඔහු 1982 හොඳම සහාය නළුවා ලෙස සරසවි සම්මානයත්, 1986 හොඳම සහාය නළුවා ලෙස “පූජා“ චිත්‍රපටය සරසවි හා ජනාධිපති සම්මාන ඇතුළු තවත් සම්මාන කිහිපයක් ලබාගෙන ඇත.

කලංසූරිය ටෙලිනාට්‍යය නළුවකු ලෙස දොරට වඩින්නේ මුල්ම රූපවාහිනි ටෙලි නාට්‍යය වූ නිහාල්සිංහයන්ගේ ‘දිමුතු මුතු‘ නිර්මාණයෙනි. වේදිකා නාට්‍ය නළුවකු වූ ‘පොඩි විජේ‘ නාට්‍යයේ රඟපාමින් නිෂ්පාදනය කළේය.

“මගේ චිත්‍රපට ජීවිතයේ අමතක නොවන පෙම්වතාගේ චරිතය රඟපෑවේ ප්‍රේමරත්නයන්ගේ “අපේක්ෂා“ චිත්‍රපටයේ. මගේ පෙම්වතී ලෙස රඟපෑවේ මාලිනි ෆොන්සේකා. මා රඟපෑ පෙම්වතා “සාම්ප්‍රදායික පෙම්වතාට“ වඩා වෙනස්. මේ චිත්‍රපටයේ දුෂ්ට චරිතය රඟපෑවේ මියගිය රන්ජන් මෙන්ඩිස්. මම ඔහු සමඟ එක දර්ශනයක සටන් කරන අවස්ථාවක් තිබුණා. වෙන චිත්‍රපට පෙම්වතා වීරයා වී දුෂ්ටයා පරාජය කළත්, මම සටනින් වෙහෙසට පත්ව අසල තිබෙන ගලක් උස්සාගෙන දුෂ්ටයාට අභියෝග කරනවා. රන්ජන් වගේ දඩබ්බර මිනිහෙක් එක්ක මට ගහගන්න බැහැ. මේක කොතරම් ස්වභාවික දර්ශනයක් ද? මගේ ප්‍රියතම නිළියක් වන මාලිනි සමඟ ප්‍රධාන චරිතයක් රඟපෑමේදී ඇගෙන් ලැබූ සහාය අගය කරනවා. එක දර්ශනයක මට මාලිනිව බදා ගන්න තිබුණා. මම ලැජ්ජාවෙන් බලා හිටිය. මාලිනිට තියෙන ගෞරවය නිසා. මාලිනි මාව ධෛර්ය කළ නිසා මම රඟපෑවේ.

“පූජා“ චිත්‍රපටයේ මම හිරගෙදර අලුගෝසුවාගේ පුතා. මිනීමැරුමක් නිසා මා එල්ලා මරන්න භාර වෙන්නේ පියාට. මේ අවස්ථාව රූපගත කළේත් බෝගම්බර හිරගෙදර මිනිස්සු එල්ලා මරණ ඇත්තම තැන. මම බියෙන් හා තිගැස්මෙන් දහඩිය දමා ඒ අවස්ථාවට මුහුණ දෙනවා. අලුගෝසුවා ලෙස රඟපෑ ජෝ මහත්තයා මුහුණින් ප්‍රකට කළ දරු සෙනෙහස මට අදත් මැවී පෙනෙනවා. මම මේ තරම් සිත සසළ කළ, කම්පනයකින් රඟපෑමක් මීට පෙර කරලා නෑ.

මගේ රංගනයට එම වසරේ හොඳම සහාය නළුවාගේ සම්මානයත්, පියා ලෙස රඟපෑ ජෝ මහත්තයාත් හොඳම නළුවා ලෙසත් එකම වේදිකාවේ සරසවි සම්මාන ලබන විටත් අර තිගැස්ම, කම්පනය මගේ මුහුණේ රැඳී තිබූ බව බොහෝ දෙනෙක් කීවා.“ කලංසූරිය කීවේ ය.

තමාට ඔළුව පීරන්න කණ්ණාඩියක්වත් නොතිබූ කාලේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ රිලේ කණ්ඩායමට දුවල රු. 50 ක් ලැබුණු දවස කිසිදා අමතක නොවන බව ඔහු කිව්වේ එදා ඒ මුදල අද 25,000 ක් පමණ වටින බව අගය කරමිනි.

ධර්මරාජයේ වේගවත්ම ක්‍රීඩකයා කලංසූරිය බව ධර්මසේන පතිරාජ දැන සිටි නිසාදෝ “අහස් ගව්ව“ චිත්‍රපටයේ හොර බඩු සහිත කෑම පිඟන් පාර්සලයත් අරං වේගයෙන් කොළඹ කොටුවේ වීදි දිගේ දුවන දීර්ඝ දර්ශන පෙළක් ඇතුළත් කළ බව පැවසේ. කලංසූරිය “පොඩි විජේ“ චිත්‍රපටයේ රඟපෑ ප්‍රධාන චරිතය රඟපාන විට ඔහුගේ මුහුණින් පිළිබිඹු වූ දරුණු කෝපය සහිත මුහුණ දැක පෙම්වතිය ලෙස රඟපෑ සබීතා පෙරේරා පවා හොඳටම බිය වී තිබූ බව ඇය අපට කීවාය.

තමාට “අපේක්ෂා“ චිත්‍රපටයේ රඟපෑමට ලැබුණ රන්ජන් මෙන්ඩිස් (දුෂ්ටයා) නම් දක්ෂ කාරුණික නවක නළුවා ඒ කාලයේම අකාලයේ මිය ගිය පසු කලංසූරිය ඉකි ගසා හැඬුවේය. ඒ ඔහුගේ හැටිය.

කලංසූරියට අනාගත සහකාරිය හමුවන්නේ තමාගේ “මයි ඉන්“ ඇඳුම් සාප්පුව කරන කාලයේය. දිනක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුවියන් තිදෙනෙක් මේ සාප්පුවට පැමිණියහ. ඔවුන් කලංසූරිය ලවා තමන්ගේ සමරු පොත්වල අත්සන ද ලබා පිටත්ව ගියහ. සාප්පුවේ තිබූ අධික වැඩ අවසන් කළ ඔහුට දක්නට ලැබුණේ අමතකව ගොස් තිබූ සමරු පොතකි. ඒ අවස්ථාව ඔහු ම විස්තර කළේ මෙසේ ය.

“අනුමානයක් නෑ ඒ එදා පැමිණි මා වඩාත් සුන්දරත්වයෙන් දුටු තරුණියගේ සමරු පොත. සාප්පුවේ වැඩ ඉවරවෙලා මම ඇගේ සමරු පොත කියෙව්වා. ඇගේ නම අජන්තා තලතා කුමාරි ඒකනායක. ඇගේ සමරු පොතේ මම කිසිවක් ලියල තිබුණේ නැති නිසා මම මෙහෙම ලිව්වා

“ඔයා මට හමු වුණේ එක දවසයි. එදා අපි කතා කළ දේ ඔබටත් මතක ඇති. අපි අතර ඇති වූ මේ යාළුකම සදාකාලිකයි.“

ඇය පැමිණ සමරු පොත ගෙන ගියේ ආදරයේ මිහිර ඉතිරි කරලා. ඇය ගම්පොල කන්‍යාරාමයේත්, පේරාදෙණියේ පුෂ්පදාන විද්‍යාලයේත් ඉගෙන සරසවි වරම් ලැබූ ශිෂ්‍යාවක්. අපේ ආදරයට ආ බාධක, අවහිරතා මැද 1972 වසරේ අපි විවාහ වුණා. ඒ ආදරය සෙනෙහස අද දක්වාම තියෙනවා. මට ලැබුණු මාතු භාර්යාවක් ඇය.“ කලංසූරිය කීය.

කලංසූරිය අජන්තා යුවළට පුතෙකු හා දූවරු දෙදෙනකු වෙති. ලොකු පුතා දුමින්ද ව්‍යාපාරිකයෙකි. ඔහුගේ බිරිඳ මානෙල්ය. ලොකු දුව මධුමතී. නංගී කුමාරිය. ඇය විවාහ වී සිටින්නේ වෛද්‍ය ධම්මික සේදර සමඟය. පොඩි දුව වින්ධ්‍යා ශ්‍රී ලංකා ගුවන් සේවයේ රැකියාවේ යෙදී සිටින්නීය.

ලොකු පුතාගේ, ලොකු දියණියගේ ද මුනුපුරු මිනිබිරියන්ගේ ආදරය ලබමින් කලංසූරිය යුවළ ජීවිතයේ සන්ධ්‍යා සමය ගත කරති. සුජිත් ලක්මාල් වීරසේකර විසින් 2015 වසරේ “දුක දිනූ දිවියක අමරණීය සැමරුම් කලං“ නමින් කෘතියක් ලියා තිබුණි. කලං ගේ ජීවිතයට ලැබුණු හොඳම සිහිවටනය එයයි.

 

(ඡායාරූප පිටපත් කිරීම ලාල් සෙනරත්)

 

Comments