විරහව මිහිරි ම ය... | සිළුමිණ

විරහව මිහිරි ම ය...

ලේඛනයේ රන්සුනු සොයා යන අපට කොහෙත්ම අමතක කරන්න බැරි කවියෙක්, නාට්‍යකරුවෙක් හා දාර්ශනිකයෙක් වෙයි. ඒ මහා කවි, දාර්ශනික විලියම් ‍ශේක්ස්පියර් ය. ශේක්ස්පියර් ලේඛනයේ රන්සුනක් නොව රන් ටැඹකි. ඔහුගේ ජීවිතයේ වන ඉතාම ක්ෂුද්‍ර දේ පවා අපට නම් රන්සුනකි.

එක් එක් ලේඛකයන් ගේ ජීවිතයේ වන යම් යම් දෑ අපට කියන්නේ ඇයි දැයි ඔබට මා ගැන ගැටලුවක් ඇති වීමට ඉඩ ඇත. ඒත් මේ හැම ලේඛන දිවියක ම ඔබට, මට ගන්නට බොහෝ දෑ තිබේ. ජීවිතයේ සියලු අත්දැකීම් එක් අයකුට ලබා ගත හැකි නොවේ. එයට එක් ජීවිත කාලයක් නොව මුළු සංසාරය ම වුව මදි ය. ඒ නිසා ම අපට අත්දැකීම් ගන්නට අනෙක් අයගේ ජීවිත වලට එබෙන්නට ම සිදු වෙනවා ම ය. වරදවා නොසිතන්න. මේවා ඕපාදූප නොවේ. තැන තැන වැටී ඇති රන්සුනු ය. මේවා අප අහුලා ගත යුතු ම ය; ඒ අපේ ජීවිත ලියකම් කර ගන්නට ය.

දිලිසෙන සියල්ල රත්තරන් නොවේ යැයි කියා ගමේ ගොඩේ අපිට දෙමවුපියන්, වැඩිහිටියන් කියන්නේ නිකම් ම නොවේ ය. අප දන්නා බොහෝ දේවල් ආලේපිත ය. ඒ ආලේපිත බව කොතෙක් ද යත් අපට දියෙන් කිර වෙන්කර ගත නොහැකි සේ ය. ඒ නිසාම පුහු ආටෝපයට රැවටෙන්නට එපා යැයි අපි පුංචි සන්දියේ ම තරයේ සිතට ගන්නෙමු. ගමේ ගොඩේ ඒ කතාව ආවේ ශේක්ස්පියර්ගේ කතාවෙන්දැයි කීමට ඉක්මන් නොවුණත් ලෝකය පුරා ඒ කතාව වේගයෙන් පැතිරුණේ ශේක්ස්පියර් නිසා ය. Every thing that glitters is not gold කියා ශේක්ස්පියර් කියන්නේ ' වැනීසියේ වෙළෙන්දා' නාට්‍යයේ ය. ගමේ ගොඩේ කතාවට රත්තරන් වටිනාකමක් එක් වන්නේ ලෝක පූජිත ශේක්ස්පියර් වැන්නෙක් එවැනි කතාවක් කී විට ය.

ප්‍රතිභාව, වාසනාව ගොඩනැ‍ගෙන්නේ හෙමිහිට ය. ඒත් එය සර්වකාලීන ය; සර්වභෞමික ය. ඒ ප්‍රතිභාව මුළු මහත් මිනිස් වර්ගයාම ආදරයෙන්, ගෞරවයෙන් රැක ගන්නා ධනයක් වන්නේ ඒ ප්‍රතිභාව විසින් අත්පත් කරදෙන දේ නිසා ය. ශේක්ස්පියර් වැන්නන් බිහි වන්නේ එසේය.

ප්‍රතිභාව මතුවන්නේ කොතනකින්දැයි කියා කිව නොහැකි වුවත් එයට බලපෑම් කරන්නේ ගිනිය නොහැකි, සිතිය නොහැකි තරම් සරල හා සූක්ෂ්ම දෙයකැයි සිතේ. ඔබ විඳ තිබෙනවා ද දෙහි මලේ සුගන්ධය. දෙහි තිබෙන්නේ යුෂ ගන්නට මිසක් මල් පුදන්නට නොවේ යැයි ඔබ කියන්නට ඉඩ ඇත. එහෙත් යුෂ පමණක්ම ගැන සිතන බහුතරය අතරේ දෙහි මලේ සුන්දරත්වය දකින එක් දෙනෙතක් අයිති හදවතකට ප්‍රතිභාව නෑකම් කියන්නේ ය. ඔබ දෙහි මලේ සුවඳ විඳ තිබේ දැයි මා ඇසුවොත්... ඔබ මොහොතක් කල්පනා කර බලාවි. අප කොතෙක් සුන්දර මල් සිඹින්නේ ද? එහි මුදු සුමුදු පෙති අතගාන්නේ ද? එහි සියුම් බව විඳින්නේ ද? එහෙත් මේ මුදු සුමුදු මල් වලට වඩා දෙහි මල වෙනස් බව දන්නේ ඔබ ඒ ගැන අවබෝධයෙන් සිටියා නම් පමණී. දෙහි මල් කැකුළු වල සුවඳ ළංවී උරා බොන්නට බැරි බව දන්නවා ද? එවා දෙහි ගස වටාත් අවටත් වෙළී පවතී. ළං ව පිච්ච මල් සුවඳ විඳින්නා සේ දෙහි මල් වල සුවඳ විඳින්නට නොහැකි බව මා දැන ගත්තේ කිහිපවාරයක් උත්සාහ කිරීමෙන් අනතුරු ව ය. අනතුරුව මම මඳක් ඈතින් සිටගෙන දෙහි මලේ සුවඳ විඳින්නට පෙලඹුණෙමි. අහා.. ඒ මනරම් සුවඳ... සුවඳ විලවුන්වලට ගත නොහැකි වූ ඒ අනර්ඝ සුවඳ මට දැනෙන්නට පටන් ගත්තේ මඳක් ඈතින් සිට මා එය විඳි විට ය.

එනිසා ම ප්‍රතිභාව විසින් අපූර්ව කරන ලද සමහර සාහිත්‍ය කෘති කියවන විට මට දැනෙන්නේ; මතක් වෙන්නේ දෙහි මලේ සුවඳ ය. ඒවා විඳිය යුත්තේ ද මඳක් ඈතින් සිටගෙනය; සරල ව ම කියන්නේ නම් කාලයේ විනිශ්චයට ඉඩදීමෙන් අනතුරු ව ය. කලා කෘතියකට නිසි වටිනාකම, ඇගයීම, විනිශ්චය ලැබෙන්නේත් එය නිවැරදි ව පොළෝතලයේ ස්පර්ශ වන්නේත් කාලයාගේ ඇවෑමෙන් ය.

මා මෙසේ කියන විට ඔබට සම්මාන ගැන මතක් වනු නිසැක ය. සම්මාන ලැබුණු සමහර කෘති ඒ වසරේ කියවා කාලයේ විනිශ්චයෙන් අසරණ ව මකුළු දැල් බැඳී රාක්කවල තිබියදී; සම්මාන නොලැබුණු සමහර කෘති කාලය විසින් ඔසවා තබන්නේ මේ නිසා ය.

කාලයට බොහෝ දෑ කළ හැකිය. ප්‍රේමය, ආදරය, රතිය, ශෘංගාරය පමණක් නොව සමහර මිහිරි හා අමිහිරි මතක ද මකා හළ හැකිය. සාහිත්‍ය නිර්මාණවලට කාලය පිළිබඳ මතකය නිර්ව්‍යාජ වන්නේ ඒ නිසා ය. ප්‍රතිභාව විසින් කාලයට දෙන අරුත සාහිත්‍ය නිර්මාණ ඔස්සේ හදවත පොපියවන්නේ ය.

එනිසා ම කලාවේ, නිර්මාණකරණයේ නිරත වන්නන්ට මහත් වූ වගකීමක් ති‍බේ. ඒ මිනිස් හද සන්තානයට නින්දා ගෙනෙන නිර්මාණ ප්‍රතිභාවෙන් දුරස්ථදැයි සිතීම ය. ප්‍රතිභාව වූ කලී හදවත ආමන්ත්‍රණය කරන්නක් බැව් සිතෙන්නේ ඒ නිසා ය. හොඳ ම ගීත ශෝක ගීත යැයි බොහෝ අය කියන්නේ ඒ නිසා ය. ස්වකීය නිදහසට නොව ස්වකීය වර්ගයාගේ නිදහස සඳහා සටන් කරන්නන් කෙරෙහි මානව වර්ගයාගේ මහත් වූ ආදරයක් ඇත. ගෝකි හි දී මිය ගිය ලෙනින්ගේ දේහය මොස්කොව් නුවර වෙත රැගෙන එද්දී පාර දිගට රැස් කකා වුන් මහ සෙනඟ හඬා වැලපුණේ මේ මානව දයාව නිසා ය. මානව දයාව යනු ප්‍රතිභාවේ ම කොටසක් වන්නේ එපරිද්දෙනි.

මානව දයාව විසින් ඇති කරන ප්‍රතිභාව හෘදය සංවේදී ආමන්ත්‍රණයක් ව ශේක්ස්පියර් වැන්නන් කලාවට දායාද කරද්දී ලෙනින් වැන්නන් මානව වර්ගයාගේ නිදහස වෙනුවෙන් බිහිකරන්නේ එබැවිනි. ලෙනින් ගේ අම්මා දස දහසක් අම්මලා වන්නේ ඒ නිසා ය. ඒ අම්මා බිහි කළ මැක්සිම් ගෝර්කිට ලොවක් ආදරය කරන්නේ ඒ නිසා ය.

Comments