යකුන්ගෙන් වැඩගෙන මිනිසුන්ට පිහිට වූ කොණ්ඩදෙනියෙ හාමුදුරුවෝ | සිළුමිණ

යකුන්ගෙන් වැඩගෙන මිනිසුන්ට පිහිට වූ කොණ්ඩදෙනියෙ හාමුදුරුවෝ

කොණ්ඩදෙනිය පළාතට යාමට යාපහුවේ සිට සැතපුම් 2 ක් 3 ක් පමණ ගමන් කරත්ම මා ඉදිරියේ නතර වූයේ ජිප් රථයකි. හිමි නමක් ඉදිරිපස දොරෙන් එළියට බැස්සේය.

“මුන්නැහේ මේ කොහේ යන ගමන්ද?“

“මම යන්නෙ කොණ්ඩ දෙණියේ පන්සලට නායක හාමුදුරුවො ගැන තොරතුරු හොයා දැන ගන්න.“

“නායක හාමුදුරුවො අපවත් වෙලා. මම තමයි නායක හාමුදුරුවන්ගේ මුල්ම ගෝලයා. මගේ නම කොණ්ඩදෙණියෙ සීවලී. මම මේ හදිසි ගමනක් යන ගමන්. දිගටම පන්සලට යන්න. පන්සලේ ඇබිත්තයෙක් ඇති. එයාට කියන්න මම අතරමඟදි හමුවුණා කියලා.“

මම කොණ්ඩදෙණියේ පන්සලට ගියෙමි. සීවලී හාමුදුරුවෝ ටික වේලාවකින් එහි වැඩම කළහ. “අපේ නායක හාමුදුරුවො මුළු රටම හොල්ලපු කෙනෙක්. දැන් නායක හාමුදුරුවන්ගෙ තොරතුරු හරියටම දන්නෙ මම විතරයි.

කොණ්ඩදෙණියේ සීලරතන හිමිගේ පුවත් එකින් එක හිමියන් විසින් පෙළ ගැස්වීය.

වෙහෙරගල පන්සල මහව යාපහුව පළාතේ නමගිය පූජ්‍ය ස්ථානයකි. පසල්ලේගල ගුණාංග හිමියන් නායකත්වය දැරූ මේ පන්සලේ කරම්බාගේ සීලරතන පොඩි හාමුදුරුවන් ද වැඩ වාසය කළහ. නායක හාමුදුරුවන් වහන්සේ ගම්වාසීන් සමඟ එක්ව ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකිරීමට වෙහෙස ගත්තත් සීල රතන හිමි වැඩි කාලයක් මිඩංගු කළේ පන්සල සතුව පැවති පරම්පරාගත පැවත එන කිසිවකුත් නොදන්නා, කිසිවකුටත් වටිනාකම් නොපෙනෙන පැරණි යන්ත්‍ර මන්ත්‍ර ලියූ පුස්කොළ පොත් කියවීමටය. නායක හාමුදුරුවන් පොඩි හාමුදුරුවන්ගේ මේ පැවැත්මට වැඩි කැමැත්තක් නොවීය.

“මොකද තමුන්නැහේ මේ කරන වැඩේ තේරුම? උදේ ඉඳන් රෑ ජාමෙ වෙනකම් බණ පොත් කියවනව නෙමෙයි. යන්ත්‍ර මන්ත්‍ර කටපාඩම් කරනව නේද? මම ඒ වැඩේට කැමති නෑ.“

“නායක හාමුදුරුවනේ, කාටහරි උදව්වක් කරන්න පුළුවන්නම් ඒක කරන්න කියල බුදුහාමුදුරුවො කියල තියනවනේ. මම බැලුවෙ වින්නැහියක්, හදි හූනියමක් කෙරුණ කෙනෙකුට උදව්වක්, උපකාරයක් කරන්න පරම්පරාවෙන් ලැබුණු මේ පුස්කොළ පොත් වලින් පුළුවන්ද කියල බලන්නයි.“

“තමුන්නැහේගෙ කතන්දර මට වැඩක් නෑ. අපි මුළු දවසම ගත කරන්න ඕනෑ අපේ දායකයන්ගෙ දුක සැප බලන්න. තමුසෙට තියෙන්නෙ පන්සල දියුණු කරගෙන ඉන්න එක මිසක් හදි හූනියම් යන්ත්‍ර මන්ත්‍ර ගැන හිත හිතා ඉන්න නෙමෙයි.“

සීලරතන හිමි දැඩි කනස්සල්ලට පත්විය. තමාට තම ගුරු පරම්පරාවෙන් ලද යන්ත්‍ර - මන්ත්‍ර - ගුරුකම් මගින් වඩා වැඩදායක සේවයක් සඳහා ඇති අවස්ථාවට නායක හාමුදුරුවන් අවහිර කරන බව දැනුණි.

මෙතෙක් කල් ආවාසගෙයි ඇතුළත කුටියකට වී සිටියත් සීලරතන හිමිට එය තහනම් විය. සැතපෙන්නට විවේක ගන්නට සිදුවූයේ ඇබිත්ත කොල්ලන් ලැගුම් ගන්නා ආවාස ගෙයින් පිටතවූ බූරු ඇඳකය. සීලරතන හිමිට තම නායක හාමුදුරුවන්ගෙන් ලැබෙන දුක් ගැහැට විඳ දරා ගනිමින් තමන් යා යුතු මාර්ගය කුමක්ද, කවරක්ද යන්න ගැන නිශ්චිත හැඟීමක් නොපැවතිණි. සීතලේ ගැහෙමින් නින්දට ගිය සීලරතන හිමි දුටු අපූරු සිහිනයකින් යටි සිතට අමුතු චමක්කාරයක් එක්කෙරිණ. සුදෝ සුදු ඇඳුම් ඇඳගත් සැරයටියක් ගත් වෙහෙරගල පන්සලට අමුත්තෙකු පැමිණියේය. ඔහු අත රන් කෙණ්ඩියක් දිලිසෙමින් තිබිණ. තෙවරක් පන්සල වටා පැදකුණු කොට තමා ළඟට පැමිණි එම තාපසවරයා දකුණතින් සීල රතන හිමිගේ අත අල්ලා ගත්තේය. හෙමි හෙමින් පන්සල් භූමිය පිටමං කළේය. සිදුවන්නේ කුමක්දැයි නොදැන සිටි සීල රතන හිමියන් තාපසයා සමඟ ගමන් කරන්නට විය. ගමන් මඟ අතිශය දුෂ්කර විය. මහ ගන කැලයක් මැද, කටු පඳුරු අතරින් අතු රිකිලි කඩා දමමින් සැතපුමක් පමණ දිගට ගමන් ගත් ගමන නතර වූයේ උස් කඳු මුඳුනක පිහිටි මහ ගල් කුළක් අතරිනි. එහි වූ ගල් ගෙයක් තුළ දෙදෙනා ටික වේලාවක් විඩා හැරියහ. මෙතෙක් කිසිදු කථාබහක් නොකළ තපස්වරයාගේ හඬ අවදි විය.

“මම මෙතනට ඔබ වහන්සේ එක්කරගන ආවෙ වැදගත් දෙයක් පෙන්වන්න. ඔබවහන්සේ පෙර ආත්ම ගණනක ඉඳල මහා කුසල් කරපු උත්තමයෙක්. මේ රටේ විතරක් නෙමෙයි දේශ දීපංකරයේම හොල්ලන්න පුළුවන් වීරයෙක්. ඔබවහන්සේ වෙනුවෙන් වෙන්කර ඇති මහ නිධානයක් මේ ගල් ගුහාවෙ තියනව. ඒ නිධානය මෙතෙක් කාලයක් ආරක්ෂා කරපු නාග රාජයෙක් මෙතන ඉන්නව. හරියට හෙට ඉර මුඳුන් වන විට ඒ නාගරාජයා මෙතනින් එළියට යනව. ඔබ වහන්සේ මෙතනට ඇවිත් ඒ නිධානය භාරගන්න ඕන. ඔබ වහන්සේගේ නම කල්පාන්තරයක් මේ රටේ හැමගේම මතකයට ඒවි.“දිලිසෙන ආලෝකයක් සමඟ තපස්වරයා අතුරුදහන් විය.

මෙතෙක් දුටුවේ හිතක කිසිදාක නොතිබුණු දෙයක් හෙයින් මෙහි ඇත්තක් තිබේදැයි සොයා බැලිය යුතු බව තිගැස්සී අවදි වූ සීලරතන හිමියන් සනිටුහන් කරගති. කාලය ගතවන්නේ හෙමින් යයි උන්වහන්සේට සිතිණ. වේලාසනින් දානය වැළඳූ සීලරතන හිමි ඉර මුඳුන්වන වේලාවක සිහිනෙන් දුටු ගමන් මගෙහි අපහසුවෙන් ගමන්කොට ගල් කුළ අසලට පැමිණියහ. සුදු පැහැති නයකු කැලය මැදට වී දිලිසෙන්නට විය. හිමියෝ එදෙස බලා සිටියහ. මෙතෙක් ප්‍රගුණ කළ යන්ත්‍ර මන්ත්‍ර සතු ශක්තිය උරගාබැලූ සීල රතන හිමි ඒ ගල් කුළ අසල වූ ගල්ගෙයට පිවිස, දෙබෑව තිබූ ගල් පියන් පතෙහි දොරටුවක් හැරියේය.

රනින් නිම කළ බුද්ධ ප්‍රතිමාවක්! අදහා ගත නොහැකි සතුටට පත්වූ සීලරතන හිමි තම පත්කඩය මත බුද්ධ ප්‍රතිමාව තැන්පත් කර වැඳ නමස්කාර කළේ පුස්කොළ පොත් මිටියක් සහ එයට ආසන්නයේ තිබූ රන් පාටින් දිස්වන තෙල් බෝතල් කීපයක් ද ගනිමිනි.

දෙරණ කම්පා විය. දැඩි කාෂ්ටක දේශ ගුණයක් ඇති මේ ප්‍රදේශයට අකුණ සැර පතිත වෙමින් මහ වර්ෂාවක් වසින්නට විය. ඇතුළත තවත් බොහෝ දේ තිබුණද සියල්ල පොළොවට යා කොට, මහ ගල්කුළ දෙපසකට වෙන්වී ඒ මත පතිත විය.

ගල්කුළ ඉස්මත්තේ වූ ගරාවැටුණු බුදු ගෙයි තමාට ලැබුණු නිධානය තැන්පත් කළ සීලරතන හිමියෝ කිසිත් නොදත්තකු මෙන් වෙහෙරගල පන්සලට වැඩම කළහ. දායක කාරකාදීහු රැස්ව සිටියහ. වෙහෙස මගහරවා ගත් සීලරතන හාමුදුරුවන් නායක හාමුදුරුවන්ගේ පා වැඳ, තමාට වනගත තපස් දිවියක් ගත කළ යුතු යැයි පවසා අවසර ලබා ගත්හ. පසුදා අලුයම හිරු නැගෙත්ම වෙහෙරගල පන්සෙල් සිට කොණ්ඩ දෙණිය බලා වැඩම කළේ තමන් දුටු දේ සත්‍ය දැයි කියා බලන්නටය.

එතැන අඳුරු ගල්ලෙනක් වුවද ගන රන් බුදු පිළිමයේ ප්‍රභාශ්වරය විහිදෙමින් තිබිණ. අසල තිබුණු පුස්කොළ පොත්, රන්වන් තෙල් සහිත බැඳුම්කරය එලෙසින්ම පැවතිණ. දොහොත් මුඳුන් දී එයට නමස්කාර කළ සීලරතන හිමියෝ මෙතෙක් ප්‍රගුණ කළ මන්ත්‍රවලට වඩා වැඩි යමක් මේ මහඟු නිධානයෙන් හමුවූ පුස්කොළ පොත් තුළ ඇති බව වටහා ගත්හ.

“අපූරු මන්ත්‍ර ශාස්ත්‍රයක්නේ“ හිමියෝ යළි උපතක් ලැබූහ. හඬ ගැඹුරු විය. පරම්පරාගතව පැවති යන්ත්‍ර මන්ත්‍ර පිළිවෙත් වලට වඩා එහි ආකර්ෂණීය බවක් පැවතිණ.

කල්ප කාලාන්තරයක් මුළුල්ලේ පැතූ ස්වාර්ථ පල දෙමින් පැවතිණ. මහ කැලය දෙවනත් විය. එය හූවක් දුරට පැතිරයමින් පැවතිණ. අසන්නෝ තුෂ්ණිම් භූත වූහ. මෙය තමන්ගේ හෘදස්පන්දනය අබිබවා යන අනුවේදනීයත්වයක් තමා වෙතට ළඟාවන බවක් දැනගත්හ. මෙතෙක් වනගතව තිබූ කැලයක් මැද හිමි නමක් විසින් කරනු ලබන්නේ කුමක්ද යන්න දැන ගැනීමට මහ පිරිස් කොණ්ඩදෙණියේ පරණ ගල්ගේ ඉදිරිපසට පිළිපන්හ.

“මොකද මේ මහ කණ්ඩායමක් මෙතනට වෙලා?“ ගල්ගෙය තුළ මන්ත්‍ර ජප කරමින් සිටින හාමුදුරුවන්ට පිටස්තරින් එන කලබගෑනිය මහා කරච්චලයක් ලෙස පෙනිණ. උන්වහන්සේ ගල් ගෙයින් බැහැරට වැඩියහ.

“අපේ හාමුදුරුවනේ මේ පළාත එච්චර හොඳ පැත්තක් නෙමෙයි. අපේ ගමේ කිසි කෙනෙක් මේ පළාතෙ පස් පාගන්නෙවත් නෑ. මේ මහ හොල්මන් විමානයක්. මෙතන පහු කරල කිසිම කෙනෙක් පයක් ඉස්සරහට තියන්නෙ නෑ. ඔබ වහන්සේ මෙතන ඉන්න කැමති නම් ආවාසයක් හදල දෙන්නම්“ වැසියෝ එක හඬින් කීහ.

“දායක මහත්වරු ගැන මට බොහොම සන්තෝසයි. මෙතන පුංචි පැලක් හදල දෙන්නකො. මම කිසිම දේකට බය නෑ“ හිමියන්ගේ පිළිතුර එය විය. දිනක් දෙකක් තුළ ගල්තලාව ඉදිරියේ කටු මැටි බිත්තියෙන් නිම කළ පුංචි ආවාස ගෙයක් ඉදිවිය.

ගල්ගේ තුළ මෙතෙක් තැන්පත් කර තිබූ බුද්ධ ප්‍රතිමාව ආවාස ගෙය පසෙක තැන්පත් විය. ශක්තිමත් තරුණයකු වූ හේරත් බණ්ඩා හිමිගේ ආව තේව කරුවිය. තම ගෙදරින්ම හීල් දානය, දවල් දානය රැගෙන එන ඔහු සීල රතන හිමි සතු ශක්ති විශේෂය හොඳින්ම දැන සිටියේය. නිරන්තරව මන්ත්‍ර ජප කිරීම මඟින් කිසිදාක තමන් වෙත ලබාගත නොහැකි වේයැයි සිතූ විශිෂ්ට සන්ධිස්ථානයකට හිමියෝ පැමිණියහ.

මුරුගසන් වර්ෂාව කොණ්ඩදෙණිය ආවාසගෙය අවට ප්‍රදේශයට ඇද හැළෙන්නට විය. කඳු මුඳුනේ සිට ගලා ආ දිය පහරින් ආවාස ගෙය අවට ජලයෙන් පිරී යන්නට විය. මෙතෙක් පළාතම දෙදරවු හිමියන්ගේ ගැඹුරු හඬෙහි ස්වර පද්ධතිය අඩුවෙමින් පැවතිණ. සිදුවන්නේ කුමක්දැයි අතවැසි හේරත් බණ්ඩා බලාගෙන සිටියේය.

“බණ්ඩෝ මිදුලට ගිහින් තෙමිච්ච වැලි අහුරක් අරගෙන වරෙන්“ වැහි වතුරෙන් තෙත් වූ වැලිදෝතක් රැගෙන බණ්ඩා පැමිණියේය.

හිමියන්ගේ අතට ගත් තෙත් බරිත වැලි අහුර මොහොතකින් වියළි ගොස් පළිඟුකැට පරිදි දිලිසෙන්නට විය. බණ්ඩා වික්ෂිප්තවිය. මෙතෙක් ඇද හැළුණු මුරුගසන් වර්ෂාව නිමවී අහස වලාකුළින් තොරව සඳ එළිය පතුරමින් තිබිණි. ගල් ගෙයත් එයට ඉස්මත්තේ ඇති නෂ්ටාවශේෂවූ බුදුගෙයත් ආරක්ෂා වීමට ගල් වැලි කැට විසිර වූ හිමියෝ මඳ අස්වැසිල්ලක් ලැබූහ.

“බණ්ඩො, මේ පළාත යක්කුන්ගෙන් පිරුණු පළාතක්. කාලි යක්ෂණිය තම නෑ පරම්පරාව වළදාපු තැන් රැකගත්ත. ඒකයි මෙතනට කාටවත් යන්න එන්න ඉඩක් නොතිබුණෙ. දැන් කාලි යකින්න මගේ ගෝලයෙක්. මේ පළාත මගේ අණසක. කාටවත් මං එක්ක හැප්පෙන්න බෑ. උඹ ගමේ මිනිසුන්ට කියාපන් මොකක් හෝ කරදරයක්, අවනඩුවක් තිබුණොත් මම ඒකට උදවු කරන බව.“

එතෙක් ලෙඩ රෝග ඇතුළු උවදුරු වලින් පීඩාවට පත්ව සිටි ජනතාව පෙළ ගැසී කොණ්ඩදෙණියේ හාමුදුරුවන් පා වැඳ සිය අපල උපද්‍රව මොහොතකින් විසඳන ආකාරය රට පුරා ප්‍රචලිත විය.

රජෙකු නොවූ කලෙක කොණ්ඩදෙණියේ හාමුදුරුවෝ සත්කෝරලයේ නිල නොවන රජකු බවට පත්වන්නට විය. ගම් වැසියනට අඩු පාඩුවක් වූ වන්දනාමාන කිරීමට ස්ථානයක් නොමැති වූ හෙයින් තම පූර්ව කුසල කර්මයක් තුළින් දෙබෑවූ ගල් පර්වතය ඉස්මත්තේ බුද්ධ මන්දිරයක් ඉදිකරවීය. කොණ්ඩදෙණියේ හාමුදුරුවන්ට වැඩ පළ අති මහත් විය. පන්සලේ ගත කරන කාලයට වඩා තම අසල්වැසි ජනයාගේ අවශ්‍යතා සපුරාලීමට නිරන්තරව සිදුවූ හෙයින් වෙලාවට දාන මාන ආදිය ගැන නොසිතා තමාගෙන් ඉටුවිය යුතු දේ කිරීමට දුර බැහැර යන්නට සිදුවිය.

හදිසියේ තම දායකයකුගේ වුවමනාවක් වෙනුවෙන් රෑ බෝවී යන්නට කලින් පන්සලට යායුතු විය. උතුරට යන කෝච්චියේ නැඟුණු කොණ්ඩදෙණියේ හාමුදුරුවන්ට ඇසුනේ මහව දුම්රිය ස්ථානයේ ශබ්ද විකාශන හඬය. ඒ අනුව යාපහුව දුම්රිය ස්ථානයේ දුම්රිය නතර නොවන බව සවන් වැටුණු හාමුදුරුවෝ දුම්රිය රියදුරු සොයා ඉදිරියට ගියහ.

“මේක යාපහුවෙ නවත්වන්නෙ නැද්ද?“

“නැහැ හාමුදුරුවනේ.“

“ඉතින් කොහොමද මං පන්සලට යන්නෙ?“

“කථා කරන්න වෙලාවක් නෑ. අපි යනව හාමුදුරුවො පයින් වඩින්න.

“ඒකත් එහෙමද?“

මෙතෙක් කල් අත් විඳින්නට නොලැබූ අවස්ථාවකට හිමියෝ මුහුණ දී සිටියහ. “අලුත් ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න ඇති. බලමුකො මොකද වෙන්නෙ කියල.“

මහව සිට සැතපුම් කිහිපයකට එපිටින් පැවැති යාපහුව දුම්රිය පොළට උතුරට යන ගල් අඟුරු කෝච්චියෙන් වෙනදාට ගල් අඟුරු සිහින් කුඩු එපිටට ඉවත් වුවත් ගල් අඟුරු කැට පිටින් සුළඟත් සමඟ මුළු දුම්රිය පුරාම වැටෙන්නට විය.

සිදුවන්නේ භයානක අනතුරක්ද? සුළි සුළඟක්ද? යන්න නොදත් මගීහු සිය දෑත් ආවරණය කරමින් තුෂ්ණිම්භූතව සිටියහ. රේල්පිලි මත ගිය දුම්රිය තොටිල්ලක් මෙන් පැද්දිණි.

යාපහුව දුම්රිය පොළට පැමිණි දුම්රිය ඉද්ද ගැසුවා මෙන් නතර විය. කොණ්ඩදෙණිය හිමියෝ දුම්රියෙන් බැස ගත්හ. ගිනි රත්වී තිබූ දුම්රිය එන්ජිමට අත තැබූ හිමියෝ සුපුරුදු ඉක්මන් ගමනින් තම පන්සලට වැඩියහ.

“අනුරාධපුරයට යන කෝච්චිය යාපහුවෙදි නතරවෙලා.“ මගීන්ගේ හඬ තියුණු විය. සිදුවන්නේ කුමක්දැයි විමසිලිමත් වූ මගීහු දුම්රිය පොළේ පොරකමින් රියදුරු හා කාර්මිකයන් දුම්රිය එන්ජිම යථා තත්වයට පත් කරන්නට වෙර දරන අයුරු බලා සිටියහ. කිසිදු යාන්ත්‍රික දෝෂයක් නැතිව මෙතෙක් දුර ආ දුම්රියට වූ සිදුවීම ඉංජිනේරු කාර්ය බළකායට ද දැනුම් දුන්නේය. ඉංජිනේරුවරු තමන්ට කළ හැකි දේ කළහ. එහෙත් දුම්රියේ කිසිදු යාන්ත්‍රික දෝෂයක් නැති බව ඔවුහු තීරණය කළහ. මගී පිරිස අතරමග නතර වී යා ගන්නට ඒ ගන්නට තැනක් නැතිව විපිළිසර වූහ. මේ සිදුවීම හොඳින්ම දැන සිටි ගමේ වැසියෙකි. ඔහු දුම්රියේ රියදුරා අසලට ගියේය.

“කොණ්ඩදෙණිය හාමුදුරුවො මෙතනින් බැහැල ගියානේ.“

“මං දන්න කොණ්ඩදෙණියක් නෑ. කවුද හාමුදුරු කෙනෙක් මගෙන් ඇහුව යාපහුවෙදි කෝච්චිය නතර කන්නෙ නැත්ද කියල. මම නැහැ කිව්ව. කෝච්චියෙ දම්වැල් ඇද්දෙත් නෑ. නිකම්ම නැවතුණා. අමුතු විදියට හිනාවෙලා නැවතුණු කෝච්චියෙ එන්ජිම අතගාල යන්න ගියා.“

ගම් වැසියෝ මේ කථා බහට සවන් දුන්හ. “කිසිම කථාවක් නෑ. මේක හාමුදුරුවන්ගෙ වැඩක්.“ ඔවුහු නිගමනයකට එළඹියහ.

කරන්න තියෙන්නෙ එක දෙයයි මහත්තයො. අපි උන්නාන්සෙ ගැන දන්නව. මොකක් හෝ හිත් රිදිල්ලක් වෙන්න ඇති. ඔය ගොල්ලො වෙච්ච වැරැද්දට හාමුදුරුවො හමුවෙලා සමාව ගන්න.“

“පිස්සු නැතිව යනව ඕයි. හාමුදුරු කෙනෙකුට කෝච්චි එන්ජිමක් නතර කරන්න පුළුවන්ද“ කළ හැකි එකම දෙය හාමුදුරුවන් හමුවීම බව අවසානයේදී තීරණය විය.

පන්සලේ ඉස්තෝප්පුවේ හාන්සි පුටුවකට වී කොණ්ඩදෙණියේ හාමුදුරුවෝ ගිමන් අරිමින් සිටියහ. තමන් වෙත මේ කණ්ඩායම නිසැකවම පැමිණෙන බව හිමියෝ දැන සිටියහ.

“මොකද අප්පේ මේ පෙරහැරකින්“

“හාමුදුරුවනේ උඩහට යන කෝච්චිය නැවතිලා“

“ඉතින් මට කියන්නෙ මොකක්ද? මම තවම කෝච්චි එළවන හැටි ඉගෙනගෙන නැහැ නොවැ. මම මේ වයස්ගත හංපඩ හාමුදුරු නමක්නෙ.“

“අපට සමාවෙලා උදව්වක් කරන්න හාමුදුරුවනේ“

“උදව්වක්ද එහෙනම් ඩ්‍රයිවර් මහත්තයට එන්න කියන්න.“

බැගෑපත් ඉරියව්වකින් පැමිණි රියදුරු හාමුදුරුවන් ඉදිරියේ වැඳ වැටී සිටියේය. “හාමුදුරුවනේ කෝච්චිය හොල්ලන්නවත් බෑ. මම දැක්කා ඔබ වහන්සේ එතනින් බැහැල යන හැටි. මේ කට්ටිය කියනව හාමුදුරුවන්ගෙ බලයක් හින්ද කෝච්චිය හොල්ලන්න බෑ කියල.“

“මම එච්චර බල පුළුවන් කාරයෙක් නෙවෙයි. කෝච්චියට මහව ඉෂ්ටේෂමෙන් නගින කොටම මම ඇහුවනේ යාපහුවෙ නවත්වන්න පුළුවන්ද කියල. තමුන්නැහෙ මහ ආඩම්බර විධියට මගේ කීම ගණනකටවත් ගත්තෙ නෑ. මම හැමදාම වගේ මහව ඉෂ්ටේෂමට ගිහින් තමයි යන එන ගමන් යන්නෙ එන්නෙ. ටිකට් එක තිබ්බත් නැතත් මම ඉන්නේ එන්ජින් කාමරයෙ. මට ඕන තැනක කෝච්චිය නවත්තනව මගේ හැටි ඒ ඩ්‍රයිවර් මහත්තුරු දන්න හින්ද.

“සමාවෙන්න හාමුදුරුවනේ. මම මේ පළාතට අලුත් කෙනෙක්. ඒකයි මගෙන් අත්වැරැද්දක් වුණේ.“

“ඩ්‍රයිවර් මහත්තය එකක් දැනගන්න. අලුත් පළාතකට ආවම පළාතෙ ඉන්නෙ කවුරුද කොහොම අයද කියල දැනගන්න ඕන. දැන් ඉතින් වෙච්ච දේට මම සමාව දෙන්නම්. අර බුදුගෙට ගොහින් වැඳල කියල මිදුලෙන් ගල් කැට ටිකක් අරගෙන එන්නකො.“

සිදුවන්නේ කුමක්ද යන්න මහ පිරිස එළිය පහළියට වී බලාගෙන සිටියහ. මහකෙරුම් කාරයකු ලෙස මෙච්චර වේලාවක් කටයුතු කළ දුම්රිය රියදුරා හාමුදුරුවන්ගේ අණසකට යටත්ව ඇත. තමා දෙස බලා සිටි මහ පිරිස දුටු ඔහුට තරමක ලජ්ජාවක් ඇති විය. ඔහු ගෙන ආ ගල්කැටි කීපයකින් එක් ගල් කැටයක් අතට ගත් හිමියෝ එක් ගල් කැටයක් දෙස විනාඩි කීපයක් බලා සිටියහ.

මන්ත්‍රයක් මතුරනවා සමඟ හිමිගේ මුළු දෑසම රක්ත වර්ණ විය. ඉන් නැගුණු කඳුළු බිඳු වලින් ගල් කැටය තෙමී ගියේය. “මහත්තයො මේව ඔක්කොම අරගෙන ගිහින් කෝච්චිය ඉස්සරහ රේල්පීලි අතරට දාන්න.“ හිමියන්ට නමස්කාර කළ පිරිස පන්සලෙන් පිටමං වූහ.

එතෙක් නොසෙල්ව තිබූ දුම්රිය පණ ගැනිණි. මුළු පළාතම දෙවනත් කරමින් විනාඩි කීපයක් කෝච්චියේ හූ හඬ නාද කළේ හාමුදුරුවන්ට ද ඇසෙන ලෙසය. එදා සිදුවූ මේ සිද්ධිය පුවත්පත් වලට විශ්වකර්ම ප්‍රවෘත්තියක් වි. හාමුදුරුවන්ගේ ඡායාරූප හා යාපහුව දුම්රිය ස්ථානයේ නවතා තිබූ දුම්රියේ ඡායාරූප සහිතව මෙය වාර්තා කොට තිබිණි. මෑතක් වනතුරුම යාපහුව දුම්රිය පොළේ දුම්රිය පෙට්ටියක් දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් සිහිවටනයක් ලෙස නතර කර තිබුණි.

 

Comments