පිළිකා රෝගීන්ට සරණ වන පිළිකා සංගමයට දැන් වසර 72 යි | සිළුමිණ

පිළිකා රෝගීන්ට සරණ වන පිළිකා සංගමයට දැන් වසර 72 යි

කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝනොවන රෝගයක් සේම බහුවිධ සාධක රෝගයක් වන පිළිකා රෝග වර්ග 48% ක් වසර 2017 දී අලුතින් සොයාගෙන ඇත. එනම් මිලියන 67 ජනතාවකට පිළිකා වැලඳී ඇත. 2018 දී ගණනය කිරීම්වලට අනුව පියයුරු පිළිකා 3091, මුඛ පිළිකා 2152, පෙනහළු පිළිකා 1447, බඩවැල් පිළිකා 1441 හා උදරයේ පිළිකා 1444 ලෙස සටහන්ව ඇත. 2018 වසරේ ලෝකයේ පිළිකාවෙන් මිලියන 9.7 රෝගීන් ප්‍රමාණයක් මියගොස් ඇත. ශ්‍රී ලංකාව පිළිබඳ සලකා බලනවිට ද තත්ත්වය මීට දෙවෙනි නැත.

මෑත යුගයේ ශීඝ්‍රයෙන් වෙනස්වූ ජීවන රටාවත්, නොයෙකුත් රසකාරක, වර්ණක හා කල්තබා ගැනීමේ රසායනිකයන් යෙදූ ආහාරපාන අධික ලෙස පරිභෝජනය කිරීමත්, වේගයෙන් නාගරීකරණය වීම නිසා සිදුව ඇති පරිසර දූෂණයත්, පොලිතීන් හා ප්ලාස්ටික් වැනි කෘත්‍රිම ද්‍රව්‍ය භාවිතය ඉහළ යාමත් සමඟින් ඒ හා ඍජු ලෙස හා වක්‍රව බැඳෙමින් පිළිකා රෝගයේ වර්ධනීය ව්‍යාප්තියක් සිදුව ඇතැයි යන්න ඒ පිළිබඳ පර්යේෂකයන්ගේ අදහසය.

පිළිකා රෝගය වැලඳුන විට රෝගියා පමණක් නොව ඔවුන්ගේ පවුලේ අය ද දුකට පත්වේ. අසරණ වේ. ඇතැම් අවස්ථාවල මෙසේ අසරණ වන්නන්ගේ පිහිටට කිසිවෙක් ඉදිරිපත් නොවේ. එහෙත් ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන්ගේ සෙත සැලසීම සඳහා 1948 ඇරඹූ පිළිකා සංගමය රෝගීන් වෙනුවෙන් කැපවෙන පුණ්‍යායතනයකි. මේ සංගමයේ මහජන අධ්‍යාපන කමිටුවේ සභාපතිනි ඉන්ද්‍රානි නානායක්කාර තම සංගමය පිළිබඳ තොරතුරු කීවාය.

“පිළිකා සංගමය 1948 පිහිටුවන ලද ආදායම් නොලබන, රාජ්‍ය නොවන ස්වේච්ඡාවෙන් සේවා සපයන ආයතනයකි. අපි 1958 දී රෝගීන් 48 ක් වෙනුවෙන් දෙමහල් ගොඩනැගිල්ලක් හැදුවා. ගැහැනු, පිරිමි වාට්ටු වෙනම 80 දෙනෙකුට එකවර නතරවෙන්න පහසුකම් තියනවා.

පරම්පරාගතව එන පිළිකා හැරුණුකොට පිළිකා සෑදීමට ප්‍රධාන හේතුවක් වන්නේ අපේ ශරීරය දුර්වල වීම, සමබර ආහාර වේල් නොමැතිකම යන කරුණුයි. දැනට ලොව පුරා මිලියන 67 පමණ පැතීරී ඇති පිළිකාව 2035 දී දෙගුණයක් වනු ඇතැයි කියවෙනවා. පිළිකාවක් ඇතිවීමට හේතු කීපයක් බලපානවා. මෙය පුද්ගලයන්ගේ ජීවන රටාව සමඟ සමීප සම්බන්ධතාවයක් පෙන්වනවා. අපේ ජීවිත කාලය තුළ කරන සියලුම දේ යම් ආකාරයකින් පිළිකාවක් ඇතිවීම සම්බන්ධයෙන් බලපෑම් කළ හැකිය. පිළිකා ඉතිහාසයක් ඇති පවුල්වල ජානමය සංයුතියකින් සමහර වර්ගවල පිළිකාවලට ගොදුරු වීමේ වැඩි ප්‍රවණතාවයක් ඇතිවීම මගින් පිළිකාවක් පරම්පරාවෙන් පරම්පරාවට යා හැකිය. එය සියයට 5ක් තරම් අඩු ප්‍රතිශතයක්. ඕනෑම අයෙකුට පිළිකාවක් වැලඳිය හැකි වුවද වයස්ගතවීම අනුව අවදානමට ලක්වීමේ ප්‍රවණතාවය වැඩිය.

පිළිකාවක් වෙනත් පටක කරා පැතිරීමට පෙර, මුල් අවස්ථාවේදීම හඳුනාගතහොත් ශල්‍යකර්මයක් හෝ අනෙකුත් ප්‍රතිකාර මගින් සුවකළ හැකියි. පිළිකාවලින් 1/3 පමණ ගොදුරු නොවී බේරී ඉන්න පුළුවන්. තවත් 1/3 ක් කලින් හඳුනාගෙන මුළුමනින්ම සුව කළ හැකියි. ඉතිරි 1/3 දියුණු ප්‍රතිකාර මගින් සාමාන්‍ය ලෙස ජීවිතය ගත කිරීමට සලසා දිය හැකිය.

සාමාන්‍ය යෙන් පිළිකාවක් ගැන කලින් හෝඩුවාවක් දැන ගත හැකි ලක්ෂණ කීපයක් තියෙනවා. සුව නොවන තුවාලයක්, පියයුරුවල හෝ අන්තැනක ගැටයක් හෝ ඝනවීමක්, අස්වාභාවික ලේ වහනයක්, ගැටයක කළු ලපයක හෝ ඉන්නෙකුගේ වෙනස්වීමක්, කල්පවතින අජීර්ණ හෝ ගිලීමේ අපහසුතාවයක්, කල් පවතින කටහඬ වෙනස්වීමක් හෝ කැස්ස, මළ පහවීම මුත්‍රා පිටවීමේ වෙනසක් හෝ එමඟින් ලේ පිටවීම ආදියයි. එසේම පිළිකා කලින් හඳුනාගැනීමේ මධ්‍යස්ථානයක් තියනවා. නාරාහේන්පිට. ඇතැම් පියයුරු පිළිකාවන් සඳහා ස්වයං පරීක්ෂණ මගින්ද තොරතුරු ලබාගත හැකිය. පිළිකා සංගමය මගින් ශාන්ත සෙවණ නමින් නිවහන 2ක් පවත්වාගෙන යනවා මහරගම අපේක්ෂා රෝහල සමීපයේ. අපේ ආයතනයෙන් සිකුරාදා දිනවල අලෙවි සැලක් පවත්වාගෙන යනවා. මෙම අලෙවි සැලේ ඇඳුම්, බෑග්, විසිතුරු භාණ්ඩ, පිඟන් කෝප්ප, කාන්තා විසිතුරු භාණ්ඩ, සපත්තු සෙරෙප්පු, තොප්පි, බිත්ති නිර්මාණ, වීදුරු භාණ්ඩ, පොත් විකිණීම සඳහා තිබෙනවා. අපිට පරිත්‍යාගශීලීන් මේ දේවල් දෙන්නේ අලෙවි කරලා ඒ ලැබෙන මුදල් පිළිකා රෝගීන් වෙනුවෙන් යොදවන්නයි.“

පිළිකා සංගමයේ, විධායක කමිටුවේ සභාපතිනි ෆෙමිලා පෙරේරා,

“අඩු ආදායම් ලාභී පවුල්වල අවු: 10න් ඉහළ ගැහැනු, පිරිමි අය අප රැක බලා ගන්නවා. අපි එයාලගෙන් කිසිම මුදලක් අය කරන්නේ නැහැ. ආහාර, නවාතැන්, බෙහෙත් හේත් සියල්ල නොමිලේ ලබාදෙනවා. ඊට අමතරව පිළිකා කලින් හඳුනාගැනීමේ පරීක්ෂණවලට යොමු කරනවා. පිළිකා රෝග ලක්ෂණ හඳුනාගතහොත් ඔවුන්ව ප්‍රතිකාර සඳහා යොමු කරනවා. අපේ වියදම් පියවා ගන්න book mark ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා. එයින් ලැබෙන මුදල් සියල්ල යොදවන්නේ රෝගීන්ගේ සුභසෙත වෙනුවෙන්මයි.“

පිළිකා සංගමයේ අනෝජා කරුණාරත්න කියන්නේ මෙවැනි කතාවකි.

“ශ්‍රී ලංකාවේ බහුලව ව්‍යාප්ත වී ඇති හා වැලඳීමට වැඩි අවදානමක් ඇති පිළිකාවන් මෙසේය. මුඛ කුහරය ආශ්‍රිතව හටගන්නා මුඛ පිළිකාව. බුලත්විට, සිගරට්, මත්වතුර, මුඛ සෞඛ්‍යය නිසි පරිදි පවත්වා නොගැනීම හා දුර්වල පෝෂණය නිසා හටගනී. කලින් හඳුනාගතහොත් සුවකර ගත හැකිය.

ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර මෙන්ම ලෝකයේ කාන්තාවන් අතර ද බහුලම පිළිකාවක් වන මෙය පිරිමින් අතර ද 1% පමණ පවතී. මැමෝග්‍රෑම් පරීක්ෂාව, අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂාව, බයොප්සි පරීක්ෂාව මගින්ද ස්වයං පියයුරු පරීක්ෂාවකින් ද හඳුනාගත හැකිය. ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ සෑදෙන පිළිකා වර්ග කීපයක් හඳුනාගෙන ඇත. සිරුරේ ස්ථානගත වන ආකාරය අනුව ඒවා නම් කර ඇත. පැප් පරීක්ෂණයකින් හඳුනාගත හැකිය. පුරස්ථි ග්‍රන්ථි පිළිකාව පිරිමින්ට සෑදෙන අතර කලින් හඳුනාගතහොත් සුව කළ හැකිය. මුඛයේ සිට ගුද මාර්ගය දක්වා ඇති ඉන්ද්‍රියන් එනම් ගලනාලය, ආමාශය, කුඩා අන්ත්‍රය, මහා අන්ත්‍රය හා ගුද මාර්ගය යන කොටස් ආහාර මාර්ගයට අයත් වේ. මෙම ඕනෑම ස්ථානයක පිළිකාවක් ඇතිවිය හැකිය.

ශ්වසන පද්ධතියේ ප්‍රධානතම ඉන්ද්‍රිය වන පෙනහළුවල පිළිකාවලට කරුණු කීපයක් බලපායි. දුම්කොළ සහිත දුම් පානය, අක්‍රිය දුම්පානය, රසායනික දුම ආඝ්‍රාණය, කෘමිනාශක, වල්නාශක ආඝ්‍රාණය, කර්මාන්ත ශාලාවල දූවිලි හා අපද්‍රව්‍ය ආඝ්‍රාණය, විකිරණවලට නිරාවරණය වීම ආදියයි. ලියුකේමියා ඇට මිදුළු පිළිකා, ලේ පිළිකා ඇති වන්නේ රුධිර සෛලවල විකෘතිතා හේතුවෙනි. සමේ හටගන්නා පිළිකා ඒවායේ ස්වභාවය අනුව කොටස් 3 කට බෙදේ. පාදස්ථ සෛල කාසිනෝමා, ශල්කමය සෛල කාසිනෝමා, මෙලනෝමා ආදී වශයෙනි. තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇතිවන පිළිකා තයිරොයිඩ් පිළිකාව නම් වේ. මෙම ග්‍රන්ථිය බෙල්ලේ පහළ කොටසේ සමනලයෙක් මෙන් පිහිටා තිබේ. සිරුරේ ඕනෑම තැනක පිළිකාවක් හට ගැනීමේදී පහත දක්වා ඇති රෝග ලක්ෂණ ඇතිවිය හැකිය. එමනිසා ඔබ කවර තරාතිරමක කවර වයසක කෙනෙක් වුවත් මේ කරුණු ගැන සැලකිලිමත්වීම අගේය. හේතුවක් නොමැතිව කල් පවතින කැස්සක් කට හඬ වෙනස්වීමක්, උගුර බැරැණ්ඩියක්.

මුඛ පිළිකා කලින් හඳුනා ගැනීමේ සායනයක් කොළඹ 07 බුලර්ස් පටුමග, අංක 37/25, ශ්‍රී ලංකා පිළිකා සංගම් මූලස්ථානයේදී නොමිලේ පැවැත්වේ. වැඩි විස්තර සඳහා 0112585879, 0112581700 යන දුරකතන අංක වලින් තොරතුරු දැන ගැනීමට හැකිය.

සේයා රූ - නිරෝෂ් බටේපොල

 

 නිශානී හේරත් බන්නැහැක

Comments