අලෙවි වන්නේ භාණ්ඩ පමණක් නොවේ | සිළුමිණ

අලෙවි වන්නේ භාණ්ඩ පමණක් නොවේ

අපේ සන්නිවේදන ගුරුතුමිය එදින උදෑසන පන්තිකාමරයට ආවේ බඩුමුට්ටු රාශියක් අරගෙන ය. ඒ සමඟ පුවත්පත් වල හා වාර ප්‍රකාශන වලින් කපා ගත් වෙළඳ දැන්වීම් රාශියක් ඇලවූ පොතක් ද දැක ගත හැකි විය.

“මේව තමයි වෙළඳපොළේ, කඩ සාප්පු වල අලෙවි වන භාණ්ඩ සමහරක්. මේ තියෙන්නේ ජෑම් ටින් එකක්. මේ ඒකේ අපූරු ලේබලය. මේ තියන්නේ පිටිකිරි පැකට් එකක්. මේ තියන්නේ ඒකේ ලේබලය. තව මොනවද? මේ තියෙන්නේ හිසේ ගාන තෙල් වර්ගයක් ඇති බෙහෙත් තෙල් කුප්පියක්. මේ බලන්න ඒකේ ලේබලය. ඕනෑම හිසේ කැක්කුම් වර්ගයකට මේ තෙල් බෙහෙත ගාපු ගමන් සුව වෙනවා ලු. කෑම වර්ග බීම වර්ග. ඇඳුම් පැලඳුම්. ඉඳුම් හිටුම්, මිනිස් මුහුණු, පාට වර්ග, හිත් ඇදගන්නා සේදුම්, මේ කොයි එකත් මේ මේසේ උඩ තියෙනවා. මේවායින් අපට හුඟාක් දේවල් ගෙන ගන්නට පුළුවන්. මොනවාද අපට මේ භාණ්ඩ වලින් ඉගෙන ගැනීමට පුළුවන් වෙන පාඩම්. අපි තරමක් මතුපිටින් ගැඹුරකට යමු. ඒ ගමන අපට හැම ආකාරයකින්ම පලදායක වීමට ඉඩ තිබෙනවා.

හොඳයි අපි පටන් ගනිමු මෙන්න මේ ජෑම් ටින් එකෙන්. මේ ජෑම් ටින් තමන්ගේ ගෙවල් වලට ගන්න අය අත උස්සන්න බලන්න.”

අත් කීපයක් උඩට එසවිණ.

“හොඳයි නිකමට කියමු බලන්න රන්ජනී. කොහොමද ඔයගොල්ලොන්ගේ ගෙදරට මේ ජෑම් වර්ගය ආවේ...”

“අපේ නංග හරි ආසයි ඔය ජාතියේ ජෑම් කන්න.”

“මේ ජාතියේ විතරමද?”

“ඔව්.”

“කොහොමද මේ ජෑම් වර්ගයටම කැමති වුණේ?”

“එයාගෙ අනිත් යෙහෙළියෝ කන්නෙත් පාන් වල ගාලා මේ ජාතියේ ජෑම් විතරයි.”

“ඉතින් ඔයාත් මේ ජෑම් වලට කැමති ද?”

“මමත් කන්නේ ඔය ජෑම් වර්ගය විතරමයි.”

“වෙන ජෑම් වර්ගයක් දුන්නොත් කන්නේ නැද්ද?”

“නැහැ.”

“ඒ මොකද?”

“ඔය ජෑම් වර්ගය ගැන හරි ලස්සන දැන්වීමක් පත්තරේක තිබුණා.”

“මේ දැන්වීමද ඔය කියන්නේ?”

අපේ ගුරුතුමිය වෙළඳ දැන්වීමක් අපට පෙන්නුම් කළා ය.

“ඔය දැන්වීම තමයි මම කියන්නේ.”

“අපි මේ දැන්වීම දැන් කියවල බලමු. රන්ජනීම කියවන්න බලන්න.”

රන්ජනී ඒ වෙළෙඳ දැන්වීම කියෙව්වේ ගුවන්විදුලියේ හෝ රූපවාහිනියේ පෙනී සිටින නිවේදිකාවක ලෙසිනි.

“මුළු ලෝකයම රස ගැන්වූ සිනමා තාරකාවන් පණ ගැන්වූ එකම ජෑම් වර්ගය...

ඔබත් වතාවක් රස කර බලන්න.

ඔබට හැමදාමත් වුවමනා වේවි.”

“මේබලන්න මේ ජෑම් ටින් එක අතින් අල්ලාගෙන ඉන්නේ ජනප්‍රිය සිනමා නිළියක් නේද?

මේ ජෑම් වර්ගය නිසා ඇයත් පණ ගහලා ඉන්න බව නේද මේ සටහනින් කියැවෙන්නේ?”

“ඔවු ඒක නන් ඇත්ත.”

“හැබැයි මෙය ඇත්තක්ද නැත්තක්ද කියල අපි හොයන්නට බලන්නට යන්නේ නෑ. ඒත් අපි ඒ නිළියටත් කැමතියි. ඇය රඟපාන චිත්‍රපට නරඹලාත් තිබෙනවා. ඒ නිසා ඇය පවසන දේ අපි විශ්වාස කරනවා. ඒක එහෙම නේද?”

“ඔව්.”

“දැන් එතකොට මේ වෙළෙඳ දැන්වීමේ පෙන්නුම් කරන ජෑම් වර්ගය විකුණන්නේ කවුද?”

“නිළියක්.”

“අපි ඒ නිළියට අපහාස කරනවා නොවේ.

මොකක් හෝ කර්මාන්තශාලාවක තමයි මේ ජෑම් වර්ගය නිෂ්පාදනය කරන්නේ. කොතැනක හෝ පලතුරු ගොවිපළකින් තමයි මේ ජෑම් වලට අඩංගු පලතුරු ලබා ගන්නේ. අනිත්මට මේ ජෑම් වර්ගය වෙළෙඳ භාණ්ඩයක් බවට පත්වෙනවා. ඒ වෙළඳ භාණ්ඩය අලෙවි කර ගැනීමට උපක්‍රම භාවිතයට ගැනීමට සිදු වී තිබෙනවා. කතාව එච්චර ද?”

ගුරුතුමියගේ මුහුණ දෙස බලා සිටින සිසු දරුවන්ගේ මුහුණු විස්මයෙන් ඇලලී ඇත.

“මේ කතාවක ආරම්භයක් විතරයි.”

ගුරුතුමිය කීවා ය.

 

Comments