අනගි අභිලේඛනයක් සදිසි ජීවන පුරාවෘත්තයක් | සිළුමිණ

අනගි අභිලේඛනයක් සදිසි ජීවන පුරාවෘත්තයක්

වසර දෙදහස් තුන්සියයක් පමණ පැරණි මෙරට පැරණිතම ලේඛන පිළිබඳ පළ වූ අන්තර්ජාතික ප්‍රමිතියක් සහිත ශාස්ත්‍රීය ප්‍රකාශනය හැඳින්වුණේ Epigraphia Zeylanica ’යන නමිනි. එහි මුල්ම කලාපය පළ වූයේ 1920 වර්ෂයේදීය. ප්‍රකාශනයේ ප්‍රාරම්භක සංස්කාරකත්වය උසුලන ලද්දේ දොන් මර්ටිනෝ ද සිල්වා වික්‍රමසිංහ නම් පඬිවරයකු විසිනි. ඔහු මේ බැරෑරුම් ශාස්ත්‍රීය පරිශ්‍රමයට උර දුන්නේ බ්‍රිතාන්‍යයේ කීර්තිමත් විශ්වවිද්‍යාලය දෙකක ආචාර්වරයකු ලෙස සේවය කරමින් සිටින අතරේය. මේ ජගත් කීර්තිධර පඬිවරයා බිහි වූයේ අටළොස් වන සියවසේ මෙරට ඇරඹුණු ධර්ම ශාස්ත්‍ර පුනරුත්ථාන ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් ලෙසිනි.

දොන් මාර්ටිනෝ ද සිල්වා වික්‍රමසිංහ උපත ලද්දේ 1865 වර්ෂයේ ගාල්ලේ බටුවන්තුඩාවේදීය. බටුවන්තුඩාව පාණ්ඩිත්‍යයට නිජ බිමක් වූ ග්‍රාමයකි. ගම්මුලාදෑනියකු වූ පියා විසින් සිය පුතුට මනා අධ්‍යාපනයක් ලබා දීමේ අරමුණෙන් එවක දක්ෂිණ ලංකාවේ පැවති උසස් විද්‍යාස්ථානයක් වූ ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයට ඇතුළත් කෙරිණ. එසමයෙහි පාසල් අධ්‍යාපනය ඉංග්‍රීසි මාධ්‍යයෙන් සිදු කෙරුණ අතර සිංහල පාලි සංස්කෘත භාෂා ඥානය නිවස ආසන්නයේ පිහිටි පන්සල හෝ පිරිවෙන ඇසුරෙන් ලැබිණ. පාසල් අධ්‍යාපනය නිම කළ පසු විසි එක් හැවිරිදි වික්‍රමසිංහ තරුණයාට කොළඹ කෞතුකාගාර පුස්තකාලයේ සහකාර පුස්තකාලයාධිපති තනතුරට පත් වීමට හැකි විය. පස් වසරක් කෞතුකාගාර පුස්තකාලයේ සේවය කළ සේවය කළ වික්‍රමසිංහ පුරාවිද්‍යා කොමසාරිස්ගේ සහායක තනතුරට බඳවා ගැනිණ. මේ කාලවකවානුවේදී වික්‍රමසිංහ රාජකීය ආසියාතික සමිතියේ සමාජිකත්වය ලබා ගත් අතර පුරාතත්ත්ව සහ ඓතිහාසික කරුණු විෂයයෙහි ලා ඔහු වෙතින් විද්‍යමාන වූ බලවත් උද්‍යෝගය වටහා ගත් සංගමයේ නිලධාරීහු ඔහුට විශේෂ වගකීමක් පැවරූහ. ඒ වගකීම වූයේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ලන්දේසි පාලනය යටතේ පැවති කාලයේ ඔවුන් මෙරටින් ගෙන ගිය සිංහල පුස්කොළ පොත් පිළිබඳ සොයා බලා සවිස්තර වාර්තාවක් සම්පාදනය කිරීමයි.

මේ වගකීම නිසි ලෙස ඉටු කළ වික්‍රමසිංහ ජර්මනියේ මියුනිච් සහ බර්ලින් විශ්වවිද්‍යාලයවලට සම්බන්ධ වී පුරාවිද්‍යාව සහ වාග්විද්‍යාව යන විෂයයන් හැදෑරුවේය. අභිලේඛන සහ වාග්විද්‍යාව යන විෂයන්ට අමතරව ඒ වන විට වික්‍රමසිංහ ද්‍රවිඩ භාෂා විෂයයෙහි ප්‍රමාණිකත්වයක්ද ලබා ගෙන තිබුණි. 1901 මැයි මාසයේදී ඔහු ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයට ඇතුළත් වී තිබේ. 1908 වර්ෂයේ සිට 1920 වර්ෂය තෙක් ඒ විශ්වවිද්‍යාලයේ දෙමළ සහ තෙළිඟු භාෂා පිළිබඳ කථිකාචාර්ය තනතුරට බැඳී සේවය කළේය. මේ කාලය ඇතුළත එනම් 1910 වර්ෂයේදී ඔහු ගෞරව ශාස්ත්‍රපති උපාධිය හිමි කරගෙන තිබේ. 1928 වර්ෂයේදී ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ප්‍රාචීන හා අප්‍රිකානු අධ්‍යයන විද්‍යායතනයෙන් සාහිත්‍යසූරී( Epigraphia Zeylanica) උපාධිය හිමි කර ගත් බව අදාළ විශ්වවිද්‍යාලයවලින් තහවුරු කර ගත් තොරතුරු ප්‍රකාරව මහාචාර්ය රත්නසිරි අරංගල සඳහන් කොට තිබේ. 1890 වර්ෂයේදී ලංකාවේ පුරාවිද්‍යා පොර්තමේන්තුව ස්ථාපනය කෙරුණු පසු පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ විධිමත් ගවේෂණ ඇරඹිණ. එහි එක් ගවේෂණයක් වූ අභිලේඛන සම්බන්ධ ශාස්ත්‍රීය ප්‍රකාශනය වූ ලංකා ශිලා ලේඛන සංග්‍රහය Epigraphia Zeylanica අරඹා සංස්කරණය කිරීමේ භාරදූර වගකීම එතුමාට පැවරිණ. විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය තනතුරට අමතර කාර්යයක් වශයෙන් ශිලාලේඛන සංග්‍රහය සංස්කරණය කිරීමේ කටයුතුවල නියැළුණු එතුමා ශිලාලේඛනවල ස්පර්ශ ලාංඡන ලංකාවෙන් ගෙන්වා ගෙන 1904 වර්ෂයේදී Epigraphia Zeylanica ප්‍රකාශනයේ පළමු කොටස එළි දැක්වීය. Epigraphia Zeylanicaප්‍රකාශනයේ පළමු කාණ්ඩයට කොටස් හයක් අන්තර්ගත වූ අතර ඒ සියල්ල ඇතුළත් පළමු කාණ්ඩය 1912 වර්ෂයේදී එළි දැක්විණ. මේ ප්‍රකාශනයේ ඊළඟ කොටස් හය අන්තර්ගත දෙවන කාණ්ඩය 1928දී ප්‍රකාශයට පත් කෙරිණ. මෙහි තුන් වන කාණ්ඩය සඳහාද ලිපි කිහිපයක් වික්‍රමසිංහ මහතා අතින් සම්පාදනය වූ අතර එහි ප්‍රකාශන කටයුතු අවසන් කිරීමේ වගකීම පැවරුණේ වික්‍රමසිංහ මහතාගේ අනුප්‍රාප්තිකයා වූ සෙනරත් පරණවිතාන මහතාටය.

Epigraphia Zeylanica තුන්වන කාණ්ඩයේ ප්‍රස්තාවනාවෙහි ලා වික්‍රමසිංහ මහතා විසින් ඉටු කරන ලද මාහැඟි කාර්යය පරණවිතාන මහතාගේ විශේෂ ගෞරවයට බඳුන් විය. මාර්ටින් වික්‍රමසිංහ මහතා විසින් රචිත විචාර ලිපි නමැති නිබන්ධ සංග්‍රයේ එක් ලිපියක් වෙන් වී තිබෙන්නේ පැරණි ලියවිලි සඟරාව Epigraphia Zeylanica අගය කිරීම සඳහාය. “ආචාර්ය වික්‍රමසිංහ මහතාගේද අනතුරුව ආචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේද සංස්කරණයෙන් පළ වූ ලක්දිව පැරණි ලියවිලි සඟරාවෙහි, ආලංකාරිකයකුගේ මතයක එල්ලී කළ ඝෝෂාවක් නොදක්නා ලැබෙතත්, සිංහල විචාර කලාවෙහි උසස් තැනක් එයට හිමිය” යනුවෙන් මාර්ටින් වික්‍රමසිංහ මහතා මේ ශාස්ත්‍රීය සංග්‍රහය පැසසුමට ලක් කළේය.

1933 වර්ෂයේ මහා බ්‍රිතාන්‍යයේ විශ්වවිද්‍යාල සේවයෙන් ඉසිඹු ලැබ ලංකාවට පැමිණි ආචාර්ය වික්‍රමසිංහ Epigraphia Zeylanica ඉංග්‍රීසි කෘතිය ලක්දිව පැරණි ලියවිලි සඟරාව නමින් අභිලේඛන විෂයයෙහි අලුතෙන් සොයා ගත් කරුණු අන්තර්ගත කොට පළ කිරීමට පියවර ගත්තේය. එහි ප්‍රථම පියවර ලෙස Epigraphia Zeylanica ප්‍රථම කාණ්ඩයේ පළමු සහ දෙවන කොටස් 1937 වර්ෂයේ සිංහලයෙන් පළ කෙරිණ. දීර්ඝ කාලයක් මෙවැනි කාර්යයන්හි නියැළීම හේතු කොට ගෙන ජීවිතයේ සැඳෑ සමය වන විට එතුමන් අන්ධභාවයට පත්ව සිටි බව කියනු ලැබේ.

ආචාර්ය වික්‍රමසිංහ මෙරට වැදගත් සංස්කෘතික උරුමයක් රැක ගැනීම වෙනුවෙන් සමස්ත දේශයේම බහුමනට පාත්‍ර විය යුතු චරිතයකි. මෙරට සිටි සිවිල් නිලධාරියකු වූ හියු නෙවිල් ලංකාවේ විවිධ ප්‍රදේශවලින් එක් රැස් කර ගත් පුස්කොළ පොත් සම්භාරයක් රැගෙන නැව් නැගී එංගලන්තය බලා යමින් සිටි අතරේ 1897 වර්ෂයේ අප්‍රේල් මස 10 වැනි දින ප්‍රංසයේදී අභාවප්‍රාප්ත විය. හියු නෙවිල්ගේ පුස්කොළ පොත් සංචිතය කලක් ප්‍රංස රජය භාරයේ පැවතිණ.

1904 වර්ෂය වන විට මේ කෘති සියල්ල එවක මහා බ්‍රිතාන්‍යයේ මෙබඳු ලේඛන පිළිබඳ ඉහළම දැනුමක් සහිත විද්වතකු ලෙස පිළිගැනීමට පාත්‍රව සිටි ආචාර්ය ඩී. එම්. ද ඉසඩ්. වික්‍රමසිංහගේ නිර්දේශ අනුව බ්‍රිතාන්‍ය කෞතුකාගාරය මිල දී ගැනීමට කටයුතු කෙළෙන් අද දක්වා මේ මාහැඟි ජාතික උරුමය ලෝක උරුමයක් ලෙසින් මැනවින් සංරක්ෂණය වී පවතී. (මේ ඓතිහාසික ලේඛන සම්භාරයේ දිතිත් පිටපත් (Digital Copies) ලංකාවට ලබා ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් යෝජනාවක් මෙරට විද්වතුන් කිහිප දෙනකු විසින් වසර කිහිපයකට පෙර සකස් කර ඇති අතර එය රාජ්‍ය නායකයාගේ අවධානය යොමු වීම වැදගත්ය.) ජගත් කීර්තිධර මේ විද්වතාණන්ගේ අභාවය 1937 වර්ෂයේ ජුනි මස 04 වැනිදා සිදු විය.

Comments