හිටපු ජනපති මෛත්‍රී කළ එකම හොඳ වැඩේ මේකද? | Page 2 | සිළුමිණ

හිටපු ජනපති මෛත්‍රී කළ එකම හොඳ වැඩේ මේකද?

බරගමු කඳු තීරයට ඉහළින් පිහිටි සිංහරාජ වනාන්තරය තෙත බරිත වී තිබෙන්නේ තුරු වියනින් පෙරා වැටෙන හිරු රශ්මියේ තේජස තුනී කෙරෙන නිසාය. කළු වනබිමේ පිපුණු උඩවැඩියා මල් සහ අනේකවිධ වනමල් සොබාදහමේ සුන්දරත්වය කියාපාද්දී විහඟුන්ගේ කිචිබිචියත් සිහිල් දිය දහරා ගලා බසින දොළ පාරත් සිංහරාජ වනයේ නිශ්චලත්වය බිඳ දමන්නේ එහි ගිලගත් පාළුව පලවා හරිමිනි. 

ලංකාවට ආවේණික සපුෂ්ප ශාක විශේෂ 926 ක් අතරින් විශේෂ 495 ක් පිහි‍ටා තිබෙන්නේ සිංහරාජ වනයේය. ලංකාවට ආවේණික ශාක ගණ 25 අතුරින් 13 ක් ම පිහිටා තිබෙන්නේ සිංහරාජ වනයේය. මුළු ලොවින් ම සිංහරාජයේ පමණක් දැකිය හැකි ශාක විශේෂ 15 කි. මුළු ලොවින් ම සිංහරාජයේ පමණක් දැකිය හැකි උරගයන් විශේෂ 11 කි. සත්ව විශේෂ 455 කින් ලංකාවට ආවේණික සත්ව විශේෂ 144 ක් වාසය කරන්නේ සිංහරාජ වනයෙහිය. ශාක පද්ධතියේ ප්‍රධාන ස්තර 5 කින් සමන්විත නිවර්තන තෙත් සදාහරිත වනාන්තරයක් වූ සිංහරාජ වනය, 1989 වසරේ ලෝක උරුමයක් බවට පත් වන්නේ මෙහි ඇති අපූර්වතම ජෛව විවිධත්වය නිසාය.

මෙම වනය ආරක්ෂිත ප්‍රදේශයක් ලෙස ප්‍රථම වරට ප්‍රකාශයට පත් කර තිබෙන්නේ බ්‍රිතාන්‍ය පාලන කාලයේදී Waste Lands Ordinance නම් ආඥා පනත මගිනි.

එම ආඥා පනතට අනුව 1875 මැයි 08 වැනි දින අංක 4046 දරන ගැසට් නිවේදනය මගින් හෙක්ටයාර් 2428 ක් සහ 1926 මැයි 21 වැනි දින හෙක්ටයාර් 3725 ක් වශයෙන් හෙක්ටයාර් 6153 ක වනාන්තර භූමියක් පළමුව රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. 1978 අප්‍රේල් මාසයේදී ජෛවගෝල රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබීය. 1988 ඔක්තෝබර් 21 වැනි දින අංක 528/14 දරන ගැසට් නිවේදනය මගින් හෙක්ටයාර් 11,187 ක භූමියක් රක්ෂිතභාවයට පත් කෙරිණි. රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික් 3 ට මායිම්ව පිහිටි හෙක්ටයාර් 11,187 ක වපසරියකින් යුතු සිංහරාජ රක්ෂිත වනය දැන් හෙක්ටයාර් 36,364 ක් දක්වා පුළුල් වී තිබේ. සිංහරාජ වනාන්තරය මේ ආකාරයට තුන් ගුණයකින් පුළුල් වූයේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනයන් ඉවත්වී යෑමට පෙර අවසාන වතාවට අත්සන් තැබූ විශේෂ ගැසට් පත්‍රය වසරකට පසු මුද්‍රණය වීමත් සමඟය. පසුගිය නොවැම්බර් 05 වැනි දින මුද්‍රණය වූ අංක 2150/31 දරන 2019/11/20 දිනැති ගැසට් පත්‍රයෙන් සිංහරාජ වනාන්තරය තුන් ගුණයකින් විශාල වී තිබෙන්නේ ඊට පරිවාර වනාන්තර 13 ක් එකතු කිරීමෙනි. එකී වනාන්තර වන්නේ දෙල්ලව, තවලම, මොරපිටිය, රූනකන්ද, වරතැල්ගොඩ මූකලාන, නෙළුකැටිය මූකලාන, දෙල්මැල්ල - යටගම්පිටිය, අයගම, කරවිට, දෙල්වල, කුඩුමිරිය, මස්ඉඹුල සහ මගුරුගඟ යන රක්ෂිතයන්ය.

මේ පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය මුහුණුපොතේ සටහනක් තබා ඇත්තේ මෙසේය.

“පළමුව උතුම් පරිසරය සුරැකීම වෙනුවෙන් පෙනී සිටින පරිසරවේදීන් සහ පරිසරයට ආදරය කරන සියලු දෙනාටම මාගේ ගෞරවය සහ උපහාරය...

මතු උපදින දරුවන් වෙනුවෙන් මේ උතුම් මිහිතලය මතු අනාගතය වෙනුවෙන් ආරක්ෂා කිරීම අප සැමගේ යුතුකම සහ වගකීම වන්නෙමු. අද දිනය මිහිතලයට ආදරය කරන මා මෙන් ම උතුම් හදවත් ඇති මිනිසුන් සැමට සතුටු විය හැකි දවසකි. මීට වසරකට ඉහත දී මා ජනාධිපති ධුරයෙන් නික්ම යෑමට දින කිහිපයකට ප්‍රථම මුළුමහත් විශ්වයේම පැවැත්මට ජීවය ගෙන දුන් ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝ සංවිධානය නම් කළ තෙත් සදාහරිත වැසි වනාන්තරයන් වන සිංහරාජ වනාන්තරයේ වපසරිය තුන් ගුණයකින් පුළුල් කොට අතිවිශේෂ ගැසට් නිවේදනයකින් සිංහරාජ අවට වන පද්ධතිය සිංහරාජ වනාන්තරයට එක් කරන ලදී‍.....”

ජෛව සංරක්ෂණ මධ්‍යස්ථානයේ සභාපති පරිසරවේදී පුබුදු වීරරත්න සඳහන් කරන්නේ මෙය ඉතා වැදගත් කර්තව්‍යයක් බවයි. වනාන්තර විශාල වීමෙන් සතුන්ගේ සංචරණ පරාශයන් පුළුල් වන බවත් එමඟින් සතුන්ගේ බෝවීම වැඩිදියුණු වන බවත් ඔහුගේ අදහසය‍. එමෙන්ම පරිසර පද්ධති වෙන් වෙන් වශයෙන් පවතින විට පරිසරයට සිදුවිය හැකි හානිය වැඩි වුවත් පරිසර පද්ධතීන් ඒකාබද්ධ කිරීමෙන් සිදුවිය හැකි හානිය පාලනය කරගත හැකි බව ‍ඔහු තවදුරටත් පෙන්වා දුන්නේය.

“සිංහරාජ වනාන්තරයට පිවිසෙන මාර්ග ප්‍රධාන වශයෙන් 4 ක් තිබෙනවා. ගාල්ල - උඩුගම - තවලම - නෙළුව - ලංකාගම පිවිසුම, කොළඹ - කලවාන කුඩව හරහා පිවිසුම, දෙනියාය පල්ලේගම - මෙදේරිපිටිය - පිටදෙණිය පිවිසුම සහ දෙනියාය විහාරහේන - සමන්ගල පිවිසුම. සිංහරාජ වනාන්තරයට පරිවාර වනාන්තර එකතු වුණාම තවත් අලුත් මාර්ග පිවිසුම් ඇති වේවි” 

“ සිංහරාජ රක්ෂිතය වටා පිහිටි රක්ෂිත නොවන, කැලෑ අයිති වෙන්නේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාවට. ඒ වනාන්තර එළි කරලා තේ වගාව ව්‍යාප්ත කරන නිසා ඇතිවන ගැටලු මැඬ පැවැත්වීමට සිංහරාජ වනයට මායිම්ව හෝ මායිමේ සිට මීටර් 500 ක් ඇතුළත පිහිටා ඇති ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාව සතු වනාන්තර, ඉඩම් සියල්ලම පසුව වන්දි ගෙවීමේ පදනම මත සිංහරාජයට පැවරිය යුතු බව. 2004 අගෝස්තු 04 වැනි දින කැබිනට් මණ්ඩලය විසින් නිර්දේශ කළා. ඒ අනුව පැවරීමට ඇස්තමේන්තු කර ඇති වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර් 2490 ක්. ඒත් එය තවමත් ක්‍රියාත්මක වුණේ නැහැ. ලංකාවේ වැසි වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර් 1,96,573 කින් රක්ෂිත බවට පත් කර තිබෙන්නේ 65% යි. ඉතිරි ඉඩම් සියල්ලම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාව සතු ඉඩම්. 2004 කැබිනට් මණ්ඩලයේ නිර්දේශය ක්‍රියාත්මක විය යුතු දෙයක්. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් කළ ගැසට්ටුව මුද්‍රණය වෙන්න අවුරුද්දක් ගියා. තීන්දු තීරණ හෙමින් හෙමින් ක්‍රියාත්මක වන විට ඉතා වේගයෙන් සිංහරාජය විනාශ වෙනවා.” යනුවෙන් විස්තර කළේ පරිසරවේදී සජීව චාමිකරය.

මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ සඳහන් කරන්නේ සිංහරාජ වනාන්තරයට පරිවාර වනාන්තර එකතු කිරීමෙන් භූමි ප්‍රමාණය විශාල වීම පිළිබඳව පරිසරයට ආදරය කරන පුද්ගලයකු වශයෙන් ඔහු සතුටට පත්වන බවයි. නමුත් මෙය එක්තරා ආකාරයක අභියෝගයක් බව ද ඔහු පැවසීය.

“වන ගහනය වැඩි කිරීමේ පදනම සලකා බැලුවාම එය හොඳ තීරණයක්. ඒත් මේ එකතු වූ ඉඩම්වල රජයේ සහ පෞද්ගලික ඉඩම් තියෙනවා. හැබැයි වන සංරක්ෂණ පනත යටතේ මෙම ඉඩම් මිනිසුන්ගේ ඵලදායිතාවට, රටේ සංවර්ධනයට යොදා ගැනීමේදී එය ලොකු අභියෝගයක්. ඉඩම් ඵලදායි විදිහට යොදා ගැනීමේදී අනුමත භාවිතයන් තියෙනවා. ඒ නිසා පරිසර කළමනාකරණයේදී පරිසරය ආරක්ෂා කිරීමත් සංවර්ධන කටයුතු කරගෙන යෑමත් සමබරව කිරීම ඇත්තටම ලොකු අභියෝගයක්.”

කුමන අභියෝග තිබුණ ද සිංහරාජ වනයේ විශාලත්වය වැඩි කිරීම කෙරෙහි කාගේත් විරෝධයක් නැත. කවුරුත් ඊට කැමැත්තක් දක්වති. කවුරුන් කොහොම පැවසුවද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කළ සුවිශේෂ සේවයක් ලෙස මෙය සඳහන් කළ හැකි ය. සමාජ මාධ්‍ය පවසන්නේ නම් ඔහුගේ ජනපති ධුර කාලය තුළ ඔහු කළ එකම යහපත් දෙය ලෙස පැවසිය හැක්කේ සිංහරාජ වනාන්තරය විශාල කිරීම පමණක් බවය.

 

Comments