ලලිත්-අනූෂ නිදහස් වූ සිල් රෙදි නඩුව | සිළුමිණ

ලලිත්-අනූෂ නිදහස් වූ සිල් රෙදි නඩුව

සිල්රෙදි නඩුවෙන් නිදොස් කොට නිදහස්වූ ලලිත් විරතුංග සහ අනූෂ පැල්පිට අධිකරණ භුමියෙන් සිය නීතිඥයන් හා හිතවතුන් සමඟ පිටව යන අයුරු (සේයාරුව - රංජිත් අසංක)

සුගිය කාලයේ මෙරට සමාජය තුළ ආන්දෝලනාත්මක ලෙස කතාබහට ලක්වූ සිද්ධියක් වූයේ මහින්ද රාජපක්ෂයන් ජනාධිපතිවරයාව සිටි සමයේ කීර්තිමත් රාජ්‍ය නිලධාරීන් දෙදෙනකු වූ එවක ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සන්දේශන නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට යන දෙදෙනාට සිල් රෙදි බෙදා දීමක් සම්බන්දයෙන් එල්ල වූ චෝදනාව හා ඔවුන් වරද කරුවන් කර ලබාදුන් නඩු තීන්දුවය. මෙම තීන්දුව අභියෝගයට ලක්කරමින් ඔවුන් විසින් අභියාචන පෙත්සම් දෙකක් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළේ ය. අනතුරු එම නඩුවේ තීන්දුව පසුගිය 19 වැනිදා ප්‍රකාශයට පත් විය.

සිල්රෙදි නඩුවේ විත්තිකරුවන්ට එල්ල වූ පළමු අධිචෝදනාව වූයේ වර්ෂ 2014ක් වූ ඔක්තෝබර් මස 30 සහ 2015 ජනවාරි මස 05 දින අතර කාලයේදී පැමිණිල්ල නොදත් අය සමඟ එක්ව ශ්‍රී ලංකා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600ක මුදලක් එහි පනතට පටහැනිව සිල් රෙදි බෙදාදීමේ ව්‍යාපෘතියක් සඳහා ජනාධිපති ලේකම් නමින් ලංකා බැංකුවේ තැප්‍රොබේන් ශාඛාවේ පවත්වාගෙන යනු ලබන ගිණුමකට ප්‍රේෂණය කිරීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 386 වගන්තිය අනුව දේපළ වංක ලෙස සාවද්‍ය පරිහරණය කිරීමේ වරද සිදු කිරීම හෝ එකී වරද කිරීමට අනුබල දීමට එකඟවීමෙන් පොදු අරමුණක් ඇතිව ක්‍රියා කිරීම සහ එහි ප්‍රතිඵලයක් ලෙස වංක ලෙස සාවද්‍ය පරිහරණය කිරීමේ වරද සිදු කරන ලද බැවින් දණ්ඩ නීති සංග්‍රහයේ 113(ආ), 102 වගන්ති සමඟ කියවිය යුතු පොදු දේපළ විෂයෙහි ලා දඬුවම් ලැබිය යුතු වරදක් සිදු කිරීම ය.

දෙවන අධිචෝදනාව වූයේ ජනාධිපති ලේකම් නමින් ලංකා බැංකුවේ පවත්වාගෙන ගිය ගිණුමට ප්‍රේෂණය කිරීමෙන් හෝ එසේ කිරීමට සැලැස්වීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 386 වන වගන්තිය අනුව දේපළ වංක ‍ලෙස සාවද්‍ය පරිහරණය කිරීමේ වරද කර ඇති බැවින් පොදු දේපළ පනතේ කරුණු ලබන වැරදි පිළිබඳ පනතේ 5(1) වගන්තිය අනුව දඬුවම් ලැබිය යුතු වරදක් පළමු විත්තිකරු විසින් සිදු කර ඇති බවය. තෙවැනි අධිචෝදනාව වූයේ, එකී වරද කිරීමට පළමු චූදිතයා හට ආධාර අනුබල දීම සහ එම අනුබල දීමේ ප්‍රතිඵලයක් ලෙස එකී වරද සිදු කර ඇති බැවින් දණ්ඩ නීති සංග්‍රහයේ 102 වගන්තිය සමඟ කියවිය යුතු පොදු දේපළ පනතේ 5(1) වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් කර ඇති බවට දෙවන විත්තිකාර ලලිත් වීරතුංග මහතාට එරෙහිව එල්ල වූ අධිචෝදනාවය.

මෙම අධිචෝදනාවලින් හා සිර දඬුවම්වලින් ඔවුන් දෙදෙනා නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන අය ගොනු කළ අභියාචනා පෙත්සම් පිළිබඳ නඩු තීන්දුව ලබා දෙමින් අභියාචනාධිකරණ විනිසුරු දේවිකා අබේරත්නගේ එකඟත්වයෙන් අභියාචනාධිකරණ විනිසුරු කුමුදුනි වික්‍රමසිංහ විසින් ප්‍රකාශිත පිටු 62 කින් යුත් නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළාය. ඒ සැකවින් මෙසේය.

“ 2015 වසරේ ජනාධිපතිවරණ සමයේ දිවයින පුරා විහාරස්ථානවලට සිල් රිදී බෙදාහැරීම හරහා රජයට අයත් රුපියල් මිලියන 600ක මුදලක් අවභාවිතය සහ පාඩුවක් සිදු කිරීමේ චෝදනාවට විත්තිකාර අභියාචක පාර්ශ්වයට එරෙහිව කොළඹ මහාධිකරණය නඩු පවරනු ලැබීය. එම නඩු විභාගයේ තීන්දුව ඉකුත් 2017 වසරේ සැප්තැම්බර් මස 07 වැනි දා ප්‍රකාශයට පත් කෙරුණු අතර එහිදී වරදකරු බවට තීන්දු කෙරුණු හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගට සහ විදුලි සන්දේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිටට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කෙරිණි.

මීට අමතරව රුපියල් ලක්ෂ 10ක දඩ මුදලක් ද, එය ගෙවීමට අපොහොසත් වන්නේ නම් වසර 6ක සිර දඬුවමක් ද නියම කෙරිණි. මීට අමතරව වන්දි ලෙස රුපියල් ලක්ෂ 500ක් විදුලි සන්දේශ නියාමන කොමිසමට ගෙවීමටද නියෝග කෙරිණි. එය ගෙවීම පැහැර හරින්නේ නම් බරපතළ වැඩ සහිතව වසර 2ක සිර දඬුවමක් ද නියම කෙරිණි.

මෙම මාහධිකරණ නඩු තීන්දුවට එරෙහිව විත්තිකාරයන් විසින් මෙම ඇපෑල ඉදිරිපත් කරනු ලැබීය. ඒ අනුව අධිකරණය මෙම අවස්ථාවේ දී සලකා බැලිය යුත්තේ විත්තිකාර අභියාචක යන දෙදෙනාට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා සැකයෙන් තොරව ඔප්පු වන්නේද යන්නය. මේ පිළිබඳව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා ගෙනහැර දක්වන තර්ක වන්නේ විත්තිකරුවන් දෙදෙනාට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවත්, ඔවුන් දෙදෙනා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභා පනතේ 22 (75) වගන්තියට පටහැනිව කටයුතු කර ඇති බැවින් සාවද්‍ය සාපරාධී සාවද්‍ය අපහරණයට වරදකරුවන් වන බවයි.

සාක්ෂි විමසා බැලීමේදී විදුලි සන්දේශ නියාමන කොමිසම එවක සිටි ජනාධිපති බලාධිකාරිය යටතට වැටෙන අතර, එවක දෙවැනි විත්තිකාර අභියාචක ජනාධිපති ලේකම්වරයා වේ. ඒ අනුව ඔහු නිල බලයෙන් විදුලි සන්දේශ කොමිසමේ සභාපතිවරයා වේ.

මහාධිකරණ සාක්ෂි විභාගය විමර්ශනය කිරීමේ දී 2014 වසරේ මැයි මාසයේ මෙම සිල් රෙදි බෙදා හැරීමේ ව්‍යාපෘතිය පිළිබඳව දෙවැනි විත්තිකරු ඊට ප්‍රථම සඳහන් කර ඇති බව හෙළි වේ. එ් බව ජනාධිපතිවරයාගේ බෞද්ධ ආගමික කටයුතු පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් වටිනාපහ සෝමානන්ද හිමියන්ගේ සාක්ෂියෙන් ද ඔප්පු වේ.

සිල් රෙදි බෙදා දී ඇත්තේ සිල් ලන්නා පුද්ගලයින්ගේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙනය. එකී ක්‍රියාව සිදු කර ඇත්තේ ද එවක ජනාධිපති වරයාගේ උපදෙස් මතය. ඒ බව දෙවැනි විත්තිකරු විසින් සටහනක් යොදා ඇති බව ද විත්තිවාචකයෙදී පැහැදිලි කර ඇත. ඊට අමතරව මෙම සිල් රෙදි ලබාදීමේ ව්‍යාපෘතිය දියත් කිරීම සඳහා එවක ජනාධිපතිවරයා විසින් නියෝග කර ඇති බව ද සාක්ෂිවලින් හෙළි වේ. මහාඅධිකරණයට ඉදිරිපත් වී ඇති සාක්ෂි අනුව මෙම සිල්රෙදි ව්‍යාපෘතිය 2014 මාර්තු 20 වැනි දින ආරම්භ කරන ලද බව ඉතා හොඳින් පැහැදිලි වේ .

ජනාධිපතිවරණය පවත්වා ඇත්තේ 2015 වසරේ ජනවාරි 8 වැනි දිනය. ඒ අනුව පැහැදිලි වන්නේ සිල් රෙදි බෙදා හැරීමේ ව්‍යාපෘතිය ආරම්භ කර ඇත්තේ ඊට බොහෝ පෙරාතුවය. තවද මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් අරමුදල් ලබා දෙන ලෙසට දෙවැනි විත්තිකරු පළවන විත්තිකරු ලිපියක් මඟින් ඉල්ලීම් කර ඇත්තේ 2014 ඔක්තෝබර් 20 වැනි දිනය. ඒ වනවිට ජනාධිපතිවරණය ගැන කිසිදු දැනුම්දීමක් සිදු කර නැත. මින් පෙනී යන්නේ මෙම කරුණු සහ සාක්ෂිවල වටිනාකම් පිළිබඳ මහාධිකරණ විනිසුරුවරයා නිසියාකාර තක්සේරුව කර නැති බවයි. එසේම දෙවැනි විත්තිකරු සමඟ ජනාධිපතිවරයා විසින් පවත්වන ලද සාකච්ඡාවකින් පසු සිල්රෙදි ව්‍යාපෘතිය ආරම්භ කළ බවට, මහාධිකරණ විනිසුරුවරයා වැරදි නිගමනයට එළඹ ඇති බවයි. ඒ අනුව මහාධිකරණ විනිසුරු විශාල වශයෙන් නොමඟ ගොස් ඇති බව ගරු අධිකරණයේ මතය වේ.

තවදුරටත් කරුණු විමසා බැලීමේදී මෙම ව්‍යාපෘතිය දියත් කර ඇත්තේ සැදැහැවතුන්ගේ යහපත පිණිසය. එය පුණ්‍යාධාර ව්‍යාපෘතියකි. එසේම දිවයිනේ විවිධ ප්‍රදේශවල සැදැහැවතුන්ට සිල් රෙදිවල අවශ්‍යතාවක් ඇති බව එකල බෞද්ධ කටයුතු පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් ලෙස කටයුතු කළ විටනපහ සෝමානන්ද හිමියන් විසින් දෙවැනි විත්තිකරු ගේ අවධානයට යොමු කර ඇත. එසේම දෙවැනි විත්තිකරු මේ පිළිබඳ සොයා බැලීමේ දී විශේෂ ජනාධිපති අරමුදලේ ඒ සඳහා ප්‍රමාණවත් මුදල් තිබී නැත. ඒ අනුව දෙවැනි විත්තිකරු විසින් අදාළ මුදල් විදුලි සන්දේශ කොමිසමෙන් ලබා ගැනීමට තීරණය කර ඇත.

එනිසා මෙවැනි සමාජ සේවාවන්හි යෙදෙන ආයතනයකින් අරමුදලේ ඉල්ලීම සම්බන්ධයෙන් දොස් පැවරීය නොහැකිය. තවද ලබාගත් මේ මුදල් යලි ගෙවන බවට දෙවැනි විත්තිකරු එහි ප්‍රධාන ගණකාධිකාරීවරයාට දැනුම් දී ඇත. එහෙත් පසුව එම කොමිසමේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් තීරණය වී ඇත්තේ එය පරිත්‍යාගයක් වශයෙන් සලකන බවය. ඒ අනුව මෙයින් පැහැදිලි වන්නේ දෙවැනි විත්තිකාර හිටපු ජනාධිපති ලේකම්වරයා නිකැළැල් රාජ්‍ය සේවකයකු බව ය.

මේ ආකාරයට හැසිරෙන පුද්ගලයෙකු වංක පුද්ගලයකු ලෙස සැලකිය යුතු නොවේ. එසේම මෙම මුදල් ණයක් වශයෙන් ලබා ගැනීම දෙවැනි විත්තිකරුගේ ප්‍රධාන අරමුණ වූ බව ඉතා හොඳින් පැහැදිලි වේ. තව ද මේ අරමුදල ලබා ගැනීමට වාචික අනුමැතිය ලබාගත් බව සාක්ෂිවලින් පැහැදිලි වෙයි. එහෙත් මෙම සාක්කිවලට පටහැනිව එවැනි අනුමැතියක් ලබා නොගත් බවට වැරදි සහගත ලෙස මහාධිකරණ විනිසුරුවරයා තීරණය කර ඇත.

නූතන තාක්ෂණ ලෝකය තුළ තීරණ ගැනීමට සඳහා අධ්‍යක්ෂක මහණ්ඩල එක තැනකට රැස්විය යුතු ම නොවේ. එසේම විදුලි සංදේශ නියාමන කොමිසමට වාචික තීරණ ගැනීමට නීතිමය බාධාවක් ද නැත. ඉදිරිපත් වූ සියලු සාක්ෂි විමසා බැලීමේදී පෙනී යන්නේ මෙම ව්‍යාපෘතියට මුදල් මුදා හැරීමට විදුලි සන්දේශ නියාමන කොමිසම විසින් ගනු ලැබුවේ සාමූහික තීරණයක් බව අධිකරණයේ මතය යි.

එය පළමු සහ දෙවන විත්තිකරුවන් විසින් ගනු ලැබූ තීරණයක් නොවේ. ඒ අනුව විත්තිකරුවන් විසින් මෙය සිදු කර ඇත්තේ වංචා සහගත අරමුණකින් නොවන බව පැහැදිලි ය.

තවද මෙම අරමුදල මුදාහැරීම විදුලි සන්දේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂකවරුන් සද්භාවයෙන් සිදු කළ ක්‍රියාවක් වේ. මෙම සිල්රෙදි ව්‍යාපෘතිය සඳහා පළමු සහ දෙවන විත්තිකරුවන් සහභාගී වී නැත. එම ව්‍යාපෘති අධීක්ෂණය කර ඇත්තේ බෞද්ධ කටයුතු පිළිබඳ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් වටිනාපහ සෝමානන්ද හිමියන්ය. තවද විත්තිකරුවන්ට ජනාධිපතිවරණ දින නියම කිරීමට බලයක් නැත. ඒ අනුව මෙම ක්‍රියාව සිදුකර ඇත්තේ වංචනික අරමුණකින් නොවේ.

ඉදිරිපත් වූ සියලු කරුණු පරීක්ෂා කිරීමේදී විත්තිකරුවන් දෙදෙනා අවංක පුද්ගලයන් ය යන තීරණයට එළැඹීම හැර වෙනත් තීරණයකට එළැඹිය නොහැකි බව අධිකරණයේ මතය වේ. එබැවින් විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව දඬුවම ඉවත දැමූ අභියාචනාධිකරණය ඔවුන් මෙම නඩුවෙන් නිදොස් කොට නිදහස් කරන බව“ නඩු තීන්දුවේ සඳහන් වේ.

ඉකුත් 13 දා පෙත්සම පිළිබඳ අභියාචනාධිකරණය තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබිණ ද කොළඹ අලුත්කඩේ බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබූ හෙයින් එදින තීන්දුව ප්‍රකාශයට පත් කළ නොහැකි විය.

නීතිඥ කාංචන රත්වත්තේ, නීතිඥ ජනක රණතුංග සහ නීතිඥ තුෂාරා අමරසිරි, පළමු විත්තිකාර අභියාචක වන අනුෂ පැල්පිට මහතා වෙනුවෙන් පෙනී සිටියහ. ජනාධිපති නීතිඥවරුන් වන ෆයිස් මුස්තාපා, ශවීන්ද්‍ර ප්‍රනාන්දු, ෆයිසා මාකාර්, ශාන්ත ජයවර්ධන, කීර්ති තිලකරත්න යන නීතිවේදීහු දෙවන විත්තිකාර අභියාචක වන ලලිත් වීරතුංග වෙනුවෙන් පෙනී සිටියහ. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ සහ රජයේ නීතිඥ චතුරි විජේසූරිය නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියහ.

Comments