නව චක්‍රලේඛනය සහ වන සම්පතේ හෙට දවස | Page 2 | සිළුමිණ

නව චක්‍රලේඛනය සහ වන සම්පතේ හෙට දවස

නජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය විසින් රජයේ අවශේෂ කැලෑ කළමනාකරණය සම්බන්ධයෙන් නව චක්‍රලේඛනයක් නිකුත් කර තිබේ. MWFC/1/2020 අංක දරන මෙම චක්‍රලේඛනය මගින් වන සංරක්ෂණය වෙත පැවරී ඇති ඉඩම්වලින්, කැලෑ නොමැති ඉඩම් සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ට බලය පැවරෙනු ඇත. මේ සම්බන්ධයෙන් ඇතැමුන් පවසන්නේ මෙම නව චක්‍රලේඛයෙන් මෙරට වනාන්තර පද්ධතියට දැඩි බලපෑමක් එල්ල වන බවය.

කොළඹ විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ පාරිසරික විද්‍යා මහාචාර්ය සරත් කොටගම පවසන්නේ අපේ රටේ කැලෑවක් යනු කුමක්දැයි නිරවුල්ව අර්ථකථනය දැක්වීමක් මෙතෙක් සිදුවී නොමැති බවයි.

“1992 දී ආහාර සහ කෘෂිකර්මාන්ත දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ වන ආවරණය සිතියම්ගත කළා. ඒ අවස්ථාවේදී ඒ අය වනය කියන්නේ මොකක්ද කියලා නිර්ණායකයක් ඇතිවයි ඒ වැඩේ කළේ. අඩුම වශයෙන් අපි ඒකවත් නීතිගත කළේ නැහැ. මගේ පුද්ගලික අදහස නම් මේ දේවල් හිඟන්නාගේ තුවාලය වගෙයි‍. හැමදාම තියෙනවා. කැලෑ නොවන ඉඩම් හඳුනාගන්න නම් කැලෑව කියන්නේ මොකක්ද කියලා පැහැදිලිව හඳුනාගන්න අවශ්‍යයි.” යනුවෙන් සඳහන් කළේ මහාචාර්ය සරත් කොටගමය.

වනය හෙවත් කැලෑව යන වචනයට නිවැරදිව අර්ථ නිරූපණයක් කර නොමැති බව නීතිඥ දර්ශනී ලහඳපුර ද පැවසුවාය.

MWFC/1/2020 චක්‍රලේඛයේ 2 වැනි වගන්තියට අනුව “වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කළමනාකරණය කරන සංරක්ෂිත වනාන්තර, රක්ෂිත වනාන්තර, යෝජිත රක්ෂිත වනාන්තර හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කළමනාකරණය කරන ජාතික රක්ෂිත භූමි, අභය භූමි, වන අලි කළමනාකරණ රක්ෂිත හා නීතියකින් රෙගුලාසියකින් හෝ වෙනත් මොනයම් වූ හෝ ව්‍යවස්ථාපිත කරුණකින් පරිසරය පිළිබඳව කටයුතු කරන රජයේ දෙපාර්තමේන්තුවකට ආයතනයකට අමාත්‍යාංශයකට අයත් නොවන අවශේෂ කැලෑවල අයිතිය තවදුරටත් රජය සතුව පවත්වා ගනිමින් පරිසරයට වනජීවී සම්පත්වලට හා කැලෑවලට හානියක් නොවන පරිදි ආර්ථිකමය හා වෙනත් ඵලදායි කටයුතු සඳහා භාවිත කිරීමට දිස්ත්‍රික් ලේකම්වරුන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට හැකිවන පරිදි කටයුතු කිරීමට මෙයින් ඉඩකඩ ලැබෙනු ඇත” යනුවෙන් සඳහන් වී තිබේ.

පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ පවසන්නේ මීට පෙරද දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට කැලෑ ඉඩම් සම්බන්ධයෙන් කටයුතු කිරීමට බලය ලැබී තිබුණත් ඔවුන්ට එය සාර්ථකව කරගෙන යෑමට නොහැකි වූ බැවින් අංක 05/2001 චක්‍රලේඛයෙන් ලංකාවේ සියලුම වනාන්තර වන සංරක්ෂකට පැවරූ බවයි. වියළි කලාපයේ අක්කර 500 ට අඩු කැලෑවලත් තෙත් කලාපයේ අක්කර 200 ට අඩු කැලෑ භූමිවලත් බලය සුද්දාගේ කාලයේ සිට දිසාපතිවරුන්ට සහ උපදිසාපතිවරුන්ට පවරා තිබුණත් ඔවුන්ට එය ආරක්ෂා කර ගැනීමට නොහැකි වූවා මෙන්ම ඔවුන් එම ඉඩම් නිසි ආකාරයට ඵලදායි කටයුතුවලට යොදා නොගැනීම නිසා අංක 05/ 1998 චක්‍රලේඛය මගින් ඔවුන්ට පැවරුණු භූමි ප්‍රමාණයන් අඩු කරනු ලැබීය. එනම් වියළි කලාපයේ අක්කර 500 ට අඩු ඉඩම් අක්කර 200 දක්වා අඩු කළ අතර තෙත් කලාපයේ අක්කර 200 ට අඩු ඉඩම් අක්කර 20 දක්වා සීමා විය. එසේ තිබියදීත් දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් (1993 ට පෙර දිසාපති සහ උප දිසාපති ලෙස හැඳින්වීය) මෙම කැලෑ නිසි ආකාරයට කළමනාකරණය නොකිරීම නිසා අංක 05/2001 චක්‍ර ලේඛයෙන් කැලෑවල සම්පූර්ණ අයිතිය වන සංරක්ෂක වෙත පැවරුණු බව පෙන්වා දුන්නේ පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ ය.

“2020 සැප්තැම්බර් 10 වැනිදා 219236 අංක දරන ගැසට් පත්‍රයෙන් එදා හිටපු ඉඩම් කොමසාරිස් කිව්වා මිනිස්සු අල්ලා ගන්න ඕනෑම රක්ෂිතයකට ඔප්පු දෙනවා කියලා. මේ බව දැනගත්තු ගමන් අපේ කට්ටිය ඉඩම් අල්ලලා කොටු කරගත්තා. හොඳ වෙලාවට ඒ ගැසට් පත්‍රය අවලංගු වුණා. අදටත් මොනරාගල, බිබිල, වැල්ලවාය, ලාහුගල වගේ ප්‍රදේශවල ඉඩම් අල්ලලා කොටු කරගෙන ඉන්නේ ඒ ගැසට් පත්‍රයත් එක්කයි. හැබැයි මෙහිදී තව කාරණාවක් කියන්න ඕනෑ. ඒ වෙලාවේ ඉඩම් අල්ලා ගත්තේ දුප්පත්කමට හේන් ගොවිතැන් කරන්න නෙමෙයි. කොළඹ, නුවරඑළිය වැනි ප්‍රදේශවල ධනවතුන් මේ ඉඩම් ඇල්ලුවේ. ඒ අය පැජරෝ, ප්‍රාඩෝ වාහනවලින් ගිහිල්ලා ගමේ දුප්පත් මිනිස්සු කම්බි කණු හිටවන හැටි බලාගෙන හිටියා. මේ කතාවෙන් මම පැහැදිලි කරලා දෙන්න හැදුවේ ප්‍රාදේශීය ලේකම්වරුන්ට දිස්ත්‍රික් ලේකම්වරුන්ට නිසි විදිහට කැලෑ කළමනාකරණය කරන්න අවබෝධයක් තියෙනවාද කියන ප්‍රශ්නය නිසයි. ඉඩම් කොමසාරිස් කෙනෙක් අර විදිහේ තීන්දුවක් ගත්තා නම් මේ අයට වනාන්තර ගැන, අවශේෂ කැලෑ ගැන අවබෝධයක් තියෙනවාද කියලා අපිට දෙපාරක් හිතන්න වෙනවා.” යනුවෙන් විස්තර කළේ ලක්සොබා සංරක්ෂකයෝ සභාපති සමන්ත ගුණසේකරය.

රජයේ අවශේෂ කැලෑවල බලය දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට පැවරූ පමණින් ඔවුන්ට හිතුමතේ කටයුතු කිරීමට අවස්ථාවක් නොමැති බව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශ ලේකම් බන්දුල හරිශ්චන්ද්‍ර සඳහන් කළේ ඉඩමක් පැවරීමේදී පරිසර අමාත්‍යාංශය, ආපදා කළමනාකරණ අමාත්‍යාංශය, වනජීවී අමාත්‍යාංශය වැනි ක්ෂේත්‍ර ගණනාවක නිලධාරීන්ගෙන් සැදුම්ලත් කමිටුවක් මගින් එය සම්මත කළ යුතු බවට පැහැදිලි කරමිනි.

“අපි මේ චක්‍රලේඛය ඉදිරිපත් කළේ විසි තිස් වතාවක් කෙටුම්පත් කරලා. සමහර රාජ්‍ය නොවන සංවිධානවල කට්ටිය විරුද්ධ වෙන්නන් වාලේ විරුද්ධ වෙනවා. සමහරවිට ඒ අය පිටිපස්සේ දේශපාලනඥයෝ ඇති. ඒ විරුද්ධ වෙන අයගෙන් මම ඉල්ලා සිටින්නේ මුලින්ම මෙය මුල සිට අගට හොඳින් කියවන්න කියලා. මේ චක්‍රලේඛයේ ඉතාමත් පැහැදිලිව සඳහන් වෙනවා මොන විදිහේ භූමි ද ආර්ථිකමය හා ඵලදායි කටයුතුවලට යොදා ගැනීමට සූදානම් වෙන්නේ කියලා. 4.1 මගින් පෙන්වා දීලා තිබෙනවා ඉඩම් නිදහස් කිරීමේදී තෝරා නොගැනීමට සැලකිලිමත් විය යුතු භූමි ප්‍රදේශ ගැන. ඒ දේවල් හරියට අධ්‍යයනය නොකර විරුද්ධ වීම හොඳ දෙයක් නෙමෙයි.” යනුවෙන් පැවසුවේ වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිශ්චන්ද්‍රය.

4‍.1 සඳහන් වන පරිදි තෝරා නොගැනීමට සැලකිලිමත් විය යුතු ප්‍රදේශ ලෙස දක්වා ඇති භූමි ප්‍රදේශ වන්නේ.

ගංගා ඇළදොළ ආදී පරිසර සංවේදී භූමි ප්‍රදේශ, අධික බෑවුම් සහිත ප්‍රදේශ, ජල පෝෂක ප්‍රදේශ, වන අලි සංක්‍රමණ භූමි තීරු, ඓතිහාසික, සංස්කෘතික හෝ පුරාවිද්‍යාත්මක වැදගත්කම් සහිත ප්‍රදේශ, සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් පරිසර ප්‍රතිපත්තීන්ට අනුකූලව ජෛව විවිධත්වය සුරක්ෂිත කිරීමේ කාර්යය සහ වන වැස්ම ඉහළ නැංවීමේ ඉලක්කයන් සපුරා ගැනීම සඳහා යෝජිත භූමි, වඳ වී යෑමේ තර්ජනයට ලක්ව ඇති ශාක හා සත්ව විශේෂ සුරක්ෂිත කිරීමේ කාර්යය සඳහා සංරක්ෂණය කළ යුතු ප්‍රදේශ, රජයේ අනාගත සංවර්ධන කාර්යයන් සඳහා හඳුනාගෙන ඇති ප්‍රදේශ, වෙනත් සුවිශේෂී කරුණු මත සංවර්ධන ක්‍රියාකාරකම්වලට භාජනය කිරීම සුදුසු නොවන ප්‍රදේශ, අනාගතයේදී ප්‍රජා සහභාගිත්වය සමාජ වන විද්‍යාත්මක කාර්යයන්ට යොදා ගැනීම සඳහා යෝජිත ප්‍රදේශ. මෙහි හොඳ - නොහොඳ දෙකම තිබෙනවා. අපි හැම තිස්සේම හැමදේටම විරුද්ධ වෙන්නේ නැහැ. හොඳ දේවල් අගය කරනවා. හැබැයි 3 වැනි වගන්තිය නම් භයානකයි.” යනුවෙන් ලක්සොබා සංරක්ෂකයෝ සභාපති සමන්ත ගුණසේකර පැවසීය.

මෙම 3 වැනි වගන්තියට අනුව ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා වෙත බලය පැවරීම එතරම් යෝග්‍ය නොවන බව පැවසූ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි, නීතිඥ දර්ශනී ලහඳපුර, වන සංරක්ෂණය පිළිබඳව නිසි අව‍බෝධයක් ඇති ක්ෂේත්‍රවල ප්‍රාමාණිකයන්ගෙන් විද්වත් කමිටුවක් මගින් කටයුතු කිරීම වඩාත් සුදුසු බව සඳහන් කළාය.

“මේ චක්‍රලේඛයේ හොඳ ප්‍රවණතා තිබෙනවා. තෝරා නොගත යුතු ප්‍රදේශ ඉතාමත් නිරවුල්ව දක්වා තිබෙනවා. 05/2001 චක්‍රලේඛයෙන් වන සංරක්ෂකට පැවරූ කැලෑ ප්‍රදේශවලින් 02/2006 චක්‍ර ලේඛයට අනුව දිස්ත්‍රික් ලේකම්වරුන්ට ප්‍රාදේශීය ලේකම්වරුන්ට ඉඩම් පැවරීමක් සිද්ධ වුණේ නැහැ. ඒ නිසයි 01/2020 චක්‍රලේඛය ඉදිරිපත් කරන්න සිද්ධ වුණේ‍. අපි හැමදේම පසුගාමී විදිහට දකින්න හොඳ නැහැ. ප්‍රගතිගාමී විදිහට බලන්න ඕනෑ. මෙම චක්‍රලේඛයේ දුර්වලතා තිබෙනවා. අපි ඒවාට නිර්දේශ ඉදිරිපත් කරන්න සූදානම් වෙනවා.” යනුවෙන් තවදුරටත් විස්තර කළේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි, නීතිඥ දර්ශනී ලහඳපුරය.

මහාචාර්ය සරත් කොටගමගේ අදහස වන්නේ කුමන චක්‍රලේඛයක් පැමිණිය ද ඊට පනත අභිබවා යා නොහැකි බවයි.

“වන සංරක්ෂණ පනතේ තමයි නීතිය තියෙන්නේ. චක්‍රලේඛයක් තියෙන්නේ වැඩ පහසු කරන්න. පනත ක්‍රියාත්මක කිරීමේ පහසුව සඳහා චක්‍ර ලේඛ සකස් කරනවා. 01/2020 චක්‍රලේඛය ගත්තාම ව්‍යාකූල තැන් ගොඩාක් තියෙනවා.

01/2020 චක්‍රලේඛයේ සංවර්ධනයට භූමියක් නිදහස් කරන්නේ කොහොමද කියලා ක්‍රමවේදය ගැන සඳහන් වෙන්නේ නැහැ. පරිසර ඇගයීම් සහතිකය ගැන සඳහනක් නැහැ. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තිවලට අනුකූල වූ යෝජිත භූමි කියලා මෙහි සඳහන් වෙනවා. ඒ යෝජිත භූමි කොහෙද තියෙන්නේ? වන වැස්ම ගැන කියනවා. ඒත් වන ආවරණය වැඩි කළ යුතු තැන් ගැන සඳහන් වෙලා නැහැ.” යනුවෙන් මහාචාර්ය සරත් කොටගම විස්තර කළේ ය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන හා පාරිසරික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හේමන්ති රණසිංහ සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ වන ආවරණය 2030 වසර වනවිට 32% දක්වා වැඩි කිරීමට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සම්මුතියකට අත්සන් තබා තිබියදී කැලෑ ඉඩම් සංවර්ධනය සඳහා යොදා ගැනීම සුදුසු නොවන බවය.

චක්‍රලේඛවල ගුණදොස් ගැන අප කොතෙකුත් කතා කළ ද MWFC/1/2020 අංක දරන චක්‍රලේඛයෙන් අංක 05/2001 චක්‍රලේඛයත් අංක 02/2006 සහ අංක 05/1998 යන චක්‍රලේඛ සියල්ලේම බල රහිත වී ඇති බව ද අප සිහි තබා ගත යුතු ය.

Comments