තෙලි­තු­ඩට දිවිය කැප කළ සිත්තරා! | Page 2 | සිළුමිණ

තෙලි­තු­ඩට දිවිය කැප කළ සිත්තරා!

වැඩි­හ­රි­යක් සිත්තම් කළේ සොඳුරු ළඳුන්...

මගේ ගුරු­ගෝල චිත්‍රය ඉතා ජන­ප්‍රිය වුණා...

මාතර තංගල්ල පාරේ වෙලේවත්ත හන්දියෙන් හැරී අප ගමන් කළ පාර තාර දැමූ එකක් වුවත් වාහන දෙකක් එකවිට මාරු විය නොහැකි තරම් පටු පාරකි. පාර දෙපස වෙල්යාය, පුරන් වූ කුඹුරු හා ගහ කොළ ය. අතරින් පතර ගෙවල් තිබුණද කිසිම කෙනෙක් පෙනෙන්නෙ නැත. රටක් දන්නා සිත්තරෙක් වුණත් අප ඔහුගේ නිවෙස පිහිටියේ කොහේදැයි හරිහැටි දැන සිටියේ නැත. ගැමියකු අසල වාහනය නතර කර අප පරසිදු සිත්තරා ගැන ඇසුවේ මෙලෙසිනි. එහෙත් කියන පමාවෙන් පිළිතුරු ලැබිණි.

අර චිත්‍ර අදින මොටාගෙදර මහත්තයාගෙ ගේ කොහේද? නම කියූ සැණින් මගියා ඉදිරියට අත දිගු කර අපට ගේ ඇති දිසාව පෙන්වූයේය. අප ගෙවත්තට පිවිසි ගමන්ම දුටුවේ පොකුණක දියෙන් මතුවුණු දිය කිඳුරියකි. ඇය අසලම සිටගෙන සිටියේ මල් පොකුරක් අතින් ගත් එවැනිම රූමත් ළඳකි. ඒත් දෙදෙනාම ප්‍රතිමා බව බව දැන ගත්තෙ ළංවුණාමය.

ගෙය පැරණි ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ගොඩනැඟුණු තරමක් පැරණි එහෙත් අභිමානවත් වූවකි. උස සිහින් සිරුරකින් යුතු තළෙළු කාන්තාවක් ඉන් එළියට ඇවිත් අප පිළිගත්තේය. ඒ මොටාගෙදර මහත්තයගේ බිරිය සීතා බව අප දැන ගත්තේ පසුවය.

සාලයට ඇතුළු වුණ ගමන්ම දැක්කෙ බිත්ති පුරාම ඇඳල තිබූ සිතුවම්ය. එහෙ බැලුවත් මෙහෙ බැලුවත් චිත්‍රය. ඒ හැම එකක්ම කියන්න බැරි තරමට ලස්සනයි. අපට පෙනුණේ එක් සිතුවමක සිටි රුවැති ළඳක් අප දෙස බලා කට කොණකින් සිනාසෙනව වගෙයි. මොටාගෙදරයන් අවුරුදු 87ක වයෝවෘධ කෙනෙකි. ඒත් ඔහු අප ඉදිරියට පැමිණ අසුන් ගතතේ තවමත් ඇති පරණ ජවයෙන් යුතුවයි. පසුසට කඩා දැමූ සුදු කෙස්වැටියත් මුහුණ පුරා වැවුණු රැවුලත් අපට සිහි ගැන්වූයේ දෙවෙනි තාගෝර් කෙනෙකි.

“මගේ ජීවන අත්දැකීම් ඔබට පවසන්නේ පුරසාරම් දෙඩවීමක් හැටියට නෙවෙයි. මම දැන් ජීවිතේ සැඳෑ සමය ගෙවමින් ඉන්නෙ. මම හිතෙනව මගේ අත්දැකීම් බාල පරපුරට වැඩදායක වේය කියල” ඔහු කතාව පටන් ගත්තෙ එහෙමයි.

සිතුවම් කලාව වගේම ලී කැටයම් කලාව, මූර්ති කලාව, ලී කැටයම් කලාව බතික් කලාව ගැන මම ආසාවෙන් කරුණු ඉගෙන ගත්තා." තමාටම අනන්‍ය වූ නව ආරකට පිවිසෙමින් රේඛාකරණය භාවිතය ඔස්සේ ඔහු මැවූ ලලනා සිතුවම් බොහෝ දෙනකුගේ සිත් පැහැර ගත්තේය. රේඛා තුළින් ඒ සිතුවම්වල මැවුණ භාවමය විලාසයට හා මඳ ශෘංගාරයට තරුණ පිරිස වශී වුණි.

“මම ඉස්සෙල්ලාම ගියේ දැන් බණ්ඩාරණායක මහා විදුහල නමින් හැඳින්වෙන පාසලට. එහි මුල්ගුරුතුමා විජේරත්න කියලා මහත්මයෙක්. එයා චිත්‍ර කලාවට කැමතියි. එයා තමයි මුල. ඔහුගේ චිත්‍ර සටහන් මගේ සිත් ගත්තා. මමත් ඒ අනුව චිත්‍ර අඳින්න පටන් ගත්තා.

මම ඊළඟට ගිය පාසලේද සිටියේ මටම හරියන චිත්‍ර කලාව පිළිබඳ දැනුමැති ගුරුවරයෙක්. ඒ මාතර සර්වේශස් විදුහලේ චිත්‍රකලා ගුරු පී. එල් ධර්මදාස මහතාය. ධර්මදාස තමා දත් ශිල්පය ගුරුමුෂ්ටි නොතබා මට නිර්ලෝභිව ලබා දීමට පැකිලුණේ නැහැ. එකල හේවුඩ් නමින් හැඳින් වූ ජාතික කලායතනයට මට පාර පෙන්වුයේ එතුමායි.

හේවුඩ් ආයතයට ඇතුළත් වෙන්න පිට පළාත්වලින් හුඟාක් අය ඇවිත් හිටියා.. අපට මුලින්ම දුුන්නේ බලාගෙන අඳින චිත්‍රයක් අඳින්නයි’.. ඒක මම ඉතා ලෙහෙසියෙන්ම ඇන්දා.. ඒක ප්ලාස්ටර් ඔෆ් පැරිස් යුරෝපීය ප්‍රතිමාවක්.. ඊට පසුවදා මා කිසිසේත් අපේක්ෂා නොකළ දෙයක් සිදු වුණා.. එදා උදසන අප රැස්ව සිටිි තැනට පැමිණි ආයතන ප්‍රධානී එම් ජේ පෙරේරා මහතා මා කලායතනයේ අවසන් වසර වන ඉහළ පන්තියට ඇතුළත් කළ බව ප්‍රකාශ කිරීම මගේ විස්මයට හේතු වුණා”

ත්‍රිත්ව උසස් වීම් ලැබ ඉහළ පන්තියකට ඇතුළත් වීමට මොටාගෙදරට වරම් ලැබුණද එහි වැඩි කලක් රැඳෙන්නට මොටාගෙදරට සිතුණේ නැත. ඒ කරුණු දෙකක් නිසාය. කලායතනයේ වැඩිපුර අවධානය යොමු වී තිබුණේ බටහිර ආර ගත් චිත්‍ර ක්‍රමයකටය. දෙවැන්න ඇත්තම කිව්වොත් ඔහුට අලුතෙන් ඉගෙනීමට දෙයක් එහි නොතිබීමය.

අනතුරුව කොළඹ හෙට්ටිවීදියේ වීරරත්න ජුවලස් ළඟ ස්වර්ණාභරණ සැලසුම් නිර්මාණය කළ මොටාගෙදරට ලංකාදීපයට යෑමට මඟක් පෑදුණේ අහම්බෙනි. ඒ ජාතික කලා පෙරමුණේ සභාපති මාපලගම විපුලසාර හිමියන් මුණගැසීමෙනි. උන් වහන්සේගේ රෙකමදාරුව මත ලංකාදීපයට බැඳීමට වාසනාව ලැබු මොටාගෙදරට ඩී.බී ධනපාල ජී. ඇස් ප්‍රනාන්දු හා සුසිල් ප්‍රේමරත්න වැනි පත්තර කලාවේ දැවැන්තයන්ගේ ඇසුර ලැබුණි.

“ධනපාල මහත්තය මට කැමති වූයේ කාරණා දෙකක් නිසා බව මම දැන සිටියා. එකක් සිංහල කමේ සෙවණැල්ල මගේ සිතුවම් මත වැටී තිබෙනු ඔහුට පෙනුණු නිසා. අනික මගේ චිත්‍ර ශෛලියේ තිබූ භාවමය රේඛාකරණය නිසා”

මොටාගෙදරගේ බමරය වැල්ලේ කැරකෙන්නට පටන් ගත්තේ 1956 විප්ලවකාරී වසරේ ය. ඒ වන විට එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායකයන් අගමැති ලෙස පත් වී තිබණා. මොටාගෙදරගේ “මගේ ලතාව” නමින් ප්‍රථම චිත්‍ර ප්‍රදර්ශනය කලාගාරයේ පැවැත්වූයේ ඒ වසරේය. මොටාගෙදරගේ මේ අගනා දේශීය සංස්කෘතික කලා මංගල්‍යය විවෘත කිරීමට පැමිණියේ මේ ජනතා අගමැති බණ්ඩාරනායකය. ඒ උලළේ තවත් විශේෂයක් වූයේ උත්සවයට පැමිණි සියලු රසික ජනයා ජාතික ඇඳුමින් සැරසී පැමිණීමය. එදා කොළඹ කවදාවත් නැති විදියට තරුණ හා වියපත් මහත්වරු සුදු සරම හා දිගු බැනියමකින්ද සියලු කතුන් ඔසරියකින්ද තරුණියන් ළමා සාරියකින්ද සැරසී පැමිණීමය. එදා කිසිදා නොවූ අන්දමට කොළඹ කලාභවන දේශීයත්වයේ ආලෝකයයෙන් බැබළෙන්නට විණි.

“ඔය කාලෙ තමයි මම දවස පත්තරය සඳහා අකුරු මෝස්තරයක් නිර්මාණය කළේ එය හැඳින්වුයේ මොටා ටයිප් කියලා පසු කාලයේදී මෙය දවස පත්තරය සඳහා භාවිතයට ගත්තා”. මොටාගෙදර එක් ආයතනයක නොව වරින් වර ආයතන කීපයක කටයුතු කළේය. ඇත්තෙන්ම එසේ සිදු වූයේ අයුක්තිය අසාධාරණය හා වංචාව ඔහු නොරිස්සූ නිසාය. ඇතැම් විට එම ආයතනික වැඩ පිළිවෙළ ඔහුට නොගැළපුණ නිසාය.

දවස පුවත්පතින් පසු ඔහු ඇත්ත පුවත් පතටත් අනතුරුව ලෙක් හවුස් ආයතනයටත් සේවය කළේය. 1993 තමාට ලේක් හවුසියට එකතු වීමට උදවු වූ එකල සිළුමිණ පත්‍රයෙහි ප්‍රධාන කතුවරයා වූ තිලකරත්න කුරුවිටබණ්ඩාරයන් ඔහු සිහි කරන්නේ උණුසුම් හැඟීමෙන් යුතුවය. කොතැනට වැඩට ගියත් තම දේශපාලන අදහස්වලට එරෙහිව වැඩ කිරීමට වාමාංශිකයකු වූ මොටාගෙදර කැමති වුණේ නැත. ඇතැම් රැකියා ආයතනයක දී තමාට වාමාංශික පක්ෂවලට විරුද්ධව කාටුන් ඇඳිය නොහැකි යැයි කොන්දේසි දැමීමට තරම් මොටාගෙදර පසුබට වූයේ නැත.

බොහෝවිට ජනතාව මොටාගෙදර හඳුනන්නේ 2006 වසරේ සිට ඔහුගේ අදින ගුරු ගෝල චිත්‍රයෙනි. හදවත හා මොළයට එකවිට ක්‍රියාකාරකමක් ගෙනෙන මේ අපූරු චිත්‍ර ප්‍රහේළිකාව බාල තරුණ මහලු සියල්ලන්ගේ සිත් ඇද ගත්තේ නිතැතිනි. එදා දවස පුවතෙන් ඇඳීමට ආරම්භ කළ මේ අපුරු සිත්තම ඔහු අද සිළුමිණ පුවත්පතට ඇඳ යවයි.

මොටාගෙදරගේ කලාත්මක වැඩ චිත්‍රවලට සීමා වී නැත. ඔහු වෙසක් තොරණට ද අත ගැසුවේය. ඔහු පවසන අන්දමට කොකිස් අච්චු ක්‍රමයට නිමවන තොරණ වෙනුවට ඔහු නිර්මාණය කළේ වෙනස් රටාවක තොරණය. ඒ හැර පන්සල් බිතු සිතුවම් කලාවට ද ඔහුගේ අත සිත යොමු විය. මේ හැර බතික් රෙදි මුද්‍රණය, ලී කැටයම්, ප්‍රතිමා නිර්මාණයටද ඔහුට ඇත්තේ හුරුබුහුටි බවකි.

මොටාගෙදර මහතා සෙවණැල්ල මෙන් ළගම සිටින ඔහුගේ බිරිඳ ගැන යමක් නොකියා බැරිය. ඇය කිවිඳියක් වන සීතා මොටාගෙදරයි. ඇය දැනට කවි පොත් දෙකක් ලියා ඇත. මොටාගෙදර පස්සෙ එකල සිළුමිණට ඇඳ යැවූ අලංකාර චිත්‍රවලට යටින් පූරක කවියක් ලියා යැව්වෙ ඇයය.

මොටාගෙදර මහත්තයා මුණ ගැහුණෙ කොහොමද කියා අප ඇගෙන් ඇසුවෙමු.

‘ඒ කාලෙ මහත්තය පදිංචි වෙලා හිටියෙ අපේ ගෙදරට අසල ගෙදරක. ඒත් මට එයා හමු වුණේ බස් එකකදි. එයා මගේ ළඟ සිට ගෙන ගියා. මම දුටුව එයාගෙ පොතක මොටාගෙදර කියල ලියල තියෙනවා.

ඒ විදියට අපි කීප දවසක් හමුවෙලා කතාබස් කළා. ඒකෙන් තමයි යාළුකම පටන් ගත්තෙ. පස්සෙ මෙයා ඇවිත් අපේ තාත්තත් එක්ක කතා කරල තියෙනවා. අපේ තාත්ත ටිකක් සැරයි. පස්සෙ තාත්ත මගෙන් ඇහුව අහවලා අඳුනනවද කියල. මම කිව්ව දැකල කතා බහ කරල තියෙනව කියලා. දුන්න නේද කම්මුල්පාරක්. මට තරු වීසිවුණා”. කියූ ඇය සිනාසෙන්නට වූවාය.

ඇයගේ විවාහය සිදු වූ පසු පියා අමනාපව සිටියත් පුතුන් ලැබීමෙන් පසු තමාටත් දරුවන්ටත් බොහෝ උදවු කළ බව සීතා පවසයි. ඔවුන්ට පුතුන්ම සතර දෙනෙකි. එනම් මූර්ති, සංඛ වර්ණ (ජීවතුන් අතර නැත) නිමල්, හා සිවුමල් යනුවෙනි. විවාහයෙන් පසු ඩොරින් සීතා රණසිංහ සීතා මොටාගෙදර වී ඇත්තේ එහෙමය.

මේ සටහන අවසන් කරන්නට මොටාගෙර වනිගරත්නයන් චිත්‍ර කලාව පිළිබඳව දැරූ මත කීපයක් දැක්වීම සුදුසු යයි සිතුණි.

ළමයාට චිත්‍ර ඉගැන්වීමේදී අනුගමනය කළ යුතු ඔහු කියව අන්දමට වෙනස් ය. ළමයාට ඕනෑ විදියට චිත්‍ර අඳින්නට දිය යුත්තේ ඔහුගේ අත රේඛාව හැසිරවීමට හුරු වුණ පසු පමණයි. ඉන් පසුවයි ඔහු චිත්‍ර සඳහා පුහුණ කළ යුත්තේ. එසේ නැතිව ළමයාට ඕනෑ විදියට අඳින්නට දුන්නොත් ඔහු චිත්‍ර වෙනුවට බහුභූත අඳින්නෙක් වේවි” තවත් අදහසක් මෙසේය. චිත්‍ර කලාව යනු අවබෝධ කර ගත හැකි අයුරින් නිර්මාණ කළ යුතු සන්නිවේදන මාධ්‍යයක් මිස විකාර රූප කලාවක් නොවෙයි”

චිත්‍ර කලාව පිළිබඳ විශාරත්වය මට ලැබුණේ වෙනත් ගුරුවරයකු ගෙන් හෝ උපදේශකයකුන් නොව මගේම කැපවීම හා ස්වොත්සාහය මතයි. මගේ ලේවල එය කැවී තිබුණා. එය ඇගෙන්ම ආපු අපූරු අසිරිමත් දෙයක්”

Comments