සසුන’ඹර එළිය කළ නිවී ගිය මිණි පහන නාපාන පේමසිරි මහ නා හිමියෝ | සිළුමිණ

සසුන’ඹර එළිය කළ නිවී ගිය මිණි පහන නාපාන පේමසිරි මහ නා හිමියෝ

2014 වසරේ ජූලි මාසයයි. මහනුවර ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති විශේෂ ආගමික උත්සවයකට සහභාගි වන්නට මමද ගියෙමි. උත්සවය ආරම්භ කිරීමට නියමිතව තිබුණේ පස්වරු 3.00ටය. පස්වරු 3.00ට ආසන්න විය. ඒ වන විට උත්සවයට සහභාගී වන්නට පැමිණ සිටි ගිහි පිරිසද එතරම් විශාල නොවීය. භික්ෂූන් වහන්සේ 40නමක් පමණ ආරාධනා ලැබ තිබුණු අතර ඒ වන විටත් වැඩම කර සිටියේ ආරාධිත භික්ෂූන් වහන්සේගෙන් 12නමක් පමණි. විහාරස්ථානයට පැමිණි ළා නිල් පැහැති මෝටර් රථයකි. වයෝවෘද්ධ හිමිනමක් එයින් බැස ගත්හ.

‘‘අපි හිතුවෙ නැහැ මහ නායක හාමුදුරුවො කලින්ම වඩියි කියල‘‘ පිරිස කියූහ.

‘‘උත්සවේට ආරාධනා කරල තිබුණෙ 3.00ටනෙ ඉතින් වෙලාවටම ආවා‘‘ සිහින් හඬකින් උන් වහන්සේ වදාළහ.

එම උත්සවය අවසන් වූයේ පස්වරු 6.30ට පමණය. එතෙක් වේලා උන් වහන්සේ අසුනින් නැඟී සිටියේ නැත. නාපාන මහ නාහිමියෝ එවැනි ගති ලක්ෂණයන්ගෙන් යුතු වූහ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහ නායක පදවියට පත්වීමට පෙර සිට වුවද නාපාන පේමසිරි මහ නා හිමියෝ මාධ්‍ය ඔස්සේ වැඩි වශයෙන් පෙනී සිටියේ නැත. ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වා අදහස් පළ කරනවාට වඩා උන් වහන්සේ සිතුවේ ශාසනික ආගමික මෙහෙවරට එම කාලය යෙදවිය යුතු බවයි. උන් වහන්සේ උපත ලැබුවේ මහනුවර පාතදුම්බර නාපාන ග්‍රාමයේදී 1923 ජනවාරි 20 වැනිදාය. ඒ ඒකනායක මුදියන්සේලාගේ මහකුඹුරේ ගෙදර කිරිබණ්ඩාර නිලමේතුමාගේ හා නියංගොඩ හිටි බණ්ඩාර මුදියන්සේලාගේ බණ්ඩාර මැණිකේගේ පුත් කුමරෙක් ලෙසිනි. පවුලේ 7වැනි දරුවා ලෙසින් මෙලොව එළිය දුටු මේ කුමරාට ඒකනායක මුදියන්සේලාගේ මහකුඹුරේ ගෙදර ටිකිරි බණ්ඩාර යන නම තබන ලදී.

වලල මූලික පාසලෙන් හා ගුන්නෑපාන අමුණුගම මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ටිකිරි බණ්ඩාර වයස අවුරුදු 10දී එනම් 1933 ජූලි මස 08 වෙනිදා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ධුරය හෙබවූ (අපවත් වී වදාළ) තෙරිපැහැ සිරි සීලවංශ නා හිමියන්ගේ ආචාර්යත්වයෙන් නාපාන පේමසිරි නමින් පැවිදි විය. ඒ හුරිකඩුව උදුම්බරාරාමයේදීය.

සාමණේර අවධියේ මූලික බණ දහම් අධ්‍යයනය කළ පේමසිරි හිමියෝ 1935 වසරේදී කොළඹ වැල්ලවත්ත ශ්‍රී ධර්මෝදය පිරිවෙණට ඇතුළත් වූහ. එතැනින් ප්‍රාචීන ප්‍රාරම්භ මධ්‍යම විභාග සමත්ව රාජකීය පණ්ඩිත විද්‍යා විශාරද පරීක්ෂණයද සමත් වූහ.

අධ්‍යයන කටයුතුවල මෙන්ම ශාසනික කටයුතුවලද නියැළී කටයුතු කළ පේමසිරි හිමියෝ 1943 වසරේ අගෝස්තු 6වැනිදා මහනුවර කටුගස්තොටදී පිගාඔය මධ්‍යයේ ඉදිකළ උදකුක්ඛේප පෝය සීමා මාලකයේදී උපසම්පදා ලැබූහ. එතැනින් පසුවද අධ්‍යයන කටයුතු සිදු කළ පේමසිරි හිමියෝ තමන් වහන්සේ උගත් ධර්ම ශාස්ත්‍රීය සේවය භික්‍ෂු පරපුරට දායාද කිරීම පිණිස 1945 වසරේදී නිට්ටඹුව විද්‍යානන්ද පිරිවෙනින් ගුරු වෘත්තිය ආරම්භ කළහ.

තමන් උගත් ධර්මය පරාර්ථය සඳහාම යොදවමින් කැටවල ශ්‍රී ජිනේන්ද්‍රාරාමයේ ආරම්භ කළ උන් වහන්සේ ශ්‍රී විද්‍යාලෝක පිරිවෙ­‍ෙනහි පරිවේණාධිපති ධූරය හොබවමින් උගත් ගිහි පැවිදි පිරිසක් රටට සසුනට දායාද කරන්නට කටයුතු කළහ.

ගිහි පැවිදි විශාල ශිෂ්‍ය පිරිසකට පාලි, සිංහල සංස්කෘත බුද්ධ ධර්මය යන විෂයන් ඉගැන්වීමේ නිරතව සිටි නාහිමියන් පසුව තමන් වහන්සේ උපත ලැබූ ගමට ආසන්න මැණික්හින්න හුරිකඩුව විද්‍යාසාගර පිරිවෙන ආරම්භ කරන ලදී. ඒ 1967 වසරේදීය. එහි ප්‍රථම පරිවේණාධිපති ධූරය දරන ලද්දේද උන් වහන්සේමය.

ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ යාවජීව සාමාජිකයෙකු ද වූ උන්වහන්සේ එහි කාරක සභිකයෙකු ලෙස ද ක්‍රියා කළ හ.

උන් වහන්සේ සැමවිටම උත්සාහ කෙළේ ගුණ දහමින් පිරි සමාජයක් කරා යන ගිහි පැවිදි පිරිසක් බිහි කිරීම වෙනුවෙනි. ඒ සඳහා කිසිදු විටෙක තනතුරු නම්බු නාම ගැන නොතැකූහ. එසේ වුවත් උන් වහන්සේගේ ශාසනික මෙහෙවර උදෙසා 1980 වසරේ මහනුවර ප්‍රාදේශීය සංඝ සභාවේ සභාපති ධූරය පිරිනැමුණි. එසේම 1986 වසරේදී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහනුවර ප්‍රාදේශීය සංඝ සභාවේම ලේඛකාධිකාරී පදවියද 1987දී එම නිකායේ සඤ්ඤා ලේඛකාධිකාරී ධූරයද හිමි විය. සිංහප්පූරුව, ඔස්ට්‍රියාව, වියානා, චීනය, මියන්මාර්, එංගලන්තය හා දඹදිව ඇතුළු විදෙස් රටවල පැවති ජාත්‍යන්තර බොදු සමුළුද උන් වහන්සේ නියෝජනය කළහ. ඊට අමතරව ධර්ම ප්‍රචාරයෙහිද නිරත විය.

1998 වසරේදී අධිකරණ සංඝනායක පදවිය ලැබූ නාපාන නා හිමියන්ගේ ආගමික ශාසනික සේවාව වෙනුවෙන් උන් වහන්සේට 2008 වසරේදී මියන්මාර් රාජ්‍යයෙන් අග්ගමහා පණ්ඩිත ගෞරවෝපාධියද හිමි වූහ. එමෙන්ම පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන් ආයතනය වෙතින් ස්ථවිරවංශාලංකාර ශාසනකීර්ති ශ්‍රී යන ගෞරව උපාධියෙන්ද උන් වහන්සේ පිදුම් ලැබූහ. කිසිදු තනතුරු නාමයකින් උදම් නොවූ නාහිමින්ගේ උත්කෘෂ්ට ගුණාංගය නිසාම 2012 වසරේදී ඔක්තෝබර් මස උන් වහන්සේ රාමඤ්ඤ නිකායේ මහ නායක ධුරයට පත් වන්නේ වේවැල්දෙණියේ මේධාලංකාර මහ නා හිමියන්ගේ අපවත්වීම නිසාය. කුමන තනතුරක් ලැබුණද ඒ සියලු තනතුරු උන් වහන්සේ උපයෝගී කරගත්තේ ශාසනික කටයුතු වෙනුවෙන්මය.

ඒ අනුව දුනුවිල සඳගිරි ලෙන් විහාරය, කුණ්ඩසාල වරාපිටිය බෝධිරුක්ඛාරාමය, පල්ලේකැලේ සීලවංශ බෞද්ධ මධ්‍යස්ථානය, මින්දගොඩ සිරි සුමනාරාමය, රජවැල්ලේ ශ්‍රී පූර්වාරාමය හා අලුත්වත්ත මිහිඳු ධර්ම පීඨය යන විහාරස්ථාන සියල්ලම මහ නා හිමියන්ගේ උපදෙස් අනුව ඉදි කරන ලදී. එම විහාරස්ථානයන්හි දහම් පාසල් ආරම්භ කර දරු දැරියන්ට ධර්මාබෝධය ලබා දීමටද උන් වහන්සේ නව පියවරක් තැබූහ.

මහනාහිමි සිදු කළ සාමාජික සේවාවන්ද රැසකි. ඒ අතර 1951 වසරේදී හුරීකඩුවේ ශ්‍රී විජය ප්‍රජා මණ්ඩලය ආරම්භ කරමින් ගමට ක්‍රීඩා පිටියක් හා සමූපකාර වෙළඳසලක් ලබාදීමට ක්‍රීඩා කිරීමද ගමේ අභිවෘද්ධිය පිණිස විද්‍යාසාගර අන්‍යෝන්‍යාධාර සමිතිය, සංඝමිත්තා ග්‍රාම සංවර්ධන හා සුභසාධක සමිතිය, ශ්‍රී සුචරිතවර්ධන ළමා සමාජය ආදී සමිති රැසක් ආරම්භ කිරීමද අගය කළ යුතුය. සර්වෝදය ව්‍යාපාරය උඩරටට හඳුන්වා දී එහි සේවා සිදු කිරීම සඳහා ස්වකීය විහාරස්ථානයේ මහනුවර දිස්ත්‍රික් මධ්‍යස්ථානය පිහිටුවීම ආදියද මෙහිදී දැක්විය හැකි ය. උන් වහන්සේට පරිත්‍යාග වශයෙන් ලැබුණු ඉඩමෙන් අක්කර 2ක් ද්‍රවිඩ ජනතාවගේ සොහොන් පිටියක් ඉදිකරවීම සඳහා පිරිනැමීම මහනාහිමියන්ගේ සමාජ සේවා අතර විශේෂත්වයක් ගනී. ත්‍රෛනිකායික මහා සංඝයා වහන්සේලාගේ සමගිය පිළිබඳව දැඩි අවධානයෙන් ක්‍රියාකළ නාහිමියන් රටේ සෑම අභියෝගාත්මක අවස්ථාවන්හිදීම සෘජුව ඉදිරිපත්ව කටයුතු කරන ලදී. එසේම දුරබැහැර ශාසනික කටයුතුවල යෙදී සිටින භික්‍ෂූන් වහන්සේ දිරිගැන්වීමටද උන් වහන්සේ කටයුතු කළහ.

2019 අගෝස්තු මාසයේ 16 දින ශ්‍රී ලංකා අමරපුර සහ රාමඤ්ඤ යන මහ නිකායන් දෙක එක් කරමින් ශ්‍රී ලංකා අමරපුර - රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව පිහිටුවීම සඳහා සම්මුතියට අත්සන් තැබීමෙන් පසුව එහි සම සභාපති ධුරයට ද මහනාහිමියෝ පත් වූ හ.

භික්ෂූන් වහන්සේට මෙන්ම රටට දැයට හානිදායක යම්කිසි කරුණක් දුටුවේනම් උන් වහන්සේ ඒ සෑම අවස්ථාවකදීම රට දැය සමය වෙනුවෙන් කතා කළහ. ඒ සම්බන්ධයෙන් මෙරට සියලු නිකායික මහ නායක අනුනායක ස්වාමීන් වහන්සේ උන් වහන්සේගේ ඒ ගුණාංගයන් මහත් සේ වර්ණනා කළහ. දශක 7කට අධික කාලයක් නාපාන පේමසිරි මහ නාහිමියෝ ශාසනය වෙනුවෙන් කැප වී කටයුතු කළ බව ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක ගෞරව ශාස්ත්‍රවේදී දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්මාභිධාන අනුනායක හිමියෝ පවසති.

‘උන් වහන්සේ කිසිදු අවස්ථාවක කලබල වුණේ නැහැ. සියල්ල මෙත් සිතින් ඉවසා සිටියා. පසුගිය දිනක නිකායේ සෙසු ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේ යම් දේශපාලන කරුණක් සම්බන්ධයෙන් මාධ්‍යයට කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදී උන් වහන්සේ ඒ පිළිබඳව කිසිදු ආකාරයක කලබල නොවී අදාළ භික්ෂූන් වහන්සේට කරුණු පැහැදිලි කළා. ඒ එම භික්ෂූන් වහන්සේගේ සිත් නොරිදෙන අයුරින්.

ඒ වගේම ශාසන විරෝධී ක්‍රියාවක් නැත්නම් අර්බුදකාරී තත්ත්වයක් මතුවුණු අවස්ථාවලදී උන් වහන්සේ අනිවාර්යෙන්ම පෙරමුණ ගත්තේ සෙසු නිකායින මහ නාහිමිවරුන්ගේ සහායත් ලබා ගනිමින්. එයට හොඳම උදාහරණයක් වන්නේ භික්ෂූන් වහන්සේ රියැදුරු බලපත්‍ර ලබා ගන්නට උත්සාහ කළ අවස්ථාවේදී එය ශාසන විරෝධී බව උන් වහන්සේ නොබියව පෙන්වා දුන්නා.එමෙන්ම භික්ෂූන් වහන්සේ පාර්ලිමේන්තු යාම දේශපාලනයට සම්බන්ධ වීම අනුමත නොකළ උන් වහන්සේ වදාළේ භික්ෂුවගේ කාර්යය ශාසන දියුණුවට කටයුතු කිරීම බවයි. එමෙන්ම කුමන නිකායකින් ආරාධනාවක් ලැබුණද උන් වහන්සේ එය ඉහළින්ම පිළි ගත්තේ එම ආරාධනයට කළ ගරු කිරීමක් වශයෙන්. ‘

බුද්ධ චීවරයට ඉහළින්ම ගෞරව කළ යුගයේ මහා ථෙර නමක් ලෙස නාපාන පේමසිරි මහ නාහිමියන් හඳුන්වා දිය හැකි බව ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක වේඩරුවේ ධර්මකීර්ති ශ්‍රී රතනපාල උපාලි අනු නා හිමියෝ පවසති. විදෙස් රටකදී පවා උන් වහන්සේ කිසිදු විටෙක චීවරය අභිභවා යන්නට කිසිදු වස්ත්‍රයක් පැලඳුවේ නැහැ. එංගලන්තයේ අධික සීතල මධ්‍යයේ වුණත් හිසේ සාලුවක් පමණක් දවටාගෙන චීවරයේ ගරුත්වය රැක දෙන්න උන් වහන්සේ කටයුතු කළා. නිකාය භේද පාර්ශ්ව භේද කිසිවක් ගැන කිසිවක් නොසැලකු උන් වහන්සේ අල්පේච්ඡතාවයේ ඉහළින්ම සිටි භික්ෂූන් වහන්සේ නමක්. උන් වහන්සේ වැනි චරිත ඉදිරියේදී අපට දැක බලා ගත හැකිවන්නේ පොත්පත්වලින් පමණක් වෙන්න පුළුවන්. උන් වහන්සේ 90වැනි වියේදීත් එංගලන්තය, චීනය වැනි රටවලට වැඩම කළේ ආරාධිතයාගේ සිත නොරිදවීමට ඇති අවශ්‍යතාවය නිසායි. උන් වහන්සේ සැලකුවේ තමන් වහන්සේගේ ශරීර සෞඛ්‍යය නොව අනෙක් තැනැත්තාගේ අවශ්‍යතාවයයි. නාපාන පේමසිරි මහ නාහිමිපාණන් සැම විටම තනතුරේ ගෞරවය ගැන නිරතුරුවම සිහි තබාගෙන කටයුතු කළ බව ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ වැඩ බලන උත්තරීතර මහා නායක හා සංඝ සභාවේ සභාපති අමරපුර චූලගණ්ධි පාර්ශ්වයේ මහානායක ගංතුනේ අස්සජි මහ නාහිමියෝ පවසති.

‘කිසිදු ශාඛා හෝ අනු නිකායන් නොමැති නිකායක මහ නායක ධුරයක් ලැබීමට තරම් උන් වහන්සේ භාග්‍යවන්ත වුණා.

ඕනෑම කුඩා සාමණේරයන් වහන්සේ නමකගේ හෝ දස්කමක් දුටුවිට එය අගය කිරීමත් ඒ සඳහා දිරි දීමත් මහ නාහිමියන්ගේ චරිතය පුරාම අපිට දකින්න පුළුවන් වුණා. කුමන ගෞරව නාම ලැබුණත් ඒ සියල්ල නිකායේ සේවයට යොදා ගන්නටයි උන් වහන්සේ කටයුතු කෙළේ. උන් වහන්සේ අමරපුර හා රාමඤ්ඤ මහා නිකාය ඒකාබද්ධ කිරීමටත් එහි සම සභාපති ධුරය ලබා ගන්නටත් හැකි වූයේ උන්වහන්සේ තුළ තිබුණු අප්‍රතිහත ධෛර්යය නිසයි. ඇතැම් ශාසනික අනු නාහිමිනමක් හෝ වෙනත් ජ්‍යෙෂ්ඨ හිමිනමක් සහභාගි කරන්නට හැකියාව තිබියදීත් තමන් වහන්සේම වැඩම කිරීමට උන් වහන්සේ කටයුතු කෙළේ ආරාධනාවට කරනු ලබන ගෞරවයක් ලෙසින්. ‘

නාපාන පේමසිරි මහ නායක හිමිපාණන් වහන්සේ සැම විටම අනුනායක හා සෙසු හිමිවරුන් සමඟ ඉතාම සුහදව කටයුතු කෙළේ උන් වහන්සේලාට මාර්ගෝපදේශකත්වය ලබා දෙමින් බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ගලපිටියාගම විමලධම්ම අනු නාහිමියෝ පැවසූහ.

‘මහ නාහිමියන්ගේ අප දුටු ඉහළම ගුණාංගය තමයි ආරාධනාවකට නියමිත වේලාවට වැඩම කිරීම. ඒ වගේම එම උත්සවය හෝ පින්කම අවසන් වන තෙක්ම එතැනින් ආපසු වැඩම කරන්නේ නැහැ. ඒ ආරාධනාවට කරන ගරු කිරීමක් ලෙසින්. වසර 99කට ආසන්න ආයු කාලයම උන් වහන්සේ නිකායේ දියුණුවටම තමයි කටයුතු කෙළේ. අපත් එක්ක බොහොම සුහදශීලිව උන් වහන්සේ කටයුතු කළා.

කිසිදු විටෙක දේශපාලනය ගැන උන් වහන්සේ කතා කෙළේ නැහැ. අන් අයගේ සිත් රිදවීමට කිසිවිටෙක කටයුතු කෙළේ නැහැ.

ධර්මය පිළිබද හසල දැනුමක් උන් වහන්සේට තිබුණා. විශේෂයෙන්ම පාලි හා සංස්කෘත භාෂාවෙන් ගාථා ශ්ලෝක නිර්මාණය කර එහි තේරුම් පවා පවසන්නට උන් වහන්සේ කටයුතු කළා. එවන් මහ නා හිමිනමක් යළි පහළ වේයැයි සිතන්නටත් බැහැ.‘

පසුගිය 17 වැනිදා අපවත් වී වදාළ නාපාන පේමසිරි මහ නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය 22 ඉරිදා කුණ්ඩසාලේදී පැවැත්වේ. අපි උන් වහන්සේට නිවන් සුව පතමු!

Comments