‘ගම හදා රට හදන්න බැසිල් පාර්ලිමේන්තුවට යා යුතුයි’ | සිළුමිණ

‘ගම හදා රට හදන්න බැසිල් පාර්ලිමේන්තුවට යා යුතුයි’

පේ රටේ ජනතාවට බලපාන්නා වූ සියලු තීන්දු ගන්නා පාර්ලිමේන්තුවේ නියෝජනය කරන ජනතා නියෝජිතයන්ගේ ක්‍රියාවලිය බෙහෙවින් වැදගත් වන්නේ එම තීන්දු ඍජුවම රටේ ජාතික ආරක්ෂාවට මෙන්ම ආර්ථිකය හැසිරවීමට බලපාන හෙයිනි. ගම් මට්ටමේ ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධව ප්‍රාදේශීය දේශපාලඥයන් ජන දුක හඳුනාගෙන පාර්ලිමේන්තුවේ සිටිය යුතු අතරම කෝටි දෙකකට අධික ජනතාවට බලපානු ලබන තීන්දු තීරණ සම්මත කර ගන්නා පාර්ලිමේන්තුවේ අනිවාර්ය නියෝජනයක් විය යුත්තේ අදාළ විෂයයන් පිළිබඳ දැනුම ඇති පුද්ගලයන් ය.

යහපාලන ආණ්ඩුව සමලිංගිකත්වය අනුමත කරමින් පාර්ලිමේන්තුවට පනත් ගෙන ඒමට සූදානම් වූයේ රටේ සංස්කෘතිය ගැන පවා නොදන්නා පිරිස් පාර්ලිමේන්තුව නියෝජනය කිරීම නිසාය.

එමනිසා පාර්ලිමේන්තුවේ සිටිය යුතුම පුද්ගලයන් බාහිරව සිට කටයුතු කිරීම රටේ ආර්ථිකයට මෙන්ම සංවර්ධනයටද දැඩි සේ බලපානු ඇත.

එවන් එක් චරිතයක් ගැන මීට මාස කිහිපයකට පෙර සිටම සමාජ තලයේ කතාබහට ලක් විය. ඒ බැසිල් රාජපක්ෂයන්ය. ජනාධිපති කාර්යසාධක බළකායන්ට නායකත්වය දෙමින් තිරය පිටුපස සිටිමින් ඔහු රට වෙනුවෙන් දරන වෑයම වඩාත් ඔප්නංවාගත හැක්කේ පාර්ලිමේන්තුවේ සිටියහොත් පමණක් බවට දේශපාලන කරළියේ මෙන්ම සමාජ කතිකාවක් ලෙසින්ද නිර්මාණය වී ඇත. 

පසුගිය 14 වැනිදා වෙන්නප්පුව තබ්බෝව කොස්වත්ත, බෝතලේගම මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමේ අවස්ථාවට සහභාගි වූ ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා පැවසුවේ බැසිල් රාජපක්ෂ ඉක්මනින් පාර්ලිමේන්තුවට පැමිණිය යුතු බවයි.

පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සියලු දෙනා බැසිල් රාජපක්ෂ රටටම අවශ්‍ය නායකයෙක් බව පිළිගන්නා බව ඔහු එහිදී පැවසීය.

එසේම කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තද පසුගිය සතියේ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුවේ පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමට නම් බැසිල් රාජපක්ෂයන් පාර්ලිමේන්තුවේ සිටිය යුතුම බවයි. ඔහුට අමතරව මේ වන විට තවත් මැති ඇමැතිවරුන් රැසක්ම බැසිල් රාජපක්ෂයන්ගේ ආගමනය බලාපොරොත්තුවෙන් සිටිති.

මේ බලාපොරොත්තුව අතර පසුගිය දා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 19 දෙනකුගෙන් යුත් අත්සන් ලේඛනයක් බැසිල් රාජපක්ෂයන්ට ඉදිරිපත් කෙරෙන්නේ ඔහුගේ පාර්ලිමේන්තු පැමිණීම බලාපොරොත්තුවෙනි. එසේ අත්සන් ලේඛනය ලබා දුන්නේ දිස්ත්‍රික් කමිටු සම්බන්ධීකරණ සභාපතිධුරයන් හොබවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසිනි.

එම මන්ත්‍රීවරුන් අතර සම්පත් අතුකෝරළ, මේජර් ප්‍රදීප් උඳුගොඩ, අංගජන් රාමනාදන්, කාදර් මස්තාන්, වෛද්‍ය උපුල් ගලප්පත්ති, අ‍ශෝක ප්‍රියන්ත, සංජීව එදිරිමාන්න, සහන් ප්‍රදීප් විතාන, අකිල සාලිය එල්ලාවල, නාලක බණ්ඩාර කෝට්ටෙගොඩ, අමරකීර්ති අතුකෝරල, වසන්ත යාපා බණ්ඩාර, ඩබ්.ඩී. විරසිංහ, එච්. නන්දසේන, කුමාරසිරි රත්නායක, මේජර් සුදර්ශන දෙනිපිටිය, රාජිකා වික්‍රමසිංහ, නිපුණ රණවක, කපිල අතුකෝරළ යන අය වෙති.

බැසිල් රාජපක්ෂයන් පාර්ලිමේන්තුවට ගෙන ඒමට මෙතරම් උනන්දුවක් දක්වන්නේ ඇයි? අපි මේ සම්බන්ධයෙන් අත්සන් කළ අදාළ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුගෙන් විමසීමු. එසේ විමසන්නට හේතු වුයේ මෙසේ අත්සන් කර ඇති මන්ත්‍රීවරුන් ජාති ආගම් කුල භේද කිසිවක් නොසලකා උතුරු, දකුණු රට මැද යන සියලු ප්‍රදේශවලින් එම ඉල්ලීම කළ නිසාය.

පසුගිය මහ මැතිවරණයෙන් උතුරේ වැඩිම මනාප ලබාගත් යාපනය දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්ගෙන් අපි ඒ ගැන විමසුවෙමු.

‘‘බැසිල් රාජපක්ෂ කියන්නේ එක මොළයක් නෙමෙයි, ඔහුට ඇත්තේ දේශපාලන දැක්මකටත් වඩා ආර්ථිකය සංවර්ධනය කරන දැක්මක්. ඒ දැක්ම දේශපාලනයට යොදාගෙන රට සංවර්ධනය කිරීම ඔහු ප්‍රායෝගිකවම ඔප්පු කළා. උතුරේ යුද්ධයෙන් පසුව රටේ සංවර්ධන කටයුතු සිදු කරද්දී ඔහු කළ සේවාව අපි කවුරුත් දැක්කා.

ඒ දැක්ම දැන් යළිත් කරළියට ගෙන ආ යුතු තත්ත්වයකයි අපි ඉන්නේ. ඔහුගේ දැක්ම ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ කිසිම දේශපාලකයකුට තිබුණා කියන්න අමාරුයි.

අඩුම ගණනේ පක්ෂයක්වත් නොතිබුණු අවස්ථාවක අලුතින්ම පක්ෂයක් තනා ඒ පක්ෂය වේගවත් ජයග්‍රහණයක් කරා ගෙන යන්නට හැකි වුණේ ඔහුගේ මෙහෙයවීම නිසයි. ඒ වේගවත් බව කෙසේද කියනවනම් පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් ලබා ගැනීම දක්වා යන්න පුළුවන් වුණා. ඉතිහාසයේ කිසිදු නවක පක්ෂයක් එසේ බලය ලබා ගත් අවස්ථාවක් තියෙනවද? ජනතාව ඔහු නිර්මාණය කළ පක්ෂය හරහා ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයා කෙරෙහි තැබූ ඒ විශ්වාසය කෙතරම්ද කියා අපට පැහැදිලියි. ඒ ජයග්‍රහණය පිටුපස සිටි සෙවණැල්ල බැසිල් රාජපක්ෂයි. එමනිසා ඔහු පාර්ලිමේන්තුවේ සිටිය යුතුම බවයි මම කියන්නේ.

වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් පැවසුවේද එවැනිම කතාවකි. ‘‘බැසිල් රාජපක්ෂයන් 2005 වසරේ සිට කරපු සංවර්ධන කටයුතු අපි ඇස් දෙකෙන්ම දැක්කා. ඒ සංවර්ධනය කළේ රටේ ජනතාවටම මිසක් එක් පිරිසකට එක් පළාතකට නෙමෙයි. විශේෂයෙන්ම වැඩි වශයෙක් අවශ්‍යතා තිබුණු යුද්ධයෙන් වැනසුණු උතුරු නැඟෙනහිර කඩිනම් සංවර්ධනයක් කළ යුතු බව ඔහු අවබෝධ කර ගත්තා. ඒ නිසා තමයි එකල ජනාධිපති මහින්ද රාජපක්ෂයන් සමඟ එකතු වෙලා උතුරට ‘උතුරේ වසන්තය‘ වගේම නැඟෙනහිරට ‘නැඟෙනහිර නවෝදය‘ වැඩසටහන් ප්‍රායෝගිකව වගේම කඩිනමින් ක්‍රියාත්මක කෙළේ.

ඔහුගේ ඒ ක්‍රියාවන් නිසා දෙමළ මුස්ලිම් ජනතාව තුළ ඔහු කෙරෙහි දැඩි ගෞරවයක් විශ්වාසයක් ඇති වුණා. සිංහල, දෙමළ, මුස්ලිම් ජනතා සමඟියට ඒ කරුණු ඉවහල් වුණා.

එවැනි පුද්ගලයෙක් පාර්ලිමේන්තුවෙන් එළියේ සිටීම අපට අනුමත කරන්න බැහැ. ඔහු පාර්ලිමේන්තුවට ඇවිත් ඒ සංවර්ධනයට නිල වශයෙන්ම පාර්ලිමේන්තුවේ අපත් එක්ක කටයුතු කරමින් යළි මේ රට ගොඩගන්න සහාය දෙන එක තමයි අපේ ඉල්ලීම වන්නේ.

කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රාජිකා වික්‍රමසිංහයන් පැවසුවේ කාන්තාවන් වෙනුවෙන් විශාල කාර්යයන් රැසක් බැසිල් රාජපක්ෂගේ දැක්ම තුළ තිබෙන බවත් රට සංවර්ධනය කිරීමේ ප්‍රධාන බල කණුවක් වන බැසිල් රාජපක්ෂයන් පාර්ලිමේන්තුවේ සිටිය යුතුම බවයි.

‘‘දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සංසදය ලෙසින් අපි එතුමාට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කළා. එතුමා 2005 වසරේ සිට කරපු ආර්ථික හා සංවර්ධන වැඩ කටයුතු අපි හොඳින් දැකපු නිසයි ඒ ඉල්ලීම කෙළේ. එතුමාගේ අත්දැකීම් අනුව එතුමාට මේ වැටුණු රටේ ආර්ථිකය ගොඩගන්න ජනාධිපතිතුමාටයි, අගමැතිතුමාටයි හොඳ හයියක් වෙන්න පුළුවන්.

කාන්තා නියෝජනයක් ලෙසින් මම දකින්නේ එතුමාගේ වැඩපිළිවෙළේ කාන්තාවන් බල ගැන්වීමක් පැහැදිලිවම තියෙන බවයි.

රටේ 52%කට වැඩි කාන්තාවන් පිරිස සවි බල ගන්වන්න එතුමා ස්වයං රැකියා ආරම්භ කිරීමට කටයුතු කළා. ඒ වගේම ‘ගෙවත්ත‘ යටතේ අපට යළිත් වවන්න පුරුදු කළා.

තරුණ තරුණියන් ඉදිරියට ගෙන එන්න එතුමා දැඩි වෙහෙසක් ගත්තා. ඒ රටේ අනාගතය බාර ගැනීමට සිටින අයට අතදීමක් ලෙසින්. අපටත් අලුතින් හිතන්න පුරුදු කෙළේ එතුමයි. පක්ෂයක් පවා නැති අවස්ථාවක ඉදිරියට ඇවිත් පෙරමුණ ගනිමින් පාර්ලිමේන්තුව දක්වා යන්න අපට ශක්තියක් වුණේ එතුමයි. එතුමා තවත් පරපුරක් රටක් වෙනුවෙන් පාර්ලිමේන්තුවට පැමිණිය යුතුමයි.

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.නන්දසේන පවසන්නේද වසර ගණනාවකට පෙනෙන මානයකවත් නොතිබූ යුග පෙරළියක් කරන්නට සමත් වූ බැසිල් රාජපක්ෂ වැන්නවුන් පාර්ලිමේන්තුවේ සිටීම අවශ්‍ය වන්නේ දේශපාලනයට නොව රට සංවර්ධනය කිරීම කඩිනම් කිරීමට බවයි.

‘2015 අවුරුද්දේ මහින්ද රාජපක්ෂයන් ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වුණාට පස්සෙ අපිට යන එන මං නැතිවුණා. එදා කවුරුවත් හිටියෙ නැහැ. රටේ තිබුණු තත්ත්වය අනුව බොහෝ දෙනා හිතුවෙ ආයිත් කවදාවත් අපට ගොඩ එන්න බැරිවෙයි කියලා. එහෙම අවස්ථාවක අලුතින් පක්ෂයක් හදලා, පළාත් පාලන මැතිවරණය විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරලා අපිට දිනන්න පුළුවන් බව එතුමා පෙන්නුවා. පොදු ජන පෙරමුණ එතුමා හැදුවේ බොහෝ දුරදිග බලලා, ඒ වගේම ඔහු නිකම්ම නිකං දේශපාලන පක්ෂයක් හැදුවෙ නැහැ. ඒක රටේ ආර්ථික සංවර්ධනයට සහ ජනතාවගේ හැඟීම් ගැන දැනගෙන ගොඩ නඟපු පක්ෂයක්. ඒ අනුව තමයි මේ ජයග්‍රහණ කරා යන්නට අපට හැකිවු‍ණේ. 

අදත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ‘සෞභාග්‍යයේ දැක්ම‘ ක්‍රියාත්මක කිරීමේදී බැසිල් රාජපක්ෂයන් තිරය පිටුපස ඉඳන් ඒ සඳහා අතිවිශාල සහායක් ලබා දෙනවා. සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාත්මක කිරීමේදී එහි තිබෙන අන්තර්ජාතික සබඳතා, වෙනත් ආර්ථික සබඳතා රට ගොඩනැඟීම් මේ සියල්ලටම වඩා මූලිකත්වය ලබා දිය යුත්තේ ජනතාවගේ ආර්ථිකය නැංවීමට බව බැසිල් රාජපක්ෂයන් හඳුනාගෙන තිබෙනවා.

ඒ නිසා තමයි ග්‍රාමීය ආර්ථිකය නංවන ගමන් රටේ ආර්ථිකය ගොඩ ගන්න එතුමා බළකායක මූලිකත්වය ලබා ගෙන ඇත්තේ. ඒ වෙනුවෙන් එතුමාගේ මූලිකත්වයෙන් කළමනාකරණය පිණිස කමිටු 4ක් සැලසුම් 4ක් ඔස්සේ නිර්මාණය කර තිබෙනවා.

ඒ අතර සමාජ යටිතල පහසුකම් සංවර්ධනය, ජීවනෝපාය වැඩ කටයුතු සංවර්ධනය, දේශීය කර්මාන්ත නඟා සිටුවීම, හා ග්‍රාමීය යටිතල පහසුකම් ලබා දීම ඇතුළත් වනවා. රාජ්‍ය අමාත්‍යවරුන් 30 දෙනාම මේ යටතට පත් කර තිබෙනවා. එතුමාගේ ආර්ථික දැක්ම අනුව රට සංවර්ධනය කරා ගෙන යන්නට එය මැනවින් බලපවත්වනවා. එවන් පුද්ගලයෙක් පාර්ලිමේන්තුවේ පිටතින් සිට කටයුතු කිරීම නොව ඇතුළේ සිටයි කටයුතු කළ යුත්තේ.‘‘

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ අපට පැවසුවේ ‍මේ වන විටත් ගම සංවර්ධනය කිරීම බැසිල් රාජපක්ෂයන් විසින් ආරම්භ කර ඇති නමුත් එතුමා පාර්ලිමේන්තුවේ නොසිටීම නිසා එම සංවර්ධන කටයුතු සිදු කිරීම මෙන්ම ගම හා රාජ්‍ය යාන්ත්‍රණය සම්බන්ධ කිරීමට බාධා ඇති වන බවයි.

බැසිල් රාජපක්ෂ කියන්නේ ශ්‍රී ලංකාව පුරාම සංවර්ධන කටයුතු විමධ්‍යගත කරලා ඒ සියල්ල ජනතාවට දැනෙන ලෙසින් සිදු කරන්න කටයුතු කරපු අයෙක්. ඔහුගේ සංකල්ප හැම එකක්ම හොඳින් ජනතාව අතරට ගියා. එකක්වත් අසමත් වුණේ නැහැ.

වර්තමානයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු හරහා ඒ එක් එක් දිස්ත්‍රික්කයේ සංවර්ධනය ජනතාවගේ ආර්ථික දියුණුව නඟා සිටුවීමට කටයුතු කර තිබෙනවා. එහි පිටුපස සිට සියලු බර කර ගහන්නේ බැසිල් රාජපක්ෂයන් විසින්. ඒ අනුව දිස්ත්‍රික්කවල වෙන් වශයෙන් කමිටු පිහිටුවා ඒ වෙනුවෙන් රාජ්‍ය ඇමැතිවරුන් 7ක් හා ඇමැතිවරුන් 3 දෙනෙකු ඇතුළත් කර දිස්ත්‍රික්කයේ සංවර්ධනය මෙහෙයවා තිබෙනවා. ඒ සියල්ල කරන්නේ ජනාධිපති කාර්යසාධන බළකායන් හරහා. එම බළකා මෙහෙයවන්නෙක් ලෙසින් ඔහුගේ සේවය පාර්ලිමේන්තුවට අත්‍යවශ්‍යම වෙනවා.

අපේ රටේ හැමදාම සිදුවන දෙයක් තමයි ගමේ ශාඛා සමිති පිහිටුවා මැතිවරණයෙන් පසුව අක්‍රිය වීම. නමුත් දැන් ඒ ශාඛා සමිති හරහා ගම සංවර්ධනය කරන්න නව වැඩපිළිවෙළක් ඇති කර තිබෙනවා. ඒ සඳහා මූලිකත්වය ගත්ත බැසිල් රාජපක්ෂ වගේ නායකයෙක් අපට අවශ්‍යම වනවා.‘‘

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් සුදර්ශන දෙනිපිටිය පවසන්නේ ගම් මට්ටමේ සිට ජාතික තලය දක්වා වූ මේ ගමන යන්නට ජනතාව පෙළ ගැස්විය හැකි ක්‍රියාශීලීම පුද්ගලයා බැසිල් රාජපක්ෂයන් බවයි.

‘දේශපාලන වශයෙන් අසරණ වෙලා හිටපු අයට පිහිටක් වෙලා රටේම ආර්ථිකය ශක්තිමත් කරන්න කටයුතු කරපු නියමුවෙක් ලෙසින් බැසිල් රාජපක්ෂයන් හඳුන්වා දෙන්න පුළුවන්. එතුමා දක්ෂ පාරිපාලකයෙක් වගේම ආර්ථික විශේෂඥයෙක්. ගම සංවර්ධනය කරන ගමන් ජනතාවගේ ආර්ථිකය සංවර්ධනය කරන්න එතුමා ගත්ත වෙහෙස අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. එතුමා ගමත් එක්ක මේ ගමන යා යුතු බව පැහැදිලිව අපට කිව්වා. ගමේ ප්‍රශ්න ගැන ගමේ ජනතාව සමඟ කතා කළ යුතු බව කිව්වා. එම නිසා මේ වන විට ‘ගමත් එක්ක පිළිසඳරක්‘ කියලා අලුත් වැඩ පිළිවෙළක් අපි ආරම්භ කර තිබෙනවා.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගෙන් පසුව රට වෙනුවෙන් පෙරට ඇවිත් අලුත් පක්ෂයක් තනා අවුරුදු 3ක් යනවිට මේ ජයග්‍රහණ කරා ගෙනියන්න එතුමා කටයුතු කෙළේ රෝසමල් යහනාවකින් නෙමෙයි. අභූත චෝදනා සිරගත කිරීම් ඒ සියල්ල මැද එතුමා නොසැලී කටයුතු කළා.

අපට ඍජුව ගම සංවර්ධනය කරා යන්න ක්‍රමවේදයක් නැහැ එම නිසා මුදල් අමාත්‍යාංශයත් එක්ක කඩිනමින් සම්බන්ධ වීමට ක්‍රමවේදයක් අවශ්‍යයි. බැසිල් රාජපක්ෂයන්ගේ කාර්යසාධනයත් එක්ක අපට ඒ ක්‍රියාදාමය ඉතා පහසුයි. එහෙත් ඔහු මුල් පුටුවක තබා ගෙන කටයුතු කිරීමේ හැකියාව උදා වෙන්නේ අපට ඔහු පාර්ලිමේන්තුවට ගෙන ආවොත් පමණයි.‘

බැසිල් රාජපක්ෂයන් පාර්ලිමේන්තුව කරා ගෙන එන්නට මේ මන්ත්‍රීවරුන් උත්සාහ දරන්නේ රටේ සංවර්ධනය කඩිනම් කර ගන්නටය. දේශපාලනයෙන් එහා ගිය රටක සංවර්ධනය ගම් මට්ටමේ සිට සිදු කරන්නට දරන යත්නය එයින් පෙන්නුම් කෙරේ.

ඒ උත්සාහය තවත් දේශපාලකයකුට ආ වඩන්නට හෝ ඔහු වටා රොක්වන්නට නොවන බව පැහැදිලිවම පසක් කරන්නේ ලිපිය ආරම්භයේදීම පෙන්වා දුන් පරිදි උතුරු නැඟෙනහිර ඇතුළු සියලු ජනතාවගේ විශ්වාසය දිනා ගත් අයකු ලෙසින් බැසිල් රාජපක්ෂයන් පාර්ලිමේන්තුවට ගෙන එන්නට දරන ප්‍රයත්නයක් නිසාය.

Comments