මාදු දුපතෙන් බිහිවන ප්‍රථම වෛද්‍යවරිය දන්තාරා | සිළුමිණ

මාදු දුපතෙන් බිහිවන ප්‍රථම වෛද්‍යවරිය දන්තාරා

බළපිටිය කොට්ඨාසයේ ප්‍රධාන විද්‍යස්ථානය වනුයේ බළපිටිය රේවත ජාතික පාසලයි. එය ආරම්භ කොට මේ වසරට අසූ හත් වසරක් සපුරයි. රේවත විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ සිසුන් බොහොමයක් දෙනා අද වන විට වෛද්‍ය පීඨයට ඇතුළත්ව වෛද්‍යවරු ලෙස රටපුරා සේවය කරති. නමුදු රේවත විද්‍යාලයෙන් වෛද්‍ය පීඨයට ශිෂ්‍යාවක් තේරී පත්වූ පළමු අවස්ථාව මෙය වන්නේය. එය පාසලේ ඉතිහාස ගතවන වාර්තාවකි. එසේ තේරී පත් වුයේ බළපිටිය ගල්මන්දූවේ පදිංචි විසි එක් හැවිරිදි ලද්දුසිංහ බදු දන්තාරා දිනිති ශිෂ්‍යාවයි.

බළපිටියට සුන්දරත්වය කැන්දන් ගෙන එන සුකුමාලිය වනුයේ අතිසුන්දරවත් මාදු ගඟය. ලෝකයේම දූපත් විශාල ප්‍රමාණයක් පිහිටා තිබෙන දෙවන ගංගාව මෙය බව කියති. මෙහි දූපත් තිහක් පමණ පිහිටා තිබේ. එහි එක දූපතක් වනුයේ ගල්මන්දූවය.

රේවත ජාතික පාසල පිටුපස පිහිටි ගල්මන්ගොඩ ගම්මානය පසුකර යනවිට ගල්මන්දූව දූපත හමුවේ. ගල්මන්ගොඩ ගම්මානයද බළපිටියට ඉතා වැදගත්ය. නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අධිකරණ ඇමැතිවරයා වූ ශ්‍රීමත් ලලිත අභය රාජපක්ෂ මැතිතුමා උපන් නිවෙස වන ‘හාරඹ වලව්ව’ පිහිටියේ ද මෙම ගම්මානයේය.

ලලිත රාජපක්ෂ මහතා එංගලන්තයට ගොස් නීති විශාරද උපාධිය ලැබ ගමට ආවිට ගමේ ප්‍රධාන විහාරස්ථානය වන බළපිටිය වැලිතර මහා කප්පින මුදලින්දාරාම විහාරාධිපති වැලිතර ඤාණරතන නාහිමියන් බැහැ දැකීමට ගියේ ආශීර්වාද ලබා ගැනීමටය. ගමට යම් සේවයක් කිරීමට අවශ්‍ය බවත්, එයට සුදුසු කුමක්දැයි විමසූ විට ඤාණරතන හිමියන් පවසා සිටියේ ගමට පාසලක් ආරම්භ කරන ලෙසය. උන්වහන්සේගේ ඉල්ලීමට කන් දුන් රාජපක්ෂ මැතිතුමා සිය භූමි භාගයක ධනය හා ශ්‍රමය කැප කොට රේවත ජාතික පාසල ආරම්භ කළේය. පොල් අතු මඩුවක සිසුන් දහතුන් දෙනෙකුගෙන් 1933 ජූලි මස තිස් එක් වෙනි දින සුබ මොහොතින් ආරම්භ කරන ලද මෙම විදුහල මේ වසරට සපුරන්නේ අසූ හත් වෙනි වසරය. අද එහි ඉගෙනුම ලබන ශිෂ්‍ය සංඛ්‍යාව දෙදහස් නවසිය අසූපහකි. රේවත ජාතික පාසලේ ප්‍රාථමික අංශය අදත් පිහිටා තිබෙනුයේ ලලිත රාජපක්ෂ මැතිතුමාගේ උපන් බිම වන හාරඹ වලව්ව කෙළවරේය. හාරඹ වලව්ව අද ළමා නිවාසයකි. එය ‘අනුලා විජේරාම ළමා නිවාසය’යි. ලලිත රාජපක්ෂ මහතාගේ සොහොයුරිය වන අනුලා රාජපක්ෂ විවාහ වූයේ විශේෂඥ වෛද්‍ය ඊ. ඇම්. විජේරාම මහතා සමඟින්ය. කොළඹ වෛද්‍ය පීඨයට කොළඹ කුරුඳුවත්තේ පිහිටි සිය නිවෙස පරිත්‍යාග කළේ මෙතුමාය. කොළඹ ‘විජේරාම මාවත’නම් කර තිබෙනුයේ ද මෙතුමාට උපහාරයක් වශයෙනි. විද්‍යාලයෙන් නොයෙකුත් උගතුන් වියතුන් රැසක් බිහිවී සිටිති. එහෙත් වෛද්‍ය ශිෂ්‍යාවක් බිහිවනුයේ අසූ හත් වසරකට පසුව වීම අදහා ගැනීමටවත් බැරි කරුණකි. එමෙන්ම ගල්මන්දූවෙන් බිහිවෙන පළමු වෛද්‍යවරිය වන්නේ දන්තාරා ය. දන්තාරා වෙසෙන ගල්මන්දූවේ දූපතෙන් දැනට උපාධිධාරින් අට දෙනෙකු බිහිවී සිටින අතර ඔවුන් ගුරු වෘත්තිය ඇතුළු රජයේ සේවාවේ යෙදී සිටිති. ගමේ ප්‍රභූවරයා වූයේ ලද්දුසිංහ බදු සිරිපාලය.

පසුගිය දිනෙක දන්තාරා ශිෂ්‍යාවගේ නිවෙස සොයා මාදු ගඟ තරණය කොට ගල්මන්දූවට ගියෙමි. ඇය පදිංචි ඉඩමේ එක මායිමක් වූයේ මාදු ගඟය. පාපැදියකින්වත් නිවෙසට යෑමට නොහැකිය. ඇගේ නිවෙසට යා යුත්තේ ගල්මතින් පැන පැනය.

ලද්දුසිංහ බදු නිමල් (62) සහ නන්දනී ඕබඩගේ (59) යුවළගේ එකම දරුවා වන්නේ දන්තාරා ය. කුඩා කාලයේ පටන්ම ඉගෙනීමට දක්ෂ බව නන්දනි පවසන්නේ බොහෝ ආඩම්බරයෙනි.

“අපේ දුව මුල ඉඳලම ගියේ රේවත විද්‍යාලයට. කුඩා කාලයේ ඉඳලම අධ්‍යාපනයට හරිම දක්ෂයි. නිවේදන කටයුතු වලට කුසලතාවයක් තිබෙනවා. හය වැනි ශ්‍රේණියේ සිට දහතුන් වැනි ශ්‍රේණිය දක්වාම හැම වාර විභාගයකදීම දුව තමයි පන්තියේ පළමුවෙනියා වුණේ. පාසලේ සිංහල, දෙමළ, ඉංග්‍රීසි රචනා තරග වලට වගේම ගණිත දැනුම මිනුම තරග වලට සහභාගි වී තිබෙනවා. පාසලෙන් හැම තරගයකටම ඉදිරිපත් කරන්නේ අපේ දුවයි. කොට්ඨාස, කලාප, දිස්ත්‍රික්, පළාත් හා සමස්ත ලංකා තරග වලට ඉදිරිපත් වෙලා ජයග්‍රහණ ලබා ගෙන තිබෙනවා. ඉගෙනීමේ වැඩවලට වගේම දුව ගෙදර වැඩ වලටත් දක්ෂයි. දුව හරියට පොත් කියවනවා. ගමේ දරුවන්ට විද්‍යා විෂයන් කියා දෙනවා. රේවත විද්‍යාලයෙන් වෙසක් පතක් නිරිමාණය කළා. අපේ දුව එකොළොස් වෙනි ශ්‍රේණියේ ඉගෙන ගන්නා විටදී ලියපු කවියක් තමයි ඒ වෙසක් පතට ගත්තේ. කොතරම් අධ්‍යාපන කටයුතු තිබුණත් දහම් පාසල් යාම නතර කළේ නැහැ. බළපිටිය වඳදූව සිරි පවරින්දාරාම දහම් පාසලට ගියේ. දහම් පාසල් අවසාන විභාගයත් හොඳින් සමත් වුණා.“

දන්තාරා දිනිති ශිෂ්‍යාව තමන් පැමිණි ගමන ගැන මෙසේ කීවාය.

මගේ අම්මා තාත්තට වගේ ම විශ්‍රාමලත් විදුහල්පති ඩී. සිරිනන්ද ගුරුපියාත්, වත්මන් විදුහල්පතිනි තමරා කුමාරි, මනෝරි මැන්දිස්, මංජුලා, නෙළුම් ප්‍රියාණි, සඳමාලා, ප්‍රසාදනී යන ගුරු මෑණිවරුන්ටත් මගේ ගෞරව හිසනමා පුද කරනවා. මා ලැබු ජයග්‍රහණය පසුපස මේ හැමෝම හිටියා. පොඩි මාමා වන අලුත්වල මහා විදුහල්පති තිලකරත්න ඕබඩගේ, ලොකු මාමා වන රත්න බමුණුවත්ත, නින්දාන මහා විදුහල්පතිනි අයිරාණි ෆොන්සේකා නැන්දත් මගේ ඉගෙනීමේ කටයුතු වලට බොහෝ සහාය වුණා. ඔවුන් නිරන්තරයෙන්ම මා දිරිමත් කළා. මට කවි ලියන්නට පුළුවන්. කවදා හරි මං මගේ රටට, ගමට උපරිමයෙන්ම සේවය කරනවා .“දන්තාරා පවසන්නේ දැඩි අධිෂ්ඨානයෙනි.

කලක් තමන් විදුහල්පති පදවිය දැරු පාසලෙන් වෛද්‍ය පීඨයට ශිෂ්‍යාවක තේරිපත් වීම ගැන විශ්‍රාමලත් විදුහල්පති ඩී. සිරිනන්ද මහතාට ඇත්තේ සතුටකි.

විදුහල්පතිනිය පවසන්නේ පාසලේ සෙසු දරුවන් ගැන මෙන්ම විශේෂයෙන්ම දන්තරා ශිෂ්‍යාව ලැබු ජයග්‍රහණය ගැන සතුටු වෙමිනි.

 

Comments