සරසවිවලට වැඩිපුර සිසුන් 10,000ක් | සිළුමිණ

සරසවිවලට වැඩිපුර සිසුන් 10,000ක්

විශ්වවිද්‍යාල පද්ධතියට පසුගිය වසරට වඩා 10,000 කට අධික වැඩිපුර සිසුන් බඳවා ගන්නා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග සිළුමිණට පැවැසීය. 2019 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගේ විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු පසුගියදා නිකුත් වූ අතර ඒ අනුව මෙවර වැඩි සිසුන් 10,000 ත් සමඟ 41,500 කට සරසවි වරම් හිමිවනු ඇත.

 කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ මෙවර වෛද්‍ය පීඨ 11 ක් සඳහා වැඩිපුර සිසුන් 371 ක්ද, ඉංජිනේරු පීඨ 6 ක් සඳහා වැඩිපුර සිසුන් 405 ක්ද, කළමනාකරණ පීඨ 15 ක් සඳහා වැඩිපුර සිසුන් 894 ක්ද, නීති පීඨ සඳහා වැඩිපුර සිසුන් 126 ක්ද, ඉංජිනේරු තාක්ෂණ විෂය සඳහා වැඩිපුර සිසුන් 361 ක්ද, ජෛව පද්ධති තාක්ෂණ විෂයය සඳහා වැඩිපුර සිසුන් 371 ක්ද, කලා විෂයය ධාරාව සඳහා වැඩිපුර සිසුන් 815 ක්ද, අනිකුත් විෂයය ධාරා සඳහා වැඩිපුර සිසුන් 2,000 ක්ද බඳවා ගැනීමට නියමිත බවයි. විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයැදුම්පත් 92,379 ක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට ලැබී ඇති අතර ඉන් සාමාන්‍ය ප්‍රවේශය යටතේ සිසුන් 40,111 දෙනෙක් ඇතුළත් කෙරෙන අතර සෙසු පිරිස ඇතුළත් කෙරෙන්නේ විශේෂ හා අතිරේක ප්‍රවේශය යටතේය.

Comments