පුදුම හතෙන් එකක දී දුටු මන්මත් කරවන අසිරිය | සිළුමිණ

පුදුම හතෙන් එකක දී දුටු මන්මත් කරවන අසිරිය

පෘථිවියේ උතුරු අර්ධ ගෝලයත් දකුණු අර්ධ ගෝලයත් වෙන් කෙරෙන රේඛාව සමකයයි. එය පෘථිවි ගෝලය මත විශාලතම තිරස් වෘත්තය ලෙස ද සැලකිය හැකිය.

සමකයේ දිග කි.මී. 40,075 ලෙස විද්‍යඥයින් ගණන් බලා තිබේ. මෙතරම් දිගක් සහිත කිසිදු ඉදිකිරීමක් මේ දක්වා මිනිසා විසින් මිහිතලය මත ඉදි කර නොමැත. එහෙත් ඉන් අඩකට තරමක් වැඩි දිගකින් යුත් ප්‍රාකාරයක්, අතීත මානවයා විසින් ගොඩනගා තිබේ. ඒ ලොව පුදුම හතෙන් එකක් වූ චීන මහා ප්‍රාකාරයයි. එහි දිග කි.මී. 21,196.18 බව චීන සංස්කෘතික පරිපාලනය 2012 වසරේදී නිවේදනය කළේය.

චීන මහා ප්‍රාකාරය මත පා තැබීමේ ආශාව මා තුළ ඇති වූයේ චීනයට පැමිණීමට බොහෝ පෙර සිටය. එහෙත් අනපේක්ෂිතව මතු වූ කොරොනා වසංගතය හේතුවෙන් එය එන්න එන්නම කල් ගියේය. හදිසියේම ප්‍රාකාරය නැරඹීමට යාමට මා පෙළඹුනේ, වසංගතය චීනය තුළ සාර්ථකව පාලනය වීමත්, චීන ජනතාව සරත් ඍතුවේ සුවදායක පරිසරය අත්විඳිමින් නිදහසේ ගමන් බිමන් යන අයුරු දැකීමත්, නිසාය.

බෙයිජිං නගරයේ ඓතිහාසික හා ආගමික ස්ථාන, උද්‍යාන, අවන්හල්, සිනමාශාලා හා කඩ සාප්පු මේ වන විට සම්පූර්ණයෙන්ම විවෘත කර තිබේ. පවතින පැහැබර දේශගුණය ජනතාවගේ ක්‍රියාකාරකම් තවත් වේගවත් කර ඇත. බොහෝ දෙනා මුහුණු ආවරණ පැළඳ සිටින අතර ජනතාව බහුලව ගැවසෙන ස්ථානවල තවමත් එය අනිවාර්ය ය.

කොවිඩ් වසංගතය පිළිබඳව කිසිදු චකිතයක් හෝ බියක් චීන ජනතාව තුළ දැන් දැකිය නොහැකිය. එහෙත් ඔවුන් ඉතා හොඳින් සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම අනුගමනය කරනු දක්නට ලැබේ. සියලු රාජ්‍ය හා පෞද්ගලික ස්ථාන, මහජන ප්‍රවාහන සේවා ස්ථාන හා කඩ සාප්පු වෙත ඇතුළුවීම, උෂ්ණත්ව පරීක්ෂණයකින් පසුවය. ජංගම දුරකථනයේ යෙදවුමක් (Health Kit App) මගින් ආරක්ෂක නිලධාරීන්ට තම සෞඛ්‍යය තත්වය පැහැදිලි කළ යුතුය. බොහෝ ස්ථාන වල ජනතාවට විෂබීජ නාශක සපයා තිබේ.

චීන මහා ප්‍රාකාරය නැරඹීමට යාමේදී මට ද එම සියලු

කොන්දේසි සම්පූර්ණ කළ යුතු විය. එමගින් ඇති වූයේ ගමන වඩාත් සෞඛ්‍යාරක්ෂිතය, යන හැඟීමය. බෙයිජිං අගනුවරට ආසන්නව චීන මහා ප්‍රාකාරයේ නැරඹිය හැකි වඩාත් ම ආකර්ශනීය ස්ථානය “බඩාලින්” (Badaling) කොටසයි. එය නගර මධ්‍යයේ සිට කි.මී.70 පමණ දුරින් පිහිටා ඇත .බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහ රැජින, රිචඩ් නික්සන්, රොනල්ඩ් රේගන් හා බැරක් ඔබාමා වැනි ඇමරිකානු ජනාධිපතිවරුන්, ශ්‍රී ජවහල්ලාල් නේරු, නෙල්සන් මැන්ඩෙලා වැනි නායකයින් ඇතුළුව එහි සංචාරය කළ රාජ්‍ය තාන්ත්‍රිකයින් ගණන පන් සියයකට ආසන්න ය.

කොරොනා වසංගතය පැතිරී ගිය අවධියේ, චීනයේ බොහෝ ස්ථාන මෙන්ම මහා ප්‍රාකාරය ද ජනශුන්‍ය වී තිබිණ. බෙයිජිං හි සෞඛ්‍ය අවදානම් මට්ටම පහත හෙළිමත් සමග එය නැවත මහජනතාවට වීවෘත කෙරුණේ මාර්තු 24 වැනි දින ය. එහෙත් දෛනිකව ඇතුළු කෙරෙන සංචාරකයින් සංඛ්‍යාව සමස්ත ධාරිතාවයෙන් 30% පමණක් බව බලධාරීහු පවසති.

ගමනට සතියකට පමණ පෙර, මා අන්තර්ජාලය හරහා ටිකට් පතක් මිලදී ගනු ලැබුවේ මේ සියලු කාරණා සැලකිල්ලට ගනිමිනි. බෙයිජිං නගරය තුළ ගමන් බිමන් යාමට උමං දුම්රිය, බස් රථ හෝ කුලී රථ යොදා ගත හැකිය. එහෙත් උමං දුම්රියෙන් ගමන් කිරීමට චීන ජාතිකයෝ පවා වැඩි කැමැත්තක් දක්වති. සුව පහසු වීම, මාර්ග තදබදයක් නොතිබීම හා කලට වේලාවට ගමනාන්තයට ළඟා විය හැකි වීම මෙන්ම ලාභදායී වීම ද ඊට හේතුවී තිබේ. බෙයිජිං උමං දුම්රිය මාර්ග පද්ධතියේ මගී උපදෙස්, දුම්රිය ස්ථානවල හා මැදිරි තුළ මැනවින් සටහන් කර තිබේ. මාර්ගෝපදේශ සංඥා ලකුණු කර ඇත්තේ එකම රටාවකට ය. මුල් වරට එහි පැමිණෙන මගියෙකුට වුවද එම සංඥා නිවැරදිව අනුගමනය කරමින් අවශ්‍ය ස්ථානයට පහසුවෙන් ළඟා විය හැකිය. උමං දුම්රිය දෙකකින් “ජීෂුටාන්” (Jishuitan) වෙත ගිය මම තවත් ටික දුරක් නැගෙනහිර දෙසට පයින් ඇවිද ගොස් “ ඩෙෂංමන්” (Deshengmen) වෙත ළඟා වුණෙමි.‍

“ ඩෙෂංමන්” යනු බෙයිජිං නගරයේ ප්‍රවාහන මධ්‍යස්ථානයකි. එහි සිට නගරයේ බොහෝ ස්ථාන වලට සෘජු ප්‍රවාහන පහසුකම් ඇත. “බඩාලින්” වෙත යන මාර්ග අංක 877 දරණ බස් රථය ආරම්භ වන්නේ ද මෙම ස්ථානයෙනි. එහි

සිට “බඩාලින්” කරා යාමට ගත වන්නේ පැයකුත් විනාඩි පහළොවකි. ගමන අතරතුර දී ප්‍රවාහන කාර්ය මණ්ඩලය විසින් චීන මහා ප්‍රාකාරය පිළිබඳ විවිධ තොරතුරු හා උපදෙස් ලබා දුන්න ද එය වටහා ගැනීමට මගේ චීන භාෂා දැනුම ප්‍රමාණවත් නොවීය.

චීන මහා ප්‍රාකාරයේ “බඩාලින්” පිවිසුම සංචාරකයින් සඳහා සියලු පහසුකම් වලින් සමන්විතය. වැසිකිළි හා කැසිකිළි පහසුකම් ඇතැම් සංචාරක හෝටලවල තරම්ය. කඳු වළල්ලෙන් වටවූ පරිසරය මනරම්ය. විවේක ගැනීමට හෝ සුළු ආහාර වේලක් ගැනීමට සකස් කළ සංචාරක ආසන තැනින් තැන ය. එතැන් සිට ඉහළ ප්‍රාකාරය බැලූ විට මට සිහිවූයේ සීගිරි පර්වතයයි. ඇතුළුවීමට පෙර එහි මදක් ඔබ මොබ ඇවිදීමට සිත් වුවත්, මට ගමන ඉක්මන් කරන්නට සිදු වූයේ චීන සංචාරකයින් බුරුතු පිටින් ටිකට් කවුළු දෙසට ගමන් කරනු දක්නට ලැබීම නිසයි.

චීන මහා ප්‍රාකාරයේ “බඩාලින්” කොටස උප කොටස් දෙකකින් යුක්තය. එනම් උතුරු කොටස හා දකුණු කොටස යනුවෙනි. දකුණු කොටසේ ගමන පහසුය. එහෙත් සංචාරකයින් බහුලව ගැවසෙන්නේත්, මුර කුටි වැඩිම සංඛ්‍යාවක් පිහිටා ඇත්තේත් උතුරු කොටසේ ය. එබැවින් මම ද උතුරු කොටස තෝරා ගතිමි.

සියලු සංචාරකයින් ආරක්ෂක කවුළුව තුළින් ගමන් කළ යුතුය. මා එහි ළඟා වන විට දිගු පෝළිම් දක්නට ලැබිණ. මා සිතුවේ පැය ගණන් රස්තියාදු වන්නට සිදු වනු ඇති බවයි.

එහෙත් දහසක පමණ පිරිසක් ආරක්ෂක කවුළු තුළින් ඇතුළු කරවන්නට ගත වූයේ විනාඩි කීපයක් පමණි. සියලු පරීක්ෂණ තාක්ෂණික ලෙස සිදු කෙරේ. කිසිදු බාධාවකින්

තොරව මම එය පසු කළෙමි. ප්‍රවේශපත්‍ර පරීක්ෂා කෙරෙන්නේ ද තාක්ෂණික ක්‍රම මගිනි. QR කේතය ස්කෑන් කිරීම මගින් සංචාරකයා හඳුනාගැනීම සිදු කෙරේ. කාලය නාස්ති කිරීමක් නැති තරම්ය.

චීන මහා ප්‍රාකාරය පිළිබඳ ඓතිහාසික තොරතුරු හා භාණ්ඩ ඇතුළත් කෞතුකාගාරයක් “බඩාලින්” හි ස්ථාපනය කර තිබේ. විශේෂ සංචාරක තොරතුරු මධ්‍යස්ථානයක් ද ඇත. අදාළ ස්ථාන ඊතල මගින් ලකුණු කර ඇත. අවශ්‍ය නම් ප්‍රාකාරයේ (Car) හෝ කප්පි කාරයක් (Pulley) අමතර මුදලක් ගෙවා ලබා ගත හැකිය. කේබල් කාරය කෙලින් ම ගමන් කරන්නේ උතුරු ප්‍රාකාරයේ 7 වන මුර කුටිය වෙතය. සතුරු ආක්‍රමණ නිරීක්ෂණය කිරීමේ කවුළු සහ මුර කුටි චීන මහා ප්‍රාකාරයේ තැනින් තැන පිහිටුවා ඇත. “බඩාලින්” කොටසේ දී ප්‍රාකාරයේ සාමාන්‍ය උස අඩි 26 සහ පළල අඩි 20 ක් පමණ වේ.

අශ්වයන් පස් දෙනෙකුට හෝ සෙබළුන් දස දෙනෙකුට ඒ මත වේගයෙන් ගමන් කළ හැකිය. ප්‍රාකාරය ඉදිකිරීමේ මූලික අරමුණ වූයේ චීනයේ උතුරුදිග ප්‍රදේශයට “සියොංනු” (Xiongnu) ගෝත්‍රිකයින්ගෙන් එකල එල්ලවූ ආක්‍රමණික තර්ජන වලින් ආරක්ෂා වීමයි.

චීන මහා ප්‍රාකාරය ඉදිකිරීම මුලින්ම ආරම්භ කර ඇත්තේ “චින් රජ පෙළපතේ” නිර්මාතෘවරයා වන “චී ෂී හ්වාං” (Qin Shi Huang) අධිරාජයා විසිනි. ඒ ක්‍රි.පූ 221 දී පමණ ය. ඔහු චීනය එක්සත් කළ පළමු අධිරාජයා ද වේ. “චී ෂී හ්වාං”අධිරාජ්‍යත්වයට පත්වීමට පෙර චීනය පැවතියේ “වොරින් ජනපද” (Warring States ක්‍රි.පූ.475–ක්‍රි.පූ.221) හතකඑකතුවක් ලෙසය. “චින්” (Qin),”හන්” (Han), “ වෙයි” (Wei) , “ෂාවෝ” (Zhao), “යන්” (Yan) “චි” (Qi) සහ “චූ” (Chu) එම රාජ්‍යයන් හතය. එම රාජ්‍යයන් අතර දේශසීමා ප්‍රාකාර තිබිණ. බලයට පත්වීමෙන් පසු . “චී ෂී හ්වාං” අධිරාජයා එම ප්‍රාකාර එක් කර, නැගෙනහිර සිට බටහිර දෙසට දිවෙන මහා ප්‍රාකාරයක් ඉදිකිරීම ආරම්භ කළේය.

කෙසේ වෙතත් පසුකාලීනව පැමිණි අධිරාජයන් කිහිප දෙනෙකු විසින් මහා ප්‍රාකාරයට විවිධ කොටස් එක් කරමින් එය සම්පූර්ණ කර තිබේ. කැඩී බිඳී යාමෙන් පසු වර්තමානයේ චීන මහා ප්‍රාකාරයේ දැකිය හැකි බොහෝ කොටස් ඉදි කර ඇත්තේ “මිං රජ පෙළපතට” (Ming Dynasty ක්‍රි.ව.1368 - ක්‍රි.ව.1644 ) අයත් අධිරාජයන් විසිනි. සමස්ත ප්‍රාකාරයෙන් තුනෙන් එකක් විනාශ වී ඇති බව චීන සංස්කෘතික බලධාරීන්ගේ ඇස්තමේන්තුවයි. චීන මහා ප්‍රාකාරය වසර 2700 පමණ පැරණි යැයි විශ්වාස කෙරේ.

එය ඉදිකිරීම සඳහා කම්කරුවන් දස ලක්ෂයකගේ පමණ ශ්‍රමය ලබා ගෙන ඇත. සාමාන්‍ය ජනතාව, හමුදා සෙබළුන් හා සිරකරුවන් ඊට ඇතුළත්ය. ඉදිකිරීම් අතරතුර බොහෝ දෙනෙක්

එහිදී මිය ගියහ. ඔවුන්ගේ සිරුරු ප්‍රාකාරය තුළ මිහිදන් කර ඇතැයි ද විශ්වාස කෙරේ.

චීනයේ බටහිර පිහිටි “ජියායුගුවාන්” (Jiayuguan) කඳුකරයේ සිට නැගෙනහිර “ලියාඕනිං පළාතේ” (Liaoning Province) “හුෂාන්” (Hushan) කඳුකරය දක්වා එය වැටී ඇත.එමෙන්ම එය වත්මන් චීනයේ පළාත් හා කලාප 15ක් හරහා ගමන් කරයි.

7 වන මුර කුටියේ සිට 8 වන මුර කුටිය දක්වා මම ප්‍රාකාරය මත පයින්ඇවිද්දෙමි. තරමක් ආනත මාර්ගයක් වුවත් ආරක්ෂාව සඳහා දෙපසෙහිම අත්වැල් ඇත. 8 වන මුර කුටිය “බඩාලින්” කොටසේ උසම ස්ථානයයි. එතැනින් එහා 12 වැනි කුටිය තෙක් ගමන් කිරීම තරමක් දුෂ්කරය. 8 වන මුර කුටියේ සිට ප්‍රාකාරය මතින් පහළට ගමන් කිරීම ශ්‍රී පාද වන්දනාවෙන් පසු පහළට කරුණා කරන්නාක් මෙනි.

අතරතුර හමුවන මුර කුටි තුළට රිංගා ඡායාරූප ගැනීමට ද කිසිදු බාධාවක් නැත.

කොරොනා වසංගතය තවමත් ලොව බොහෝ රටවල පැතිර යන බැවින් විදේශීය සංචාරකයින් චීන මහා ප්‍රාකාරය නැරඹීමට පැමිණීම දැකිය නොහැකිය. එහෙත් චීන සංචාරකයෝ බහුලව පැමිණෙමින් සිටිති. දේශීය සංචාරකයින් බහුතරයක් අතර සිටි දුර්ලභ විදේශිකයෙකු වූ බැවින් ඡායාරූප වලට පෙනී සිටින ලෙස චීන ජාතිකයින්ගෙන් මට ද තරමක ඉල්ලුමක් ලැබී තිබිණ.

පරිසරය මැනවින් සුරක්ෂිත කිරීම මෙම සංචාරක කලාපයේ කැපී පෙනෙන ලක්ෂණයකි. කඳුකර ප්‍රදේශයක් වුවද සංචාරකයින් සඳහා සියලු පහසුකම් එහි සලසා තිබේ. ආරක්ෂාව සහතික කර ඇතත්, ආරක්ෂක නිලධාරීන් දැකිය හැක්කේ අතළොස්සකි. ගුවනේ සිට මෙන්ම ආරක්ෂක කැමරා මඟින් ද සියල්ල නිරීක්ෂණය කෙරේ.

“බඩාලින්” හි උතුරු කොටසේ සංචාරයට මට ගත වූයේ පැය තුනක පමණ කාලයකි. දකුණු කොටසට යන්නේ නම් තවත් එවැනිම කාලයක් ගත විය හැකිය.

“සඳ මත සිට පෘථිවිය දෙස බැලූ විට, කඳු හා නිම්න අතරින් දැකිය හැකි එකම ස්වභාවික නොවන වස්තුව චීන මහා ප්‍රාකාරය” යැයි කියමනක් ඇත.

ලොව පුදුම හතෙන් එකක් වන චීන මහා ප්‍රාකාරය අද්විතීය මිනිස් නිර්මාණයක් බව ඉතා පැහැදිලිය. කහ ගංගාව ආශ්‍රිතව ගොඩනැගුණු ඉපැරණි ශිෂ්ටාචාරයේ ශ්‍රී විභූතියත්, චීන ජාතියේ විශිෂ්ට ශක්තියත් එමගින් පිළිබිඹු කෙරේ.

 

Comments