රවි - සිකුරු නීචයෙන් මිදීම නිසා වප් මස ලග්න රැසකට සුබ ඵල | සිළුමිණ

රවි - සිකුරු නීචයෙන් මිදීම නිසා වප් මස ලග්න රැසකට සුබ ඵල

ඔක්තොබර් 17 දින උදේ 7.05 ට රවි ග්‍රහයා තුලා රාශියට පැමිණ නීච විය. එය සැබවින්ම රෝබිය, සතුරු බිය ඇති කරන රටේ විවිධ කුමන්ත්‍රණකාරී පිරිසකගේ ක්‍රියාකාරකම් එළියට එන තත්ත්වයක පෙර ලකුණු පළ කරන්නකි. විශේෂයෙන්ම රවි ග්‍රහයා යනු ලෝකයේ පියාය, රාජකාරක ග්‍රහයාද ලෙසින් හඳුන්වන රවි අපට ආලෝකය, පිරිසිදුකම, මෙන්ම අභිමානය ලබා දෙන ග්‍රහයා යයි කීවොත් එය නිවැරදිය. රටේ යම් වසංගතයක් හෝ විෂ බීජයක් පැතිරී යෑම මෙම රවිගේ නීචය නිසා මීට පෙරද ඇතිවූ අනිසි අමිහිරි අත්දැකීම් සහිත බලපෑම් පසුගිය අවස්ථා කීපයකදී අපට අත් විඳින්නට හැකි විය.

ඒ නිසාම යළි රවි ග්‍රහයා නීච වීම අප රට තුළ කො‍රෝනා වසංගතය යළි හිස එසවූවා යන්න සිතීමට අපට වෙන ආදර්ශ අවශ්‍ය නැත.

ඒ අතරම පසුගිය ඔක්තෝබර් 23 සිකුරාදා උදේ 10.45 ට සිකුරු ග්‍රහයා ද කන්‍යා රාශියේ නීච විය. සැබවින්ම සිකුරු යනු ආදරය, ආලය, නිරෝගි බව, සෞභාග්‍ය හා යහපත් සිතුවිලි ඇති කරන සෞම්‍ය ග්‍රහයෙකි. එම ග්‍රහයා නීච වීමද ඉහත කී අංශ කෙරේ තර්ජනය එල්ලකරන තත්ත්වයකි. විශේෂයෙන් කාන්තාවන්ට විවිධ තාඩන පීඩන සිදු විය හැකි අපරාධ ‍චෝදනා මෙන්ම කාම අපචාර සිදුවිය හැකි අසම්මත පෙම් සබඳතා නිසා සියදිවි නසා ගැනීම් හා පවිත්‍ර චරිත පවත්වාගෙන ආ යුවතිපතීන්ට අභූත චෝදනා නීති ගැටලු ඇති වනු ඇත. මෙම අවදියේ නඩත්තු නඩු - දික්කසාද නඩුවලින් උසාවිය පිරෙන වකවානුවක් ද වෙයි.

එසේම කුඩා දරු දැරියන්ට උවදුරු කාම අපචාර බාල අපචාර හා දූ දරුවන්ගේ සිත් සතන් දූෂ්‍ය කෙරෙන තත්ත්ව ද මෙම සිකුරු නීචය නිසා නිතැතින්ම සිදුවනු ඇත. සැබවින්ම එකවිට රවි හා සිකුරු නීචය විශේෂයෙන් ලෙඩ රෝග ඇති වීම ඒ නිසාම මිනිසුන්ගේ සිත් සතන් හා ශාරීරික ශක්තින් වියැකී යෑම නිසා සිතේ සතුට පැහැර යන අවස්ථාවක් ලෙසින් මෙම කාලය නිර්ණය කළ හැකිව තිබේ. ඊට පසුගිය කාල වකවානුද මේ සඳහා අපට ආදර්ශ සපයනු ඇත. මෙම ග්‍රහ තත්ත්වන් ද්විත්වය නිසා එය රටේ පැවතිය යුතු සාමය සමගිය අභිවෘද්ධියට ද මරු පහරක් විය හැකි වුවද රටේ පවතින පාලන තන්ත්‍රයේ ඍජු බව හා විනිවිද භාවය නිසාම ඒ හැම බලවේගයක්ම හිරුදුටු පිනි සේ වියැකී යනු ඇත.

‍මේ අයුරින් කොතෙක් ජනතාව අතර අසමානතා හා විෂමතා ගොඩ නැඟුණත් ලබන නොවැම්බර් මස 17 න් පසු මෙම රවි - සිකුරු නීචයෙන් මිදීම නිසා පැවති සියලු අසමගිතා දුරුව නොමග ගිය කොටස් යළි ඒකරාශිව යළි රට ගොඩනැගෙන ක්‍රියාදාම රැසකට එකතු පහදු වීම අප කොයි කාගේත් හිත සුව පිණිස වෙයි. ඒ අනුව රවි ග්‍රහයා නොවැම්බර් 16 දින උදේ 6.54 ට වෘශ්චික රාශිගත වීමද සිකුරු නොවැම්බර් 17 දා උදේ 01.03 ට තුලා රාශි ගත වීමෙන්ද මෙම අභිවෘද්ධියට පෙර මං සලසයි. එතෙක් මේ රටේ විවිධ ප්‍රභූ පිරිස් කාන්තාව හා ළමා පරපුර ඉතා බුද්ධිගෝචරව යහපත් මානසිකත්වයෙන් යුතුව කටයුතු කිරීම වැදගත් වනු ඇත. තවද මෙම ග්‍රහ බලපෑම එක් එක් ලග්නය අනුව කෙසේදැයි සලකා බලමු.

මේෂ ලග්නය

රැකියා හා මුදල් ලාභ

 

මේෂ ලග්නය හිමි ඔබට මෙම මාසය ඉතා සුබවාදි මාසයකි. විශේෂයෙන්ම චන්ද්‍රයා 10 - 11 - 12 - 01 යන ස්ථානවල ගමන් කිරීමෙන් රැකියා ලාභ ආර්ථික ලාභ හා විවිධ හදිසි ප්‍රතිලාභ පෙන්වනු ඇත. විශේෂයෙන් සිතේ සතුට අභිවෘද්ධිය රජයන වකවානුවකි. විවාහ උත්සව හා ආගමික උත්සව වලට සහභාගි වීම - ව්‍යාපාරයකට මුදල් ආයෝජනය කිරීමාදි කටයුතු රැසකට අඩිතාලම වැටේ. හිත මිතුරන්ගෙන් නොමසුරු සහ‍යෝගය ලැබීම හා ඒ අය අතර ප්‍රසාදය දිනා ගැනීමට ඔබට හැකි වනු ඇත. ඒඅනුව රවි සිකුරුගේ බලපෑම නිසා විවිධ සමාජයේ නොමනා පිරිසකගේ එදිරිවාදිකම් බාධා කිරීම් එල්ල විය හැකි වුවද ඒවා මැඬ පැවැත්වීමට ඔබට ශක්තිය ලැබේ.

 

වෘෂභ ලග්නය

ඉඩම් ලාභ

 

වෘෂභ ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව චන්ද්‍රයා මේ මාසයේ 09 - 10 - 11 - 12 යන ස්ථානවල ගමන් කරමින් ඔබට පෙර පින් මහිම මතු කර දෙනු ඇත. ඉඩම් ලාභ දරු සම්පත් හිමිවේ. විශේෂයෙන් ඔබ වයස 12 ට අඩු දියණියක් නම් සමාජයේ විවිධ පුද්ගලයින්ගෙන් එල්ල විය හැකි බලපෑම් රැවටිලි ආදිය නිසා ගැටලු වලට මුහුණ දිය හැකි වෙතත් ඒවා නිවැරදි මානසිකත්වයෙන් මුහුණ දීමෙන් විය හැකි උවදුරු වළකා ගැනීමට හැකිවේ. ඔබගේ ඉදිරි කාලය සැපවත් කරන කටයුතු කීපයක මූලාරම්භය ඔබ විසින් මේ මාසය තුළ සකසා ගනු ඇත.

 

 

මිථුන ලග්නය

මාසයේ මැද සිට සුබයි

 

මිථුන ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව චන්ද්‍රයා 06 - 07 - 08 - 09 යන ස්ථානවල ගමන් කිරීමත් සිකුරු 04 හි රවි 05 හි ගමන් කිරීමත් නිසා මාසය ආරම්භය අවුල් සහගත මානසිකත්වයකට හේතුවන නමුත් මාසය මැද භාගයේ සිට එය නිවැරදි මාවතකට පිවිසෙන අයුරක් දක්නට ලැබේ. කෙසේ නමුදු ඔබගේ පුතකුට හෝ දුවකට සමාජයෙන් එල්ලවිය හැකි අභූත චෝදනා නිසා සිත් තැවුලකට පත්විය හැකි නමුත් මාසය මැද භාගයේ සිට එය මගහැරෙනු ඇත. විශේෂයෙන් ඔබ සකසුරුවම් ලෙස සිය මුදල් පරිහරණය කළ යුතුය. නැතහොත් අලාභ හානියකට මාසය මුලදීම මුහුණ පෑමට සිදුවනු ඇත.

 

කටක ලග්නය

සමාජයෙන් ගැරහුම්

 

කටක ලග්නය හිමි ඔබට මෙම වකවානුව සුවිශේෂි ජයග්‍රහණ කීපයක් ලබා ගැනීමට හැකි වනු ඇත. චන්ද්‍රයා 07 - 08 - 09 - 10 යන ස්ථානවල ගමන් කිරීමත් සිකුරු 03 ට රවි 04 ට පැමිණීමත් නිසා විශේෂයෙන් රාජ තාන්ත්‍රික මට්ටමේ දෝෂ දර්ශනයකට මුහුණ දීමට බොහෝ විට ඉඩ ඇති නමුත් එය බුද්ධිමත් ලෙස කටයුතු කිරීමෙන් මඟ හරවාගත හැකිය. තම චරිතයට තම පැවැත්මට හානි වන කටයුත්තකට තමාගේ හිතවතකු තමාව ඇද දමන නමුත් බුද්ධිමත්ව කටයුතු කළහොත් ඉන් මිදීමට ඔබට පුළුවන. විශේෂයෙන් සෙම හතිය නිසා ඔබට ආපදා රැසකට මුහුණ දීමට සිදුවන නිසා ප්‍රවේශම් වන්න.

 

සිංහ ලග්නය

නීති ගැටලු

 

සිංහ ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව මෙම වකවානුව ඔබ ඉතා ප්‍රවේශම් විය යුතු වෙයි. නීති ගැටලු ඉඩකඩම් පිළිබඳව මතභේද හා නැදෑ හිතවතුන් වෙතින් එළඹෙන උවදුරු රැසකට මුහුණ දීමට සිදු වේ. ඒ නිසාම මුදල් නැති නාස්ති වීම් හා තම මානසික සුවය අයහපත් තත්ත්වයට පත්වීමේ අවදානම පවතී. ඔබ නොකළ කටයුත්තකට ඔබ වැරදිකරු ලෙස සමාජයේ හංවඩු ගැහුණත් අවසානයේ ඔබ නිවැරදි බව කාටත් වැටහෙනු ඇත. එතෙක් ඉවසීම පවත්වා ගන්න. සිත කලබල වීම මත බොහෝ අවුල් වියවුල් තව තව උත්සන්න විය හැකිය.

 

කන්‍යා ලග්නය

යහපත් දරු ඵල

 

කන්‍යා ලග්නය හිමි ඔබට මෙම වකවානුව සුබයි. දරු සම්පත් අපේක්ෂා කරන අයට දරු සම්පත් ද හිමි වුවත් ආදරය ආලය නිසා සිතේ කනස්සල්ලද ඇති වීමට පුළුවන. ඒ තම සි‍තේ පවතින සැක සංකා නිසාය. ඔබ විසින් ඔබගේ සමීපතමයන් පිළිබඳ ඇති කරගන්නා සැකයනිසා විවිධ මානසික අසහනකාරි තත්ත්වයනට මුහුණ දීමට සිදුවන අතර ඒ නිසාම ඔබට සමීපතමයන් කීප දෙනෙකුගෙන් දුරස්වීමට කටයුතු සැලසේ. නමුත් ඔබ ගන්නා තීන්දු තීරණ වැරදි බව පසුවට වැටහෙන නිසා ඔබ ඒ අයට යළිත් සමීප වීමට සිතනු ඇත. කලබලවීමෙන් මේ සියලු අපහසුතා ඇති විය හැකි නිසා කල්පනාකාරී වන්න.

 

තුලා ලග්නය

දූ දරුවෝ නිසා ප්‍රසාදය

 

තුලා ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රය අනුව චන්ද්‍රයා 04 - 05 - 06 - 07 යන ස්ථානවල ගමන් කරමින් යහපත් ආර්ථිකයකට අත ගැසීමට ඔබට හැකි වෙයි. රවි ලග්න ගත වීම උණ සෙම්ප්‍රතිෂ්‍යාව ඇස් රෝග වැනි රෝග ඇති විය හැකි නමුත් ශරීර සෞඛ්‍ය පිළිබඳව උනන්දු වුවහොත් එය වළක්වා ගත හැකි වනු ඇත. කෙසේ නමුදු ඔබගේ දියණියක හෝ පුතෙකු නිසා ඔබට සමාජයේ කැපී පෙනෙන අභිමානයකට මුහුණ දීමට හැකිවේ. එසේම තම ආගම දහම වෙත වැඩි නැඹුරුවක් දැක්වීම නිසාද ඔබට සිතට සහනය උදා කර ගැනීමට ද හැකි වනු ඇත.

 

වෘශ්චික ලග්නය

ව්‍යාපාර පල

 

වෘශ්චික ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව චන්ද්‍රයා 03 - 04 - 05 - 06 යන ස්ථානවල ගමන් කිරීමත් රවි 12 ට සිකුරු 11 ට යෙදී තිබීමත් විශේෂයෙන් කිසියම් ව්‍යාපාරයකට මුදල් ආයෝජනය කිරීමට හැකිවේ. ඒවා නිසා ඵලදායි තත්ත්වයකට පත් කර ගැනීමට ඔබට හැකි වේ. විශේෂයෙන් ඔබගේ කටයුතු කෙරේ රාජානුග්‍රහය ප්‍රධානින්ගේ ප්‍රසාදය හිමි වේ. තම ආත්ම ශක්තිය වැඩි දියුණු වන වකවානුවකි. පිටරට යෝග ව්‍යාපාර පල ඇති කෙරේ. පාදයේ වළළුකර ආශ්‍රිත යටිබඩ ආශ්‍රිත උවදුරු ඇතිවේ. දුර ගමන් බිමන් වලදි කල්පනාකාරී වන්න.

 

ධනු ලග්නය

රැකියාවේ ස්ථාන මාරු

 

ධනු ලග්නය හිමි ඔබට මෙම මාසය ආරම්භයේ සිටම ධන ලාභ, වාහන ඉඩම් ලාභ හිමි වනු ඇත. රැකියා ස්ථානගත කිසියම් කලකිරීම් ඇති වුවද එම කලකිරීම් කිසිත් සිතට නොගෙන බාධක මැදින් ගමන් කළහොත් අභිවෘද්ධිය තව මසකින් පමණ හිමි වනු ඇත. තවද ඔබ දරන වෘත්තියේ වෙනසක්, ස්ථාන මාරුවක් සිදුවිය හැකි නමුත් එය මුල් දින කීපය සිතට අසහනය ගෙන දෙන එකක් වුවද පසුව යහපත පිණිස වෙයි. එයින් ඔබේ ධනය උසස් වේ. වාහන ලාභ උරුම වේ. අන් අය අතරේ කැපී පෙනෙන තත්ත්වයට ඔබ පත්වනු ඇත.

 

මකර ලග්නය

අන් අයගේ ප්‍රසාදයට

 

මකර ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව මෙම මාසය ඉතා සුබ වෙයි. ඒ අනුව චන්ද්‍රයා 01 - 02 - 03 - 04 යන ස්ථානවල ගමන් කිරීමත් රවි 10 ට සිකුරු 09 පැමිණ සිටීම නිසා ගිය ගිය තැන ඔබ කැපී පෙනෙන තත්ත්වයකට පත්වේ. අන් අයගේ ප්‍රසාදය අනුග්‍රහය හිමි වේ. මිල මුදල් අතින් වුවද අඩුවක් නොදැනේ. නිර්මාණශීලී අදහස් උදහස් ඇති අයට ඉන් ඵල ලැබීමට සුදුසු කාලයකි. ඒ සඳහා තමාට පරිසරයේ ලැබෙන සංසිද්ධි ඉතා විශාල වේ. ඒ නිසා උනන්දු වන්න. ග්‍රන්ථකරණය, චිත්‍ර කරණය වැනි අංශ තුළ ඔබ ඉහළම තලයේ තබන වකවානුවකි.

 

කුම්භ ලග්නය

පිය පාර්ශ්වයේ උරුමයක්

 

කුම්භ ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව චන්ද්‍රයා 12 - 01 - 02 - 03 යන ස්ථානවල ගමන් කිරීම සතිය ආරම්භයේ ආර්ථික ගැටලු කීපයකට මුහුණ දීමට සිදු වුවත් තම පිය පාර්ශ්වයේ උරුමයකට හේතු වෙයි. කෙසේ නමුදු තුනටිය ආශ්‍රිත විය හැකි උවදුරක් නිසා අපහසුතා විඳීමට සිදු වුවද සතිය මැද භාගයේ සිට එය සමනය වනු ඇත. ඔබ එකතැනකට වී ගත කරන විවේකී දින කීපයක් නිසා අනාගත සැලසුම් කීපයක් සකසා ගැනමට ඔබට හැකි වේ. ඒ තුළින් ගන්නා තීන්දු තීරණ නිසා අනාගත යහපත අභිවෘද්ධිය ඔබට හිමි වේ.

 

මීන ලග්නය

සිතේ කලකිරීම

 

මීන ලග්නය හිමි ඔබට මෙම මාසය ආරම්භයේ යහපත් ලැබීමකට හේතු ඇති කළද ඒ ලැබීම නිසා සිත කලකිරීම් ඇතිවේ. මන්ද ඔබට ලැබෙන ධනයක් එය කුමන මාර්ගයකින් ලැබුණේ ද යන්න අන් අයගේ සැකයට භාජනය විය හැකි නිසා ඒ පිළිබඳ හාරා අවුස්සන පිරිසක් නිසා සිතේ කණස්සල්ලට හේතු වේ. කෙසේ නමුත් දින දෙක තුනකින් පසු එහි සත්‍යතාව සැමටම වැටහෙන නිසා නැවත සිතේ සතුට ඇති වනු ඇත. විශේෂයෙන් ඔබගේ විවාහක සහකරුවා හෝ සහකාරිය නැතිනම් පෙම්වතා හෝ පෙම්වතිගෙන් ඉහත කී අභියෝගාත්මක ප්‍රහාර එල්ල වන නිසා සිතේ දැඩි කණස්සල්ලට එයම හේතු වෙයි. කෙසේ හෝ දින දෙක තුනකින් පසු එය මඟ හැරේ.

 

Comments