උණ කූරේ පැටලුණු හඳුන්කූරූ | සිළුමිණ

උණ කූරේ පැටලුණු හඳුන්කූරූ

ඳුන්කූරු නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍යයක් වශයෙන් යොදා ගන්නා, විශේෂිත උණු බට කූරු සපයා ගැනීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු විසඳා ගැනීම පිළිබඳ , පසුගිය දා කර්මාන්ත අමාත්‍යතුමා විසින් පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරන ලදී.

ඒ අනුව, හඳුන්කූරු නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය වශයෙන් යොදා ගන්නා විශේෂිත උණ බට කූරු සපයා ගැනීම සම්බන්ධ ගැටලුවට ඔහු ඉදිරිපත් කළ යෝජනාව, අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

හඳුන්කූරු නිෂ්පාදනය සඳහා යොදා ගන්නා උණ කූරු නියමිත ප්‍රමිතියෙන් යුතුව, අවශ්‍ය ප්‍රමාණය දේශීයව නිෂ්පාදනය කර ගන්නා තෙක්, හඳුන්කූරු නිෂ්පාදනයට අවශ්‍ය උණ කූරු විදේශ රටවලින් ආනයනය කිරීමටත්, එලෙස ආනයනය කරනු ලබන උණ කුරු සඳහා බදු සහනයක් ලබා දීමටත්, මෙම විශේෂිත උණ ශාකය (bamboo aspera) පවතින ප්‍රදේශ හඳුනා ගැනීම සහ එම ශාකය වගා කළ හැකි ඉඩම් හදුනාගෙන වගා කටයුතු ආරම්භ කිරීම සඳහා, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ මහවැලි අධිකාරිය විසින් අවශ්‍ය පියවර ගැනීමටත්, හඳුන්කූරු නිෂ්පාදනය සඳහා වැඩි දියුණු කළ තාක්ෂණික උපාංග හඳුන්වාදීම පිණිස කාර්මික සංවර්ධන මණ්ඩලයේ දායකත්වය ලබා ගැනීමටත්, මෙහිදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය. පවතින තත්ත්වය තුළ දේශීය හඳුන්කූරු නිෂ්පාදකයින් සහ කර්මාන්තකරුවන් මුහුණ දී සිටින ගැටලු සහ ඔවුන්ගේ අදහස් පිළිබඳ අපි විමසීමක් කළෙමු.

 

ඒ අනුව, දේශීය හදුන්කූරු නිෂ්පාදකයින්ගේ සහ වෙළඳුන්ගේ සංගමයේ සභාපති සහ තායි සුමේධා හදුන්කූරු නිෂ්පාදන ආයතනයේ සභාපති, සුමේධ ඇල්පිටිය මහතා දැක්වූයේ මෙවැනි අදහසකි.

 

"දේශීය කර්මාන්ත නගා සිටුවීම උදෙසා ජනාධිපතිතුමා ගන්නා උත්සාහයට අපි අපේ පූර්ණ සහයෝගය ලබා දෙනවා. නමුත් අපට තිබෙන ප්‍රශ්නය තමයි, ලංකාවේ උණ කූරු නිෂ්පාදනය පවතින්නේ තවම අත්හදා බැලීමේ මට්ටමේ. ඒවා තවම නිෂ්පාදනය වන්නේ, ඉතාමත් අඩු ප්‍රතිශතයකින්. ඒත් අපේ නිෂ්පාදන ධාරිතාව සඳහා, අපිට කිලෝ පන්සියයක් දාහක් අතර ප්‍රමාණයක් අවශ්‍ය වනවා.

අනික, ඒ දේශීය උණ කූර දැනට තිබෙන අපේ මැෂින් තුළට දාන්න බැරි ප්‍රශ්නයක් තිබෙනවා.ඒ කූර මහතයි. මැෂින් එකේ හිරවෙනවා. කැඩෙනවා. එහෙම වුණාම, මැෂින් එක නැවත නැවත ගලවා සුද්ද කරන්න සිද්ධ වෙනවා.

ශ්‍රී ලංකාවේදී ම උණ කූරු හදන එක හොඳ දෙයක්. නමුත් මේ උණ කූර තවමත් සංවර්ධනය වන මට්ටමේ තිබෙන නිසා, එය හරියට හැදෙන තුරු අපිට කර්මාන්තය නවතා බලා ඉන්නට හැකියාවක් නැහැ.

මොකද, අපි වටා සිටින 400- 500කගේ රැකියාවට අප වගකිව යුතුයි. ඒ වගේම, දැනට ලැබී තිබෙන පිටරට ඇණවුම් සම්පූර්ණ කළ යුතුයි. මේ හැමදේම ගැන හිතද්දී, අපේ කර්මාන්තය අඛණ්ඩව ඉදිරියට ගෙන යෑම සඳහා අවශ්‍ය පසුබිම සකසා ගැනීමයි, වැදගත් දේ. අනික, අපේ රටේ කොළ පැහැ යෝධ උණ තරමක් දුර්ලභයි. ඒ ගහක් හැදෙන්න අවුරුදු හතර පහක් යනවා. ඒ ගස් චීනයේ මෙන් වාණිජ වගාවක් ලෙස වවන්න නම්, දිගුකාලීනව යම් ක්‍රමවේදයක් සැකසිය යුතුයි. ගස් සුද්ද කරන්න, ගැට ඉවත් කරන්න, පතුරු ගසන්න, පදම් කරන්න, තම්බන්න, පොලිෂ් කරන්න... වගේ දීර්ඝ ක්‍රියාවලියක් තිබෙනවා. මේ සඳහා මැෂින් වර්ග කිහිපයක ම සහායත් අවශ්‍යයයි. ඒ වගේම, ඒ මැෂින් වර්ග තරමක් මිල අධිකයි.

ඉතින් අපි කියන්නේ, ඉතාමත් කෙටි කාලයකින් මේ ප්‍රශ්නයට පිළිතුරු හොයන්නේ නැතිව, අවශ්‍ය දීර්ඝකාලීන විසඳුම සකස් කරන ලෙසයි . දේශීය උණ කූරු නියමිත ප්‍රමිතියට නිපදවන්න පුළුවන් වෙන තාක්, අපිට යම් කාලයක් ලබා දෙන්න කියා, අපි කර්මාන්ත අමාත්‍ය තුමා ගෙන් අපි ඉල්ලා සිටියා. ඇත්තටම, ඒ සඳහා ඇමතිතුමා අපිට සාධනීය පිළිතුරක් ලබා දී තිබෙනවා.

කොහොම වුණත් රජය මේ තීන්දුව නොගත්තා නම් , තවත් මාස කිහිපයකින් පස්සෙ සෘජුව හා වක්‍රව අපිට හඳුන්කූරු හදන 500කගේ පමණ රැකියා අහිමි වී යනවා. මේ කර්මාන්තය ඇත්තටම ගෘහණියන්ගේ රැකියාවක්. ආබාධිත අයගේ ජීවිකාවක්. කොටින්ම දුප්පතුන් බහුලව යෙදී සිටින, කාටත් නොපෙනෙනා වටිනා අංශයක්. විමල් ඇමතිතුමා ලබාදුන් මේ සහන කාලය නිසා, මේ හැමෝගෙම ජීවිකාව තව වසරකට හෝ රැකීම ගැන අපිට සතුටුයි..."

 

කුළුබඩු නිෂ්පාදනය කොට, අපනයනය කරන මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරයක් වන, HDDES Group සමාගම හෙවත්, 'අවුරා' හඳුන්කූරු සමාගමේ අධ්‍යක්ෂ මෙවන් ද සිල්වා මහතා දැක්වූයේ මෙවැනි අදහසකි.

 

"අපි මහා පරිමාණයෙන් හඳුන්කූරු නිෂ්පාදනය කරන සමාගමක්.අපි සෑම හඳුන්කූරු පැකට් එකකට ම නමක් දුන්නා. අගය එකතු කළ වටිනාකමක් ලබා දුන්නා.අද වන විට ජාත්‍යන්තරයේ තිබෙන ඉල්ලුම ගැන අපිට සෑහීමකට පත්වෙන්න පුළුවන් ඒ වගේම, බොස්වානා සහ අප්‍රිකානු කලාපයේ බොහෝ රටවල් අලි මිනිස් ගැටුමට විසඳුමක් ලෙස පාවිච්චි කරන්නේ, අපේ අලියා හඳුන්කූරු. මෙය 500%ක් සාර්ථක බව ඔක්සෆර්ඩ් යුනිවර්සිටිය හා එක්ව කළ පර්යේෂණවලින් සනාථ වී තිබෙනවා.

අලියා අකැමැති සුවඳ වර්ග කීපයකින් සාදා තිබෙන මෙම හඳුන්කූරු, ගම්මානවල අලි මිනිස් ගැටුම පාලනය කිරීමට තිබෙන හොඳම විසඳුමක්.

අපේ රටේ මේකට පිළිගැනීමක් නැති වුණත් ලෝකේ තියෙන පිළිගැනීම සහ එයින් අපට ලැබෙන ආර්ථික වාසිය අති විශාලයි.ඉතින් හඳුන්කූරු කියන්නේ, අපිට නම්, ප්‍රාථමික නිපැයුමක් නෙවෙයි. විදේශ විනිමය ගෙනෙන (Value Added ) සම්පතක්.අපේ හඳුන්කූරු විවිධ ක්ෂේත්‍රවල භාවිත වෙනවා. විශේෂයෙන් සංචාරක ක්ෂේත්‍රයට අදාළ ඇරෝමා තෙරපි සහ යෝගා සඳහාත්, නිදහස් මනසක් ලබාගැනීමට අවශ්‍ය පරිසරයක් සකස් කිරීම සඳහාත් ( Relaxation ), තරු හෝටල් සඳහාත් භාවිත කරන හඳුන්කූරු විවිධ පරාසයන්ගෙන් යුතුව අප නිෂ්පාදනය කරනවා.මේවා හොඳ මිලකට ඉහළ සමාජයේ අලෙවි වන, අගය එකතු කළ හඳුන්කූරු.

මේ සෑම නිෂ්පාදනයක් සඳහාම, අප ප්‍රධාන අමුද්‍රව්‍යය ලෙස භාවිත කරන්නේ, අපේම කුළු බඩුවලින් අවසානයේ ඉතිරි වන, අපතේ යන කොටස්. ඇත්තටම ඒවා, කුළුබඩු වලින් තෙල් ලබාගෙන ඉතිරි වන, රොඩු වැනි කොටස. මෙය හඳුන්කූරු බවට පත් කරන්නට අප විශාල ක්‍රියාදාමයක් සිදුකරනවා. ඒ සඳහා අති නවීන නිෂ්පාදනාගාරයක් හොරණ අප කර්මාන්ත ශාලාව තුළ පිහිටා තිබෙනවා.

ඒ වගේම, මල් සැපයුම්කරුවන් විශාල ප්‍රමාණයක් අප වටා සිටිනවා. මල් වර්ග 12 ක සුවඳ සඳහා, සැබෑ මල් එනම්, සුදු අරලිය, නිල් මානෙල්,නිල් කටරොළු වැනි මල් වර්ග ලක්ෂ ගණනින් අප සතියකට ගම්මානවලින් සොයා ගන්නවා. ඒවා අපට ලබාදෙන්නේ, ගම්වල දුප්පත් පාසල් දරුවන් සහ කාන්තාවන්. එසේ බලද්දී, හඳුන්කූරු කර්මාන්තය තුළ සෘජුව රැකියා කරන පිරිස විතරක් නෙවෙයි, මේ වගේ අති දුෂ්කර පළාත්වල සැපයුම් කරුවන් විශාල ප්‍රමාණයක් අප වටා සිටිනවා.

ඇත්තටම කියනවා නම්, රජය මේ තීන්දුව නොදුන්නා නමුත් අපේ දෙසිය ගණනකගේ රස්සා අවදානමට වැටෙන්න ඉඩ තිබුණා. අපිට උණ කූරු තිබුණේ, සති කිහිපයකට සෑහෙන ප්‍රමාණයක් පමණයි .

ඉන්දියාව මොන තරම් උණ ගස් තිබෙන රටක්ද.. ඒ වුණත් ඒ අය තමන්ගේ රටේ ගස් නොකපා, හඳුන්කූරු කර්මාන්තයට අවශ්‍ය උණ කූරු චීනයෙන් ගෙන්වන්නේ හේතුවක් ඇතිව. අපේ ආයතනයට විතරක් දවසකට උණ කූරු කිලෝ 300ක් ඕනෙ. අනිත් කොම්පැනිවල අවශ්‍යතාවත් ඇතුළුව ගණන් බැලුවොත් ලංකාවේ තිබෙන උණ ගස් ටික මාස 5-6ක් යනකොට සම්පූර්ණයෙන් වඳ වෙලා යාවි. ඒ විතරක් නෙවෙයි, අවබෝධයක් නැතිව උණ ගස් ටික කපන්න ගියොත්, උණ ගස්වලින් දරා සිටින ගංගා ඉවුරු ටික කඩාගෙන ගිය විට සිදුවන පරිසර හානියට වග කියන්නේ කවුද...? ඒ හානියට මිලක් තියෙනවද....? අපේ පරිසරයට, ජෛව විවිධත්වයට මේ උණ ගස්වලින් ලැබෙන පිටිවහල ගැන කවුරුවත් කතා නොකිරීම නම් කණගාටුවට කාරණාවක්..."

 

බොබී හඳුන්කූරු සමාගමේ සභාපති නිහාල් කරුණානායක මහතා ද මෙසේ අදහස් දැක්වීය.

 

"බොබී කර්මාන්ත ආයතනය නිසා මේ වන විට සෘජුව රැකියාවේ යෙදෙන පිරිස හාර පන්සියයක් පමණ වනවා. වක්‍රව ඊටත් වඩා වැඩියි. ඔවුන්ට තමන්ගේ කර්මාන්තය කරගෙන යෑමට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයන්නේ අපි.

හඳුන්කූරු නිෂ්පාදනය සඳහා අවශ්‍ය සුවඳ වර්ග, තෙල් වර්ග, කළු කුඩු, පට්ටා කුඩු, සහ උණ කූරු අපි මිලදී ගන්නෙත් ඩොලර් සමාගමෙන්. මේ සියලු දේ සඳහා ලංකාවේ මාසික කූරු අවශ්‍යතාව ටොන් සියයක් පමණ වනවා. නමුත් තවමත් ශ්‍රී ලංකාවේ නිපදවීමේදී දෙන්නට හැකි වී තිබෙන්නේ, ටොන් එකයි. මෙය විශාල පරතරයක් .

ඒ වගේම, උණ ගස් කපලා ප්‍රවාහනය කරන ක්‍රියාවලියත් බොහොම සංකීර්ණ එකක්. ලංකාවේ කහ උණ ගහ මේකට ගැළපෙන්නේ නැහැ. ඒකෙ තිබෙන තන්තු ගතිය වැඩියි. ඒකෙන් හඳුන්කූරු හැදුවත් ඉක්මනින් නිවිලා යනවා. එක්කෝ වේගයෙන් පත්තු වෙලා ඉවර වෙනවා. ඒ වගේම, දැනට හදන ලංකාවේ උණ කූර බර වැඩියි. ගෙවල්වල තියෙන මැෂින්වලට දැමා විට ඒ උණ කූර කැඩී යනවා. මෙයට හේතුව තමයි, දැනට මේ තියෙන සෑම මැෂිමක්ම කලකට පෙර චීනයෙන් ගෙන්වූ ඒවා. ගෘහස්ථ කර්මාන්ත ලෙස මේ අය වැඩ කළේ චීන මැෂිමෙන් සහ චීන කූරෙන් .

අනික චීනෙන් ගෙන්වන කූරු කිලෝවකට කූරු 3,370 -3,500ක් අල්ලනවා. ලංකාවේ කූරු අල්ලන්නේ කිලෝවකට 2200යි. ව්‍යාපාරික අපිට අහිමි වන කූරු ගණන 1300ක්. මොකද අපි හඳුන්කූරු, පෙට්ටිවලට දමන්නේ බරට නෙවෙයි. කූරු ගණනට. කූරු 1300ක් අහිමි වෙනවා කියන්නේ, අපිට විශාල පාඩුවක්."

 

වසර 38ක් පුරා ශ්‍රී ලංකාවේ හඳුන්කූරු නිෂ්පාදනය කරන සමිඳු හඳුන්කූරු සමාගමේ කර්මාන්ත ශාලා කළමනාකරු, ආර්. ජයකාන්ත් දැක්වූයේ මෙවැනි අදහසකි.

 

"අපේ කර්මාන්තයේ වැඩිපුර සිටින්නේ ගෘහාශ්‍රිතව සැපයුම් කරන සැපයුම්කරුවන්. ලංකාවේ ආබාධිත අයගේ ප්‍රධානතම ආදායම් මාර්ගය තමයි, හඳුන්කූරු නිෂ්පාදනය. ඔවුන්ට අපේ හඳුන්කූරු කර්මාන්තය මහා විශාල අත්වැලක්.

පන්සලකට කෝවිලකට යන අන්ත දුප්පත් මිනිස්සුන්ට ගන්න පුළුවන් මිලකටයි, අපි කර්මාන්තය පවත්වා ගෙන යන්නේ. අනික් අතට, පොඩි වෙළෙන්දො පොඩි ගාණක් පවා උපයා ගන්න, දරන වෙහෙස දැක්කම ඒ මිනිස්සු ඉන්නෙ මොන වගේ ආර්ථික යකද කියලා ඔබට හිතාගන්න පුළුවන් ද...

සමස්තයක් හැටියට මේ කර්මාන්තයේ යෙදී ඉන්න හුඟක් දෙනා එදා වේල හොයාගන්න මිනිස්සු. ගෙවල්වලට කොටු වූ ආබාධිතයෝ. නැත්නම් හුදෙකලා වූ කාන්තාවෝ. වයස්ගත අය වගේම බොහෝ පවුල්වල දරුවෝ පවා හඳුන්කූරු ඔතලා ජීවිකාව කරගෙන යනවා. රජයෙන් ගත් මේ තීන්දුව නිසා, දැන් මේ අයට තව අවුරුද්දක් වත් කරදරයක් නැතිව ජීවිකාව කරගෙන යන්න පුළුවන්. බැරි වෙලාවත් මේ කූරු ගෙන්වීම මාස තුනකින් නතර කළා නම්, ඉස්සර වෙලාම රැකියාව අහිමි වන්නේ මේ වගේ දුප්පතුන්ගේ.

අපි වටා සෘජුව සම්බන්ධ වූ පිරිස 130ක් විතර. බෙදාහැරීමේ ජාලයත් ඒ හා සමානයි. මොන තරම් ලොකු කොම්පැණියකට වුණත් මාස තුනකට වඩා හඳුන්කුරු සංචිතයක් තියාගන්න බැහැ. පුස් කනවා ගුල්ලෝ ගහනවා. අපි හැමෝම වෙනුවෙන් ඒ අවදානම ගන්නේ, ඩොලර් කෝපරේෂන් සමාගම. නමුත් ඉදිරියේදී අලුත් කර්මාන්ත බිහි වෙනවට අපිත් කැමතියි. හැබැයි අපේ උණ කූරු ඒ ප්‍රමිතියෙන් ම නිපදවූයේ නැත්නම් , ඒ උණ කූර අපේ මැෂින්වලට දාලා දිගින් දිගටම කැඩුණොත්, අපේ ව්‍යාපාරයත් ඉබේම නැතිවෙලා යාවි.

ඒ වගේම උණ කූරු සඳහා සෙස් බද්දක් පනවන්නට යන කතාව පිළිබඳවත් රජය දෙවරක් සිතිය යුතුයි. ඉන් අගතියට පත් වන්නේ, මම මේ කතා කරන අන්ත අසරණ දුප්පතුන්.

රුපියල් 20ට හඳුන්කූරු 40ක් තිබෙන පෙට්ටියක් ගත් කෙනාට, සෙස් බද්ද පැනෙව්වට පස්සේ,දෙන්න පුළුවන් වෙන්නේ හඳුන්කූරු 20ක් පමණයි.

ඒ අනුව, අපෙන් අඩුම මිලට හඳුන්කූරු ගත් වෙළඳපොළ ප්‍රධාන කොටසක් අපෙන් ගිළිහෙනවා.මේ කාරණය කුඩාවට කර්මාන්තයේ යෙදී සිටින අනික් අයටත් බලපානවා. ඒ නිසා, මේ හැමදේම හොඳින් විසඳා දෙන්න කියලයි, අපි රජයෙන් ඉල්ලා සිටින්නේ..."

 

යකඩ සහ හෝටල් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන 'සනීරෝ' සමාගම, හඳුන්කූරු සඳහා අවශ්‍ය උණ කූරු නිෂ්පාදනයට අත ගැසූ අලුත්ම දේශීය ව්‍යවසායකයා බවට පත්ව තිබේ. ඔවුන්ගේ ඉදිරි වැඩ කටයුතු පිළිබඳ අදහස් දැක්වූ 'සනීරෝ' සභාපති රොහාන් ඉන්දික මහතා.

 

"අපි මේ කර්මාන්තයට අත ගසා තවම මාස කිහිපයයි. අපි ඉන්නේ ආරම්භක අවධියේ. අපට අනුව නම්, අවශ්‍ය තරම් උණ ගස් ලංකාවෙ තිබෙනවා. අපි දවසට කිලෝ 100ක් නිෂ්පාදන ධාරිතාව පවත්වාගෙන යනවා. නමුත් මේ සැපයුමත් මදි බව අප දන්නවා.

අපේ අදහස නම් දැනට ලංකාවෙ තව අවුරුදු හතරකට සෑහෙන්න උණ ගස් තිබෙනවා. උණ ගහ කියන්නෙ කපන්න කපන්න පඳුරු වැවෙන ශාකයක්. අනික අපි උණ ගහ කපන්නේ, පඳුරේ අගිස්සෙන් නෙවෙයි, අඟල් හයක් විතර තියලා. ඒ නිසා, ඉවුරු කඩාගෙන යනවා ය කියන කතාවට අපි එකඟ වන්නේ නැහැ. කොහොම වුණත් අවුරුදු හතරකට පස්සේ උණ ගහ කපන්න ඕනේ. නැත්නම් ඒවා මෝරලා, පුපුරලා ගංගා වලටම වැටිලා යනවා. ඉස්සර නම් පලංචි හදන්න ගත්තා. දැන් ඒවටවත් ගන්නේ නෑ. ඒ නිසා ඕනෑතරම් උණ ගස් ලංකාවේ තියෙනවා.

ඇත්තටම අපිට ගැටලුවක් තිබෙන්නේ, අවසර ගැනීමේ සහ ප්‍රවාහන ක්‍රියාවලියේ පමණයි. එසේ හැරුණු කොට, අපට නිෂ්පාදනයේ කිසිඳු ගැටලුවක් නැහැ. අපි දැනට මැෂින්වලට විතරක් රුපියල් මිලියන 6ක් ආයෝජනය කර තිබෙනවා. අලුත් මැෂින් ගෙනැත් නිෂ්පාදන ධාරිතාව තව වැඩි කරන්න අපිට පුළුවන්.

නමුත් පිට රටින් උණ කූරු ගේනකොට අපිට වෙළෙඳපොළ පිළිබඳ විශ්වාසයක් තබන්නට බැහැ. අවදානමක් අරගෙන නිපදවන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා, ගෙන්වීම නවත්වන්න ඕනේ කියන තැනයි, අපි ඉන්නේ.

අපි අපිට අවශ්‍ය තැනට, මේ කර්මාන්තය රැගෙන යනවා. ඒ වගේම, අපි හෝටල් සහ යකඩ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ. අපිට මේක තව අතුරු ව්‍යාපාරයක් විතරයි. අපි උත්සාහ කරන්නේ, දේශීයව යමක් කරන්නයි.රටක් හැටියට අපි දේශීය දේ මිලදී ගත්තොත් විතරයි, රටේ කර්මාන්තවලට අනාගතයක් තිබෙන්නේ..."

 

1945 වසරේ පටන් හඳුන්කූරු කර්මාන්තයට අවශ්‍ය අමු ද්‍රව්‍ය ගෙන්වීමේ නියැළී සිටින පිටකොටුවේ ඩෑම් වීදියේ ඩොලර් කෝපරේෂන් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, සෙන්ති නන්දනන් මහතා දක්වන්නේ මෙවැනි අදහසකි.

 

"මේ රටේ හඳුන්කූරු ව්‍යාපාරය කරගෙන යන බොහෝ අයගේ මුල් කාලයේ පටන් අපි ඔවුන් හා සමග සිටියා. අමුද්‍රව්‍ය සැපයීම පමණක් නොවෙයි, මේ ක්ෂේත්‍රයේ නියැළෙන බොහෝ දෙනාට නව තාක්ෂණය කියා දෙන්නේ අපි.

ලංකාවේ උණ ගස් තියෙද්දී ඇයි කූරු ගෙන්වන්නේ කියන එක අද බොහෝ දෙනා අහනවා. ඒත් ලංකාවේ තිබෙන උණ වර්ග හතරෙන්ම හඳුන්කූරට අවශ්‍ය උණ කූර නිපදවන්නට බැහැ. ලංකාවේ දැනට භාවිත වන චීන මැෂින්වලට ඒ කූර ගැළපෙන්නේ නැහැ. මහා බෝධියට ගියත්, කතරගමට ගියත්, කෝවිලකට ගියත්, ලංකාවේ වැඩිපුරම හඳුන්කූරු දල්වන්නේ දුප්පත් මිනිස්සු. ඔවුන් අඩු මිලට තිබෙන හඳුන් කූරු පෙට්ටිය රුපියල් විස්සකට මිලදී ගන්නේ බොහොම කැමැත්තෙන්. මේ අඩුම මුදලත් වැඩිම මුදලත් අතර ඕනෑම හදුන්කූරක් හදන්නට අවශ්‍ය වන්නේ එකම වර්ගයේ උණ කූරක්. එය දැනට චීනයෙන් ගෙන්වන ප්‍රමිතියෙන් ඉහළ උණ කූරයි.

අපේ සමාගම විවිධාංගීකරණය වූ ව්‍යාපාරයක්. මේ උණ කූරු ව්‍යාපාරය විතරයි, දෙවියන් හා බැඳුණු ව්‍යාපාරයකට අපි කරන්නේ. ඒ නිසා එය අපිට විශාල ලාභයක් තිබෙන බිස්නස් එකක් නෙවෙයි. එය ලාභයෙන් ඔබ්බට ගිය සේවයක් හා බැඳුණු දෙයක්.

ඉතින් මේ, රුපියල් මිලියන 20 බේරගන්න ගිහින් අපි නැති කර ගන්නේ මොනවද කියන එක පිළිබඳ සමීක්ෂණයක් කවුරුන් හෝ කර තිබෙනවාද... හරි විදියට නම්, 'ෆූසෝ බැම්බූ' වගාව සඳහා ලංකාවේ ඉඩම් වෙන් කරන්න ඕනේ. උද්භිද විද්‍යාත්මක පසුබිමක් හදන්න ඕනේ. වාණිජ වගාවක් විදියට ආයෝජනය කරන්න ඕනේ. මේ සේරම බලද්දි උණ කූර ගෙන්වන එක ලංකාවට මොන තරම් ලාභදායී ද ...

Comments