කොමර්ෂල් බැංකුව සහ හේලීස් ඇග‍්‍රිකල්චර් වෙතින් ගොවීන්ට සහයෝගය | සිළුමිණ

කොමර්ෂල් බැංකුව සහ හේලීස් ඇග‍්‍රිකල්චර් වෙතින් ගොවීන්ට සහයෝගය

කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සනත් මනතුංග (මැද) සහ හේලීස් ඇග්‍රිකල්චර් හෝල්ඩින්ග්ස් ලිමිටඩ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, ජයන්ති ධර්මසේන ගිවිසුම හුවමාරු කරගනී. මෙම අවස්ථාවට (වමේ සිට) හේලීස් ඇග්‍රිකල්චර් හෝල්ඩින්ග්ස් ලිමිටඞ් හි, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සුමිත් කේ හේරත්, අධ්‍යක්ෂ, එම්. ඒ. රජාබ්, අධ්‍යක්ෂ, ලූෂාන් අබේසේකර, කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - අලෙවිකරණ හස්රත් මුණසිංහ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - පුද්ගලික බැංකු කටයුතු සැන්ඩ‍්‍රා වල්ගම, රිටේල් ප්‍රොඩක්ට්ස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු, දුෂ්මන්ත ජයසූරිය සහ රිටේල් ප්‍රොඩක්ට්ස් දෙපාර්තමේන්තුවේ කළමනාකරු, චන්දන අබේසුන්දර යන පිරිසද සහභාගී විය.

කොමර්ෂල් බැංකුව සහ හේලීස් ඇග්‍රිකල්චර් හෝල්ඩින්ග්ස් ප්‍රයිවට් ලිමිටඩ් ඒකාබද්ධව සිදුකරන ලීසිං ප්‍රවර්ධන වැඩසටහන් මාලාවේ නවතම වැඩසටහන යටතේ ගොවීන්ට මෙම කන්නයේ දී මිල අඩු වාරික සහ විශේෂ වට්ටම්වලට ඉතාමත් නම්‍යශීලීව නව කෘෂි කාර්මික උපකරණ මිල දී ගැනීම සඳහා තවත් අවස්ථාවක් උදාකර දී තිබේ.

මෙරට කෘෂි කර්මාන්තයට සහයෝගය දැක්වීම සඳහා නිර්මාණය කර තිබෙන මේ ප්‍රවර්ධන වැඩසටහන යටතේ හේලීස් ඇග්‍රිකල්චර් සමාගම සතුව තිබෙන Kubota, Agrotech සහ Farmtrac කෘෂි කාර්මික යන්ත්‍ර සූත්‍ර ගොවීන්ට මිල දී ගැනීමට අවස්ථාව හිමි වේ.

මෙම ලීසිං ප්‍රවර්ධන වැඩසටහන 2021 මාර්තු අවසන් වනතුරු පවතින අතර ආකර්ෂණීය වට්ටම්, විශේෂ වාරික සහ තවත් ප්‍රතිලාභ ලබාදීමට අමතරව පහසු සහ නම්‍යශීලී ලීසිං පැකේජ මේ යටතේ ලබාදෙන බව බැංකුව සඳහන් කරයි.

මෙහි දී, පාරිභෝගිකයන් සඳහා ලබාදෙන ප්‍රතිලාභ උපරිම කිරීමේ අරමුණෙන් විශේෂයෙන්ම මෙරට කෘෂි කාර්මික ප්‍රදේශවල වෙසෙන පාරිභෝගිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් හේලීස් ඇග්‍රිකල්චර් සමාගම විසින් සංවිධානය කර

තිබේ. මෙම වැඩසටහන්වලට උනන්දුවක් දක්වන පාර්ශ්වයන් කොමර්ෂල් බැංකුවේ කෘෂි කාර්මික සහ ක්ෂුද්‍ර මූල්‍ය නිලධාරීන් සමඟ සම්බන්ධ කරන අතර හේලීස් ඇග්‍රිකල්චර් සමාගමේ අලෙවි කණ්ඩායම විසින් මෙම ගොවීන්ට තීරණ ගැනීමට අවශ්‍ය කරුණු ලබාදෙනු ඇත. 

Comments