‘සරලකම අපේ ජීවිත ලස්සන කළා’ | සිළුමිණ

‘සරලකම අපේ ජීවිත ලස්සන කළා’

ගැහැනුකම හරි විදිහට යෙදෙව්වොත් ජීවිතේ සාර්ථකයි

- වරුණි

නිරෝගී බව රැකගන්න අපි වැඩිපුර සැලකිලිමත් වෙනවා

- රොහාන්

ඇය විවෘත හිතක් ඇති සරල චරිතයක් - රොහාන්

අප්පච්චිගෙන් ලැබුණු දිරිගැන්වීම් තමයි ජීවිතේ ලොකුම ශක්තිය

- වරුණි

අපේ ඊළඟ බලාපොරොත්තුව සීයායි ආච්චියි වෙන එක

- වරුණි ,රොහාන්

 "ගැහැනියට ස්වභාවයෙන්ම ලැබුණු මෙවලම් රාශියක් තිබෙනවා. දරා ගැනීමේ ශක්තිය, ආත්ම ශක්තිය ඒ අතර වඩාත් ප්‍රබලයි. බොහෝ ගැහැනුන් හිතන්නෙ, සලකන්නේ ඒ මෙවලම් දුර්වලතා විදිහටයි. ඒ මෙවලම් හරි විදිහට ප්‍රයෝජනයට අරන් හසුරුවා ගන්නවා නම් ඕනෑම ගැහැනියකට තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. " ස්ත්‍රීත්වය පිළිබඳ ඇයගේ දැක්ම එවැනි සුබවාදී එකකි. ඒ සුබවාදී දැක්ම ජීවිතයේ සාර්ථකත්වයට ආශිර්වාදයක් වූ බව ඇගේ විශ්වාසයයි. මෙවර කැදැල්ලේ කතාවෙන් ඔබ හමුවන ඇය වරුණි අමුණුගම ප්‍රනාන්දු ය. කෘතහස්ත දේශපාලඥයකු වන සරත් අමුණුගමගේ බාල දියණිය වන වරුණි, 'ට්‍රයඩ්' දැන්වීම් කළමනාකරණ ආයතනයේ ඒකාබද්ධ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන්නීය. දිවි සැරියේ සොඳුරු මතක ඇය අවදි කළේ මෙලෙසිනි.

 

" මම ඉතා සුන්දර ළමා වියක් අත්වින්ඳා. මට ඉන්නේ එක අක්කා කෙනෙක් විතරයි. ඇය මට වඩා අවුරුදු 3ක් වැඩිමල්. අම්මා කථිකාචාර්යවරියක් විදිහට කටයුතු කළා. අම්මා අක්කගෙයි මගෙයි හැම දේකටම සහයෝගය දුන්නා. නමුත් හැම දේකදීම අපිව දිරිගන්වලා ඉදිරියට අරගෙන ගියේ අප්පච්චි. ඇතැම් අය හිතනවා පවුලකට ගෑනු ළමයි විතරක් වැඩක් නැහැ, පිරිමි දරුවන් ඉන්නෝනි කියලා. නමුත් අප්පච්චි කවමදාවත් එහෙම හිතුවේ නැහැ. කවමදාවත් අපිට එහෙම හැඟීමක් දැනෙන දෙයක් කිව්වේ, කළේ නැහැ. අප්පච්චි නිතරම අපිට ඒත්තු ගැන්නුවේ අපිට දෙයක් කරන්න ඕන නම් ඒකට ගෑනු පිරිමි භේදයක් නැහැ කියලයි. ඒ නිසා පුංචි කාලේ ඉඳලම අපිට අපි ගැන අභිමානයක් දැනුණා. මට තාම මතකයි ඉස්කෝලේ යන්න ලෑස්තිවෙලා යුනිෆෝම් එක ඇඳලා අප්පච්චිගෙන් අහනවා හොඳද කියලා. සමහර වෙලාවට අප්පච්චිත් ඒ වෙලාවට බිසී. අපිව දකින්නෙත් නෑ. ඒත් අප්පච්චි කියනවා "පුතා you are the best"කියලා. ඒ වචන ටික අහන්න අපි හරිම ආසයි. ඒක අපිව දිරිගන්වන්න හිතාමතා කියපු දෙයක්ද එහෙමත් නැත්නම් අප්පච්චි සමාජ විද්‍යාඥයෙක් නිසා කිව්වද කියලා හරියටම දන්නෙ නැහැ. නමුත් අප්පච්චි නිසා අපිට ජීවිතේට අවශ්‍ය දිරිගැන්වීම අඩු නැතිව ලැබුණා. මම හිතන්නේ ජීවිතයේ සාර්ථකත්වයට ඒ දේ ගොඩක් ඉවහල් වුණා. අප්පච්චි රජයේ සේවකයෙක් වීම නිසා අපි දිගටම ජීවත් වුණේ කොළඹ. අපේම කියලා ගෙයක් හැදුවෙ 1975දී තිඹිරිගස්යායේ සිරිපා පාරේ. අප්පච්චි ගොඩාක් පොතපත කියවන, කලාවට නැඹුරු කෙනෙක්. ඒ නිසාම අප්පච්චි ඒ ගේ හැදෙව්වෙත් කලාගාරයක් වගේ සුන්දරවයි. ඒ නිසාම අපිටත් කලාවට ලැදියාව නිරායාසයෙන් ලැබුණා. ඒ කාලේ අපිට හරිම සුන්දර නිදහස් ළමාවියක් තිබුණා. අපේ ගේ අවට සම වයසේ ළමයි 13ක් විතර හිටියා. ඉස්කෝලේ ඇරිලා ආව ගමන් අපි හැමෝම පාරට ඇවිත් සෙල්ලම් කරනවා. ගස් නගිනවා, බයිසිකල් පදිනවා. හවස හෝම්වර්ක් කරන්න කතා කළාම තමයි අපේ සෙල්ලම නතර වෙන්නේ. "

“ඒ වගේම අම්මාගේ චරිතය තුළින් උකහාගත් දේවල් හරි අපූරුයි. අප්පච්චිගේ ගම නුවර, අම්මා බලපිටියේ. ඔවුන් දෙදෙනා හමුවෙලා තියෙන්නෙ විශ්වවිද්‍යාලයේදී. අම්මා කථිකාචාර්යවරියක් වුණාට අපේ පවුලේ ප්‍රධානියා වුණේ අප්පච්චි. අම්මා කවදාවත් අප්පච්චි එක්ක තරග කරන්න ගියේ නැහැ. අම්මගේ ඒ මෘදු ගුණය මගේ හිතට තදින්ම කා වැදුණු දෙයක්. අම්මා, අප්පච්චි සහ අක්කා මගේ ජීවිතේට බැඳිලා හිටියා. ඒ වගේම තව මගේ ජීවිතේට බැඳුණු කෙනෙක් හිටියා. ඒ මට මාස හයේ ඉඳන් මාව බලාගත්ත ලීලා. ඇය මට දෙවැනි අම්මා වුණා කිව්වොත් හරි. මාව බලාගන්න අපේ ගෙදර ආව ලීලා කවදාවත් ආයේ එයාගේ ගෙදර ගියේ නැහැ. විවාහ වුණෙත් නැහැ. ඇය නිතරම කිව්වේ මම ගිය ආත්මෙ ඇගේ අම්මා වෙලා ඉන්න ඇති කියලා. ඇය පහුගිය වසරේදී මිය ගියා. ඒ වන තෙක්ම ඇය හිටියේ මා එක්කයි. ඒ මතකත් හැමදාම මගේ හිතේ තියෙනවා"

ඇගේ වදන් හැඟීම්බරය;මෘදුය. තව තවත් හාරා අවුස්සන්ට හිතෙන තරම් සුන්දරය. "අප්පච්චි රාජ්‍ය සේවයේ නියැළීම නිසා මට පාසල් කිහිපයකටම යන්න සිදු වුණා. පළමු වසරේ සිට 5 වසර දක්වා සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ඉගෙන ගත්තා. ඉන්පසු කොළඹ කාන්තා විද්‍යාලයට ගියා. යුනෙස්කෝ හි සන්නිවේදන අධ්‍යක්ෂ විදිහට අප්පච්චිට වසර තුනක කාලයකට පැරිසියට යන්න සිදු වුණ නිසා මම සාමාන්‍ය පෙළ විභාගයට ‍පෙනී සිටියේ පැරිසියේ බ්‍රිටිෂ් ස්කූල් එකෙන්. සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගනිමින් හිටපු මට හදිසියේම ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගන්න සිදු වුණා. උසස්පෙළ විභාගයට පෙනී ඉන්න ලංකාවට ඇවිත් පෞද්ගලික අපේක්ෂකයෙක් විදිහටයි විභාගයට පෙනී සිටියේ. ඊට පස්සේ මම කොළඹ විශ්ව විද්‍යාල‍යේ නීති පීඨයට ඇතුළු වුණා. පාසල් කිහිපයකටම යන්නට සිදු වීම මම සැලකුවේ සුබවාදී අත්දැකීමක් විදිහටයි. ඒ නිසා විවිධ සමාජ මට්ටම්වල, විවිධ තරාතිරමේ මිතුරු මිතුරියන් හඳුනාගන්න, ඇසුරු කරන්න ලැබුණා. ඒක ජීවිතේ වෙනස්ම අත්දැකීමක්."

වරුණි අමුණුගම නම් සුන්දර සිතැත්තිය තම පළමු රැකියාව ලෙස තෝරා ගන්නේ වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රයයි. පසු කලෙක 'ට්‍රයඩ්' නම් ප්‍රසිද්ධ වෙළෙඳ ප්‍රචාරණ සමාගමේ ආරම්භය සනිටුහන් කිරීමේදී මුල්ම රැකියාවෙන් ලද අත්දැකීම්ද ඇයට පන්නරයක් වූවාට සැක නැත.

"ඒ කාලේ රටේ ඇතිවෙලා තිබුණු තත්ත්වය නිසා ගොඩක් ළමයි රැකියාවක් විදිහට මොනවා හෝ දෙයක් කළා. අපි ට්‍රයඩ් ආයතනය පටන් ගත්තේ කැම්පස් එකේ දෙවැනි වසරේ ඉන්නකොට. මුලින්ම බිස්නස් එකක් කියන හැඟීමෙන් නෙවෙයි පටන් ගත්තේ. මිනිස්සුන්ගේ චින්තනය යහපත් ලෙස ගොඩනැඟීම සඳහා දෙයක් කරන්නයි අවශ්‍ය වුණේ. ඒ වගේම දැන්වීම් ආයතනයක් විදිහට අපි විකුණන්නේ අදහස් නිසා ඒකට ප්‍රාග්ධනයක් අවශ්‍ය වුණෙත් නැහැ. ඒ නිසා ඒක ආරම්භ කිරීම පහසු වුණා. සාමුහික ප්‍රයත්නයක් විදිහට ‘ට්‍රයඩ්‘ ආයතනය පටන් ගත්තේ 1993දී. මේ වෙද්දි වසර 27ක් ගතවෙලා. මම හිතන්නේ සමාගමේ සාර්ථක්වයට මුල 'අපි' කියන සංකල්පයයි. අපි සාමුහිකව පවුලක හැඟීමෙන් වැඩ කරන්නේ. ඒ නිසාම කොවිඩ් වංසගත තත්ත්වය තුළ බොහෝ ආයතනවලට සේවක වැටුප් කප්පාදු කරන්න සිදු වුණත් අපිට අපේ කාර්යමණ්ඩලය සඳහා සම්පූර්ණ වැටුප ගෙවන්න හැකියාව ලැබුණා. ඒකට හේතුව අපි සැලසුමක් ඇතිව සාමුහික උත්සාහයෙන් කැපවීමෙන් දියුණු වූ සමාගමක් නිසයි."

‘ට්‍රයඩ්‘සමාගමේ වගකීම්වලට අමතරව වරුණි සිය සැමියාට අයත් තේ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේද සාමාජිකාවකි. ඒ සියලු වගකීම් ඉටු කිරීම සඳහා කාලය කළමනාකරණය කරගන්නා ආකාරය ගැන අප ඇගෙන් විමසුවෙමු. " මම ජීවිතේ ගොඩක් ලොකු සැලසුම් එක්ක ජීවත් වෙන කෙනෙක් නෙවෙයි. දවස පටන් ගත්තාම ඒ දවසට අදාළ කටයුතුවලට සැලසුමක් හදාගෙන ඒ අනුව දවස ගත කරනවා. මම වගේම සැමියත් ඒ විදිහට සරලව, සැහැල්ලුවෙන් හිතන කෙනෙක්. ඒ නිසා අපිට ජීවිතය පහසු වෙලා තියෙනවා. රැකියා ස්ථානයේදිත් සාමුහිකත්වය තුළ හැමදේම සුවපහසු විදිහට සැකසිලා තියෙනවා. ඒ නිසා වැඩ රාජකාරිවලින් පීඩාවට පත්වෙන්නේ නැහැ. ප්‍රශ්නයක් ඇතිවුණත් බොහෝ විට මම ඒ දේවල් දකින්නේ ප්‍රශ්න විදිහට නෙවෙයි. ඒකත් තවත් එක අවස්ථාවක් විතරයි. ඒ නිසා ඒ අවස්ථාව අනුව ඒවාට මුහුණ දෙනවා. මම හිතන විදිහට ජීවිතේ කියන්නේ අපිට ඉතා විශාල සැලසුම් එක්ක ගතකළ හැකි දෙයක් නෙවෙයි. විඳවීමකින් තොරව ජීවිතය විඳිමටයි මම නිතරම උත්සාහ කරන්නේ. මගේ සැමියත් හිතන්නේ ඒ විදිහට නිසා මට ජීවිතය පහසු වෙලා තියෙනවා. "

ඇයගේ ජීවිතය එසේ සොඳුරු කරන, පහසු කරන දයාබර සැමියා රොහාන් ප්‍රනාන්දු ය. මේ වන විට ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සභාපති ධුරය දරනු ලබයි. වෙනස් විදිහේ සුන්දර අදහස් ඇති ඇගේ ආදර කතාවද එතරම්ම සොඳුරු එකකැයි හැඟේ. "අපි හමු වුණේ 1987දී. එදා ඉඳලා තාමත් අපි එකට ඉන්නවා. සමාජය හිතනවා මම ගොඩක් ශක්තිමත්, දැඩි කෙනෙක් කියලා. නමුත් ඇත්තටම ඒක එහෙම නෙවෙයි. පුද්ගලයෙක් විදිහට මම ඊට හාත්පසින්ම වෙනස්. මගේ අම්මා, අප්පච්චිගේ ජීවිත තුළින් මම දැකපු දේ තමයි මගේ පවුල තුළත් ක්‍රියාත්මක වෙන්නේ. මම මොනතරම් නිලතල දැරුවත් මගේ ගෙදර ගෘහ මූලිකයා සැමියා. මම හිතන්නේ ගැහැනියක් ප්‍රිය කරන්නේ ශක්තිමත් පෞරුෂයක් තියෙන, ආදරය, ගෞරවය සහ රැකවරණය දෙන, තමන්ගේ හැමදේකදීම බිරියත් සහභාගි කරගන්න සැමියකුට. රොහාන් ගෙන් ඒ සියලු දේ මට ලැබෙනවා. ඔහුගේ ඒ ගතිගුණවලට තමයි මගේ හිත බැඳුණේ. මේ දක්වා අපට දිගු ගමනක් එකට එන්න ලැබුණේ අපි අතර තියෙන ඒ අවබෝධය, තේරුම් ගැනීම සහ එකිනෙකා වෙනුවෙන් සිටීම නිසා. අද සමාජයේ දකින බොහෝ පවුල් සංස්ථා බිඳවැටීම්වලට හේතුව විදිහට මම දකින්නේ කාන්තාව පිරිමියා හා සම තැන හෝ ඔහු අබිබවා යෑමට උත්සාහ කිරීමයි. මම හිතන විදිහට එය අපේ සමාජයට ගැළපෙන්නේ නැහැ.

පවුලේ සතුට රැකගැනීම සඳහා වැඩි වගකීමක් කාන්තාවට ති‍යෙනවා. පවුල් ජීවිතේදි වගේම අනෙකුත් සමාජ සබඳතාවලදීත් එහෙමයි. කාන්තාව සතු ඉවසීම, දරාගැනීමේ හැකියාව ගොඩක් වැදගත්. නමුත් අවාසනාවකට වගේ කාන්තාව විසින්ම කාන්තාවන් තලාපෙළා දමන අවස්ථා සමාජය තුළ අපි දකිනවා. සමීක්ෂණයකින් හෙළි වෙලා තිබෙනවා කාන්තා නායකත්වය දරන ආයතනවල ඒ නායකත්වය විසින්ම කාන්තාවන් පීඩනයට ලක්කරන බව. එය හරිම ඛේදවාචකයක්. ගැහැනියක් ජීවිතේ සාර්ථකත්වයට ළඟා වීම හොඳ හිතින් ඉවසන්න තරම් හොඳ මානසිකත්වයක් නැති, අසීමිත කුහක බවක් සහිත කාන්තාවනුත් මේ සමාජයේ ඉන්නවා. නමුත් ඔවුන් සාමාජ මාධ්‍ය තුළ ප්‍රසිද්ධියේ වැඩිපුරම කතාකරන්නේ කාන්තා විමුක්තිය සහ කාන්තාවන්ට සමතැන ලබාදීම ගැන. ඒක කනගාටුවට කරුණක්. මම නිතරම විශ්වාස කරන දෙයක් තමයි මානව සබඳතා කියන්නේ ඉතා සුන්දර, අපට අත්දැකීම් ලබාගත හැකි අවස්ථාවක්. මම හැකි උපරිමයෙන් එයින් ප්‍රයෝජන ගන්නවා. ඔවුන්ගේ කතාබහ, හැසිරීම් මම විඳිනවා. ඒ දේවල් රසවිඳිමින් හිනාවෙනවා. එය හිතට ලොකු සතුටක් වගේම තරුණකම රැකගන්නත් උදවුවක් වෙනවා."

වගකීම් බහුල වෘත්තීය ජීවිතයට බිරියගෙන් ලැබෙන සහයෝගය පිළිබඳ අපි ඔහුගෙන් විමසුවෙමු. " ඒ සඳහා ඇයගෙන් සම්පූර්ණ සහයෝගය ලැබෙනවා. අපි දෙන්නා වැඩ කරන්නේ ක්ෂේත්‍ර දෙකක. ව්‍යාපාර කරන්නෙත් වෙනස් ක්ෂේත්‍රවල. නමුත් ඒ සියල්ල කළමනාකරණය කරගෙන හොඳින් වැඩකටයුතු කරගෙන යෑමේ හැකියාව ඇය සතුයි. එකිනෙකාගෙන් ලැබන සහයෝගය නිසා අපි දෙන්නටම අපේ ජීවිත ගමන පහසු වෙලා තියෙනවා. ඇය විවෘත, සරල කාන්තාවක්. සමහර අවස්ථාවලදී ඕනෑවටත් වඩා අනුන් ගැන හිතන, අනුකම්පා කරන චරිතයක්. " බිරියක, ගෘහණියක ලෙස ඇයගේ දවස ගතවන ආකාරයද සුන්දරය. ඒ ගැන ඇය මෙසේ කීවාය.

අපි දෙන්නම උදේට ශාරිරීක සුවතා ව්‍යායාම්,යෝග අභ්‍යාසවල යෙදෙනවා. නිරෝගීකම ගැන අපි දෙන්නම ගොඩක් උනන්දුයි. මම හිතන්නේ මොන දේ තිබුණත් නිරෝගීකම නැතිවුණොත් ජීවිතේ සතුට නැතිවෙනවා. ඒ නිසා ලෙඩක් දුකක් නැතිව ඉන්න ලැබෙන එක තමයි ලොකුම සතුට. ගෘහණියක් විදිහට මට තියෙන ලොකුම ප්‍රශ්නෙ උයන්න බැරිකම. හැබැයි මගේ වාසනාවකට ඒක ප්‍රශ්නයක් කරගන්නෙ නැති සැමියෙක් ලැබිලා ඉන්නවා. කෑමබීමවලදි වුණත් සෞඛ්‍යාරක්ෂිත බව ගැන නම් මම විශේෂයෙන් සැලකිලිමත්. අපි දෙන්නම පොත් කියවන්න ගොඩක් කැමතියි. දෙන්නා කියවන්නේ වෙනස් විදිහේ පොත් වුණත්, රසවින්දනය වෙනස් වුණත් නිතරම දෙන්නා එකට හිඳිමින් ඒ දේවල් කරන්නයි උත්සාහ කරන්නෙ. එදිනෙදා ජීවිතය හැකිතරම් සැහැල්ලුවෙන් ගතකිරීම තමයි අපේ පරමාර්ථය."

රොහාන් - වරුණි යුවළගේ පුතු හර්ෂ ප්‍රනාන්දු ඔහුගේ බිරිය සොනාලි සමඟ ජීවත් වන්නේ ඇමෙරිකාවේය. "ලබන මාර්තු වෙනකොට හර්ෂ පුතයි සොනාලි දුවයි මවුපිය පදවිය ලබන්න සූදානමින් ඉන්නෙ. ඉතින් අපි දෙන්නට දැන් තියෙන ලොකුම බලාපොරාත්තුව ආච්චියි සීයයි වෙන එක."

ඔවුහු පවසන්නේ සොම්නසිනි.

Comments