මම එක රැයකින් ජනප්‍රිය වූ කෙනෙක් නෙ‍ාවෙයි | සිළුමිණ

මම එක රැයකින් ජනප්‍රිය වූ කෙනෙක් නෙ‍ාවෙයි

 මම හිතන්නේ නැහැ ප්‍රේක්ෂකයන්ට මාව ඉක්මනින් අමතක වේවි කියලා

අනිත් අයට වඩා ඔහුගේ වෙනසක් තේරුණා

 

ජනප්‍රිය රංගන ශිල්පිනියක වන රුවන්ගි රත්නායක පහු ගිය කාලේ අපිට වැඩිය දකින්න ලැබුණේ නැහැ. ඒ, මීට වසරකට කලින් බොහොම නිහඬව විවාහ ගිවිස ගත් නිසාදැයි විමසමින් සිටිද්දී නැවත සුපුරුදු පරිදි ඇය රංගන කටයුතුවලට නියැළෙනවා...

 රුවන්ගි පහු ගිය කාලේ රංගනයෙන් ඈත් වෙන්න විශේෂ හේතුවක් තිබුණද ?

විවාහය නිසා මම අවුරුද්දක පමණ කාලයක් රංගන කටයුතුවලින් දුරස් වුණා. ආයෙමත් සුපුරුදු විදිහට දැන් කලා කටයුතුවල නිරත වෙනවා. මේ දවස්වල ජාතික රූපවාහිනියේ මම රංගනයෙන් එක් වුණු 'නෑනලා' ටෙලි නාට්‍යය විකාශනය වෙනවා. කලින් කරපු නිර්මාණ කිහිපයක්ම විකාශනය වෙන්නත් තියෙනවා.

 

ප්‍රේක්ෂකයන්ට ඔබව තරමක් අමතක වෙලා යැයි හිතෙන්නේ නැද්ද?

ටික කාලයක් කලාවෙන් ඈත් වුණා කියලා ප්‍රේක්ෂකයන්ට මාව අමතක වෙලා නැහැ. ඒ ගැන මට සතුටුයි. කොහොමත් මම එක රැයකින් ජනප්‍රිය වූ කෙනෙක් නෙවෙයි. ආව දවසේ ඉඳන් වෙළෙඳ දැන්වීම් නිරූපිකාවක්, නිවේදිකාවක් වගේම පුංචි තිරයෙන් ආදරණීය චරිත නිරූපණය කළ රංගන ශිල්පිනියක් විදිහටත් මම ප්‍රේක්ෂක ආදරය දිනා ගත්තා. ඒ නිසා මම හිතන්නේ නැහැ ප්‍රේක්ෂකයන්ට මාව ඉක්මනින් අමතක වෙයි කියලා.

 

'නෑනලා' ටෙලි නාට්‍යයේ චරිතය භාර ගන්න විශේෂ හේතුවක් තිබුණද?

මේ ටෙලි නාට්‍ය ප්‍රවීණ අධ්‍යක්ෂ නාලන් මෙන්ඩිස් මහත්මයාගෙයි. ඔහුගේ හැම නිර්මාණයක්ම ඉතා හොඳ, ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගත් නිර්මාණ. ඒ නිසාමයි මම මේ නිර්මාණයට සම්බන්ධ වුණේ. නෑනලා හත්දෙනෙක් මූලික කරගෙන ගොඩනැගුණු කතාවක එක නෑනා කෙනෙකුගේ චරිතය තමයි මම නිරූපණය කරන්නේ. ඇය වැඩිපුර සල්ලි වියදම් කරමින් සැප විඳින්න කැමති චරිතයක්. මට හිතුණා ඒ චරිතයට සාධාරණයක් කරන්න මට පුළුවන් වේවි කියලා.

 

රුවන්ගි මේ දවස්වල විවාහ සංවත්සරය සමරන්න ලහි ලහියේ ලෑස්ති වෙනවා කියල ආරංචියි?

විවාහ උත්සවය මේ අවුරුද්දේ මැද වගේ පවත්වන්න සැලසුම් කරගෙන හිටියත් වංසගත තත්ත්වය එක්ක වෙඩින් එක ගන්න බැරි වුණා. විවාහ ගිවිස ගැනීම කරලා ලබන මාසෙට අවුරුද්දක්. ඉතින් දැන් වෙඩින් එක ගන්න එක එච්චර සුදුසු නැති නිසා පවුලේ අයයි කලා ක්ෂේත්‍රයේ අයයි එක්ක ලබන මාසේ අපේ වෙඩින් ඇනිවසරි එක සමරන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ.

 

රුවන්ගි - නිර්මල ආදරය ඇරැඹෙන්නේ කොහොමද?

මගේ සැමියා නිර්මල ගමගේ වෘත්තියෙන් ව්‍යාපාරිකයෙක්. මීට අවුරුදු පහකට කලින් මම සහභාගී වුණු උත්සවයකදී තමයි මට නිර්මලව මුලින්ම මුණගැහුණේ. කලක් යාළුවෝ විදිහට ආශ්‍රය කළා. ඒ කාලය තුළ අනිත් අයට වඩා ඔහුගේ වෙනසක් තේරුණා. මට ආදරෙයි කියලා දැනුණා. එක වහලක් යට ජීවත් වෙන්න පුළුවන් කියලා හිතුණා. ඉතින් ඔහු මුලින්ම ආදර යෝජනාව ඉදිරිපත් කළාම මම ලොකු අකමැත්තක් පෙන්නුවේ නැහැ. ටික දවසකට පස්සේ ජීවිතේ ඉතුරු කාලෙ ඔහු එක්ක ජීවත් වෙන්න මම තීරණය කළා.

 

ඔබේ වෘත්තීය ජීවිතයට නිර්මලගෙන් ඉදිරියේදී සීමා වැටේවිද?

ඔහුගෙන් දැනටත් ඉතා හොඳ සහායක් ලැබෙනවා. පවුල් ජීවිතයට බාධාවක් නොවන විදියට කලා ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කරන්න ඔහු මට අවසර දීලයි තියෙන්නේ. කොහොමත් විවාහ වුණාට පස්සේ අපි පවුලටයි මුල් තැන දෙන්න ඕනේ. ඉතින් බිරියක්, ගෘහණියක් විදිහටත් මවක් වෙන කාලෙදී දරුවන්ට හොඳ අම්මා කෙනෙක් විදිහටත් සතුටින් ජීවත් වෙන ගමන්ම හොඳ නිර්මාණවලට දායක වෙමින් රංගනයෙන් ඉදිරියට යන්නයි මගේ බලාපොරොත්තුව.

Comments