නිරෝධායනයට ලක්වූ පිරිස 30,000 ඉක්මවයි | සිළුමිණ

නිරෝධායනයට ලක්වූ පිරිස 30,000 ඉක්මවයි

ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය විසින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන සහ ගෘහාශ්‍රිත ස්වයං නිරෝධායනය වන පිරිස 23 සිකුරාදා පස්වරුව වන විට 30,568ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය සිළුමිණට ප්‍රකාශ කළේය.

ඔහු පෙන්වා දුන් පරිදි එම පිරිස දිස්ත්‍රික්ක 22කින් මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාස 1781කින් වාර්තා වන අතර ගම්පහ දිස්ත්‍රික්කයේ පමණක් 22,381ක පමණ පිරිසක් නිරෝධායනයට ලක්වී සිටිති. ඉන් 9670ක පිරිසක් දිවුලපිටිය ප්‍රදේශයේද 3523ක සංඛ්‍යාවක් මිනුවන්ගොඩ පිරිස් බවත් එම පිරිසෙන් බොහෝ දෙනෙකු ඉදිරි දින දෙක තුළදී නිරෝධායනය අවසන් කිරීමට නියමිත බවත් ඔහු කීය.

පවතින දැඩි අවදානම් තත්ත්වය තේරුම්ගෙන සංචරණ සීමා අත්‍යවශ්‍ය කාරණා සඳහා පමණක් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින ලේකම්වරයා එසේ නොමැති වුවහොත් අකමැත්තෙන් වුවද පවත්නා නීති රාමුව යටතේ කටයුතු කිරීමට සිදුවන බවත් මේ දිනවල බිහිවන කොරෝනා කුඩා පොකුරුවලට ජනතාවගේ වගකීම් විරහිත ක්‍රියාකලාපය බොහෝ සේ හේතු වී ඇති බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම්වරයා අවධාරණය කළේය.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරි සංගමය ප්‍රකාශ කරනුයේ කොරෝනා මර්දනය පිණිස දිනකට පී.සී.ආර්. පරීක්ෂණ අවම වශයෙන් 10,000ක්වත් සිදුකළ යුතු බව රජයට දැන්වූ බවය. ඒ සඳහා අවශ්‍ය පහසුකම් සෞඛ්‍ය අංශ සතුව ඇති බව පෙන්වා දෙන එහි සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සිල්වා කියා සිටියේ රෝගය සම්බන්ධයෙන් දක්වන අඩු අවධානය නිසා දිනකට කළ හැකි පරීක්ෂණ සංඛ්‍යාව අඩු අගයක පවතින බවය.

ඇතැම් අවස්ථාවන්හි පී.සී.ආර්. සාම්පල 5,000ක් ලබාගත්තද පර්යේෂණාගාරවල ඇති හැකියාවන් යැයි පවසා සාම්පල් 3,000ක් පමණ පරීක්ෂණ සිදුකර සෙසු සාම්පල පරීක්ෂාව පසු දිනට කල් තබන බවය. එවැනි තත්ත්වයකදී අසාදිතයෙක්ගේ සාම්පල තිබුණහොත් ඔහු හරහා රෝගය පැතිර යන්නට ඉඩ ඇති බවද හෙතෙම අවධාරණය කළේය.

Comments