‘යූ’ ද ගේම් | සිළුමිණ

‘යූ’ ද ගේම්

පි ගහන පොලු වලින් වැටෙන අඹ අහුලගන්න සමහරුන් බලාගෙන ඉන්නවා. හොඳට මතක තියාගන්න එහෙම වැටෙන අඹ කාටවත් අහුලගන්න දෙන්නේ නැහැ. ඒ අඹ අහුලගන්නේ අපිමයි.”‍ මීට දින 3, 4 කට පෙර එසේ ප්‍රකාශ කළේ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ය. නාරාහේන්පිට අභයාරාමයේදී පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කරන විට ඒ අසලම සිටියේ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ය.

පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි ඇතුළු සංඝයා වහන්සේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ගැන යම් යම් අදහස් ප්‍රකාශ කරන විට සතුටෙන් ඉපිළ ගියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජන බලවේගයයි.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙහි ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ වගන්තියකට ආණ්ඩු පක්ෂයේම විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර ඇතුළු පිරිසක් විරෝධය පළ කිරීම නිසාද සජිත් ඇතුළු පිරිස යම් සුසුමක් හෙළමින් සිටියහ. නමුත් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් අඹ ගහට පොලු ගහනකොට අඹ අහුලා ගැනීමට කූඩ රැගෙන ගිය සජිත් ඇතුළු පිරිසට 22 වැනිදා රාත්‍රී 7.35 ට පමණ වන විට පාර්ලිමේන්තුවේදී සිදු වූයේ කුමක්ද?

ඔවුන් අඹ වැටෙන තුරු අඹ ගහ දිහා බලා සිටිය ද ඔවුන්ට අහුලා ගැනීමට අඹ වැටුණේ නැත. සමගි ජන බලවේගය උප ලේකම්, එම පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ ඇතුළු විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 8 දෙනකුගේ සහාය 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ලැබෙන විට අඹ වැටෙන තුරු උඩ බලාගෙන සිටි සජිත් ඇතුළු පිරිසට තරු පෙනිණි.

තමන්ගේ පක්ෂයේ උප ලේකම්වරියගේ ඡන්දය ආරක්ෂා කර ගැනීමට නොහැකි වූ සජිත් 20 ට පාර්ලිමේන්තුවේ 3/2 ක ලබා නොදීමට සටන් කරන්නේ කෙසේද?

ඩයනා ගමගේ පමණක් නොව සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාන් රහුමාන් ද 20 ට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය. ඇල්ලේ ගුණවංශ හිමියන් කියපු කතාව නිවැරදි බව 22 වැනිදා රාත්‍රී 7.30 පමණ වන විට සජිත් ප්‍රේමදාසට පමණක් නොව මුළු රටටම අවබෝධ විය.

“අනුන්ගේ අඹ අහුලන්න තියා තමන්ගේ මිනිස්සුවත් රැකබලාගන්න සජිත් මහත්තයට බැරි වුණා”‍ යනුවෙන් සමගි ජන ජනබලවේගයේ ම පසු පෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් කතා කළේ දැඩි කලකිරීමකිනි. 21 වැනිදා පාර්ලිමේන්තුව තුළ යම් උද්යෝගයකින් සමගි ජන බලවේගයේ පිරිස් කටයුතු කරමින් සිටිය ද 22 වැනිදා දහවල් වන විට ඔවුන් බොහෝ දෙනෙකු සිටියේ නිද්‍රාශීලිවයි. ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ගැටලු‍ව ඒ වන විටත් විමල්, ගම්මන්පිල, වාසු ඇතුළු පිරිස ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා හමු වී විසදාගෙන තිබුණු නිසා ඒ වන විටත් සජිත් ඇතුළු පිරිසකගේ කන් කඩා වැටී තිබුණි.

නමුත් ඊට දින දෙක තුනකට පමණ පෙර පාර්ලිමේන්තු සංකීර්ණයේ විපක්ෂ නායක කාර්යාලයේ රැස් වූ සජිත් ඇතුළු පිරිස ගණන් බැලු‍වේ ආණ්ඩු පක්ෂයට 3/2 ක බලයක් කෙසේ හෝ ලබා නොදීමටයි.

“මෛත්‍රී හිටපු ජනාධිපතිතුමා ඡන්දෙ දෙන්නේ නැහැ. විජේදාස ඉන්නේ වැට උඩ, විමල් ගම්මන්පිල, වාසු, විදුර ඇතුළු කට්ටිය විරුද්ධව වුණොත් 3/2 ක තියා ඡන්ද 140 ක් වත් ගන්න ආණ්ඩුවට බැහැ.” යනුවෙන් තර්ක, විතර්ක ඉදිරිපත් කරමින් ඔවුහු සාකච්ඡා කළහ.

ඒ වනවිටත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා දැනුම්වත් කරමින් ඉතා රහසිගතව, උපක්‍රමශීලීව පාර්ලිමේන්තුවේ 3/2 ක් ලබාගැනීමේ තිරය පිටුපස මෙහෙයුම බැසිල් රාජපක්ෂ ආරම්භ කරමින් තිබුණි.

එතරම් සද්දබද්ධයක් නැතිව එම මෙහෙයුම ක්‍රියාත්මක වූ අතර එය කෙතරම් රහසිගතව සිදු වූවා ද කියනවා නම් ඩයනා ගමගේ 20 ට පක්ෂව ඡන්දය දී ඇති බව සජිත් හරියටම දැන ගත්තේ ඡන්ද විමසීමේ ප්‍රතිඵල ලේඛනය මැති සබයේ පුළුල් තිරයේ දිස්වන විට ය.

එතැන් සිට වචනයකුදු කතා නොකරමින් සජිත් හිටියේ නයා මැරුණු අහිකුණ්ඨකයකු මෙනි.

22 වැනිදා දහවල් පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවක දී විමල්, ගම්මන්පිල, වාසු ඇතුළු පිරිස ප්‍රකාශ කළේ ද්විත්ව පුරවැසිභාවය ගැන ගැටලුව; නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තවත් මාස කිහිපයකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විට විසඳීමට ජනාධිපතිතුමා පොරොන්දු වූ බවයි.

විමල්ලාට, ගම්මන්පිලලාට, වාසුලාට ද්විත්ව පුරවැසිභාවය ගැන තිබුණේ රටත් සමඟ ගැට ගැසුණු ගැටලුවකි. අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුවට වැඩ දී සිංගප්පූරුවට පලා ගිය ආකාරයට කිසිඳු කෙනෙකුට රටින් පලායෑමට හැකි නොවන ආකාරයට ද්විත්ව පුරවැසිභාවයට අදාළ ගැටලුව විසඳිය යුතු බව ඔවුන්ගේ මතයයි.

එක් පැත්තකින් එය සත්‍යයකි. පාර්ලිමේන්තුවට පමණක් නොව රටේ කිසිම ප්‍රධාන තනතුරකට ද්විත්ව පුරවැසිභාවය තිබෙන පුද්ගලයන් පත්නොකළ යුතු බව ඔවුන් කියයි. නමුත් සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජන බලවේගයට, අනුර කුමාර දිසානායකට අවශ්‍ය වී තිබුණේ මෙම ද්විත්ව පුරවැසිභාවය බැසිල් රාජපක්ෂ විරෝධයක් ලෙස ගොඩනැංවීමට ය.

නමුත් විමල්, ගම්මන්පිල, වාසු පැහැදිලිවම කියා සිටියේ මෙය පුද්ගලයෙකු සම්බන්ධ ගැටලුවක් නොව රට සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය කරුණක් බවයි.

සජිත්, අනුර, සුමන්තිරන් ඇතුළු පිරිස සිතුවේ බැසිල් විරෝධයක් මතු කර මුළු 20 ම පරාජය කර ගැනීමට ය. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සමානයි, ද්විත්ව පුරවැසි වගන්තිය මඟින් බැසිල්ට පාර්ලිමේන්තුවට පැමිණීමේ හැකියාව යන කරුණට මුළු විපක්ෂයේම සටන්පාඨය එක් විය.

නමුත් විපක්ෂය ඒ තරමටම බංකොළොත් වෙද්දී පොහොට්ටුවේ ආණ්ඩුවක් පිහිටුවීමට උගුර ලේ රහවනතුරු කෑගැසු විමල්, ගම්මන්පිල, වාසු රට වෙනුවෙන් ගෙන යන ධජය තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙනයෑමට කටයුතු කිරීමෙන් විපක්ෂයේ බලාපොරොත්තු මුළුමනින් ම සුන් විය.

22 වැනි දා දහවල් 1.00 ට පමණ පාර්ලිමේන්තු සංකීර්ණයේ පළමු මහලේ පුස්තකාලය අසලදී මෙම ලියුම්කරුට එක් ප්‍රධාන කැබිනට් අමාත්‍යවරයකු මුණ ගැසුණේය.

“මොකද වෙන්නේ 3/2 ලැබෙයි ද?” යන ප්‍රශ්නයට වටපිට බලමින් ඔහු කනට කර මෙසේ කීවේය.

“සජිත්ගෙ දෙන්නෙක් එක්ක 155 ක් හෝ 156 ක් අනිවාර්යෙන්ම ලැබෙනවා” එම කැබිනට් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඉන් විනාඩි 10 කට පමණ පසුව එම ස්ථානයේ දී ම තවත් කැබිනට් අමාත්‍යවරයකු හමු විය. එම කැබිනට් අමාත්‍යවරයා ද්විත්ව පුරවැසිභාවයට එරෙහිව හඬක් නඟන අමාත්‍යවරයෙක් විය.

“මොකද තත්ත්වය” යනුවෙන් ඇසූ ප්‍රශ්නයට එම කැබිනට් අමාත්‍යවරයා ලබාදුන්නේ ද? “155 ක් 156 ක් ෂුවර්” යනුවෙනි.

“කවුද වැඩේ කරන්නේ... කොහොමද වැඩේ වෙන්නේ.”‍ යනුවෙන් ඇසූ පැනයට එම කැබිනට් අමාත්‍යවරයා දුන්නේද ‘BR‘ තමයි කියාය. ‘BR‘ යනු බැසිල් රාජපක්ෂයි. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට එතරම් සමාජ විරෝධයක් ඇති කිරීමටත් 20 ට එරෙහිව යම් සමාජ විරෝධයක් මතු කිරීමටත් කටයුතු සිදු වූයේ ඇයි?

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධිත කෙටුම්පත වැඩිපුර සමාජයේ සංවාදයකට ලක් නොකොට 2015 ජනවාරි 08 වැනිදා සිදු වූ බල පෙරළියත් සමඟම සිදුකිරීමට එවකට පැවති යහපාලන ආණ්ඩුව උපක්‍රමශීලී විය. යහපාලන ආණ්ඩුවේ කොටස්කරුවන් වූ මෛත්‍රී, රනිල් යුගලයට පමණක් නොව දෙමළ ජාතික සන්ධානයේ ආර්. සම්බන්ධන්, එම්.ඒ. සුමන්තිරන්, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, රවුෆ් හකීම්, රිෂාඞ් බදියුර්දීන්ට පමණක් නොව තවත් පිරිසකට ද 19 සම්මත කරගැනීම අත්‍යවශ්‍ය වී තිබුණි.

19 සම්මත තර ගැනීමට වැඩිම උනන්දුවක් තිබුණේ කොටි හිතවාදීන්ට, බෙදුම්වාදී සංවිධානවලට හා ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන (NGO) නියෝජිතයන්ටය.

ඊට හේතුව කුමක් ද?:

රට දෙකඩ කිරීම සඳහා ක්‍රියාත්මක වුණු බලවේග 2009 වසරේ කොටි ත්‍රස්තවාදය මුළුමනින්ම පරාජය වූ පසුව තාවකාලිකව පසුබැස්ස ද ඔවුන්ට වුවමනා වූයේ උණ්ඩයෙන් ලබාගැනීමට නොහැකි වූ ඊළම ඡන්දයෙන් ලබාගැනීමටය. එය සිදුකිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන මඟින් මුල් පියවර තැබීමට සුමන්තිරන්, සම්බන්ධන් උපක්‍රමශීලීව ක්‍රියාකළේ යහපාලන ආණ්ඩුවට ප්‍රජාතන්ත්‍රවාදී විවිධ ලේබල් අලවමිනි.

මෙම යහපාලන ක්‍රියාවලිය තුළ ඔවුන්ට අවශ්‍ය වූයේ උපක්‍රමශීලීව රටේ විධායක ජනාධිපතිධුරයෙහි බලතල එකින් එක අඩු කිරීමටයි.

”‍මං සරලයි. මට බලතල එපා.”‍ කියමින් මෛත්‍රීපාල සිරිසේන යහපාලන ආණ්ඩුවේ එවකට සිටි ජනාධිපතිවරයා ප්‍රකාශ කළ ද ව්‍යවස්ථාවෙන් සිදු වූයේ සරල දෙයක් නොවේ. විධායක ජනාධිපති ධුරයේ ඇතැම් බලතල වෙනස් කිරීමට නම් ජනමත විචාරණයක් අවශ්‍ය බව එදා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ නැති නම් මෙලහකට රටට සිදුවී තිබෙන හානිය සිතා ගැනීමට නොහැකිය.

නමුත් 19 න් විධායක ජනාධිපතිධුරයෙහි ඇතැම් බලතල වෙනස් කරමින් මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කළ ද එය එසේ සිදු නොවීය.

සිදුවූයේ විධායක ජනාධිපතිවරයාගේ යම් යම් බලතල එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ලැබීම පමණකි. නමුත් ඒ සමඟම සිදු වූ අනෙක් කාරණය වූයේ අස්ථාවර පාර්ලිමේන්තුවක් ගොඩනැඟීමයි.

අස්ථාවර පාර්ලිමේන්තුවක දෙමළ ජාතික සංවිධානය ඇතුළු අනෙකුත් කුඩා දේශපාලන පක්ෂවලට කේවල් කිරීමේ හැකියාව ඇතිවනු ඇත. එවිට සිදුවන්නේ නැට්ට විසින් බල්ලා නෑවීමයි. බෙදුම්වාදීන්ට, ඇතැම් NGO කාරයන්ට අවශ්‍ය වී තිබුණේ එවැනි තත්ත්වයක් රටේ ඇති කිරීමයි.

අස්ථාවර පාර්ලිමේන්තුවකදී රට අරාජික කිරීම පහසුය. ජාතික ආරක්ෂාව අනතුරේ දැමිය හැකිය. එවැනි තත්ත්වයක් තුළ 19 පවත්වාගෙන යෑමට වැඩියෙන්ම කැමති බෙදුම්වාදී බලවේගයි. නමුත් එම අරමුණ එළියට නොදමා 19 තුළින් එය සඟවා එළියට දැමුවේ යහපාලන ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ යැයි හඳුන්වා දෙන කොටසකි. ස්වාධින කොමිෂන් සභා පවා ශක්තිමත් කළ යුතු යැයි ප්‍රකාශ කරන්නේ ඒ අනුවය.

මේ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඇතැම් තනතුරුවලට හා ස්වාධීන කොමිෂන් සභාවලට NGO කාරයන් පවත්වන්නේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ සාමාජීක ජාවේඩ් යූසූෆ් කටයුතු කරන්නේ පක්ෂග්‍රාහීවයි. ඔහු එහි සිට දේශපාලනය සිදුකළත් ඔහු ඉවත් කිරීමට ප්‍රතිපාදන සලසා නැත. ස්වාධින මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් ගැන කියන්නට නම් වචන නැත. ඔහු ඒ තරමටම පක්ෂග්‍රාහීය.

ඡන්ද පැවැත්වීමට එරෙහිව අධිකරණයට ගිය හූල් තවදුරටත් ස්වාධින මැතිවරණ කොමිසමේ කටයුතු කරන්නේ කෙසේ ද? දින 52 ආණ්ඩුවට එරෙහිව හූල් අධිකරණයට යෑමෙන් පෙන්නුම් කරනුයේ ඔහුගේ පක්ෂාග්‍රාහීත්වය නොවේද?

යාපනයට ගිය හූල් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය ලබාදීමෙන් වළකින ලෙසයි. මෙවැනි නිලධාරීන් ඉවත් කිරීමට 19 මඟින් නොහැකිවූයේ ඇයි?

එපමණක් නොව මේ දිනවල බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සිදුවන පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයා බලන ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීමට ගියා නම් 19 කෙරුවාව ඉතා හොඳින් දැකබලා ගත හැකිය.

ජාතික ආරක්ෂාව දුර්වල වී පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ලවීම ගැන එකිනෙකාට බෝලය පාස්කරන ආකාරය මැනවින් එහිදී පෙන්නුම් කෙරේ.

මෛත්‍රී රනිල්ට බෝලය පාස් කරයි. රනිල් මෛත්‍රීට බෝලය පාස් කරයි. රටේ වගකිව යුතු පිරිස් ළදරු පාසලක දරුවන් මෙන් එකිනෙකාට චෝදනා කරගනිමින් බෝලය පාස් කරන්නේ 19 නිසාය.

“මෛත්‍රී, රනිල් අසාර්ථක නිසා 19 ගැන ඔවුන්ගෙන් මනින්න එපා.” යනුවෙන් සමඟි ජන බල වේගයේ කිහිප දෙනෙක්ම ප්‍රකාශ කළහ.

හරීන් ප්‍රනාන්දු, මරික්කාර් පමණක් නොවේ; මේ කතාව අනුර කුමාර දිසානායක ද කියා සිටි. ඔවුන් මේ නොකියා කියන්නේ කුමක් ද? ගෝඨාභය සහ මහින්ද රාජපක්ෂ ජනාධිපති හා අගමැති ලෙස සාර්ථක නිසා 19 තියාගත්තාට කමක් නැහැ.” වැනි කතාවන් ද විපක්ෂයෙන් මතු වේ.

එම නිසා 19 හි අඩුපාඩු හදාගෙන 19 තියාගනිමු කියා වැනි කතාවක් ද ඔවුන් කියයි. 19 ට මෙතරම් ඔවුන් කැමති ඇයි? ඊට හේතු කිහිපයක් ම ඇත. ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ යුගළයෙන් රට ඉදිරියට යන බව ඔවුන් දනි. ඊට හොඳම උදාහරණය සජිත්ගේ 20 ට සහයෝගය ලබාදුන් 08 දෙනාම ප්‍රකාශ කරන්නේ රට ඉදිරියට ගෙන යා හැකි නායකයන් දෙදෙනා ගෝඨාභය රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂ බවයි. 

20 ට සහයෝගය ලබා දුන් සජිත්ගේ පක්ෂයේ උප ලේකම්වරිය ඩයනා ගමගේ මන්ත්‍රීවරිය ප්‍රකාශ කරන්නේ කුමක් ද?

“මේ රට සංවර්ධනය කළ හැක්කේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට සහ මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට පමණයි. එම නිසා කිසිදු වරප්‍රසාදයක් ලබා නොගෙන මං 20 ට සහයෝගය දැක්වූවා. මගේ තීරණය නිවැරදියි කියලා පිළිගන්න තවත් පිරිසක් සමඟි ජන බලවේගයේ ඉන්නවා. මේ රට විනාශ කළේ යහපාලනයයි” යනුවෙන් ඩයනා ගමගේ පැවසුවාය.

ඩයනා ගමගේ යනු නිකම්ම නිකම් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරියක් නොවේ.

සමගි ජනබලවේගයේ පක්ෂය තරග කිරීම සඳහා සජිත් ප්‍රේමදාසට ලබා දුන්නේ ද ඩයනා ගමගේය.

ඇය ප්‍රකාශ කරන්නේ වර්තමාන ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට සහාය ලබාදීමට තවත් පිරිසක් සුදානමින් සිටින බවයි. විපක්ෂයට අද සටන් පාඨ නැතිවී තිබේ. සමහර සටන් පාඨ ඔවුන් අමාරුවෙන් සොයා ගන්නේ එදා වේල ටුවර්ස් මෙනි. නමුත් කොරෝන වයිරසය මේ වන විට ඔවුන්ට යම් යම් සටන් පාඨ සපයයි.

නමුත් දේශපාලනිකව විපක්ෂව බංකොළොත් වූයේ 20 ට සංශෝධන ඉදිරිපත් කරමින් ආණ්ඩුව එය 2/3 ක බහුතරයක් පාර්ලිමේන්තුවේදී සම්මත කරගන්නා විටය. විපක්ෂයේ සටන් පාඨය ද්විත්ව පුරවැසිභාවයට පමණක් කොටුකර ඔවුන් දේශපාලන වශයෙන් බංකොලොත් කිරීමට ආණ්ඩුව සමත් විය.

ආණ්ඩුවේද ප්‍රධාන දුර්වලකමක් දක්නට තිබුණි.

19 න් සිදු කළේ රටේ ඒකීයභාවයට අභියෝග කිරීම, ජාතික ආරක්ෂාව දුර්වල කිරීම වැනි කරුණු බව ආණ්ඩුව පැත්තෙන් එතරම් ප්‍රකාශ නොවුණි. ආණ්ඩුව වැඩිපුරම ප්‍රකාශ කරන්නේ 20 ගේන්නේ රට සංවර්ධනය කිරීමට, කොමිෂන් සභාවල දුර්වලතා මඟහැරීමට බව වැනි කරුණු ප්‍රකාශ වුවද 20 වැඩිපුරම බලාපොරොත්තු විය යුත්තේ රට සංවර්ධනය කිරීම වාගේම රටේ ඒකීයභාවය සහ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමය.

19 ට වඩා 20 යකෙක් බව මැවීමට උත්සාහ කළේ එදා යහපාලන ආණ්ඩුවට කඩේ ගිය NGO කාරයන්ය. අද NGO වලින් යැපෙන ඇතැම් පුවත්පත් කිඹුල් කඳුළු හෙළන්නට පටන්ගෙන තිබෙන්නේ ඇයිද? කියා පරිස්සමෙන් සොයා බැලිය යුතුයි.

20 විවාදයට විපක්ෂය වෙනුවෙන් අවසන්වරට විවාදයට එක් වූ හරීන් ප්‍රනාන්දු කතාවක් කීවේය.

“රජතුමයි, අන්දරෙයි ගමනක් ගියා. එනකොට වම්බටු පාත්තියක් තිබුණා. වම්බොටු ගැන රජතුමා හොඳ කියනකොට අන්දරේ වම්බොටු ගැන හොඳ කිව්වා. ඊට ටික දවසකට පස්සේ ආපසු රජතුමා හා අන්දරේ යනකොට වම්බොටු පාත්තියක් දැක්කා. වම්බොටු හොඳ නැහැ කියලා රජතුමා කියනකොට අන්දරේ කියනවා වම්බොටු හොඳ නැහැ කියලා. ඒ වගේ තමයි මේ ආණ්ඩු පක්ෂයේ ඉන්න අන්දරේලා, වම්බට්ටෝ. යනුවෙන් හරීන් පැවසුවේය.

එදා සිට රට වෙනුවෙන් පෙනී නොසිටින, ජාතික ආරක්ෂාව ගැන කතා නොකරන, රණවිරුවන් පාවා දෙන, බුද්ධි අංශ පාවා දෙන, රාජ්‍ය දේපළ විකුණන, දේශීය ආර්ථිකය ගැන කතා නොකරන අන්දරේලාට වඩා වම්බොටු ගැන කතා කරන අන්දරේලා ඇඟටත් මෙන්ම රටටත් ගුණය. 20 ට කැමති තවත් පිරිසක් ඉන්නවා යනුවෙන් ඩයනා ගමගේ කියන කතාව ගැන හරියටම දැනගන්නට හැකිවන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දිනයටය.

Comments