අරුංගල් | සිළුමිණ

අරුංගල්

දයාවතී තමා නමින් ආ ලියමන නැවත වරක් කියවා බැලුවා ය.

“අපිටමද මේ කරදර.”

“මට සැනසිල්ලක් උරුම නැද්ද?” ඈ තමාගෙන්ම විමසද්දි දෑසින් වැටුණු කඳුළු ඇගේ මුහුණ තෙත් කරමින් රූරා ගොස් හැට්ට කර තුළින් ළය මඬලෙහි සැඟවිනි.

හතරට නැමූ ලියමන නැවත හැට්ටය තුළම රඳවා හිත සන්සුන්කර ගැනීමට අසාර්ථක වෑයමක් දරමින් ඇය සක්ක ගල් අහුරක් තලන ගල උඩින් තැබුවා ය.

“දයාවතී. අද මැටල් ද තලන්නේ. ගල් කුඩුද?”

සෝම සුන්දරම්ගේ කටහඬින් ඇය තිගැස්සී ගියේ

“අද මැටල් ලෝඩ් දහයක් පාලම් වාඩියට යවන්ට තියෙනවා.”

“ටිකක් අත ඉක්මන් කරපල්ලා. දැන් මුදලාලිත් මෙහාට එයි.” කියමින් දයාවතී දිහා නොසන්ඩාල බැල්මක් හෙළුවේය.

“මුදලාලි එනවට අපි ඉතින් තොරන් බඳින්ටයැ. මොකා ආවත් අපි පුළුවං තරමට තමයි වැඩ කරන්නේ.” කියමින් ඇය

“තුහ්” හඬකින් බුලත් කෙළ පාරක් ගැසුවේ සෝමසුන්දරම්ට අනතුරු අඟවමිනි. නියමිත වෙලාවට වැඩට එන දයාවතී වීරියවන්ත කාන්තාවකි. තම ස්වාමිපුරුෂයා මෙම ගල්කොරියේ ගල් වෙඩිල්ලක් පිපිරීමෙන් මියගියේ ඇයට මහමෙරක් තරම් බරක් ඉතිරි කරමිනි.

දරුවන් හතර දෙනෙක් මෑණිවරු දෙදෙනෙක් ඇය විසින් පෝෂණය කළ යුතුය.

වාඩියේ පොල්අතු පැළලි අතරින් මතුවී පරිසරයට එක්වන “ටක්ක ටොක්ක” හඬින් සෝමසුන්දරම්ගේ සෙරෙප්පුවලින් මතුවන අමිහිරි “චරස් චරස්” හඬ මැකී යද්දී දයාවතී නැවත වරක් හැට්ටය තුළින් ලියමන එළියට ගත්තාය. ‍‍

එය ආණ්ඩුවේ ලියමනකි. මුද්දරයක් අලවා නැත. ඒ වෙනුවට “මුද්දර ගාස්තු ගෙවා ඇත.” බලපත්‍ර අංක 04 පුස්සැල්ල තැපැල් කාර්යාලය” යනුවෙන් සඳහන්ව ඇත. තමාගේ ලිපිනයට වම් පසින් “සභාපති” එච්.ජී. කරුණාරත්න 125, පුස්සැල්ල සමථමූල මණ්ඩලය යනුවෙන් මුද්‍රාවක් ඇත.

ස.ම.කො. ආකෘති පත්‍ර 7:1... කැඳවීමේ නිවේදනය ..... රත්තොට....” පොලිස් ස්ථානාධිපති” මේ නම් ගම් ඇයගේ හදවත සීතල කළේය.

“කුමාරවතී උඹ එහෙනං පොලිසිත් ගියා.” දයාවතී සිතිවිලි සමඟ ගැටෙමින් ලියමන නැවත හැට්ටය අස්සේ සඟවා වැඩෙහි නිරත වූවාය.

කුමාරවතී ගල්වැඩ පළේම තවත් සේවිකාවකි. ඇය මුදල් පොලියට දෙන්නියකි. දයාවතී තම මෑණියන්ගේ ඇසේ කාචයක් බද්ධ කිරීම සඳහා ඇයගෙන් රුපියල් දෙදාහක් ලබා ගත්තේ පොරොන්දු නෝට්ටුවකට බැ‍ඳෙමිනි. මාසිකව රුපියල් දෙසීය බැගින් අවුරුද්දකට වැඩි කාලයක් මුදල් ගෙවුවා ය.

තම නැන්දනිය වූ ආයුපාලගේ මෑණියන් ඔත්පල වීම නිසා ඇයට බේත් හේත් කිරීමට ලැබෙන සොච්චම් මුදල පිරිමසා ගැනීම අසීරු වූයෙන්, කුමාරවතීට මුදල් ගෙවීම නවතා දැම්මාය. කුමාරවතී කීපවිටක්ම මුදල් ඉල්ලා අරගල කළ නමුත් තමා කල්මරමින් සිටි බව ඇයගේ මතකය අවදි කරයි. ආයුපාල මියැදෙද්දී දරුවන් හතර දෙනා සමඟ තමා අනාථ වූවා පමණක් නොව කාත්කවුරුවත් නැති ආයුපාලගේ මවගේ වගකීම ද ඇයට පැවරුණි. මේ වනවිට ඔත්පලව එක්තැන්වී සිටින උක්කු නැන්දම්මා බලාකියා ගන්නේ සාත්තු සප්පායම් කරන්නේ තම මෑණියන් බැවින් ඇයගේ ඇසේ පෙනීම ලබා දීම දයාවතීට මහත් අස්වැසිල්ලකි.

නැන්දම්මා ඇ‍ඳේ වැතිරී මරණය සමඟ සටන් කරන අයුරු දයාවතී සිතිවිලි අතරින් දකියි. තමන්ගේ මෑණියන් ඇයට කැඳ බත් දෙමින්, කවා පොවා ඇයව ජීවත් කරවන අයුරත්, මේ ඥාතීන් දෙදෙනා එකිනෙකා කෙරෙහි ඇති බැඳීමත්, ළෙන්ගතුකමත් දයාවතී මහත් තෘප්තියෙන් පරාමර්ශනය කරන්නීය.

තම රෙදිපොටේ ගැට ගසා තිබූ බුලත් විටක් කටේ දමා ගත් ඇය නැවත මිටියත් අත්වාරුවත් ගෙන කොළොම්බුගලේ හරිබරි ගැහී වාඩි වූයේ වැඩිපුර ගල් ටිකක් තලා දැමිය යුතු යයි සිතමිනි. හෙට දවසේ ආණ්ඩුවේ අනඥාවට ආණ්ඩුවේ ලියමනට අනුකූල විය යුතුය.

මිටි පහරින් විසිරී යන ගල් කැබලි මෙන් විසිරී යන සිතිවිලි සන්සුන් කරගැනීමට අසාර්ථක වෑයමක් දරන දයාවතීට තමාගේ පොල් අතු පැළැල්ලට තරමක් දුරින් ඇති කුමාරවතීගේ ගල් අට්ටිය පෙනෙයි. එය ගම්මඩුකන්ද මෙන් උස්වී ඇත්තේ “සෝමසුන්දරයා හවසට අනික් ගල් අට්ටිවලින් ටික ටික දානවා ඇති” යයි ඇයට සිතේ.

දයාවතීගේ සිතිවිලි විසිරුවමින් වැඩ අවසන් කරන මනිය නාද වෙද්දි දවසේ කටයුතු නිමකර වැඩි දෙනෙක් මඟට බැස සිටියහ.

දයාවතී රාත්‍රි ආහාරය නොගෙනම නින්දට යාම ගැන ඇයගේ ලොකු දුව නන්දාවතී විමසිලිමත් වූයේ තම මෑණියන් අසනීප වී ඇතැයි සිතමිනි. ඇය කිරිඅම්මා විමසුවාය.

“පුතේ උඹලෑ අම්මට මොකක්දෝ ඔන්න ඔය උසාවියෙන් ලියුමක් ආවා.”

“ඒකට මයෙ කෙල්ල හරිම සාංකාවෙන් ඉන්නේ. ඇයි කිරිඅම්මා මට කිව්වෙ නැත්තේ.”

“උඹ මොනවා කරන්ටද පුතේ. ඔය කිරිමේල් වැඩවලට.”

නන්දාවතීගේ ඉස්මුඳුෙනන් පිටවූ ගින්දරක් මුළු ඇඟම දවාගෙන ගියේය. ඇයට අම්මා ගැන දුක හිතුණි.

“අනේ අපෙ අම්මා කොච්චර දුක් විඳිනවද?” අපිටමයි මේ ක‍රදර.” ඇය වහ වහා ගොස් දයාවතීගේ පැදුරේ වාඩිවී ලියමන ගැන විමසුවාය.

දයාවතී තම හැට්ටය තුළින් ගත් ආණ්ඩුවේ ලියමන නන්දාවතී අතේ තැබුවාය.

“අපෙ අම්මා බය කොරපු ලියුමද මේ. මේක සමථමූල මණ්ඩලයෙන් කැඳවීමක් නේ. අපෙ අම්මා මේක උසාවිය වාගෙ තැනක් වුණාට අධිකරණයක් වුණාට මෙතන ඉන්නේ කළුකෝට් ඇඳපු ගිනිකන නීතිඥ මහත්තුරු නෙවෙයි.

“මේ බලන්ටකෝ මේකේ තියෙන්නේ කොච්චර හිත සැහැල්ලු කරන යෝජනාවල්ද?”

“ඒ වුණාට ලොකු දුව මගෙ හිතට බයයි. උඹලෑ අප්පච්චි ගල්වගේ හුටපටේකට උසාවි ගිහින් නම කතා කරන‍කොට ආවෙ නෑ කියලා ඊළඟ සැරේ කූඩුවට දාලා මුළු දවසම කූඩුවේ හිටියා.”

“අපෙ අම්මා බය වෙලා තියෙන තරමක්.”

පසුදින තරමක් සැහැල්ලු සිතින් දයාවතී ආණ්ඩුවේ ලියමනත් රැගෙන වැඩපළේ හිතවතා වූ දේවසිරිත් සමඟ සමථමූල මණ්ඩලය රැස්වන ස්ථානයට ගියාය.

දයාවතී විශ්මිතව සමථ මණ්ඩලයේ සාමාජිකයන් දිහා බලමින්, මේ ඉන්නේ අපේ හිටපු ආරච්චි මහත්තයා. අනේ හොඳයි සමෘද්ධි මහත්තයත් ඉන්නේ. ඒ මහත්තයා දන්නවා මං සමෘද්ධි බැංකුවෙන් රුපියල් දෙදාහක් ණයට ගත්තේ අම්මගෙ ඇහැ සනීපකරගන්ට බව.” යන සිතිවිල්ලෙන්ම පුටුවකට තම ශරීර බර පැටවුවාය.

පෙරවරු නවයට සමථ මූල මණ්ඩලයේ කටයුතු ආරම්භ කරමින් ලොකු ඉස්කෝලේ හිටපු ලොකු නෝනමහත්තයා නැගිටල අත්දෙක එකතු කරල හැමදෙනාටම ආයුබෝවන් කීවාය. ඇය මේ මණ්ඩලයේ සභාපතිනිය වූවාය. මේ හිතේෂිවන්ත මිනිසුන් දැකීමෙන් දයාවතී ප්‍රබෝධයෙන් සිටින්නීය.

සභාපතිනිය ආරවුල්කරුවන් කැඳවීම ආරම්භ කළාය.

දයාවතීගේ හා කුමාරවතීගේ නම් කථා කළේ දවසේ තුන්වන ආරවුල ලෙසටය.

සාකච්ඡා වාරයේදී කුමාරවතී ලියවිල්ලක් ඉදිරිපත් කරමින් කියා සිටියේ දයාවතී ලබාගත් රුපියල් දෙදාහක මුදල හා ගිවිසුමේ පොරොන්දු වූ පරිදි පොලියක් තමාට දිය යුතු බවයි.

දයාවතී මුදල් ගෙවූ බවට කිසිදු සටහනක් කුමාරවතී ඉදිරිපත් කළේ නැත. එහෙත් දයාවතී මුදල් රුපියල් දෙසීය ගෙවූ දිනයේම පරණ ඇක්සයිස් පොතක ලියා තිබිණි.

ඒ සටහන අනුව ඇය රුපියල් තුන්දාහක් ගෙවා ඇත්තේය.

දයාවතී තම සියලු දුක්ඛ දෝමනස්සයන් මණ්ඩලය ඉදිරියේ මුදා හැරියාය. තමාගේම මවත් ස්වාමි පුරුෂයාගේ මවත් දරු හතර දෙනෙකුත් පෝෂණය කරන්නට, ජීවත් කර වන්නට දහදිය කඳුළු වගුරන මේ දිරිය කාන්තාවගේ කඳුළු කථාව බුද්ධිය පසුබා හදවත නැගී සිටින අවස්ථාවක් වුවත් අනු මණ්ඩලය සංවේදී වූයේ නැත. දෙමාපියන් නොසලකා හරින ඔවුන් අනාථ නිවාසවල කොටුකර තබන ඉහළ තලයේ වැජඹෙන දූ පුතුන්ට ඇයගේ ආදර්ශය අමිල පාඩමක් වුවත් පැමිණිලිකාර කුමාරවතීටත් වැමෑරිය නොහැකි ගැටලුවක් ඇති බව ප්‍රධාන සමථකරු වූ ජයතිලක මහත්මාට දැනිණි.

ඔහු ඇයට පෞද්ගලිකව තම අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දුන්නත් කුමාරවතී එය ප්‍රතික්ෂේප කරමින්

“මට හංගන්ට දෙයක් නෑ සර්”

“මේක නොකියා ගියොත් මං නරක ගෑනි‍යක් කියල සර්ලත් හිතයි.”

කියමින් ඇයගේ ගැටලුව දිග හැරියේ දෙනෙතේ බේරෙන කඳුළු අතරිනි.

“සර් මගෙ මනුස්සයා මං අතෑරලා වෙන ගෑනියක් ගත්තා. පස්සේ මිනිහා අසනීප වුණාම ගෙදරින් එළවා ගත්තා. ආපහු ගෙදර ආවා.”

“වැඩක් පළක් කරන්ට බෑ පපුවේ අමාරුවක්. දැන් එයා නුවර ඉස්පිරිතාලේ නවත්තලා. බේත් කරනවා. අපි දිනපතාම එයාට විදින බේත ඇරගෙන දෙන්ට ඕනෑ. ඒ බෙහෙත හරි ගණන්. ලොකු පුතාගේ පවුලට කන්ට අඳින්ට දෙන්ට ඕනෑ. මයෙ ලොකු පුතා තමයි තාත්තා ළඟ ඉන්නේ. එයා රට ගියේ නෑ. ඉතින් සර් මං මොකදෑ කරන්නේ. ලොකු මහත් වෙච්ච දුවලා දෙන්නෙක් ගෙදර.”

මෙසේ ඇය තමන් මුහුණ පා ඇති බරපතළ ගැටලුව කීවාය.

“මං නරක ගෑනියෙක් නෙවෙයි සර්. මං උදේ හයේ ඉඳල අට වෙනකල් සෝමසුන්දරම්ගෙ ගෙදර වැඩ කරල දෙනවා. හවස වැඩ ඇරුණහම මුදලාලිගෙ ගෙදර වැඩ කරල දෙනවා. ගෙදර යනකොට හය හත වෙනවා.”

මේ තවත් අම්මා කෙනෙකුගේ ජීවන රටාවේ සංවෘත වූ පැතිකඩකි.

“සර් මට අරුංගල් දෙක එපා.”

දයාවතී තම කටහඬ අවදි කළේ ආයාසයෙනි. “පවු කුමාරවතී අක්කා.”

ඇය ස්වයං තීරණයකට පැමිණ ඇත. ප්‍රධාන සමථකරු කුමාරවතී අමතා ඇගේ තීන්දුව කුමක්දැයි විමසුවේය.

අපි කියන දේ අහන්ට කෙනෙක් හිටියේ නෑ. මට මොකවත් එපා.” යයි කියමින් දයාවතී වෙත ගියාය. දයාවතී බියෙන් නැගී සිටියාය.

“මට සමාවෙයන් දයාවතියෝ. බලපුවාම අපි දෙන්නම එකයි.”

කියමින් ලේන්සුවේ ගැට ගසාගෙන සිටි අරුංගල් දෙක අතටගෙන දයාවතීගේ කන්පෙති දෙකෙහි රැඳවූවාය.

Comments