පූජිත් රඟ දැක්වූ ‘පොලිස් කෝලම’ | සිළුමිණ

පූජිත් රඟ දැක්වූ ‘පොලිස් කෝලම’

පූජිත් ජයසුන්දර සංගීත ප්‍රසංගයකදී ගීත ගායනා කරමින්....

නිවාර්යය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් මීට පෙර පැවැති කොමිසම්වලදී මෙන්ම වත්මන් ජනාධිපති කොමිසමේදී ද පැවසුවේ ප්‍රහාරයේ වගකීම බාර ගන්නට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසූ බවත්, එසේ කළහොත් විශ්‍රාම වැටුප් ඇතුළු සියලු වර ප්‍රසාද ලබා දී විදේශ තානාපති ධුරයක් ලබා දෙන්නට කටයුතු කරන බවත්ය. එම ප්‍රකාශයෙන් පසුව ජනාධිපතිවරයා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන ලදී. කොමිසමක විභාග කෙරෙන කටයුත්තක් සම්බන්ධයෙන් එවන් මාධ්‍ය නිවේදන නිකුත් කිරීම ගැන කොමිසමෙන් අවවාද කෙරුණු අතර තමන් ගැන පොලිස්පතිවරයා කියන්නේ මොනවාදැයි තමන්ගේම දෙකනින් අසා දැන ගැනීම පිණිස හිටපු ජනාධිපතිවරයා පසුගිය සැප්තැම්බර් 21 වැනිදා කොමිසම හමුවට පැමිණියේය. පොලිස්පතිවරයාගේ තමන්ට එරෙහි සාක්කි සම්බන්ධයෙන් සිහි තබාගත් හිටපු ජනාධිපතිවරයා සාක්කි ලබා දීම සඳහා පළමු වරට පසුගිය 5 වැනිදා කොමිසම හමුවට පැමිණියේය.

‘‘මම අප්‍රේල් 16 වෙනකල් ලංකාවෙ හිටියා. මේ තොරතුර ලැබිලා තිබුණේ අප්‍රේල් 4. අප්‍රේල් 8 වෙනිදා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ රැස්වීම තිබුණා. මම අප්‍රේල් 12 මඩකලපුවටත් ගියා. ඒ වෙලාවෙවත් මගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාටවත් මේ ගැන කියල තිබුණේ නැහැ. ඊට පස්සෙ අවුරුද්දට සුබ පතන්න හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු දියතලාවේ ඉඳන්ම මාව හොයාගෙන ආවා. පොලිස්පති පූජිත් ජයසුන්දරත් ආවා. දෙන්නා ඇවිත් පැය දෙකක් විතර ඉඳලා දවල්ටත් කාලයි ගියේ. එතනදිවත් කිව්වේ නැහැ මේ ගැන. මම විදෙස් ගතවෙන්න ගුවන්තොටුපළට ගිය වෙලාවෙ පූජිත් එතනටත් ආවා. මම ගිය ප්ලේන් එක ඇතුළටත් පූජිත් ඇවිල්ලා 'සුබ ගමන් සර්' කියල මට salute කළා. මං කිව්වා 'මං දවස් හතරකින් එනවා. මොනවහරි තිබුණොත් කියන්න' කියලා. අඩුගානේ ඒ වෙලාවෙවත් කිව්වා නම් විදෙස් සංචාරය නතර කරනවා.‘‘ හිටපු ජනාධිපතිවරයාගේ සාක්ෂි ලබා දීම හමුවේ රජයේ අතිරේක ‍සොලිසිටර් ජනරාල්වරිය විමසුවේ තමන් දේශපාලන ජීවිතයේ මාක්ස්වාදයට නැඹුරුවක් තිබුණාද යන්නයි. හිටපු ජනාධිපතිවරයා පැවසුවේ අවුරුදු 15,16 කාලයේ මාක්ස්වාදය නියෝජනය කළ බවයි. අතිරේක ‍සොලිසිටර් ජනරාල්වරිය එහිදී විමසුවේ මැක්සිම්ගෝර්කි ඇකඩමියේ පාඨමාලාවක් කළාද යන්නයි. එහිදී හිටපු ජනාධිපතිවරයා පැවසුවේ 1973 වසරේදී මාස හයක දේශපාලන විද්‍යා ඩිප්ලෝමාවක් කළ බවයි. මාක්ස්වාදයෙන් ඉවත් වුණේ ඇයිද යන පැනයට පිළිතුර වූයේ ‘අපි මඤ්ඤොක්කා පොල් සම්බෝල එක්ක නෙලුම් කොළේ කනකොට නායකයා රෙස්ට්හවුස් එකෙන් කනවා.‘ එම නිසා තමන් ඉවත් වූ බවයි.

තමන් හා ආණ්ඩුව අතර ගැටුම් ඇරැඹුණේ මහ බැංකුවේ අධිපති පත්කිරීමේදී මෙන්ම එහි මූල්‍ය වංචාව ගැන පරීක්ෂණ සිදු කිරීමේදී බවද මෙහිදී හිටපු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. පාර්ලිමේන්තුවේ සහයෝගයෙන් ආණ්ඩුව පවත්වාගෙන යාමට හැකි වූයේ මුල් මාස හයක පමණ කාලය තුළ වන අතර පසුව ඉතිරි කාලය තුළ තමන්ට අගමැතිවරයෙක්, ඇමැති හෝ ව්‍යවස්ථාදායකයක් නොතිබුණු බවද ඔහු කීවේය.

අලියාර් හන්දියේ ගැටුමෙන් පසු සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ අතර ඔහු අත්අඩංගුවට නොගත්තේ ඇයිද යන්න පොලීසියෙන් විමසීමක් කළේද යන්න කළ විමසීමේදී හිටපු ජනාධිපතිවරයා විමසුවේ ‘වරෙන්තුකරුවෙක් අත්අඩංගුවට ගැනීමට ජනාධිපතිගේ උපදෙස් කුමටද?‘ යන්නයි.

සාක්ෂි සපයමින් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ තමන් හා හේමසිරි ප්‍රනාන්දු අතර පිය - පුතු සම්බන්ධයත් තිබුණු බවයි. ඉස්ලාම් අන්තවාදයත් හා IS මතවාදය ලොව පුරා ව්‍යාප්තවෙමින් විනාශකාරී ක්‍රියා හමුවේ ආරක්ෂක මණ්ඩලයේදී ‘නිකාබය‘ තහනම් කරන යෝජනාවක් පැමිණි බවද හිටපු ජනාධිපතිවරයා සාක්ෂි දෙමින් පැවසුවේය.

එම යෝජනාවට තමන් හා ත්‍රිවිධ හමුදාපතිවරු ඇතුළු සියලු දෙනා එකඟ වුවද එවකට අගමැති රනිල් වික්‍රමසිංහයන් එකඟ නොවූ බව පැවසීය. එමෙන්ම අග්‍රාමාත්‍යවරයා ජාතික ආරක්ෂක කවුන්සිලයට කැඳවිය යුතු යැයි නියමයක් නොවූ බැවින් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ජාතික ආරක්ෂක කවුන්සිලයට නොකැඳවූ බවද ඔහු කීවේය.

හිටපු ජනාධිපතිවරයාගේ මේ සාක්ෂිවලට පසුගිය 11 වැනිදා අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පතිවරයා ප්‍රති ප්‍රහාර එල්ල කෙළේය. ‘හිටපු ජනාධිපතිවරයා පුරුද්දක් හැටියට බොරු කියන බව‘ එහිදී පූජිත් ජයසුන්දර කොමිසම හමුවේ පැවසුවේය. ‘ඊට උදාහරණ පෙන්වා දිය හැකිද?‘ යන්න විමසූ අවස්ථාවේදී ඔහු පැවසුවේ සිංහල අලුත් අවුරුද්දට තමන් ජනාධිපතිවරයා සාම්ප්‍රදායිකව හමුවී සුබ පතා විනාඩි 10ක් පමණ සිට ආපසු ගිය බවත් පැය 2ක් රැඳී සිටි කතාව අසත්‍යයක් බවත් තමන් දිවා ආහාරයද එහිදී ලබා නොගත් බවයි. එමෙන්ම අප්‍රේල් 16 වැනිදා ජනාධිපතිවරයා විදෙස් ගත වෙද්දී තමන් ගුවන් යානයට නොගිය බවත් ‘සැලියුට්‘ ගැහුවේ නැති බවත්ය.

එමෙන්ම මෙහිදී විශේෂ හෙළිදරව්වක් කළ හිටපු පොලිස්පතිවරයා පැවසුවේ ජනාධිපතිවරයා ඝාතන සැලැස්මක් කරළියට ගෙන ආ නාමල් කුමාරට ජනාධිපති කාර්යාලයෙන් වැටුප් ගෙවා ඇති බවයි. එම ගෙවීම කුමන පදනමකින් කෙළේද යන්න තමන් නොදන්නා බවද ඔහු කොමිසම හමුවේ පැවසුවේය. එසේම නිලන්ත ජයවර්ධන හා ජනාධිපතිවරයා අතර ඉතා සමීප මිතුරුකමක් තිබුණු බවත් ඉතා සුළු සිද්ධියක් පවා ජනාධිපතිවරයාට පවසන නිලන්ත ජයවර්ධන මේ අනතුරු ඇඟවීම නොදැන්වූවා යන්න පිළිගත නොහැකි බවද ඔහු කීවේය.

නාමල් කුමාරට පොලිස් ත්‍යාග අරමුදලින් රුපියල් ලක්ෂ 5ක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සහාය දැක්වීම වෙනුවෙන් ගෙවන ලද බවද ඔහු පෙන්වා දුන්නේය. මේ සාක්කි ලබා දීමෙන් පසු දින එනම් 12වැනිදා කොමිසම හමුවේ සාක්කි ලබා දුන් හිටපු ජනාධිපතිවරයා පූජිත් ජයසුන්දර පතුරු ගසා දැම්මේ සභාවේ සිනා හඬ මැදය.

පොලිස්පතිවරයාගේ විනය විරෝධී ක්‍රියාකලාප හේතුවෙන් ඔහුට ජාතික ආරක්ෂක කවුන්සිලය තහනම් කර තිබූ බව හිටපු ජනාධිපතිවරයා පැවසීය. මෙහිදී පළමුවෙන්ම රාජ්‍ය කාලය ගැන ඔහු හැඳින්වීමක් කෙළේය.

"මැතිවරණය දින්නාම එක එක කතා කියනවා, ජනාධිපති වුණාට පස්සේ ආණ්ඩු කරන කොට වුණු මහ බැංකු මංකොල්ලයෙන් තමයි රනිල් වික්‍රමසිංහ මට දේශපාලන යක්ෂයෙක් වගේ පෙනුණේ. එතකොටයි මට තේරුණේ මම දේශපාලනික වශයෙන් නොගැළපෙන විවාහයක් කරගෙන අමාරුවෙ වැටුණා කියලා."

‘‘යම් යම් හැසීරිම් නිසා පොලිස්පතිවරයාට ආරක්ෂක කවුන්සිලයට එන්න එපා කිව්වා, පූජිත් ජයසුන්දර ඔහුගේ ධුර කාලය තුළ නොයෙකුත් විවේචනයන්ට ලක්වුණා. ජාතික ආරක්ෂක කවුන්සිලයට ආපුවාම ඔහු ෆෝන් දෙකක් තියාගෙන අයිනකට වෙලා ඔබ ඔබ ඉන්නවා, ගන්න තීන්දු තීරණ මොනවත් දන්නේ නැහැ. දවසක් ආරක්ෂක කවුන්සිල රැස්වීමෙන් පස්සේ මම පෞද්ගලිකව හමුවෙලා කිව්වා, ‘පූජිත් ආරක්ෂක කවුන්සිලයේ වැඩකටයුතුවලට අවධානය දෙන්න‘ කියලා. 2018 මහනුවර ඇසළ පෙරහැරේදී නැටුවා, දවස් දෙකකට පස්සේ මම ගෙන්නලා ඇහුවා, පූජිත් දියවඩන නිළමෙට නැට්ටුවෝ මදිවෙලාද ඔයා නැටුවේ කියලා. ඊට පස්සේ ආයෙත් දවසක් මාතර ඉස්කෝලෙකට ගිහින් ළමයි ඉස්සරහ ටීචර්ස්ලාගෙන් ප්‍රශ්න අහලා එතනත් ප්‍රශ්නයක් ඇති කරගත්තා. පොලොන්නරුවේ අපේ ගමේ නාවික හමුදාව සංගීත සන්දර්ශනයක් ලෑස්ති කරලා තිබුණා, පූජිත් ඒකෙදි මගෙන් ඇවිල්ලා ඇහුවා, 'සර් මම සින්දුවක් කියන්නද කියලා' මමත් ඉතින් ඔන්න ඔහේ හා කිව්වා. පූජිත් වේදිකාවට නැගලා සින්දුවක් කිව්වා, සාමාන්‍යයෙන් ජනප්‍රිය ගායකයෙකුත් සින්දු 3ක් කියලා වේදිකාවෙන් බැහැලා යනවා, පූජිත් සින්දු හයක් කිව්වා. ඒත් නැවැත්තුවේ නැහැ, මිනිස්සු හූ කියයි කියලා බැරිම තැන මම නැගිටලා ආවා. ඔන්න ඔය වගේ හැසිරීමක් තමයි පොලිස්පතිගේ තිබුණේ," යැයි හිටපු ජනාධිපතිවරයා කොමිසම් සභාවේ සිනහ මධ්‍යයේ සාක්ෂි ලබා දුන්නේය. ඒ ප්‍රකාශ ලබා දුන්නේ පූජිත් ජයසුන්දර සාක්ෂි ශාලාවේ සිටියදීමය.

"පොලිස්පතිවරයාගේ මෙවැනි ක්‍රියාකලාප නිසා අගමැති රනිල්, තලතා, මංගල, මලික් ඇතුළු පස්දෙනෙක් ඇවිල්ලා පූජිත්ගේ ක්‍රියාකලාප ගැන සාකච්ඡා කළා, පූජිත්ට එන්න කියලා උපදෙස් දුන්නා, කොහොම වුණත් අපි එකට වැඩ කළා. ඔය මාව හමුවෙන්න කෝල් කරන්න බැහැ කියන කතා අමූලික බොරු, මොන උත්සවයකට ගියත් මම වාහනයෙන් බහින්න කලින් පූජිත් දොර ගාව. මම PSOට කියනවා පූජිත්ට පොඩ්ඩක් අයින් වෙන්න කියන්න දොර ඇරගන්න බැහැ කියලා"

මේ පරස්පර විරෝධී සාක්කි හමුවේ කොමිසමට සාක්ෂි ලබා දුන් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පැවසුවේ 2018 ඔක්තෝබර් 26 වැනිදා ආණ්ඩු පෙරැළියෙන් පසු කිසිදු දිනක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තමා ආරක්ෂක කවුන්සිල රැස්වීම්වලට නොකැඳවූ බවයි. තමා පමණක් නොව දින 52 ආණ්ඩුවේ අගමැති බවට පත් මහින්ද රාජපක්ෂයන්ද කැඳවා නැති බව තමා දැන ගත්තේ යැයිද ඔහු පැවසුවේය. ඒ පසුගිය 6 වැනිදා සාක්ෂි ලබා දෙමිනි.

“ආණ්ඩුවක් හදාගන්න අවශ්‍ය තරමට මන්ත්‍රීවරුන් හොයාගන්න පුළුවන් කියලා හිතාගෙන මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා මාව පැත්තකට කරලා මහින්ද රාජපක්ෂට කතා කරලා අගමැතිකම දුන්නා"

ඔහු එසේ කරනු ලැබුවේ ඔබේ ආණ්ඩුව සහයෝගය නොදුන් නිසා නේදැයි අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසූ අවස්ථාවේ වික්‍රමසිංහයන් පැවසුවේ

“එතුමාට කාගෙන්වත් සහායක් තිබුණේ නැහැ. අපි ආණ්ඩුව හදනකොට හිටියේ මන්ත්‍රීවරු හතළිස් හයයි. මමයි එතුමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය අරන් දුන්නේත්. ජනාධිපතිවරණයේදී නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙක් ලෙස එන්න කියලා මම ඔහුට කතා කළේ. මුලින්ම චන්ද්‍රිකා මහත්මියට කතා කළාම එතුමිය බැහැ කිව්වා. ඊට පස්සෙයි මෛත්‍රීපාල මහතාට කතා කළේ. ඔහු එකඟ වුණා. නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා ලෙස ඇවිත් ඔහු පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම ගත්තා. ඒකට සෝභිත හාමුදුරුවොත් විරුද්ධ වුණා"

ඔහුගෙන් කොමිසම විමසා සිටියේ ආණ්ඩුව හා ජනාධිපතිවරයා අතර මත ගැටුම් තිබුණාද යන්න ගැනයි.

‘‘අපි අතර මත ගැටුම් තිබුණෙ නැති වුණත්. රැකියා ලබාදීම්වලදි නම් මත ගැටුම් තිබුණා. නමුත් ආරක්ෂක කවුන්සිලයට සහභාගි වීම් ගැන ප්‍රශ්න තිබුණා. බොහෝ වෙලාවට ආරක්ෂක කවුන්සිලය පටන් ගන්න පැය 24කට කලින් එන්න කියනවා. කලින් දා ගත්ත වැඩ දාල එන්න බැහැ අවස්ථා තියෙනවා. ‘‘

එසේම හිටපු අගමැතිවරයා මෙහිදී කොමිසම විමසූ පැනයකට පිළිතුරු දෙමින් පැවසුවේ සහරාන්ට වරෙන්තු නිකුත් කර තිබියදී අත්අඩංගුවට නොගැනීම ප්‍රශ්නයක් බවයි. එමෙන්ම සහරාන් නුවරඑළියේ දී අන්තවාදී පන්ති පවත්වා ඇති බව කොමිසමට වාර්තා වී ඇති බවත් පොලිසිය එම පන්ති වෙත ගියත් සහරාන් සිටියදී අත්අඩංගුවට නොගැනීම ගැන විමසූ අවස්ථාවේදී හිටපු අගමැතිවරයා පොලිස්පතිවරයාට එහි වගකීම පැවරුවේය.

‘අයි එස් ‘ සංවිධානය තහනම් නොකෙළේ ඉස්ලාම් අන්තවාදය ගැන තොරතුරු ලැබීම නතර වන නිසා බවද ඔහු පැවසීය.

ප්‍රහාරය එල්ල වූවාට පසු තමන් ආරක්ෂක ප්‍රධානීන් කැඳවූ බවත් හිටපු ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම්වරයාට හා ජනාධිපති ලේකම්වරයාට එයට සහභාගි නොවන ලෙසට උපදෙස් ලබා දී තිබූ බවත් 2018 ඔක්තෝබර් මාසයෙන් පසුව රටේ ආරක්ෂක තත්ත්වය අදාළ වූ බවද පැවසුවේය. සාක්කි ලබා දීම් තවමත් අවසන් නැත. දැන් ගැටලුව වී ඇත්තේ වරදකරුවන් කවුරුන්ද යන්නය.

Comments