විස්මිත ඉංජිනේරුවෙක් වෙනුවෙන් කළ අසීමිත ගෞරවයේ සලකුණ... | සිළුමිණ

විස්මිත ඉංජිනේරුවෙක් වෙනුවෙන් කළ අසීමිත ගෞරවයේ සලකුණ...

සියවස් දෙකකට වඩා පැරැණි ඉතිහාසයක් සහිත ගාම්භීර සිහිවටනයක් වන කඩුගන්නාව දුර්ගය පසුකර එන විට හමුවන ප්‍රදීපාගාර හැඩයකින් යුතු ස්මාරකය හැඳින්වෙන්නේ ඩෝසන් කුලුන යනුවෙනි. ගිරි හිසක් මතදී දැක විඳින හාත්පස පැතිරුණු චමත්කාරය විඳිමින් මේ කුලුන මත බොහෝ වේලාවක් ගත කළ හැකිය. මෙම කුලුනට පසුපසින් ඇතුළු වීමට දොරකි. කැරකී යන තරප්පු පෙළකින් එහි මුඳුනට යා හැකිය. තරප්පු පෙළ නිමවා ඇත්තේ අති විශාල ගස් කඳන් දෙකක කොටස් සතරක ආධාරයෙනි. තරප්පු ද ඉදිව ඇත්තේ ලීයෙන්ය. කුලුන ඇතුළත මුඳුන ආසන්නයට වන තෙක්ම පරිසරය ගුප්ත අඳුරකින් වැසී ඇත.

එහෙත් කුලුන මුඳුන මනරම් දැකුම් මවන තැනකි. දැනට මේ පුරා ස්මාරකය තිබෙන්නේ මධ්‍යම සංස්කෘතික අරමුදලෙහි නිලධාරියෙක් යටතේය. “මෑතකදී ඩෝසන්ගේ ඥාති පරපුරෙන් පිරිසක් මෙම කුලුන නරඹන්න ආවා. ඒ වග ඩෝසන් කුලුන නැරඹූ අමුත්තන්ගේ නාම ලේඛනයෙත් ලියැවිලා ඇති.“ සංස්කෘතික ත්‍රිකෝණයේ නිලධාරීවරයා අප හා පැවසීය.

මේ කුලුන කියන්නෙම ඉතිහාසයක සලකුණකි. ඒ ගැන කියැවෙන ඉතිහාස කතාව ද හරිම රසවත්ය. අධිරාජ්‍යයක යටත් විජිතයක් වීම නිසාම අපට ජාතියක් විදිහට අහිමි වූ දේවල් බොහෝය. නමුත් ඒ යටත් විජිත සම්ප්‍රදාය තුළ අපට සාධනීය දේවල් ද ලැබුණි.

බ්‍රිතාන්‍යය සිය යටත් විජිතයේ බලය තහවුරු කරගන්නෙ කන්ද උඩරටට දිවෙන මාර්ග පද්ධතිය වැඩි දියුණු කිරීමෙනි. ඒ සමඟම ඔවුන් තම වැවිලි ආර්ථිකයේ මහත් වූ ප්‍රතිඵල කොළඹ වරාය හරහා සිය මවු රටට රැගෙන ගියේ මේ මාර්ග පද්ධතිය ඔස්සේය. කැප්ටන් ඩෝසන් ඒ සමාජ ආර්ථික පරිවර්ථනය ප්‍රායෝගික කළ පුද්ගලයෙකි. අපට කෙසේ වෙතත් එංගලන්ත අධිරාජ්‍යයට ඔහු මහා පුරුෂයකු වන්නේ ඒ නිසාය. ඔහු වෙනුවෙන් ස්මාරකයක් ඉදිවෙන්නෙ ද ඒ නිසාය. ඩෝසන් කුලුන ලෙස නම් වන්නේ එම ස්මාරකයයි. කොළඹ නුවර මාර්ගයේ (A1)කඩුගන්නාව අම්බලම පසු කරමින් නගරයට ඇතුළු වීමට පෙර දුම්රිය ස්ථානයට මඳක් ඉදිරියෙන් මාර්ගයට දකුණු පසින් කැප්ටන් ඩෝසන් සමරමින් ඉදිකළ මෙම ඩෝසන් කුලුන දකින්න ලැබේ.

මේ ඩෝසන් කුලුනේ කතාව ද රසවත් එකකි. සර් එඩ්වඩ් බාර්න්ස් 1820 දී ආණ්ඩුකාර ධූරයට පත්වීමත් සමඟම රට තුළ විධිමත් මහාමාර්ග පද්ධතියක් ඉදිකිරීමට තීරණය කරන්නේ 1818 දී ඇතිවූ කැරැල්ල මෙන් කැරැල්ලක් නැවත ඇති වුවහොත් හමුදා ඛණ්ඩ අපහසුවකින් තොරව උඩරටට යැවීමේ අරමුණෙනි. කොළඹ නුවර මාර්ගය එහි ප්‍රධානම ප්‍රතිඵලයයි.

මේ මාර්ගය ඉතිහාසයේ පැවතුණේ අඩි පාරක් ලෙසය. එය කඳු හෙල්, ගිරි දුර්ග හා ජල පහරවල් ඔස්සේ විහිදුන අඩි පාරකි. මේ බිමේ පුළුල් මාර්ගයක් නිම කිරීම අතිශය අසීරු කටයුත්තක් විය. එම භාරදූර කටයුත්තේ ප්‍රධානත්වය දරුවේ බ්‍රිතාන්‍ය ජාතික මහාමාර්ග ඉදිකිරීම් ශිල්පියෙක් වූ කපිතාන් විලියම් ෆ්‍රැන්සිස් ඩෝසන් ය. මාර්ගය ඉදි වෙන්නෙ මිනිස්සුන්ගේ රුධිරයෙන් හා කඳුළුවලින්ය. බලහත්කාරයෙන් සේවයේ යෙදවූ මිනිසුන් මේ මාර්ගය ඉදිකිරීම් අතරේදිම මිය ගොස් ඇත. නිරන්තරයෙන්ම කාලගුණික වෙනස් වීම්වලට භාජනය වන මෙම ප්‍රදේශයේ මාර්ගය තනාගෙන යන අතරතුර කපිතාන් ඩෝසන් ද දරුණු ලෙස රෝගාතුර වී ප්‍රතිකාර සඳහා එංගලන්තයට යෑමට සිදු විය.

කොළඹ - නුවර පාරේ කඩුගන්නාව දුර්ගය හරහා ඔහු මාර්ගය සැලසුම් කළේ ඉතාමත් සූක්ෂම අයුරිනි. ජනප්‍රවාදයක් හේතුවෙන් එහි තිබූ එතරම් විශාල නොවූ ගල්පොත්ත විද ඔහු ඒ හරහා මාර්ගය ඉදි කළේය. මේ මාර්ගකරණය බ්‍රිතාන්‍යයන් මෙන්ම සිංහලයන් ද මවිතට පත් කළේය. ඩෝසන්ගේ මේ මාර්ග සැලසුම් නිසා වර්ෂ 1829 දී ඔහු රාජකීය විධායක ඉංජිනේරු ධුරයට උසස් කළේය. මාර්ගය ඉදි කිරීමේ දී නැවතත් අසනීප වී ඔත්පලව සිටි ඔහු කොළඹට රැගෙන ගොස් ඇත. ඔහුගේ මාර්ග සැලසුම්කරණයේ විශිෂ්ට ඵල දකින්නට ඔහුට වාසනාව නොලැබෙන්නේ වර්ෂ 1829 මාර්තු 28 වැනි දින කැප්ටන් ඩෝසන් මෙලොව හැර යන නිසාය. ඔහුගේ මරණය සිදුවන්නේ මැලේරියාව හෝ සර්ප දෂ්ටනයකින් යැයි ප්‍රවාදයක් ඇත.

ඩෝසන්ගේ අවෑමෙන් ඔහුගේ මිතුරෝ ඩෝසන්ගේ අප්‍රතිහත ධෛර්යය හා කැපකිරීම් ඇගයීමකට ලක් කරනු වස් ඔහු වෙනුවෙන් ස්මාරකයක් තැනීමට ආණ්ඩුකාරවරයාට යෝජනා කර ඇත. ආණ්ඩුකාර තැන ඒ යෝජනාව පිළිගත් අතර ඒ අනුව පවුම් 343 ක වියදමින් අඩි 125 උසට ඩෝසන් කුලුන නිමැවිණි. වර්ෂ 1832 දී කුලුනෙහි වැඩ කටයුතු නිම වූ බව ස්මාරකයේ සඳහන් වෙයි.

ජාතියක අනාගතය වෙනුවෙන් කරන මහා ආයෝජනවල ප්‍රභාෂ්ව ප්‍රතිඵල බලන්න ඒ වෙනුවෙන් අප්‍රමාණ කැප කිරීම් කළ මිනිස්සුන්ට විටෙක ලැබෙන්නේ නැත. දුටු ගැමුණු රජතුමාට සිය මහා චෛත්‍ය කර්මාන්තයේ නිමාව දකින්න ලැබුණේ නැත. එහෙත් ඔවුන්ගේ මහා වෑයම යුග ගණනාවක් පුරා නොනැසී පවතිනවා ඇත. ඩෝසන් ගේ මාර්ගකරණයේ නිමාවද එසේමය.

Comments