මම විවාහ වුණා කියන කතාව බොරු | Page 2 | සිළුමිණ

මම විවාහ වුණා කියන කතාව බොරු

මගේ නම පරෙස්සම් කරගෙන කලාවෙන් ඉදිරියට යන්නයි මට අවශ්‍යය

ගයාන් නිහතමානී, ආදරණීය චරිතයක්. අපි අතර හොඳ බැඳීමක් තියෙනවා.

 

පාසල් වියේදීම රංගනයට එක් වන ඇය මෑතක සිට විවිධ චරිත ඔස්සේ පුංචි තිරයේ නිතර දකින රුවක් බවට පත්ව සිටින්නීය. කෙටි කලෙකදීම එලෙස ප්‍රේක්ෂක හදවත් දිනා ගැනීමට සමත් ව සිටින ඇය නවක රංගන ශිල්පිනියක වන පූජනී භාග්‍යා යි.

 

මේ දිනවල පූජනී නිතර දකින රුවක්?

ඒ, මම ප්‍රධාන චරිත රඟපාන ටෙලි නාට්‍ය කිහිපයක්ම මේ දිනවල විකාශය වන නිසා වෙන්න ඇති. මේ දවස්වල තවත් අලුත් ටෙලි නාට්‍යයකත් රූගත කිරීම් සිදු වෙනවා. ඒ නාට්‍යයේ නමත් මගේ නමමයි. මගේ ඇත්ත නම තමයි චරිතේ නම විදිහටත් ලැබිලා තියෙන්නේ.

 

පූජනී ට ඒකාකාරී චරිතම ලැබෙන්නේ මොකද?

මම ගොඩක් කැමති දුෂ්ට චරිතවලට. සමහර වෙලාවට එහෙම චරිතවලට කැමතියි කියලා සමීපතමයන්ගෙන් බැණුම් අහන වෙලාවලුත් තියෙනවා. කටකාර, සැහැල්ලු චරිත රඟපාන්නත් මම කැමතියි. 'අහස් මාළිගා' ටෙලි නාට්‍යයේ ‘ශෙහානි‘ 'අපි අපේ ' ටෙලි නාට්‍යයේ ‘සකුරා‘ , 'නෑනලා' ටෙලි නාට්‍යයේ ‘නෙත්මි‘ යන චරිත ඒ වගේ ටිකක් සැහැල්ලු කටකාර චරිත. ඒවා මගේ සැබෑ ජීවිතයට සමානයි. නමුත් 'නාඩි' ටෙලි නාට්‍යයේ මට ලැබී තිබෙන චරිතය ටිකක් සංකීර්ණයි. ගැහැනියක් මුහුණ දෙන අභියෝගාත්මක සිද්ධීන් තමයි ඒ චරිතයෙන් ඉස්මතු වෙන්නේ. ඒ චරිතය මට ලොකු අත්දැකීමක්. මට ලැබෙන චරිතය දුෂ්ටද, අහිංසකද කියන දේ මට අදාළ නැහැ. මට සාධාරණයක් කළ හැකි චරිත තමයි මම තෝරා ගෙන තියෙන්නේ. ඒ තෝර ගත්තු යම් චරිතයක මම අකමැති දර්ශන සහ ඇඳුම් පැලැඳුම් තියෙනවා නම් එහිදී මගෙ සීමා තියෙනවා.

 

කලක් ඔබ රංගනයෙන් ඈත් වෙනවා නේද?

මම රංගනයට පිවිසෙන්නේ 2010දී 'දරුවනේ' චිත්‍රපටයෙන්. ඒ කාලේ මම පාසල් සිසුවියක්. ඊට පස්සේ සිරස නාළිකාවේ විකාශනය වූ 'සිරිවාසල‘කියන ටෙලි නාට්‍යයට රංගනයෙන් දායක වුණා. අධ්‍යාපන කටයුතු නිසා රංගනයේ යෙදීම දුෂ්කර වූ නිසා ටිකක් රංගනයෙන් ඈත් වුණා. 2018දී හිරු අවුරුදු කුමරිය වුණාට පස්සේ තමයි මම නැවත රංගනයට පිවිසෙන්නෙ. රංගනය මුලින් මගේ විනෝදාංශය වුණත් දැන් මටත් නොදැනීම එය මගේ වෘත්තිය වෙලා.

 

පූජනී හරිම සංවේදී චරිතයක් කියන්නේ ඇත්තද?

අසරණ සත්තුන්ට මගෙ තියෙන වැඩි කරුණාව නිසා වෙන්න ඇති. ආබාධිත වුණු සතෙක් දැක්කොත් මම එයාලව ගෙදර ගෙනත් සනීප කරන්න උත්සාහ කරනවා. ඒ විදිහට ගෙනාපූ බල්ලො, පූසෝ විසි පහක් විතර දැන් අපේ ගෙදර ඉන්නවා. මගෙ මවුපියොත් හරිම සංවේදීයි. මම වැඩත් එක්ක කාර්යබහුල වෙනකොට අම්මා තමයි එයාලව බලාගන්නේ.

 

පූජනි - ගයාන් ගේ මංගල ඡායාරූපවලට මේ දවස්වල සමාජ මාධ්‍ය ඔස්සේ කොහොමද ලැබෙන ප්‍රතිචාර?

මීට කලිනුත් අපි ඒ වගේ ෂූට් එකක් කළා. ඒක ප්‍රසිද්ධ වුණෙත් අපි දෙන්නා විවාහ ගිවිස ගත්තා කියලා. පහුගිය සතියේ අවුට් කරපු මියුසික් වීඩියෝ එකටත් ඒ වගේ කතාවක් හැදුණා. ඒත් මමවත් ගයාන් අයියවත් කොහෙවත් කියලා නැහැ අපි විවාහ වුණා කියලා. කටකතා හදන අය අපේ ෆොටෝස් දාලා අපි විවාහ වුණා කියලා හදනවා. නමුත් ඒ කතාව බොරු.

 

ගයාන්ගෙන් යෝජනාවක් ඇවිත් මේ කටකතාව ඇත්ත වුණොත්?

ගයාන් අයියා කියන්නෙ ගොඩක් හොඳ, නිහතමානී, ආදරණීය චරිතයක්. අපි අඳුරගෙන දැන් අවුරුදු එකහමාරකටත් වැඩියි. එදා ඉඳන් අපි අතර හොඳ බැඳීමක් තියෙනවා. ඉතින් ඒ වගේ යෝජනාවක් ආවොත් එක පාරටම කැමැත්ත ප්‍රකාශ නොකර සලකා බලනවා. නමුත් අකමැති වෙන්න හේතුවකුත් නෑ.

 

ඇත්තටම ඔබ දැනටමත් පෙම්වතියක් නෙවෙයි කියලද කියන්නේ?

දැන්ම ඒ ගැන නොකියා ඉන්නම්. ඉදිරියේදී අනිවාර්යෙන්ම මගේ රසික රසිකාවියන්ට ඒ ගැන කියන්න මම පොරොන්දු වෙනවා.

 

පූජනීගේ අනාගත සැලසුම් මොනවාද?

මගේ නම කැතකර ගන්නෙ නැතුව කලා කටයුතුවලින් ඉදිරියට යන්න තමයි බලාපොරොත්තුව. දැනට ගොසිප් කියලා හැදුණේ මාවයි ගයාන් අයියවයි සම්බන්ධව හදපු එක තමයි. නමුත් ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි. පෞද්ගලික ජීවිතේ ගැනත් මට ලස්සන හීන තියෙනවා. මගේ නම පරෙස්සම් කරගෙන අඩු පාඩු හදාගෙන මගේ හීනත් සැබෑ කරගෙන ඉදිරියට යන්න තමයි මම කැමැති.

Comments