අම්මා ළඟ නැතිව ගෙවුණු දුෂ්කර ළමා කාලෙදි මම ජීවිතේ ඉ‍ෙගන ගත්තෙ තනියම | Page 2 | සිළුමිණ

අම්මා ළඟ නැතිව ගෙවුණු දුෂ්කර ළමා කාලෙදි මම ජීවිතේ ඉ‍ෙගන ගත්තෙ තනියම

පන්තියෙ හිටපු නරකම ළමයා මම...

ඒත් උසස් පෙළ වෙද්දි පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වුණා...

ප්‍රශ්න කියන්නේ ඔබටත්, මටත් නතර කරන්න පුළුවන් දෙයක් නොවේ...

හැබැයි මුහුණ දෙන ආකාරය වෙනස් කරන්න පුළුවන්...

‘ඉස්කෝලේ යන කාලේ පන්තියේ එපා කරපු නරකම ළමයා මමයි. හරිම මුරණ්ඩු අධි ක්‍රියාකාරී ළමයෙක්. හරි පණ්ඩිතයි. ගුරුවරියන් මට කොහොමත්ම කැමැති නෑ. උගන්වන වෙලාවට කතා කරනවා. මැද්දට පැන පැන උත්තර දෙනවා. ගැහැනු ළමයෙක් කියලා කිසිම සන්සුන් කමක් තිබ්බේ නෑ. පන්තියේ හිටපු පිරිමි ළමයින්ටත් ගහනවා. කිසි කෙනකුට බය නෑ. ඒ නිසාම මට පාසල් කාලයේ පෙම් සම්බන්ධතා තිබුණෙත් නෑ. අනික ගුරුවරියන් මාව නරක ළමයෙක් කියලත් ලේබල් ගත කරලයි තිබුණේ.‘

 

අද වනවිට මෙරට පළමු පෞද්ගලික මානසික රෝහලේ හිමිකාරිනිය ලෙසත්, ප්‍රකට මනෝ චිකිත්සකවරියක් ලෙසත්, රජයේ විවිධ ආයතනවල හා පෞද්ගලික විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක ලෙසත් කටයුතු කරන දෙස් විදෙස් උපාධි හා ඩිප්ලෝමා ගණනාවක් ලැබූ තාරු පරණවිතාන මහත්මියගේ පාසල් ජීවිතය ගෙවී ගියේ එලෙසිනි.

“මම ඉගෙන ගත්තේ මීගමුව, කිඹුලාපිටිය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ විදුහලේ. මට තිබුණේ දුෂ්කර ළමා වියක්. අපිව ජීවත් කරවන්න අම්මා විදේශගතව රැකියාවක් කළා. මට අක්කලා දෙන්නයි, මල්ලියි. තාත්තා මුලින් නැව්වල අත්උදව් කරුවෙක් විදිහට රස්සාවක් කළා. පස්සේ ධීවර රැකියාවට යොමුවුණා. අම්මා රට ගියාට පස්සේ ආච්චි ළඟයි මම හැදුණේ. ඒත් ගැහැනු ළමයෙක් හැටියට අම්මා ළඟ ඉන්නම ඕන වයසේදි ඕනෑම දේකට තනිවම මුහුණ දෙන්න තරම් මට ධෛර්යයක් තිබුණා.“අපමණ දුෂ්කරතා මැදින් ගෙවී ගියද, ළමාවිය නිදහසේ භුක්ති විඳීමට තරම් වාසනාවන්තියක වූ තාරු නැවුම් ආකල්ප තුළින් සිය ජීවිතය වර්ණවත් කරගත් අයුරු විශ්මයජනකය. ඇය ‘රසඳුන‘සමඟ සිය ජීවන අත්දැකීම් බෙදාහදා ගත්තේ මෙසේය.

“ජීවිතය දුෂ්කර වුණාට මම එය අධ්‍යාපනයට බාධාවක් කරගත්තේ නෑ. අධ්‍යාපනයට වගේම බාහිර ක්‍රියාකාරකම්වලටත් එකතු වුණා. උසස්පෙළට පෙනී සිටි වසරේ පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වුණා. මගේ නායකත්වයෙන් අපේ පාසලේ වාද විවාද කණ්ඩායම සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රහණත් ලැබුවා. ඒ වගේම මම නර්තන කණ්ඩායමෙත් හිටියා. අපි සමස්ත ලංකා හොඳම දේශීය අංශයේ ජයග්‍රහණයත් ලැබුවා. පාසල නිසා මම බැබළෙනවාට වඩා මට ඕන කළේ මම නිසා පාසල බබළවන්න. ඒ නිසා තමයි අදටත් අවුරුද්දකට වතාවක් හරි මාව පාසලට ගෙන්වලා පෞරුෂ සංවර්ධන වැඩසටහන් කරවන්නේ. “ඇය එසේ කියන්නේ පුදුමාකාර සතුටකිනි.

“ ඒ කාලේ කොයිතරම් මානසික ගැටලු තිබුණු පෞරුෂ ආබාධ සහිත ගුරුවරුන් පාසල්වල ඉන්න ඇතිද කියලා. ඒ වගේ ගුරුවරු ගුරුවරියන් නිසා කොයිතරම් දරුවන් ප්‍රමාණයක් පාසල් හැරයනවාද. විශේෂයෙන් පිරිමි ළමයි. අපි ඉස්සර පාසලේදි පුදුම විදිහට ගුටි කෑවා. එක මිස් කෙනෙක් හිටියා එයාගේ ගෙදර ප්‍රශ්න ගොඩක් තිබුණා. ඒවා කිය කියා මිස් ළමයින්ට ගහන්න පටන් ගත්තා. අපේ පොත් වීසි කරනවා. මම දැන් බෝලවලාන රජයේ ගුරුපුහුණු මධ්‍යස්ථානයේ මනෝවිද්‍යාව සම්බන්ධව බාහිර කථිකාචාර්යවරියක් ලෙස කටයුතු කරනවා. ඒ වගේ පෞරුෂ ගැටලු , මානසික ගැටලු තියෙන අයව හදන්න හරි උනන්දුවෙන් මම වැඩ කරනවා.“තමා ලැබූ කටුක අත්දැකීම් අද කාලයේ දරුවන්ට ලැබෙනවාට ඇය අකමැතිය.

“ ළමා කාලය තමයි දරුවකුගේ පෞරුෂය සංවර්ධනය හා බුද්ධ වර්ධනය සිදුවන ඉතාම තීරණාත්මක වයස. මම නිදහසේ ඉගෙනගත්තු ළමයෙක්. උසස් පෙළට විතරයි අමතර පන්ති ගියේ. මම අද මනෝචිකිත්සකවරියක් ලෙස සේවය කරන්නෙත්, තරුණ ව්‍යවසායිකාවක් ලෙස යම්කිසි පිරිසකට රැකියා අවස්ථා නිර්මාණය කරන්නෙත් ළමාවියේ අත්දැකීම් තුළින් ලැබූ පෞරුෂ වර්ධනය නිසයි.“

පළමු අවස්ථාවේදීම උසස් පෙළ සමත්වූ ඇය අනතුරුව කැලණිය විශ්වවිද්‍යාලයේ මනෝ විද්‍යාව විශේෂවේදි උපාධිය හැදෑරුවාය. එම විශ්වවිද්‍යාලයේහිම බෞද්ධ ආයුර්වේද පශ්චාත් උපාධිය ද සම්පූර්ණ කළ අතර, කොළඹ විශ්වවිද්‍යාලයේදී සමාජ විද්‍යා උපාධිය ලැබුවාය. ඉහළ තලයේ ඩිප්ලෝමා රැසක් ද හිමිකරගත් තාරු පරණවිතාන මහත්මිය විදෙස් රටවල් ගණනාවක ද විවිධ පාඨමාලා හදරා තිබේ. ගම්පහ දිසා රෝහලේ හා කිරිබත්ගොඩ රජයේ මනෝචිකිත්සකවරියක් ලෙසත් වසර කිහිපයක් සේවය කළ ඇය වර්තමානයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හදාරමින් සිටින්නීය. “මම තවමත් ඉගෙන ගන්න කෙනෙක්. මොනවහරි දෙයක් ඉගෙන ගන්න කොට අපි හරි ප්‍රාණවත් වෙනවා. නමුත් කොයිතරම් උපාධි ගත්තත් වැඩක් නෑ ඒක සමාජයට වැඩදායක විදිහට භාවිත කරන්න බැරිනම්. උපාධි මෙච්චරක් තියෙනවා කියලා ඉදිමෙන්නේ නැතිව සාමාන්‍ය සරල පුරවැසියෙක් විදිහට ජීවත්වීමයි වටින්නේ. සමාජයත් එක්ක එදිනෙදා ගැටෙන්නත්, ඔවුන් සමඟ ජීවිතය බෙදා ගන්නත්, ඔවුන්ට උදව් කරන්නත් මම මගේ කාලය කැප කරනවා. ඒ තුළින් පුදුම සතුටක් ලබනවා. මේ හැම දෙයක්ම මම ලැබුවේ නිදහසේ ජීවත්වීමෙන්. මම ආසයි අපි ළමා වියේ නිදහසේ හැදුනා වගේ අපේ දරුවොත් නිදහසේ හැදෙනවානම්. දරුවන්ට ළමා විය විඳින්න දෙන්න ඕනෑ. “ තාරු පරණවිතාන මහත්මිය එසේ කියන්නීය.

“මනෝචිකිත්සකවරියක් විදිහට වැඩ කරනවා කියන්නේ විශාල සමාජ සේවයක්. ආගමික අතින් පිනක්. අධ්‍යාත්මික අතින් විශාල මානසික තෘප්තියක්. එක රෝගියෙක්ව සුවපත් කරනවා කියන්නේ ඒ පවුලම සුවපත් කරනවා වගේ. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයෙක් ඉන් මුදවාගන්නවා කියන්නේ සමාජයට නිරෝගී පුද්ගලයෙක් මුදා හැරීමක්. අධික කෝපය වගේම විවිධ මානසික ගැටලු ඇති ගුරුවරයෙක්ව මනෝචිකිත්සාව මගින් සුවපත් කරනවා කියන්නේ ඒ ගුරුවරයා යටතේ ඉන්න දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමක්. ඒ නිසා මගේ මානසික සතුට මගේ වෘත්තියයි.“

“අද සමාජයේ වැඩි දෙනෙක් යම්කිසි ප්‍රශ්නයක් ආවම කලබල වෙනවා. ප්‍රශ්න කියන දේ ඔබටත්, මටත් නතර කරන්න පුළුවන් දෙයක් නෙවේ. හැබැයි මුහුණ දෙන ආකාරය වෙනස් කරන්න පුළුවන්.“ ව්‍යාපාරික සැමියෙක් සහ සුරතල් දියණියක් සිටින ප්‍රීතිමත් කැදැල්ලක ද හිමිකාරිනිය වන 31 හැවිරිදි තාරු පරණවිතාන මහත්මිය කීවාය.

Comments