සුන­ඛ­‍ය­කු වෙනුවෙන් දිවි දුන් මිනිසෙක් | සිළුමිණ

සුන­ඛ­‍ය­කු වෙනුවෙන් දිවි දුන් මිනිසෙක්

ලහ දෙල්තොට වත්තේ පදිංචි දෙදරු පියෙකු වන සින්න­වේළු සෙල්ව­රාසු සුපු­රුදු පරිදි පසු­ගිය 10 වැනිදා පස්ව­රුවේ ගලහ නග­ර­යට ගියේ අතො­රක් නොමැ­තිව වැටුණු වැසි මැද්දේය. බ්ලොක් ගල් වැඩ­පො­ළක කම්ක­රු­වකු ලෙස සේවය කරන ඔහු සේවය නිම කිරී­මෙන් පසු පුරු­ද්දක් ලෙස ගලහ නග­ර­යට ගියේ නිව­සට අව­ශ්‍යය අඩුම කුඩු­මද රැගෙන මත්පැන් පොදක්ද තොල ගෑම­ටය. වැස්ස තර­මක් තූරල් වූ පසු නිවෙ­සට යමින් සිටි­යදී සීතලේ ගැහෙ­මින් කුඩා බලු පැට­වකු තමන් පසු­ප­සින් එන බව සෙල්ව­රාසු දුටු­වේය. ගමන නවතා මඳක් නැව­තුණු සෙල්ව­රාසු බල්ලා එළවා දැමී­මට උත්සහ කළේය. ඔහු වෙතින් මඳක් ඈතට ගොස් නැව­තුණු බලු පැටවා සෙල්ව­රාජ් ගමන් ආරම්භ කළ පසු යළිත් ඔහු පසු­ප­සින් එන්නට පටන් ගත්තේය.මේ සුනඛ පැටවා පසු­ප­සින් තමන්ගේ මාරයා පැමි­ණෙ­තැයි මොහො­ත­කට හෝ නොසිතූ සෙල්ව­රාසු දෙව­රක් නොසිතා ඌ වඩා ගත්තේ නිව­සට රැගෙන යෑමේ අද­හ­සිනි.

 

පසු­දින හිරු නැඟ එද්දීම නිවස ඉදි­රි­පි­ටට පැමිණි අයකු මහ හයි­යෙන් කතා කරනු ඇසී සෙල්ව­රාසු නිව­සින් පිට­තට පැමි­ණියේ ඒ කවු­දැයි බල­න්නට ය. බලු පැට­වාගේ හිමි­කරු යැයි පැවසූ ඔහු දිගින් දිග­ටම සෙල්ව­රා­සුට බැණ වඳි­න්නට පටන් ගත්තේය. ඉන් අන­තු­රුව සිදු­වූයේ කිසි­ව­කුත් අපේක්ෂා නොකළ දෙයකි. බලු පැට­වාගේ හිමි­කරු යැයි කියා­ගත් පුද්ග­ලයා වෙතින් පහර පිට පහර කෑ සෙල්ව­රාසු බිම ඇද වැටිණි. බල්ලා ද රැගෙන උගේ හිමි­කරු පැමිණි යතුරු පැදියේ නැගී නිවස බලා යද්දී සෙල්ව­රා­සුට සිදු­වූයේ දැඩි අසාධ්‍ය තත්ත්ව­යෙන් රෝහල කරා යෑම­ටය. ගලහ රෝහ­ලට රැගෙන ගිය ඔහුගේ තත්ත්වය බර­ප­තළ වූයෙන් මහ­නු­වර ජාතික රෝහ­ලට මාරු­කර යැවු­වේය. එහි ප්‍රති­කාර ලබ­මින් සිටි සෙල්ව­රාජ් 12 දින පෙර­ව­රුවේ සඳ­හ­ටම දෙනෙත් පියා ගත්තේය. බලු පැට­වකු නිසා මිනිස් ජීවි­ත­යක් අහිමි වූ මෙම සිදු­වීම පිළි­බඳ ගලහ ප්‍රදේ­ශයේ පම­ණක් නොව රටේම අව­ධා­නය යොමු­වීම නිසා අපි එහි වැඩි විස්තර සොයා එම ප්‍රදේ­ශ­යට ගියෙමු.

මාස දෙකක් පමණ වයස වූ සිද්ධි­යට මුල් වූ සුන­ඛයා ගමේ භාෂා­වෙන් කියන්නේ නම් වල් බල්ලෙකි. සත්ත්ව­ය­කුට ආද­රය කරු­ණාව දැක්වී­මට උගේ වර්ගය කුමක්ද යන්න ප්‍රශ්න­යක් කර ගැනීම යහ­පත් ගුණ­යක් නොවූ­වද ගම්වා­සීන් පැව­සුවේ රට බල්ලෙක් නම් හොර­කම් කළා හරි කියන්න තිබුණා යනු­වෙනි. දඩා­වතේ යන සුන­ඛ­යින් එක­වර පැටව් හය හත්දෙනා දැමූ පසු මහ මඟ ගමන් ගන්නා වාහන වලට අසුවී පැට­වුන් මිය­යන අවස්ථා අපි කොතෙ­කුත් දැක ඇත්තෙමු. එවැනි සතුන්ට වසදී මරා දැමූ අව­ස්ථාද පසු­ගිය කාලයේ මාධ්‍ය මගින් වාර්තා විය. එසේ වුවත් මේ ආකා­ර­යට වල් බල්ලකු වෙනු­වෙන් පුද්ල­ග­යකු ඝාත­නය කළ සිද්ධි­යක් පිළි­බඳ මෑත කාලයේ අප මත­කයේ නැත. ලයින් කාම­ර­යක දිවි­ගෙ­වන සෙල්ව­රාසු දැඩි ආර්ථික දුෂ්ක­රතා මධ්‍යයේ දිවි ගෙවූ­වෙකි. ඔහුගේ දරු දෙදෙ­නාද විවා­හවී පදිං­චිව සිටින්නේ එම නිව­සේ­මය.

‘අපේ අම්මා නැති­වෙලා. තාත්තා තමයි හැම­දේම කරන්නේ. එදා හවස 7.00 ට විතර තාත්තා වැස්සෙම ගෙදර අවා. මගේ පස්සෙන් බලු පැටි­යෙක් ආවා. එළෙ­ව්වාට ගියේ නෑ. අයි­ති­කා­ර­යෙක් නැති නිසා මම බල්ලව ගෙනාවා. පව් ඌ හොඳ­ටම තෙමිලා කියලා තාත්තා කිව්වා. මම ගිහින් ඌව ගේ ඇතු­ළට ගෙනල්ලා රෙදි කෑල්ල­කින් පිහලා පාන් කන්න දුන්නා. පහු­වෙ­නිදා උදේ කවුදෝ ගේ ඉස්ස­රහා කෑග­හ­නවා ඇහුණා. තාත්තා එළි­යට ගිහින් ඇයි කියලා ඇහු­වම තමසේ මගේ බල්ලා අරන් ආවද කියලා එයා ඇහුවා. වැස්සේ තෙමි තෙමී බල්ලෙක් පාරේ හිටියා, ඌ මගේ පස්සෙන් ආවා, ඒ නිසා මම ඌව අරන් ආවා කියලා බල්ලා ඉන්නවා අරන් යන්න මහ­ත්තයා කියලා තාත්තා කිව්වා. ළමයි රෑ තිස්සේ බල්ලා නැතුව අඬ­නවා, තමුසේ මොක­ටද බල්ලා ගෙනාවේ කියලා එයා තාත්තගේ කම්මු­ලට පාරක් ගැහුවා. ඒත් එක්කම එයා කකු­ලෙන් තාත්තගේ යටි­බඩ පැත්තට ගැහුවා. එත­කොට තාත්තා බිම ඇද­ගෙන වැටුණා‘

සිද්ධියට මුල්වූ සුනඛයා

සෙල්ව­රාසුගේ දිය­ණිය සත්‍ය­ප්‍රියා (23) සිද්ධිය විස්තර කළේ එසේය.

මිය­ගිය සෙල්ව­රා­සුගේ පුතා වන ගනේෂ් (20) ද සිද්ධිය වූ අව­ස්ථාවේ නිවසේ සිටි­යේය. ඔහු සිද්ධිය මෙසේ විස්තර කළේය.

‘අපි ඉන්නේ ලයින් කාම­ර­යක. අපේ අම්මා අවු­රුදු පහ­කට විතර කලින් මැරුණා. තාත්තා තමයි එදා ඉඳන් අපි බලා ගත්තේ. එදා උදේ කවුදෝ කෙනෙක් අපේ ගේ ඉස්ස­රහා කෑ ගහ­නවා ඇහුණා. ටික වෙලා­ව­කින් එළියේ කල­බ­ල­යක් වගේ ඇහුණා. මම යන­කොට තාත්තට කෙනෙක් හොඳ­ටම ගහ­නවා. තාත්තා බිම වැටු­ණට පස්සේ එයා බල්ලව අරන් බයි­සි­කලේ නැගලා ගියා. අපි තාත්තව උස්ස­ගෙන ගේ ඇතු­ළට ආවා‘

පහර කෑමෙන් අසාධ්‍ය තත්ත්ව­යට පත් සෙල්ව­රාසු කඩි­න­මින් රෝහ­ල්ගත කර­න්නට කට­යුතු කළේ අස­ල්වැ­සි­යකු වූ පී. සංජීව ය. ‘සද්දේ ඇහිලා මම එන­කොට සෙල්වා අයි­යට හොඳ­ටම ගහ­නවා. මම ගිහින් පහර දෙන කෙනාව අල්ල­ගන්න ගියාම එයා මටත් ගහන්න ආවා. සෙල්වා අයියා බිම වැටු­ණට පස්සේ එයා අපි­ටත් බැණලා බල්ලා අරන් ගියා. මම 1990 කතා කරලා ඇම්බි­යු­ලන්ස් එක ගෙන්න ගෙන ඒකෙන් සෙල්වා අයි­යව ගලහ රෝහ­ලට අරන් ගියා. එත­නින් මහ­නු­ව­රට මාරු කළා. ගොඩක් ආමා­රු­වෙන් හිටපු එයා පහු­වදා මැරුණා‘

සෙල්ව­රා­සුගේ දිය­ණිය සත්‍ය­ප්‍රියා

මෙම පහ­ර­දී­මට සම්බන්ධ සැක­කරු ගලහ පොලී­සිය මගින් සිද්ධිය වූ දින­යේම අත්අ­ඩං­ගු­වට ගනු ලැබීය. තිදරු පියකු වන ඔහු 43 න් හැවි­රිදි වියේ පසු­වෙයි. කොන්ත්‍රා­ත්ක­රු­වකු වන සැක­කරු පොලී­සි­යට පවසා ඇත්තේ බලු පැටියා නොමැති වීම නිසා තම ළමුන් රැය පුරා නිදි­ව­ර්ජි­තව අඬ­මින් සිටි බවයි. සෙල්ව­රාසු නැමැත්තා බලු පැටවා රැගෙන ගිය බවට තොර­තු­රක් ලැබුණ නිසා තමන් ඌ රැගෙන ඒමට උදෑ­ස­නම ඔහුගේ නිව­සට ගිය බවද ඔහු පවසා ඇත. මේ සිය­ල්ලට හේතුව වූ සුනඛ පැටවා සිදුවූ කිසි­වක් ගැන වගක් නොමැ­තිව වල්ගය වන­මින් සතු­ටින් සිටි­න්නේය. දරු­වන් පස් දෙනෙ­කුට පිය සෙනෙ­හස දැන් අහි­මිව තිබේ. ඌ ඉල්ලා පෙර­දින හඬා වැළ­පුණු දරුවෝ තිදෙ­නාගේ හැඬුම තවත් නතර වී නැත. ඒ බලු පැටවා පැමි­ණි­යත් පියා ගෙදර නොපැ­මිණි නිසාය.

සින්න­වේළු සෙල්ව­රා­සුගේ මර­ණය පිළි­බඳ පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය මහ­නු­වර ජාතික රෝහලේ විශේ­ෂඥ අධි­ක­රණ වෛද්‍ය නිල­ධාරී ශිව සුබ්‍ර­ම­නි­යම් විසින් සිදු­ක­රනු ලැබීය. මොට බල­යක් යෙදී­මෙන් බඩ­වැල් පිපි­රීම නිසා විෂ­බීජ රුධි­ර­යට එක්වී­මෙන් මර­ණය සිදුව තිබෙන බව ඒ මහතා වෛද්‍ය වාර්තාව මගින් දක්වා තිබණි.

සිද්ධිය සම්බ­න්ධ­යෙන් ගම්පොළ කොට්ඨා­ස­භාර පොලිස් අධි­කාරී ශ්‍රියන්ත පීරිස් හා සහ­කාර පොලිස් අධි­කාරී ඕ.පී අම­ර­බන්දු යන මහ­ත්ව­රුන්ගේ උප­දෙස් මත ගලහ පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක ලලිත් මහ­ගෙ­දර, අප­රාධ අංශ ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක රත්නා­යක, තල්වත්ත ස්ථානීය අප­රාධ අංශයේ පොලිස් පරී­ක්ෂක ප්‍රියන්ත බණ්ඩාර, උප පොලිස් පරී­ක්ෂක අබේ­රත්න,පොලිස් සැර­ය­න්ව­රුන් වන අල­හ­කෝන්(7393),රත්නා­යක (12642),කුමාර (161220) යන නිල­ධා­රීන් සිද්ධිය පිළි­බඳ පරී­ක්ෂණ පැවැ­ත්වූහ. සැක­කරු ගම්පොළ මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මෙන් පසු මෙම මස 21 දින දක්වා රක්ෂිත බන්ධ­නා­ගාර ගත­කර තිබේ.

ඡායා­රූප- ගම්පොළ සමූහ සහ ගලහ සමූහ

සෙල්වරාසුගේ දරු දෙදෙනා හා ඔවුන් විවාහ වී සිටින අය
සෙල්වරාසුගේ නිවස

 

Comments