මංතීරු නීතිය සාර්ථකද? අසාර්ථකද? | Page 2 | සිළුමිණ

මංතීරු නීතිය සාර්ථකද? අසාර්ථකද?

කොළඹ නගරයේ හා ආසන්න පිවිසුම් මාර්ගවල තදබදය අවම කිරීමේ අරමුණින් පොලිසිය විසින් බස් ප්‍රමුඛතා මංතීරු නීතිය යළිත් වරක් පසුගිය 14 වැනිදා සිට ආරම්භ කරන ලදී.

මේ මංතීරු නීතිය කඩකරන්නන් හට 21 වැනි සඳුදා සිට දඩය රුපියල් දෙදහසකි.

කොළඹ ප්‍රධාන මාර්ග හතරක් මුල් කරගනිමින් බස් ප්‍රමුඛතා මංතීරු නීතිය යළි ඇරැඹුණි. නොයෙක් පාර්ශ්වයන් මේ සම්බන්ධයෙන් විවිධ අදහස් දක්වන අතර ඇතැමුන්ගේ අදහස වන්නේ මේ ක්‍රමවේදය දිගටම අනුගමනය කිරීමෙන් මාර්ග තදබදයට විසදුම් ලැබෙන බවයි.

එහෙත් තවත් පිරිසත් මේ ක්‍රමවේදයට විරෝධය දක්වන අතර එමගින් අනවශ්‍ය මාර්ග තදබදයක් ඇතිවන බව ඔවුන්ගේ අදහසයි. කෙසේ නමුත් 16වැනිදායින් පසුව මංතීරු නීතිය කඩකරන රියැදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසා ඇත. දිනකට කොළඹ නගරයට ඇතුළුවන වාහන සංඛ්‍යාව ලක්ෂ පහකට අධික වන අතර රථවාහන තදබදය හේතුවෙන් මෙරටට වාර්ෂිකව රුපියල් බිලියන තුන්සියයක් අහිමි වන බවක්ද පැවසේ. කෙසේ වෙතත් මංතීරූ නීතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් විද්‍යාත්මක ආර්ථික පදනම්වල සිට ඒ සදහා නිසි රථවාහන කළමනාකරණයක් තිබිය යුතු බව විශේෂඥයන්ගේ මතයයි.

කොළඹ වැනි අධික ජනඝනත්වයකින් යුත් නගරයක 50%ක පිරිසක්වත් පොදු ප්‍රවාහනය පාවිච්චි කළ යුතු වන්නා සේම, වාහන ධාවනය නිසි කලමනාකරණයක් නොමැති වීමෙන් අනවශ්‍ය පෞද්ගලික වාහන සංඛ්‍යාවක් වාහන කොළඹට පැමිණීමෙන් මේ තදබදය ඇතිවන බව ප්‍රවාහන විද්වතුන්ගේ අදහසයි. මේ සඳහා විසඳුම වන්නේ දෛනිකව කොළඹ නගරයට ඇතුළුවන පෞද්ගලික වාහන සංඛ්‍යාව සීමා කිරීම හා පොදු ප්‍රවාහනය කාර්යක්ෂම කිරීම බවද එම විශේෂඥයන්ගේ අදහසයි. එමෙන්ම ගුණාත්මක භාවයෙන් යුත් දුම්රිය බස් රථ සේවාවක් ඇති කරමින් ජනතාවට කොළඹ නගරයට ඒමට සැලැසුම් සකස් කළයුතු බවද ඇතැමුන්ගේ අදහසයි.

මාර්ග නීති කෙතරම් තිබුණද තරගකාරීව ධාවනය කෙරෙන බස් රථවලින් මෙන්ම සෙසු වාහනවලින් සිදුවන අනතුරුද දිනෙන් දින ඉහළ යනු ඇති බවට මත පළ කෙරේ. රටක් ලෙස අපි ඉදිරියට යා යුතු සේම විනය ගරුක සමාජයක් බිහි කළ යුතුය. විනය මහා මාර්ගයේදී අනිවාර්යය වේ.

‘නැවත අරඹමු මහ මඟ විනය “ තේමාව යටතේ මංතීරු නීතිය නැවත ක්‍රියාත්මක කරමින් මහ මඟ විනය ආරක්ෂා කිරීමට සියලු පුරවැසියන් සහාය දිය යුතු සේම එය අද දවසේත් හෙට දවසේත් අපි කාගේත් යුතුකම සහ වගකීමද වන්නේය.

------------------------

තදබදය අවම කරන්න අත්හදා බැලීමක්

මේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමට තීරණය කරනු ලැබුවේ දැනට පවත්නා මාර්ග තදබදය අවම කිරීමටයි. මෙය යළිත් සිදු කරන අත්හදා බැලීමක්.

මම හිතනවා මෙය සාර්ථක වෙයි කියලා. කොළඹ හා තදාසන්න ප්‍රදේශවල බොහෝ කාලයක් තිස්සේ පැවැති මාර්ග තදබදයට පිළියමක් ලෙස මෙය දින කිහිපයක් පුරා අත් හදා බැලුවා.

විශේෂයෙන්ම මේ මංතීරු නීතිය ක්‍රියාත්මක වන්නේ කොළඹට පැමිණෙන ප්‍රධාන මාර්ග හතරක් හරහායි. ශ්‍රී ජයවර්ධන පුර මාවතේ කාසල් පාර, හෝර්ටන් පාර ආනන්ද කුමාරස්වාමි මාවත ලිබර්ටි වටරවුම දක්වා වූ මාර්ගයත්, බේස්ලයින් පාරේ කැලණි පාලම සිට බේස්ලයින් හන්දිය දක්වා මාර්ගයත්, හයිලෙවල් මාර්ගයේ අනුලා විද්‍යාලය, බේස්ලයින් හන්දිය තුංමුල්ල වටරවුම පුස්තකාල හන්දිය ආනන්ද කුමාරස්වාමි මාවත මල්පාර හන්දිය පිත්තල හන්දිය දක්වා වූ මාර්ගයත් ගාලුපාරේ විළියම් හන්දිය, (දෙහිවල) සිට ගාලු මුවදොර වටරවුම, ගාලු මැද පාර, එන්. එස් ඒ. වට රවුම දක්වා මාර්ග මූලික කරගනිමින් මෙම නීතිය ක්‍රියාත්මක වනවා.

කොළඹ නගරයට අඩුකාලයක් තුළදී වාහන ඇතුළු කිරීම මේ නීතිය හරහා සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. එමෙන් ම වැඩි මඟීන් ප්‍රමාණයක් කොළඹට පැමිණෙන කැලණි වැලිමාර්ගයට අපි කඩිනමින් නව කාර්යාල දුම්රියක් යෙදවීමටත් බලාපොරොත්තු වෙනවා.

-------------------

බස් මංතිරුවේ වෙනත් වාහන යන ක්‍රමයක් කොහේවත් නැහැ

මංතීරූ නීතිය සාර්ථකද අසාර්ථකද කියන කාරණාවට වඩා මේ අවස්ථාවේදී අපි විමසිය යුතු වන්නේ මේ රටට ගැලපෙන රථවාහන කළමනාකරණ ක්‍රමයක් තියෙනවාද? යන්න ගැනයි. දියුණු රටවල්වල නම් මේ වගේ කරුණු විද්‍යාත්මක ආර්ථික පදනම්වල සිටයි අත්හදා බැලීම් කරන්නේ. හොඳ නරක තීන්දු තීරණ කරන්නේ ඒ අනුවයි. එක දවසක බස් මංතීරුව හොඳයි කියනවා. පස්සෙ කියනවා ඒ මංතීරුවෙන්ම ත්‍රි රෝද රථ යතුරු පැදිත් යන්න ඕන කියලා.

අපේ රටේ ගැසට් කරන ලද නීති තියෙනවා. පොලිසිය නීතිය රකින ආයතනයක් ලෙස ඒ නීති අනුවයි කටයුතු කරන්නේ.

දියුණු රටවල මේ දේවල්වලට ඍජු වැඩපිළිවෙළක් තියනවා. ඒ ක්‍රම ක්‍රියාත්මක කරන්නේ පොලිසියෙන් නෙමෙයි. එම රටවල එවැනි සැලැසුම් ඇති වන්නේ සහ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන්නේ ප්‍රවාහන අමාත්‍යාංශයේ සංවර්ධනය සහ ප්‍රවාහනය ගැන විශේෂ දැනුමක් ඇති ආයතනවලින්.

කොළඹ වගේ අධික ජනඝනත්වයක් තියෙන නගරයක නිසි කලමනාකරණයක් නැති නිසා තමයි වැඩියෙන් පෞද්ගලික වාහන කොළඹට ඇවිත් මේ තදබදය ඇතිවෙන්නේ.

මේ ගැටලුවට විසදුම විය යුත්තේ පෞද්ගලික වාහන කොළඹට ඒම සීමා කරමින් පොදු ප්‍රවාහනය වැඩිකිරීමයි. පොදු ප්‍රවාහන ගුණාත්මකභාවය වැඩි කිරීමයි. දුම්රිය බස් රථවලින් ජනතාවට නගරයට ඒමට සැලැසුම් කිරීමයි.

මෝටර් රථ ප්‍රමුඛතා මංතීරුත් සමහරු ඉල්ලනවා. මම ලෝකේ කොහේවත් දැකලා නැහැ මෝටර් රථ ප්‍රමුඛතා මංතීරු තියෙන බවක්. ලෝකෙ හැම නගරයකම තදබදය තියෙනවා.

ඒ වෙනුවට ඒ අය විකල්ප සොයන්නේ වැඩි දෙනා යන පොදු වාහන තදබදය අවම කිරීමට ප්‍රමුඛතාවය දීමෙන්.

අඩු පිරිසක් යන වාහන වලට අඩු ප්‍රමුඛතාවය ලබා දීමයි මෙහිදී සිදු කරන්නේ. නමුත් අපේ රටේ සිදු කර ඇත්තේ මෝටර් රථවලට මංතීරු දෙකක් දීලා පොදු ප්‍රවාහනයට මං තීරු එකක් ලබා දීමයි. 60%ක පිරිසක් යන පොදු ප්‍රවාහන සේවය ක්‍රියාත්මක කරන බස් රථ මංතීරු එකකට දාලා. ඉතුරු මං තීරුදෙකම ලබා දී ඇත්තේ සියයට හතලිහක් යන ප්‍රවාහනයටයි.

මම දන්න විදිහට මේ ක්‍රමවේදය කිසිම ප්‍රවාහන සිද්ධාන්තයකට ගැලපෙන එකක් නොවෙයි. මෙය කවුරු නිර්මාණය කලාද කියලා මම දන්නේ නැහැ.

මෝටර්රථවල යන අය තමන්ගේ ගමන ඉක්මන් වූ නිසා මෙය සාර්ථකයි කියලා කියනවා ඇති. යම් ප්‍රවාහන මාධ්‍යයක් ඉක්මනින් යන්න පුළුවන් කියලා හිතුණොත් ජනතාව ඒ ප්‍රවාහන මාධ්‍යයට යොමු වෙනවා.

යතුරුපැදියේ සහ ත්‍රිරෝද රථයේ යන මඟියාත් මෝටර් රථයක් ගත්තොත් මොකද වෙන්නේ. ලංකාවේ මේ තත්ත්වය ඇති වුණා ම පොලිසිය ගන්න ක්‍රියාමාර්ගය කුමක්ද? සාර්ථකද අසාර්ථකද කියන කාරණාවට වඩා මෙතැන අපි තේරුම් ගත යුතු වන්නේ පොදු ක්‍රමවේදයක් අනුව පොදු ප්‍රවාහනය ශක්තිමත් කළ යුතු වීමයි. ප්‍රවාහන සිද්ධාන්ත සම්බන්ධ ආචාර්යවරුන් ලෙස මේ ක්‍රමවේදය අපේ සිද්ධාන්තවලට වෙනස්.

ලෝකයේ අනෙක් තැන්වල මේ දේවල් හොඳින් කළමනාකරණය කරද්දි අපි ඇයි වෙන දෙයක් කරන්නේ. කාගෙන් ද මේ අය උපදෙස් ගන්නේ. කාගේ දේවල් බලලාද මේවා කරන්නේ. ඒ ගැන අපිට නම් පිළිතුරු නැහැ. ලෝකයේ නගර දෙසිය ගණනක බස් ප්‍රමුඛතා මංතීරූ තියනවා.

මේ ක්‍රමයේ සාර්ථක අසාර්ථක භාවය අපිට ඉදිරියේදී දැක ගන්න පුළුවන් වෙයි.

හිතු හැටියේ එක දවසක් එක දෙයක් කරලා ඉන් පස්සේ ඒක පැත්තක දාලා වෙන දෙයක් කරන එක සාර්ථක රථවාහන කළමනාකරණයක් නොවෙයි.

---------------------

 ලංකාවට ගැළපෙන ක්‍රමයක් එනතුරු මේ ක්‍රමය හොඳයි

මෙය ලෝකයේ දියුණු රටවල තියෙන හොද ක්‍රියාමාර්ගයක්. ලංකාවෙත් මෙවැනි අත්හදා බැලීමක් කිරීම ගැන සතුටු වෙනවා අලුතින් යමක් පටන් ගත් විට ගැටලු ඇතිවිය හැකියි. ඒ දේවල් නිරාකරණය කරගනිමින් ඉදිරියට යෑමයි කළ යුතු වන්නේ. වාහන තදබදය මෙමගින් අඩුවෙනවා.

ඒ නිසා අපි හැමදාම එක තැන ඉන්නේ නැතුව එක් එක් අත්හදා බැලීම් කළ යුතුයි. මෙය අලුත් ක්‍රියාමාර්ගයක්.

රජයේ ඒ ක්‍රියාමාර්ගයත් එක්ක අපි ඉන්නවා. ලෝකයේ දියුණු රටවල නගරවලට ඇතුළු වීමට වෙනම මුදලක් පවා ගෙවිය යුතුයි.

ඒවගේම තනියම යනවට වඩා දෙන්නෙක් තුන්දෙනෙක් පෞද්ගලික වාහනයක යනවා නම් එහි දී වැය වන පිරිවැය අඩුවෙනවා.

ආරක්ෂාව වියදම දෙකම සලකා බලා මෙවැනි අත් හදාබැලීම් කළොත් ඉතා සාර්ථක වෙන්න පුළුවන්. ලංකාවේ තත්ත්වයට අනුව එක් එක් අත් හදාබැලීම් කරමින් සාර්ථක ක්‍රමය තෝරාගන්නවා හැර එය විවේචනය කිරීම සුදුසු නැහැ. අප කළ යුතු වන්නේ

ඉදිරියේදී වඩාත් සුදුසු ක්‍රමයක් පිළිබඳව අවධානය යොමු කිරීමයි.

අපි ධනාත්මකව සිතිය යුතුයි. හදිසි අනතුරුවලින් මිය යාම අවම කරගන්න පුළුවන් මේ ක්‍රමවේද හරහා.

ඒ වගේම ආසන බඳ පටි නීතිය තදින් ක්‍රියා කිරීමත් ඉතා වැදගත්.

දැනට තියන නීතියේ හැටියට තිය ආසන සදහා පමණයි ඒ නීතිය ක්‍රියාත්මක වන්නේ. නමුත් සියලු ආසන සදහා බඳ පටි නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. එය අනෙක් රටවල්වල පවතින නීතියක්.

----------------------------

නීතිය කැඩුවොත් දඬුවම් ලැබෙනවා

මංතීරු සම්බන්ධයෙන් යළිත් නියමු ව්‍යාපෘතියක් ආරම්භ කර තියෙනවා. එය සතියක් පුරා ක්‍රියාත්මක වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රට හදන සෞභාග්‍යයේ දැක්ම නම් වැඩ පිළිවෙළ යටතේ ගුණ ගරුක විනය ගරුක නීතිගරුක සමාජයක් බිහිකිරීම යටතේ මංතීරු නීතිය නියමු ව්‍යාපෘති ලෙස එය ක්‍රියාත්මක කළා.

එහි අඩුපාඩු සලකා බලා සාකච්ජා කරමින් 16වැනිදා යතුරු පැදි සහ ත්‍රීරෝද රථත් ඒ මාර්ගයේ වම් පස තීරුවේ ගමන් කිරීමට ඉඩ සැලැස්සුවා. ත්‍රීරෝද රථ සහ යතුරු පැදි මාර්ගයේ වම් පස සිට දකුණු පසට ගමන් කිරීමත් දකුණු පස සිට වම් පසට ගමන් කිරීමත් සමඟ මාර්ගයේ තදබදයක් ඇති වෙනවා. ඒ ගැන සලකා බලා මේ ක්‍රමවේදයේ විවිධ වෙනස්කම් ඇති කළා. මේ සම්බන්ධයෙන් මාර්ගය භාවිත කරන රියදුරන් පැදිකරුවන්ගෙන් හා ත්‍රිරෝද රථ රියදුරන්ගෙන් පොලිසිය ලෙස අපි ඉල්ලා සිටින්නේ නියම මංතීරුව භාවිත කරමින් අනතුරු අවම කර ගැනීමට වග බලා ගන්නා ලෙසයි. ඒ වගේම නියමිත වෙලාවට කළින් ඒ අයගේ අවශ්‍යතා ඉටු කර ගැනීමටත් මාර්ග ආරක්ෂාව තහවුරු කරගැනීමටත් කටයුතු කරන්න කියලා. පසුගිය මාස තුනක කාලයක් රටේ පැවැති කෝවිඩ් -19 හෙවත් කොරෝනා හේතුවෙන් මාර්ගය භාවිත කරන රියදුරු මහත්වරුන්ට නීතිය නැවත සිහිපත් කිරීමට ‘නැවත අරඹමු මහ මඟ විනය‘තේමාව යටතේ අපි කටයුතු ඇරැඹුවා. බස් ප්‍රමුඛතා මංතීරුව ක්‍රියාත්මක වන්නේ සලකුණු කර සංඥා නාම පුවරු සදහන් කළ මාර්ගවල පමණයි. එසේම එය පවතින්නෙත් උදෑසන 6.00 සිට 9.00 කාලය තුළ සහ සවස 4.00 සිට 7.00 දක්වාත් පමණයි.

මේ හරහා උදෑසන කොළඹින් පිටවන හා සවස කොළඹට පැමිණෙන වාහනවලට ගැටලුවක් නැහැ ඒ නිසා තදබදයක් ඇතිවෙන්නේ නැහැ. වාහන නියමාකාරයෙන් මංතීරු භාවිත නොකළහොත් ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරනවා.

විශේෂයෙන්ම මංතීරු නීතිය කඩකරන්නන්ට එරෙහිව ඉදිරියේදී සිසීටීවි මගින් නිරීක්ෂණය කරමින් නීතිය ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. 2015 වසරේ නොවැම්බර් 12 වැනිදා නිකුත් කරන ලද 1940/21 ගැසට් ගැසට් පත්‍රයේ සදහන් වන අයුරින් යතුරු පැදිකරුවන්ට සහ ත්‍රිරෝද රථ රියදුරන්ට තමන්ට රිසිසේ මාර්ගයේ එහා මෙහා යමින් වාහන ඉස්සර කිරීමට ඉඩ ප්‍රස්ථාවක් නොලැබෙන අතර එලෙස කටයුතු කරන්නන්ට එරෙහි ව නීතිය ක්‍රියාත්මක කරනවා. මේ සම්බන්ධයෙන් 1951 දරන මෝටර් වාහන පනතේ 148 වැනි වගන්තියේ පැහැදිලිව දැක්වෙනවා.

-----------------------

බස් මංතීරුව බස්වලට පමණක් විය යුතුයි

මේ කාර්යය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේදී ගැටලු ඇති වේවි. මං තීරු තුන තියන පාරකත් මං තීරු දෙකක් තියෙන පාරකත් එක ක්‍රමයක් තියෙන්නෙ. ඒකයි මේ තදබදය.

ගැසට් කරලා තියෙන්නේ මං තීරු තුනක් තියන පාරවල්වල පොදු ප්‍රවාහන සේවාව සංවර්ධනය කරනවා හැර අනිත් වාහනවලට ප්‍රමුඛතාවය දෙනවා නම් රටක් විදිහට ඉදිරියට එන්න බැහැ.

ත්‍රිරෝද, යතුරු පැදි බස්රථ එක් මංතීරුවකට ගෙන ඇති පියවර අසාර්ථකයි .

මෙම තීරණය ඉවත් කරගැනීමට පොලිසිය කටයුතු නොකළොත් සියලුම පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් කරගැනීමට ඉදිරියේදි පියවර ගන්න වෙනවා.

බස් රථ මංතීරූ ගැසට් කර තිබියදීත් එහි ත්‍රිරෝද රථ සහ යතුරුපැදි ගමන් කරවීම නීති විරෝධියි.

ඒ සම්බන්ධයෙන් නීතියෙන් පියවර ගන්න වෙනවා. මෙය ප්‍රායෝගික වැඩ පිළිවෙළක් නොවන්නේ ත්‍රිරෝද රථයේ උපරිම වේගය පැයට කිලෝමීටර් 40 වීමත් මඟීන් හැටක් හැත්තෑවක් ප්‍රමාණයක් ගෙනයන බස් රථයක් එය පිටුපසින් ධාවනය කිරීම ඉතාමත් අසිරු වීමයි.

මෙයින් අනතුරු බහුල විය හැකියි. ඒ නිසා බස් මංතීරුවට වෙනත් වාහන යොමු කිරීමට අප විරුද්ධයි.

--------------------------

බස් එක්ක ත්‍රිරෝද රථ - යතුරුපැදිත් ගිහින් අනතුරු වැඩිවේවි

මඟී බස්රථ ප්‍රමුඛතා කියලා මුලින් මෙය ආරම්භ කළේ. දැන් ත්‍රීරෝද රථ යතුරුපැදි සියල්ල ඒකට දාලා. දැන් අපිට යන්න බැහැ. හැමදාම දරුවන් පාසලට ගෙනිහින් බස්සන්න ප්‍රමාද වෙනවා. පෙර තිබුණ ක්‍රමයට අනුව නම් පාසල් බස්රථ මඟී ප්‍රවාහන බස් රථ පමණක් තිබුණා නම් මේ මංතීරු ක්‍රමය සාර්ථකයි.

දැන් මේ ත්‍රිරෝද රථත් වම් තීරුවට දාලා ප්‍රමුඛතා මංතීරුවට ඇතුළත් කළාම ඒ අයට යන්නත් බැහැ.

අපිට යන්නත් බැහැ. අනික් කාරණාව හදිසි අනතුරු බහුල වෙන්න පුළුවන්. දැනටත් අපි පෞද්ගලික බස් රථ සමඟ යන්නෙත් හුගාක් අමාරුවෙන් අපි ඉතා ප්‍රවේශමෙන් පරික්ෂාකාරීව කළ යුතු කාර්යයක් කරන්නේ. අපි සමඟ යන්නේ දරුවො.

ආරම්භයේදී තිබුණු ක්‍රමය ඉතා හොඳයි. කලින් ගියා වගේ ගියා නම් අපිට මේ ගැටලු නැහැ.

මෙය හරිම වදයක් ත්‍රිරෝද රථ එක්වරම නතර කරනවා. අපි කියන්නේ වමෙන් ගමන් කරන්න මඟී ප්‍රවාහන බස් රථ පමණක් යොදවන්න කියලා. මංතීරු දෙකක් තියන ප්‍රදේශවලත් මංතීරූ ක්‍රියාත්මක කරනවා. බස් නැවතුමේ බස් එක නවත්වනවා.

පසුපසින් පාසල් බස් රථත් යනවා. කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ ඒ කාලේ. දැන් මේ ගැටලුව නිසා අනවශ්‍ය වාහන තදබදයක් ඇති වෙලා.

ත්‍රිරෝද රථ යතුරු පැදි වැනි වාහන ලොකු වාහන අස්සේ යනකොට අනතුරු වගේම අවහිරතා වැඩියි. බස් මංතීරුව බස්වලට පමණක් විය යුතුමයි

-------------------

නීතිය අනුව ත්‍රිරෝද රථය වමෙන් පැදවිය යුතුයි

මංතීරු නීතිය හොදයි. ඒත් අපේ රටේ තියෙන ගැටලුව මංතීරූ ක්‍රියාත්මක කිරීමට තරම් පැහැදිලි මාර්ග සහ දුර සකස් වන ආකාරයක් නැති වීමයි. ඒ වගේම මාර්ගවල ප්‍රමාණයේ ගැටලු තියෙනවා. වමට - දකුණට හැරෙන පාරවල් තියන අවස්ථාවල අවහිර වෙනවා වැඩියි. අපේ රටේ මාර්ග පළලින් අඩු නිසා ප්‍රායෝගික ගැටලු රාශියක් තියෙනවා.

මෙවැනි නීති ක්‍රියාත්මක කිරිමේදී මහජනතාව මඟියන් සහ පාසල් දරුවන් අවහිරතාවට පත්වෙන්ට පුළුවන්. ඒ කෙසේ වෙතත් ක්‍රමවත්භාවය ඇති කිරීම ඉතා හොඳයි. . මින් පෙරත් මෙය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන අවස්ථාවලදී ඒ ගැන බලධාරීන්ට පැහැදිලි කළා. ත්‍රිරෝද රථ වමෙන් ගමන් කිරීමේ නීතිය යටතේ තියෙන නිසා ත්‍රිරෝද රථයට වමෙන් ගමන් කිරීමට ඉඩ ලැබිය යුතුයි. අනිවාර්යෙන්ම වම් පස තීරුවෙන් ගමන් කිරීමට ත්‍රිරෝද රථයට හැකි විය යුතුයි. ත්‍රිරෝද රථයෙන් මඟීන්ගේ අවශ්‍යතාවය ඉටු කරගැනීමට නම් එය වමෙන් ගමන් කළ යුතුයි. අපේ රටේ මංමාවත් විශාල ලෙස ඉදි කිරීමට ඉඩ පහසුකම් නැහැ. ත්‍රිරෝද රථ ගමන් කළා කියලා බස් රථයට අවහිරයක් වෙන්නේ නැහැ. නාගරික ප්‍රදේශවල රථයක් ධාවනය කළ හැකි උපරිම වේගයක් තියෙනවා. බස් රථ වුවත් පැයට කිලෝමීටර් 40කට වඩා වේගයෙන් ධාවනය කළ නොහැකියි. එය නීතියක්. ඒ නීතිය අනුව වේගය පාලනය කිරිමේදී ත්‍රිරෝද රථයක් ගමන් කිරීමේදී අවහිරතාවයක් ඇතිවෙන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් විරෝධතා මතු කරනවාට වඩා මාසයක් පමණ මේ තත්ත්වයෙන් ගමන් කිරීමට ඉඩ දීලා නිරීක්ෂණයකට ලක්කළ යුතුයි. එහිදි නීති සම්පාදනය කෙසේ වෙතත් ප්‍රායෝගික වශයෙන් මෙය ක්‍රියාත්මක කළ හැකි ආකාරයට ක්‍රියාත්මක කළ යුතු වෙනවා. මීටත් වඩා හොඳ ප්‍රායෝගික ක්‍රමවේදයන් අනුගමනය කරන්නේ නම් ඉතා වැදගත් බවයි මගේ ආකල්පය.

 

Comments