පාරට දියැවෙන සපතේරු ජීවිත | සිළුමිණ

පාරට දියැවෙන සපතේරු ජීවිත

ඒ. පියල්
ඒ. පියල්

දෙපා තියන ලොකු කුඩා කොයි කාගෙත් පා යුග සර­සන්නේ මිරි­වැඩි සඟ­ලින්. මිරි­වැඩි සඟල් නැති­නම් සපත්තු සෙරෙ­ප්පු­වල මුල් ඇර­ඹුම දුර අතී­ත­යට දිව­යයි. සෙරෙ­ප්පු­වල උපත ගැන 1719දි ඩැනි­යෙල් ඩෙෆෝ ලියූ රොබි­න්සන් කෲසෝ පොතේ සඳ­හන් වෙන්නෙ මෙහෙ­මයි.

“රොබි­න්සන් කෲසෝ ගිය නැව කුණා­ටු­ව­කට අහු­වෙලා සුන්න­ද්දූ­විලි වුණා. හැමෝම පර­ලොව ගියත්, රොබි­න්සන් කෲසෝ පාළු දූප­ත­කට සේන්දු වුණා. ආහාර සඳහා මරන ලද සතුන්ගේ හම්ව­ලින් තොප්පි­යක්, උඩ ඇඳුම්, යට ඇඳුම් හදා­ගත්තා. ලී දණ්ඩක සවි කරපු සම්කැ­බලි අව්වට වැස්සට සෙවණ දුන්නා. හම්ව­ලින් පතුල් දෙක ඔතලා ලණු­ව­ලින් ගැට­ග­හ­ගත්තා.රොබි­න්සන් කෲසෝ සපත්තු ලෙස පැලඳු‍වේ ඒවා තමයි. ඒ කාලේ රජ්ජු­රුවෝ පයට දැමූ සප­ත්තු­ව­ලට කීවෙ මිරි­වැඩි සඟල් කියලා. “කට්ට සපත්තු” කියලා ජාති­ය­කුත් ඒ කාලේ තිබුණා. අඟල් 1/2 ඝන­කම ලෑල්ලක් කකුලේ හැඩ­යට කපලා ඒක ඉස්ස­ර­හට කකුලේ ඇඟ­ලි­ව­ලට හරි­යන සමක් සවි­කළා. ලී කොටස රතු හෝ කොළ පාටින් පාට කළා. ඇවි­දි­න­කොට කට ­කට ශබ්ද­යක් ඇහෙන නිසා වෙන්නැති ඒවාට කට්ටා සපත්තු කීවෙ. පස්සෙ කාලෙක රබර් සෙරෙප්පු ආවා.”

පාදයේ ප්‍රමා­ණ­යට අනුව සපත්තු සාදවා ගැනී­මට පසු­කා­ලී­නව මිනි­සුන් පුරුදු විය. මුල්ම සපත්තු ලේස්පටි ගැට ගසන ඒවා වූ අතර පසුව ලේස් නොමැති පම්ස් සත්තු ප්‍රච­ලිත විය. සපත්තු අඩි වැඩි හරි­යක් ලෙදර් වලින් සැකසූ අතර ලෙදර් අඩි­ව­ලට පුංචි ලාඩම් කෑලිද තිබුණි. ඉන්පසු ජෝන් වයිට් නමින් ඉම්පෝ­ටඩ් (පිට­ර­ටින් ගෙන්වනු ලබන) සපත්තු මුල් තැන වැජ­ඹුණු අතර සපත්තු ජෝඩු­වක මිල රුපි­යල් 3.90 පමණ විය. සුදු හෝ දුඹුරු කැන්ව­ස්ව­ලින් මසා තිබුණි. කාල­යක් යද්දි රෙඩි­මේඩ් සපත්තු වැසි වැස්සේය.

යුද්ධ කාලෙදි ඉංග්‍රීසි හමු­දා­වට තොග ගණන් බූට්ස් නිෂ්පා­ද­නය කරන්න මුල්ම මැෂිම නිර්මා­ණය කළේ මාක් බෲනල් කියන සුදු ජාති­ක­යයි. මහා පරි­මාණ සපත්තු කර්මා­න්තය උපන්නේ යුද්ධෙ හින්දා වෙන්නැති. ලංකාවෙ සපත්තු මහන්න එහෙම නැත්නම් කැඩෙන සපත්තු අලු­ත්වැ­ඩියා කරන්න මහරු අත්පොත් තැබුවෙ කොළඹ මර­දානෙ තැබෑ­රුම් වත්තෙදි. ඒක සපත්තු කලාවෙ වැදුං ගේ වගෙයි. රෙපෙ­යාර් කරපු අප්පු­හා­මිලා තුන්දෙ­නෙක් ඒ යුගයේ මර­දානෙ මරි­ය­කඩේ තැබෑ­රුම් වත්තෙ හිටි අතර තැබෑ­රුම් වත්තේ සපත්තු කර්මාන්තෙ කළ අයෙක් මේ වන­විට විශාල සපත්තු කර්මා­න්ත­යක හිමි­ක­රු­වෙකි. තැබෑ­රුම් වත්ත ඇතුළේ පූජ්‍ය ලුණු­ග­ම්වෙ­හෙර විම­ලා­නන්ද හිමි­යන් හැදූ පන්සල නිසා අද එම ප්‍රදේ­ශය පන්සල් වත්ත නමින් හැඳින්වේ.

සපත්තු අලුත්වැඩියාකරන සාස්තරේ ද්‍රවිඩ ජාති­ක­යින්ද ඉගෙ­න­ගත් අතර ඉන් ඉහළ ආදා­යම් ලබ­මින් ශාස්ත්‍රය ගුරු මුෂ්ටි නොමැ­තිව දරු මුනු­පු­ර­න්ටද ලබා­දුනි.

එදා පටන් සපත්තු, සෙරෙප්පු අලු­ත්වැ­ඩියා කරන අය ලංකාවෙ හැම ප්‍රදේ­ශ­ය­කම වගේම අග­නු­ව­රත් සිටින අතර මර­දාන ප්‍රදේ­ශයේ නම් සිටින්නේ අත­ළො­ස්සකි. කොටු­වේත් ඇත්තේ ටික දෙනෙකි.

ලේක්හ­වුස් ඉදි­රි­පිට නිවාස සංව­ර්ධන අධි­කා­රිය අසල පාව­හන් අලු­ත්වැ­ඩියා කරන කේ.එම්. ජය­සිරි පීරිස් (52) මහතා අවු­රුදු 35 පමණ පළ­පු­රු­ද්දක් ඇත්තෙකි. ඔහු මෙසේ හඬ අවදි කළේය.

“මම 1980 ගණ­න්වල ලේක්හ­වුස් එක ළඟ තමයි හිටියේ. කොටි කල­බ­ල­ව­ලින් පස්සෙ 2000 පොලි­සිය අපිව එත­නින් ඉවත් කළා. ඒ කාලේ සපත්තු ජෝඩු­වක් රු. 500 - 100 වෙනවා. වට රවු­මක් මහන්න රු. 30 - 40 ගත්තා. දැන් රු. 200 - 500 දක්වා ගන්නවා. ඉස්සර මේ හරි­යෙම සපත්තු මහන අය 9 - 10 විතර හිටියා. දෙමළ අයත් හිටියා. සම­හරු වය­සට ගිහින්. සම­හරු මැරිලා. දැන් ඉන්නෙ මම විත­රයි. ඉස්සර දව­ස­කට 15 විතර එනවා සපත්තු මහ­ගන්න. දව­ස­කට රු. 300 සිට 500 දක්වා හොය­නවා. ඒත් දැන් එත­රම් හොය­නවා තියා අතේ සතේ නැති දව­සුත් තිය­නවා. සම­හරු සල්ලි නොදී මාරු­වෙ­නවා. වහින දව­ස්ව­ල­ටත් සල්ලි හොයා­ගන්න අමා­රුයි. සම­හර පොලි­සියේ හමු­දාවෙ අය ගිහින් එන්නම් පස්සේ දෙන්නම් කියලා වැඩ ක‍රගෙන සල්ලි නොදී මාරු­වෙ­නවා. සපත්තු මහන්න, අල­වන්න නූල්, ගම්, ඉඳි­කටු ගත්තාම ලාබය රු. 100 - 200 විතර වෙනවා. සතියේ දවස් 5ම උදේ 8.00 සවස 4.30 ඉන්නවා. ඉරිදා සෙන­සු­රාදා නිවාඩු. මම ඉගෙ­න­ගෙන තියෙන්නේ 5 වස­රට විත­රයි. දෙම­ට­ගොඩ පදිංචි. දුව පාසල් යනවා. පවුල මාස 6ට කලින් මැරුණා. මාත් ඉතිං මැරෙ­න­කම්ම මේ රස්සාව තමයි කරන්නේ.”

කොටුව කාගිල්ස්, හේමාස් ගොඩ­නැ­ඟිලි සමීපය අසල සපත්තු අලු­ත්වැ­ඩියා කරන ඒ විජය මහතා (60) ‍‍ෙම් ක්ෂේත්‍රයේ වසර 30 පමණ පළ­පු­රු­ද්දක් ඇත්තෙකි. මේ ඔහුගේ කතා­වයි.

“මම කලින් පියුං වැඩ කළේ. මගේ බිරි­ඳගේ මාමා කරපු රස්සාව තමයි මේක. මාමා අස­නීප වෙද්දි මම අත්උ­ද­ව්වට ආවා. මට ශාස්ත්‍රය ඉගැ­න්නුවා. දැන් මාමා නැහැ. මම කර­ගෙන යනවා. ඒ කාලේ සප­ත්තුවේ කැඩුණු කොටස මහන්න රු. 10යි. වටේම මහන්න රු. 50යි. දැන් වටේ මහන්න රු. 250යි. සප­ත්තු­වක් අලු­තින් රු. 150, 200 දැන් ගන්න පුළු­වන්.

කොටුව වයි.එම්.බී.ඒ. ගොඩ­නැ­ඟිල්ල අසල එස්. ප්‍රනාන්දු කුමාර (43) සපත්තු රස්සාව ගැන කීවෙ මෙවැ­න්නක්.

“මම ඉගෙන ගත්තේ 3 පන්ති­යට විත­රයි. 1970 ගණ­න්වල තාත්ත­ලට සල්ලි නැහැ අපිට උග­න්වන්න. ඒ නිසා සපත්තු හදන්න ඉගෙන ගත්තා. පදිං­චිය වත්තල. මම රු. 80 මුලින් සපත්තු මැහුවේ. දැන් දව­ස­කට රුපි­යල් 1000 විතර හොයන්න පුළු­වන්. සම­හර වැහි­දාට ශත 5ක් නැහැ. ඉන්න තැන­කුත් නැහැ. ළමයි තුන්දෙ­නාට උග­න්වන්න ඕනේ. අනික මම හාට් පේෂන්ට් කෙනෙක්. අපේ ළමයි අපිට වඩා ඉදි­රි­යට යන­වට කැම­තියි.”

ඊළ­ඟට අපි ගියේ කොටුව මල්වත්ත පාරට. අවු:39 පසු­වන මොහො­මඩ් රිෂා­න් ­ලොකු කුඩ­යක් යටට වෙලා සප­ත්තු­වක් මස­මින් සිටි­යේය. මේ ඔහුගේ හඬ.

“මගේ ගම මාබෝල. අවු: 16ක් මේ රස්සාව කර­නවා. 9 පන්ති­යට යන­කම් ඉගෙන ගත්තත් මට ලියන්න කියන්න දන්නෙ නැහැ. මල්වත්ත පාරේ රස්සා­ව­කට ඇවිත් සපත්තු, මහන්න ඉගෙ­න­ගත්තා. ලොකු ආදා­ය­මක් නැතත් දෙවියෝ අපිව බඩ­ගින්නෙ නම් තිබ්බෙ නැහැ.”

වැඩි­පු­රම සපත්තු අලු­ත්වැ­ඩියා කරන පිරි­සක් ඉන්නේ මල්වත්ත පාරේය.

අපි සපත්තු මහන හා අලුත්වැඩියාකරන ඒ.පියල්ගේ අදහස් විමසුවෙමු.

“කලින් මම කඩ­යක වැඩ කළේ. සපත්තු මහන්න පුරුදු වුණා. ඒක ලාභයි කඩේ වැඩට වඩා. ඒ කාලේ සප­ත්තු­වක් මහන්න රු. 75, 100, 150 ගත්තා. දැන් රු. 250 - 300 සම­හරු සපත්තු තියලා යනවා පසුව ගෙනි­යන්න. මොර­ටුව, පාන­දුර පුරුදු කස්ට­ර්මස්ලා ගෙදර ගියාට පස්සේ එන්නේ සති දෙක තුන­කින්. මල්වත්ත පාරේ කෙළ­වර දක්වාම සපත්තු මහන අය 22 ඉන්නවා. වරායේ ගේට්ටුව දක්වාම. මෙතන සපත්තු කඩ තියන නිසා තමයි වැඩි පිරි­සක් ඉන්නේ. උදේ 8 1/2 ඇවිත් සවස 7.00 යනවා. මම නම් සෙන­සු­රාදා, ඉරිදා, පෝය­ටත් එනවා.

මල්වත්ත පා‍ෙර් මැලි­බන් වීදිය අසල 53 හැවි­රිදි ඒ.බී. නිම­ල්සිරි මහතා අවු. 40 විතර සිට සපත්තු අලු­ත්වැ­ඩියා කරයි.

“මම ඉගෙන ගත්තේ තාත්ත­ගෙන්. සප­ත්තුව රු. 100 - 150 මැහුවා. දැන් 250 - 350 වෙනවා. කොළඹ විත­රක් නෙමෙයි ඈතත් පුරුදු වූ කස්ට­මස්ලා එනවා. පෝය, සෙන­සු­රාදා, ඉරි­දත් එනවා. ළම­යිට විය­දම් ඉතු­රු­වක් නම් නෑ. කොටි කල­බල කාලේ හුඟාක් අය කඩ විකු­ණලා ගියා.”

බොරැල්ල එලි­යට් පෙදෙස කුඩ­යක් ඉහ­ළ­ගෙන සපත්තු මහන 53 හැවි­රිදි ආරු­මු­ගම් මෙසේ කීය. “මම කලින් හිටියේ බොරැල්ලේ මැද බෝධිය බලා­ග­නි­මින්. බොරැල්ලේ අතුල හාමු­දු­රු­වන්ට බෝධිය භාර­දීලා 2005 මෙත­නට ආවා. උදේ 9.00 සිට හවස 6.30 ඉන්නවා. ප්‍රේම­දාස ආණ්ඩු කා‍ලේ සප­ත්තු­වක් වටේ මහද්දි රු. 150යි. දැන් 300යි.”

කොළඹ නග­රයේ මෙන්ම තදා­සන්න ප්‍රදේ­ශ­ව­ලත් සප­තේ­රු­වන් ඇත්තේ අත­ළො­ස්සකි. දෙම­ට­ගොඩ නග­රයේ මට හමුවූ එකම සප­තේ­රුවා ඔහුය. ඩබ්.ඊ.ඒ. සරත් (53) සපත්තු, කුඩ, බෑග් අලු­ත්වැ­ඩියා කරන වසර 15 අත්දැ­කීම් ඇත්තෙකි.

“මම සපත්තු මහන්න පට­න්ගත්ත කාලේ තව කීප­දෙ­නෙක් හිටියා. දැන් මම විත­රයි ඉතුරු වුණේ. රු. 10 - 15 විත­රයි එත­කොට ගත්තේ. දැන් රු. 100 - 200. දව­ස­කට රු. 1000 - 1500 හොයන්න පුළු­වන්. බැඳලා ළම­යි­නුත් ඉන්නවා වුණාට දැන් මම තනි­යම ඉන්නේ. සෙන­සු­රාදා, ඉරි­දත් වැඩ. සත පහ අතේ ඉතු­රුත් නැහැ. මොනා කර­න්නද? මේක අපේ දෛවය. බෑග්, කුඩ මහ­නවා. මට ගුරෙක් නැහැ. තනි­යම ඉගෙ­න­ගත්තේ. පින් පඩි­යක් නෑ. රජ­යෙන් ලුණු ඇට­යක්, ඇල් වතු­ර­වත් ඉල්ලලා නෑ. මගේ මහ­න්සි­යෙන් ජීවිතේ ගැට­ග­හ­ග­න්නවා. මාර ජීවි­ත­යක් මේක.”

කොත­රම් කාල­යක් සප­තේරු රස්සාව කළද කොත­රම් මුදල් ඉප­යු­වද ඔවුන් තාමත් වැස්සට තෙමෙයි. අව්වට වේළෙයි. ජීවිතේ එකම තැන. කිමද මේ අරු­මය?

සේයාරූ - සරත් පීරිස්

 

Comments