ජීවිත ඉනිම අව­සන් කළ ටෝනි ඕපාත | සිළුමිණ

ජීවිත ඉනිම අව­සන් කළ ටෝනි ඕපාත

1975 ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායම
1975 ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායම

1975 වසරේ එංග­ල­න්තයේ පැවැති පළ­මු­වැනි ලෝක කුස­ලාන ක්‍රිකට් තර­ඟා­ව­ලිය නියෝ­ජ­නය කිරී­මට වාස­නාව ලැබූ ඇන්ටනී රැල්ෆ් මැරි­නන් ඕපාත , හිටපු ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩ­කයා පසු­ගි­යදා සිය දිවි සැරි­යෙන් සද­හ­ටම සමු­ගත්තේ ක්‍රිඩා ලෝලීන්ගේ නෙතට කඳු­ළක් එක් කර­මිනි. 1947 අගෝස්තු 5 වැනි දින­කට කොළ­ඹදි මෙලොව එළිය දුටු ටෝනි ඕපාත දකු­ණ­තින් මඳ වේග පන්දු යව­න්නකු වශ­යෙන් ක්‍රිකට් ලෝලීන් අතර ජන­ප්‍රිය වූ අතර මෙරට වෙනු­වෙන් එක්දින ජාත්‍ය­න්තර වරම් හිමි­ක­ර­ගත් 6 වැනි ක්‍රීඩ­කයා වශ­යෙන් ක්‍රිකට් ඉති­හාස කතා­වට එක්ව­න්නේය.

ටෝනිගේ දිවි ගමනේ අම­ර­ණීය මතක සට­හන් අත­රට එක්වන්නේ 1975 වසරේ එංග­ල­න්තයේ පැවැති පළ­මු­වැනි ලෝක කුස­ලාන ක්‍රිකට් තර­ඟා­ව­ලි­යයි. එක්දින ලෝක කුස­ලාන තර­ඟා­ව­ලි­යක් පළ­මු­වෙන්ම පැවැති ඒ වසරේ ශ්‍රී ලංකා කණ්ඩා­යම නියෝ­ජ­නය කර­මින් ශ්‍රී ලංකාව වෙනු­වෙන් ජාත්‍ය­න්තර එක්දින ක්‍රිකට් පිටියේ පළමු පන්දුව යැවී­මට වරම් දිනා ගත්තේ ටෝනි ය. එම තර­ඟා­ව­ලියේ පකි­ස්තා­නය සමඟ පැවැති තර­ඟ­යේදි පන්දු­වාර 12 ක් යවා ලකුණු 67 කට කඩුලු 2 ක් දවා ගනි­මින් ටෝනි ක්‍රිකට් පිටි­යේදි එදා දැක්වු හප­න්කම් මෙරට ක්‍රිකට් ලෝලීන්ගේ නොමැ­කෙන සමරු සට­හන්ය.

ටෝනි ඕපාත

කොළඹ ශාන්ත පීතර විදු­හ­ලින් අධ්‍යා­ප­න­යට පිවිසි ටෝනි පාසල් අධ්‍යා­ප­න­යට අම­ත­රව ක්‍රිකට් පිටි­යට පිවි­සි­යේද කොළඹ ශාන්ත පීතර විදු­හ­ලෙන් ලැබූ පන්න­ර­යෙනි. 1970 වසර වලදි මෙරට දක්ෂ­තම පන්දු යවන්නා වූ ටෝනිගේ ක්‍රිකට් ජිවි­තයේ තවත් අම­ර­ණීය සන්ධි­ස්ථා­න­යක් වූයේ 1982 වස­රේදි දකුණු අප්‍රිකා සංචා­රයේ ප්‍රධා­නියා ලෙස කට­යුතු කිරී­මට ඔහුට හැකි වීමය. 1960- 1970 දශක අග භාග­යේදි ශාන්ත පීතර විදු­හල නියෝ­ජ­නය කර­මින් ඇන්තනි රැල්ෆ් තර­ඟ­යේදි සිය ක්‍රිකට් දිවියේ නොමැ­කෙන මතක සට­හන් සනි­ටු­හන් කර­න්නට ටෝනිට හැකි විය. 1974 දී පී සාරා ක්‍රීඩාං­ග­න­යේදි පැවැති නිල නොවන ටෙස්ට් තර­ඟා­ව­ලි­යේදි ක්ලයිව් ලොයිඩ් ගේ නාය­ක­ත්ව­යෙන් යුත් බට­හිර ඉන්දීය කොදෙව් පිලට එරෙ­හිව ඔහු දැක්වූ හප­න්කම් එදා ක්‍රිකට් ලෝලීන්ගේ නොමඳ පැසු­මට හේතු­විය.

ටෝනිගේ පසු­ගි­යදා සිය දිවි­යෙන් සමු­ගත්තේ වයස අවු­රුදු 73 දීය. ක්‍රිකට් ලෝලීන් පම­ණක් නොව ක්‍රිකට් විචා­ර­ක­යන්ද අද ඔහුගේ වියෝ­වින් දුක් වන්නේය. ටෙස්ට් ක්‍රිකට් නායක මයි­කල් තිසේ­රාද ටෝනිගේ වියෝ­වින් කම්පා වන එක් අයෙකි. “ මගේ වෘත්තිය ජීවි­තයේ අව­සාන කාලය දක්වාම අපි ක්‍රිකට් කළා. අපි බට­හිර ඉන්දීය කොදෙ­ව්වන්ට එරෙ­හිව කොළ­ඹ­දීත්, 1975 දී එංග­ල­න්ත­යේදී පැවති ආර­ම්භක ලෝක කුස­ලාන තර­ගා­ව­ලි­ය­ටත් ක්‍රීඩා කළා. වේග පන්දු යව­න්නන් අතර ඔහු ඉදි­රි­යෙන් සිටියා. ඔහු හැම විටම ආද­ර්ශ­යක් ගෙන දුන්නා...“මයි­කල් තිසේරා පව­ස­න්නේය.

ලෝක කුස­ලාන තර­ඟ­ය­කදී ශ්‍රී ලංකාවේ ප්‍රථම ජය­ග්‍ර­හ­ණය සඳහා ටෝනි ඔපාත ද ඩී. එස්. ද සිල්වා සමඟ තීර­ණා­ත්මක කාර්ය­භා­ර­යක් ඉටු කළේය. එය 1979 දී ඕල්ඩ් ට්‍රැෆ­ර්ඩ්හිදී ඉන්දි­යා­වට එරෙ­හිව ය. එහිදි ටෝනි ඕපා­තගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ප්‍රබල ඉන්දි­යා­නු­වන්ට සිදු වූයේ ශ්‍රී ලංකාව හමුවේ දණ නැවී­ම­ටය. ඒ තර­ඟ­යේදි පන්දු­වාර 60 ක් ඇතු­ළත කඩුලු 5 කට ලකුණු 238 ක් ලබා ගත් ශ්‍රි ලංකාව, ටෝනිගේ මෙන්ම අනි­කුත් ලාංකික පන්දු යව­න්නන්ගේ පන්දු යැවීම නිසා ඉන්දි­යානු ඉනිම ලකුණු 191 කට සීමා කර­න්නට හැකි විය. එහිදි විශිෂ්ට පන්දු යැවී­මක නිරත වු ටෝනි පන්දු වාර 10 යි එක් පන්දු­වක් යවා ලකුණු 31 කට ඉන්දීය ඉනිමේ කඩුලු 3 ක් බිඳ දැමුවේ ටෝනිගේ දිවියේ නොමැ­කෙන පන්දු යැවී­මක් සනි­ටු­හන් කර­මිනි.

මේ සිදු­වීම ජාත්‍ය­න්තර ක්‍රිකට් ලෝලීන්ගේ අව­ධා­නය යොමු කර­න්නට හේතු වු අත­රම මේ හේතු­වෙන් වසර 2 කට පසු ශ්‍රී ලංකා­වට ටෙස්ට් වරම ද හිමි විය. එම තර­ඟා­ව­ලි­යෙන් අන­තු­රුව ටෝනි අය­ර්ලන්ත ක්‍රිඩා සමා­ජය නියෝ­ජ­නය කර­මින් සිටින අත­ර­තුර ඕලන්ද කණ්ඩා­යමේ පුහුණු කරු­වකු ලෙස සේවය කිරී­ම­ටද අව­ස්ථාව හිමි­වීම සුවි­ශේ­ෂිය.

1975 ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායම

ටෝනිගේ ක්‍රිකට් දිවියේ තවත් නොමැ­කෙන සමරු සට­හ­නක් වන්නේ ඔවුන් ප්‍රථම වරට දකුණු අප්‍රි­කාව සමඟ තරඟ වැදී­මය. මේ වන විට දකුණු අප්‍රි­කාවේ පැවැති කළු සුදු වර්ණ භේද­වාදි අද­හස් නිසා කිසිදු ක්‍රිකට් කණ්ඩා­ය­මත් ඔවුන් සමඟ තරඟ කර­න්නට කැමැති වූයේ නැත. 1982 ජූලි මාස­යේදී දකුණු අප්‍රි­කානු ක්‍රිකට් සංග­මයේ ප්‍රධාන විධා­යක හා සභා­පති අලි බචර් සහ ජෙෆ් ඩකින්ස් විසින් ඒ වන විට ඉල්ලී­මක් කළේ, යම් ක්‍රිකට් කණ්ඩා­ය­මක් තම රටට ක්‍රිකට් ක්‍රීඩාව සඳහා පැමි­ණෙන්නේ නම් ඒ සඳහා එක් ක්‍රීඩ­ක­ය­කුට ඩොලර් 30,000 ක් බැගින් ගෙවන බවයි. ඇත්තෙන්ම මෙය විශාල මුද­ලකි. මෙහිදි දකුණු අප්‍රි­කා­වට ඔවුන්ගේ ප්‍රති­වා­දියා ගේ ගුණා­ත්මක බව පිළි­බඳ ප්‍රශ්න­යක් මතු­වූයේ නැත. මෙහිදි ඔවුන්ට අවශ්‍ය වූයේ අවි­හිං­සා­වාදී කණ්ඩා­ය­මක් සංචා­රය කිරීම සහ අප්‍රි­කානු ක්‍රිකට් ක්‍රීඩා­වට නීත්‍යා­නු­කූල භාවය ගෙන ඒමයි. මේ වන විට අපේ ක්‍රිකට් කණ්ඩා­යම ටෙස්ට් තර­ඟ­ව­ලට පිවි­සියා පමණි. වැඩි ජන­ප්‍රි­ය­ත්ව­යක් ද නොවීය. අලි සහ ඩකින්ස් ජූලි මාස­යේදී ඔපාත හමු­විය. සෑම ක්‍රිකට් ක්‍රීඩ­ක­ය­කු­ටම සංචා­රය සඳහා ස්ටර්ලින් පවුම් 25,000 ක වැටු­පක් ලබා දෙන බවට පොරොන්දු වී දකුණු අප්‍රි­කාව සමඟ තරඟ කර­න්නට ලංකාව පොරොන්දු කර ගත්තේය. මෙයින් එක් අය­කුට ලැබෙන මුදල ශ්‍රී ලංකාව වෙනු­වෙන් ක්‍රීඩා කළ මුළු කාලය තුළම කෙනෙක් උපයා නොගත් මුද­ලකි. දෙරට ගිවි­සුම් අත්සන් කළේය. බන්දුල වර්ණ­පුර, ඕපාත සමඟ ලලින් කළු­පෙ­රුම, අජිත් ඩී සිල්වා, මහේෂ ගුණ­ති­ලක සහ අනුර රණ­සිංහ ඇතුළු පිරි­සක් මෙයට ඇතු­ළත් විය. මේ සියල්ල ඕපාත විසින් සංවි­ධා­නය කළේය. මේ නිසා AROSA Sri Lanka ( After Opatha and South Africa)නමින් ඒ අව­ස්ථාව පට බැදුණි. දකුණු අප්‍රි­කාව සමඟ සටන් කළ මුල්ම රට ලෙස ලංකාවේ ක්‍රිකට් ඉති­හා­සය වෙනස් කිරී­මෙට මේ සිදු­වීම තීර­ණා­ත්මක සාධ­ක­යක් විය.

මේ නිසා සිය දිවියේ යම් අවා­ස­නා­වන්ත සිදු­වි­මක් සනි­ටු­හන් කර­මින් 1982 වසරේ කැලි­කාර දකුණු අප්‍රි­කානු සංචා­ර­යක නිරත වීම හේතු­වෙන් දකුණු අප්‍රි­කා­වට ගිය ටෝනි ඕපාත ඇතුළු සියලු ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩ­ක­යන්ට වසර 25ක තරඟ තහ­න­ම­කට ලක්වී­ම­ටද සිදු­විය. පසුව ඒ තහ­නම වසර 9කදි ඉවත් කෙරිණි. කෙසේ වෙතත් මේ සිදු­වීම කළු සුදු භේද­යට ක්‍රීකට් ක්‍රිඩාව අදාළ නැති බවට ලෝක­යට ම සුබා­රං­චි­යක් ගෙන දුන්නේය. ඉන් අන­තු­රුව ටෝනි ඕස්ට්‍රේ­ලි­යාවේ මෙල්බර්න් හිදි පුහුණු පාඨ­මා­ලා­වක් හැදැ­රිය ටෝනි ගැන බොහෝ දෙනෙ­කුට වර්ණනා කිරි­මට බොහෝ දේ ඇත. ශ්‍රි ලංකාව අන්තර් ජාතික ක්‍රිකට් කවු­න්ස­ලයේ පූර්ණ සාමා­ජි­ක­යකු වීමට පෙර ක්‍රිකට් ක්‍රීඩා­වට සුවි­ශාල දාය­ක­ත්ව­යක් දැක්වූ 49 දෙනො­ගෙන් එක් අයකු වන්නේ ද ටෝනි ඕපාත ය. ඔහු සිය ක්ෂේත්‍ර­යේදි උදවු නොකළ කෙනෙක් නැත; අත් නුදුන් කෙනෙක් නැත. එදා අද මෙන් ක්‍රිකට් ලෝකයේ බොහෝ දෙනෙක් නොසි­ටි­යද සිටිය සියලු දෙනා සිටියේ එක පවු­ලක පිරි­සක් සේය. එදා ටෝනි මේ සිය­ල්ල­න්ටම ශක්ති­යක් විය. අද මෙන් ක්‍රිකට් තරඟ නොති­බුණ එදා ටෝනි ඇතුළු ක්‍රිඩ­ක­යන්ට ලැබුණු සිමිත තරඟ වලින් උප­රිම ප්‍රයෝ­ජන ගත් අතර සිය ‍උපරිම හැකියා පෙන්න­න්නට ඔවුන්ට හැකි­විය. මේ නිසා­වෙන් අද බොහෝ දෙනෙ­කුට ටෝනි නැති අඩුව හොඳින්ම දැනෙ­න්නේය.

Comments