ගමක් වනසන නරි රජදහනක් | සිළුමිණ

ගමක් වනසන නරි රජදහනක්

නරින් ෙගන් ගම අාරක්ෂා කරන ගම්මුන් පිරිසක්
නරින් ෙගන් ගම අාරක්ෂා කරන ගම්මුන් පිරිසක්

යි­ගම් කෝර­ල­යට සේන්දු වූ අප දොඹ­ගොඩ හමුදා කඳ­වුර අස­ලින් වැටී ඇති ගුරු­පාර දිගේ නිව්චැ­ට­ල්ව­ත්තට යන විට මොන­රුන්ගේ කේකා­රා­වය ඇසුණේ විලා­ප­යක විලා­ස­යෙනි. රබර් වතු මැද පව­තින මඳ අඳුර කියා­පාන්නේ දැඩි මූසල ස්වාභා­ව­යකි. එහෙත් එම මූසල නිහ­ඬ­තාව බිඳ දම­මින් නිව්චැ­ට­ල්වත්තේ මිනි­සුන් යුහු­සු­ළුව තම ගව­යන් ගස්වල කෙටි කර බැඳ දමා පෙර­මඟ බලා සිටියේ පශු වෛද්‍ය­ව­රුන්ගේ පැමි­ණීමේ අපේ­ක්ෂා­වෙනි. එළු පැට­වුන් වඩා ගත් කුඩා දරු­වන් අප ගමන් කළ වාහ­නය සමී­ප­යට දිව ආවේ පශු වෛද්‍ය­ව­රුන්ගේ වාහ­නය යැයි වර­දවා වටහා ගනි­මින් විය යුතුය.

නිව්චැ­ට­ල්වත්තේ වැසි­යන් ඔවුන්ගේ ගව­යන්ට, එළු­වන්ට ජල­භී­තිකා එන්නත් ලබා දීම සඳහා පශු වෛද්‍ය­ව­රුන් පැමි­ණෙන තෙක් බලා සිටියේ නිව්චැ­ට­ල්ව­ත්තට ජල­භී­තිකා රෝග ව්‍යාප්තියේ අව­දා­න­මක් තිබෙන නිසාය. මෙම අව­දා­න­මට ඔවුන් මුහුණ දී සිටින්නේ ජල­භී­තිකා ‍රෝගයට ගොදුරු වීමෙන් නිව්චැ­ට­ල්වත්තේ සහ මුව­ප­ට්ටි­ය­ගම පුද්ග­ල­යන් දෙදෙ­නකු මිය යෑමත් සම­ඟිනි. ජල­භී­ති­කාව හේතු­වෙන් මෙසේ මිය ගියේ මුවපට්ටිය ගමේ පදිංචි 57 හැවි­රිදි එන්. ආරි­ය­රත්න සහ නිව්චැ­ට­ල්වත්තේ 8 හැවි­රිදි කවිනි නෙත්සරා යන දෙදෙ­නාය.

ප්‍රථ­ම­යෙන් අප කවිනි නෙත්සරා දිය­ණි­යගේ නිව­සට යන විට දැරි­යගේ මවු­පි­යන් ජල­භී­තිකා එන්නත් ලබා ගැනීම සඳහා හොරණ රජයේ රෝහ­ලට ගොස් සිටි බැවින් මුව­ප­ට්ටිය ගමේ පිහිටි ආරි­ය­ර­ත්නගේ නිව­සට ගොඩ­වැ­දුණේ සුල­මුල දැන­ගැ­නීමේ අටි­යෙනි.

“ආරි­ය­රත්න කියන්නේ මගේ මහ­ත්ත­යාගේ අයියා. එයා උප­තින්ම මන්ද මාන­සික කෙනෙක්. ඒ නිසා එක තැනක ඉන්නේ නැහැ. හැම­තැ­නම ඇවි­දි­නවා. මේ අහල පහළ හැමෝ­ටම උදව් කර­නවා. රබර් වත්තට ගිහින් දර කඩලා ගෙනත් දෙනවා. පසු­ගිය ජූලි 28 වැනිදා දවල් බන්ට් එක ළඟදි නරි­යෙක් හපා කාලා තිබුණා. අයියා නරි­යාට ගහන්න ගලක් ගන්න නැමෙන විට ඌ මුහු­ණම හපා කාලා තිබුණා. අත් දෙකත් කකු­ලත් කාලා තිබුණ. අයියා ඉන්දු අක්ක­ලාගේ කඩ­යට දුව­ගෙන ගිහිල්ලා. එත­නින් කට්ටිය අයි­යාව ත්‍රීවි­ල­ර­යක දාගෙන ගල්පාත ඉස්පි­රි­තා­ලේට ගෙනි­හින් තිබුණා. ගල්පාත ඉස්පි­රි­තා­ලෙන් හොරණ ඉස්පි­රි­තා­ලේට යැව්වා. හොර­ණින් තුවා­ල­ව­ලට බේත් දාලා වාට්ටුවේ නව­ත්වා­ගෙන පිස්සු බලු රෝග­යට බෙහෙත් විදලා ඊට පසු­වදා ගෙදර එව්වා. බෙහෙත් විදින දවස් වග­යක් ලියලා දීලා තිබුණා. ඒ නිය­මිත දව­ස්ව­ලට ඉස්පි­රි­තා­ලෙට ගිහින් බේත් විද ගත්තා. අයියා හොඳට හිටියා. කිසිම ප්‍රශ්න­යක් තිබුණේ නැහැ. එක බෙහෙ­තයි විදින්න ඉතිරි වෙලා තිබුණේ. එහෙම තියෙද්දි තමයි අයියා නැති වුණේ.” යනු­වෙන් බී.එස්. සුරං­ගනි පැව­සු­වාය.

සුරං­ග­නිගේ සැමි­යාගේ සොයුරු ආරි­ය­රත්න හදි­සියේ රෝගා­තුර වී තිබෙන්නේ අගෝස්තු 16 වැනිදා රාත්‍රි­යේය. එනම් නරියා සපා කා දින 20ක් ගත වූ පසු­වය. 16 වැනිදා සවස ඔහු උගුර රිදෙන බව පවසා සුරං­ග­නි­ගෙන් සම­හන් පැකට් ඉල්ලා තිබේ. ඈ පස් පංගුව බීමට දුන්නේ එම අව­ස්ථාවේ නිවසේ සම­හන් නොතිබූ නිසාය. රාත්‍රි ආහාර ගැනී­මට නොහැකි බව පැවසූ ආරි­ය­රත්න උණු­සුම් ජලය ඉල්ලා ඇත්තේ උගුරේ වේද­නාව හේතු­වෙනි. එහෙත් 17 වැනිදා උදෑ­සන වන විට ආරි­ය­ර­ත්නට ජලය කිසි­වක් පානය කළ නොහැකි තත්ත්ව­යක් උද්ගත විය. පිට කොන්දේ හා උගුරේ වේද­නාව සමඟ උද­රය ද විශාල වී තිබේ. ඔහු විය­රු­වෙන් මෙන් කෑග­ස­න්න­ටත් දඟ­ල­න්න­ටත් වූ බැවින් 1990 අමතා ගිලන් රථ­යක් ගෙන්වා­ගෙන ඔහුව හොරණ රෝහ­ලට රැගෙන යෑමට කට­යුතු කර තිබිණි. ඔහු කොත­රම් දරුණු ආකා­ර­යට දැඟ­ලුවේ ද යත්, රෝහ­ලේදී ඔහුට එන්නත් විද තිබෙන්නේ පිරි­මින් පස්දෙ­නකු ඔහුව තදින් අල්ලා ගැනී­මෙන් පසු­වය. එහෙත් රෝහ­ලට රැගෙන ගොස් පැය 2කට පසුව ආරි­ය­රත්න මිය ගියේය. හදිසි මරණ පරී­ක්ෂක සහ මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂ­කගේ උප­දෙස් පරිදි අගෝස්තු 18 වැනිදා දහ­වල් 1.00ට මෘත­දේ­හය නිව­සට රැගෙන’විත් එදි­නම සවස 4.00ට අව­සන් කට­යුතු සිදු කරන ලදී. දේහය සීල් තබා තිබූ අතර නිවස ඇතු­ළ­තට නොගෙන තිබුණේ සෞඛ්‍යා­ර­ක්ෂිත උප­දෙ­ස්ව­ලට අනු­කූ­ල­වය. ජල­භී­ති­කාව වැල­ඳුණු නරි­යකු සපා කෑමෙන් ආරි­ය­ර­ත්නට ජල­භී­ති­කාව වැල­ඳෙ­න්නට ඇති බව වෛද්‍ය­ව­රුන්ගේ තීර­ණය විය.

ජල­භී­ති­කාව වැල­ඳුණු මෙම පිස්සු නරියා බිලි ගත්තේ ආරි­ය­ර­ත්නගේ ජීවි­තය පම­ණක් නොවේ. නිව්චැ­ට­ල්වත්තේ පදිංචි කවිනි නෙත්සරා දිය­ණි­යව ද බිලි ගෙන තිබුණි. මෙම සිඟිති දිය­ණිය මර­ණ­යට පත් වූයේ සැප්තැ­ම්බර් 09 වැනි­දාය. එනම් නරියා සපා කා මාස­ය­කුත් දින 12ක් ඉක්ම ගිය පසු­වය. නෙත්සරා දිය­ණි­යව නරි­යාගේ සපා­කෑ­මට ලක් වූයේ ඉන්දු අක්කාගේ නිවස අස­ලය. එහෙත් අප යන විට ඉන්දු ද ජල­භී­තිකා එන්නත් විද ගැනී­මට රෝහ­ලට ගොස් සිටියේ ඈ ආරි­ය­ර­ත්නගේ තුවාල පිරි­සිදු කර ලේ වහ­නය නැවැ­ත්වී­මට අයිස් තබා ප්‍රථ­මා­ධාර දී තිබූ නිසාය.

මෙම අත­ර­වා­ර­යේදී කවිනි නෙත්සරා දිය­ණි­යගේ මිත්ත­ණිය සහ මාමා මුණ­ගැසී කතා බහ කිරී­මට අපට හැකි විය. “අනේ, මට දුක මැරෙන්න ඉස්සෙල්ලා එන්න බැරි වුණා. මම එන­කොට දුව ඇස්දෙක පියා­ගෙන.” යනු­වෙන් පැවසූ මිත්ත­ණිය වන එස්. වල­රි­මදී මාතාව හඬා වැටෙද්දි මාමා වන ජීවන් සිය හඬ අවදි කළේ මෙලෙ­සිනි.

“නෙත්සරා දුව කියන්නේ මගේ අක්කාගේ දුව. අපේ ගම බුල­ත්සිං­හල. අක්කා බැඳලා ඉන්නේ නිව්චැ­ට­ල්වත්තේ. අම්මාත් අයි­යාත් මමත් දැන් මීග­මුව දංකො­ටුවෙ පදිංචි වෙලා ඉන්නේ. මම මේ වත්තේ අවු­රුදු 2ක් විතර හිටියා. ඒ නිසා දුව ළඟින්ම මම හිටියා. දුව මට හරි ආද­රෙයි. ඉස්පි­රි­තා­ලෙ­දිත් ජීවන් මාමාට එන්න කියන්න කියලා කිව්වාලු. සැප්තැ­ම්බර් 07 වැනිදා අක්කා මට කතා කරලා කිව්වා දුවට සනීප නැහැ කියලා. මම කිව්වා ඉක්ම­නට බේත් අරං දෙන්න කියලා. අක්කා කිව්වා සල්ලි නැහැ කියලා. ඒපාර මම කිව්වා එහේ තියෙන මගේ චේන් එක උගස් තියලා සල්ලි ගන්න කියලා. එදා සල්ලි හොයා­ගෙන දුවට පුද්ග­ලික තැන­කින් බේත් අරං දීලා තිබුණා. එත­නින් මුත්‍රා පරී­ක්ෂ­ණ­යක් කරලා කිසිම වැරැ­ද්දක් නැහැ කියලා තියෙ­නවා. මගේ තාත්තාත් එදා රෑ මෙහෙ ආවා. දුවව හොරණ ඉස්පි­රි­තා­ලේට ගෙනි­හින් මට එයාලා කතා කරලා කිව්වා. මම අම්මා­ටයි අයි­යා­ටයි පණි­වි­ඩය දීලා දංකො­ටුවෙ ඉඳලා ආවා ‍හොරණ ඉස්පි­රි­තා­ලෙට එන­කොට දවල් 1.15යි. මම දුවට කතා කළා. දුව මාව හඳුනා ගත්තේ නැහැ. සෙම පෙරා­ගෙන දැඟ­ලුවා. මම ඇවිත් විනාඩි 5කින් හරි­ය­ටම 1.20ට දුවගේ පණ ගියා. මගේ ඇස් ඉස්ස­රහ දුව නැති වුණ හැටි මට දරා­ගන්න බැහැ.” නෙත්සරා දිය­ණි­යගේ මාමා වන සී. ජීවන් පැව­සුවේ දැඩි වේද­නා­ව­කිනි.

දිවා කාලයේ වුවද මොන­රුන්ගේ කේකා­රා­ව­යත් නරි­යන්ගේ හූ හඬත් ඇසෙන නිව්චැ­ට­ල්ව­ත්තට වඳු­ර­න්ගෙන් ද හිඟ­යක් නැති බව අපට වැට­හුණේ නෙත්සරා දිය­ණි­යගේ මිදුලේ ඇඹ­රැල්ලා කඩ­මින් වහ­ල­යෙන් වහ­ල­යට පැන යන වඳුරු රංචුව නිසාය.

ආරි­ය­ර­ත්නගේ තුවාල පිස දමා රෝහ­ලට යැවූ ඉන්දු, ජල­භී­තිකා එන්නත විද­ගෙන නිව­සට පැමිණ සිටි බැවින් අප ඈ හමු වූයේ කවිනි නෙත්සරා දිය­ණිය පසු­පස නරියා ලුහු­බැඳ ගිය අයුරු ඈ දුටු බැවිනි.

“ආරි­ය­ර­ත්නව ත්‍රීවි­ල­ර­යෙන් ඉස්පි­රි­තා­ලෙට පිටත් කරලා අපි එළියෙ කතා කර කර හිටියා. ඒ වෙලාවේ අහල පහළ ගෙව­ල්වල ළමයි පා‍ෙර් සෙල්ලම් කර කර හිටියා. එක­පා­ර­ටම කොහෙන් ආවාද මන්දා නරි­යෙක් දුව­ගෙන ආවා. නෙත්සරා දුව එයාගේ මල්ලිව වඩා­ගෙන හිටියේ. ඒ නිසා දිව්වත් දුව­ගන්න බැරිව පාරේ වැටුණා. අපි නරි­යාව එළ­වන්න කෑගැ­හුවා. මම දැක්කෙ නෙත්සරා දුවයි එයාගේ මල්ලියි නරි­යයි එක පොදි­යක් වුණා විත­රයි. හපා කනවා දැක්කේ නැහැ. අපි කෑග­හද්දි බල්ලො බුරා­ගෙන ආවා. නරියා වේග­යෙන් දිව්වා. නෙත්සරා දුවගේ කකුල දණ­හි­සෙන් පහළ තුවාල වෙලා තිබුණා.” යනු­වෙන් ඉන්දු අක්කා යැයි කවු­රුත් අම­තන ඉන්ද්‍රාණි ගමගේ විස්තර කළාය.

මේ වන විට ජල­භී­තිකා එන්නත් ලබා­ගෙන නිව­සට පැමි­ණෙ­මින් සිටි නෙත්සරා දිය­ණි­යගේ මව සහ පියා අත­ර­ම­ගදී සම්බන්ධ කර ගැනී­මට අපට හැකි විය.

“දුව පාරේ වැටුණු වෙලාවේ මම කුස්සියේ උය­උයා හිටියේ. කෑග­හන සද්දෙට මම දුව­ගෙන ආවා. දුවගේ කකුල තුවාල වෙලා තිබුණා. දුව මට කිව්වා පාරේ වැටිලා තුවාල වුණේ, නරියා හැපුවෙ නැහැ කියලා. නරියා දුවගේ සායේ ගෑවුණ විත­රයි කියලා කිව්වා. දුව කිව්වා, අම්මෙ මම මල්ලිව යට කර­ගෙන බේරා ගත්තා කියලා. දුව මල්ලිව බේර ගත්තා. ඒත් අනේ මගේ දුවට බේරෙන්න බැරි වුණා.” කිය­මින් දිය­ණි­යගේ මව වන සී. විජ­ය­කු­මාරි පැව­සුවේ හැඬූ කඳු­ළිනි.

එදා (ජූලි 28) තුවාල ලැබූ කවිනි නෙත්සරා දිය­ණි­යව මව විසින් ගල්පාත රෝහ­ලට රැගෙන ගොස් තිබුණි. එහිදී දැරිය වෛද්‍ය­ව­ර­යාට පවසා ඇත්තේ නරියා සපා නොකෑ බවය. එහෙත් තුවා­ල­ව­ලට බෙහෙත් දැමී­මෙන් අන­තු­රුව ගිලන් රථ­යෙන් ඇයව හොරණ ‍රජයේ රෝහ­ලට යැවී­මට කට­යුතු කර තිබිණි. එම අව­ස්ථාවේ ගිලන් රථ­යෙන් යෑමට නොහැකි යැයි පව­ස­මින් කවිනි නෙත්සරා දිය­ණිය හඬා වැටුණු නිසා ඇයව හොරණ රෝහ­ලට මව විසින් ගෙන ගියේ ත්‍රීවි­ල­ර­යෙනි. හොරණ රෝහ­ලේදී ද දිය­ණිය වෛද්‍ය­ව­රුන්ට අව­ධා­ර­ණය කළේ නරියා ඇයව සපා නොකෑ බවය. සායේ වැදුණු බව පම­ණක් පවසා තිබේ. හොරණ රෝහලේ වෛද්‍ය­ව­රුන් තුවාල වේළෙ­න්නට ඖෂධ දීමෙන් පම­ණක් වෛද්‍ය ප්‍රති­කා­රය අව­සාන කර තිබෙන්නේ එබැ­විනි.

අගෝස්තු 17 වැනි දින නරියා සපා කෑ ආරි­ය­රත්න මිය ගිය ද කවිනි නෙත්සරා දිය­ණිය කෙරෙහි කිසි­වකු විශේෂ අව­ධා­න­යක් යොමු නොකළේ දිය­ණිය ඉතා නිරෝ­ගීව කෙළි­දෙ­ළෙන් කාලය ගත කළ නිසා බව ඇගේ මව වන විජය කුමාරි සඳ­හන් කළාය. කවිනි නෙත්සරා සිඟිති දිය­ණිය රෝගි වූයේ පසු­ගිය සැප්තැ­ම්බර් 07 වැනි­දාය. ඒ උණ සමඟ කොන්දේ කැක්කුම හට ගැනී­මෙනි. පුද්ග­ලික වෛද්‍ය මධ්‍ය­ස්ථා­න­ය­කින් බෙහෙත් රැගෙන දුන් විට උණ අඩු වුවද කොන්දේ කැක්කුම සහ උගුරේ වේද­නාව වැඩි වී තිබේ. ඉන්ප­සුව වතුර පානය කිරී­මට නොහැකි බවත් උගුර හිර­වන බවත් දිය­ණිය මවට පවසා ඇති අතර 09 වැනිදා දව­සට එළි­වන ජාමයේ ඇයව හොරණ රජයේ රෝහ­ලට රැගෙන ගියේ ඇගේ රෝගි තත්ත්වය උත්සන්න වූ නිසාය.

“ඉස්පි­රි­තා­ලෙට ගියාම දුවව 1 වැනි වාට්ටු­වට දැම්මා. දුව හුළං වදි­න­කොට භයේ හිටියේ. හුස්ම ගන්නත් අමාරු වුණා. වෛද්‍ය­වරු අපෙන් ඇහුවා දරු­වාව බල්ලෙක්, පූසෙක් හෝ නරි­යෙක් කෑවාද කියලා. මේ ලෙඩේට බෙහෙත් නැති බවත් දුවව බේරා ගැනී­මට අමාරු බවත් කිව්වා. දුවට බෙහෙත් ‍බොන්න බැරි වුණු නිසා බෙහෙ­තක් විද්දා. ඊට පස්සේ සෙම ගියා. ආයේ බෙහෙ­තක් විද්දා. ඒ පාර ලේ සමඟ වම­නය ගියා. දිග­ටම සෙම ගියා. දුව කෑග­හලා ඇඬුවා. උගුර ගැල­විලා යන්න තරම් රිදෙ­නවා කිව්වා. දුව දඟ­ලන්න වුණා. ඒ දිහෑ බලා­ගෙන ඉන්න බැරිව මම එළි­යට ආවා.” යනු­වෙන් අප සමඟ පැව­සුවේ දිය­ණි­යගේ පියා වන සමන් විජය කුමාර් ය.

අව­සා­න­යේදී සීල් තැබූ පෙට්ටි­ය­කින් නිව්චැ­ට­ල්ව­ත්තට රැගෙන ආ නෙත්සරා දිය­ණි­යගේ මෘත­දේ­හය පැය කීප­යක් ඇතු­ළත භූම­දාන කළේ ප්‍රාදේ­ශීය මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂ­කගේ උප­දෙස් පරි­දිය.

ආරි­ය­ර­ත්නව සපා කා, නෙත්සරා දිය­ණි­යගේ ඇ‍ඟේ හැපී දිව ගිය නරියා නිවෙස් තුළට ද රිංගා තිබේ. කුකු­ළකු ඩැහැ­ගෙන සපන අත­ර­වා­ර­යේදි ගාමිණි සිල්වා මුගු­ර­කින් පහර දී නරි­යාව මරා දමා ඇත. එහෙත් මෙම නරි­යාගේ හිස කපා වෛද්‍ය පර්යේ­ෂණ ආය­ත­න­යට රැගෙන ගොස් නැත.” අපි සෞඛ්‍ය වෛද්‍ය නිල­ධාරි කාර්යා­ල­යට කතා කළා. ඒ අය අපිට හිස කපා­ගෙන එන්න කිව්වා. ඊට පස්සෙ අපේ අත්වල නරි­යාගේ ලේ, විෂ­බීජ ගෑවෙ­න­වානේ. නිසි ක්‍රම­වේ­ද­ය­කට කපන්න අපි දන්නෙ නැහැනේ.” යනු­වෙන් ගම්මු පැව­සූහ. මරා දැමූ නරියා වළ දමා තිබෙන්නේ ඉන් අන­තු­රු­වය.

අප යන විට ගාමිණි සතු එළ­දෙන කටු­පොල් වගා කළ වතු­යා­යක කඹ 3ක් දමා බැඳ සිටියේ ඌ සැර­ප­රුෂ වී තණ­කොළ නොකන බව පව­ස­මිනි. ගම්වා­සින්ගේ අද­හස එළ­දෙ­නට ජල­භී­ති­කාව වැලඳී ඇති බවය. අප සිටි­ය­දීම කළු­තර දිස්ත්‍රි­ක්කයේ පශු විම­ර්ශන කාර්යා­ලයේ නිල­ධා­රිහු එළ­දෙන පරීක්ෂා කිරී­මට පැමි­ණි­යහ. ඊට අම­ත­රව ජාතික සත්ව නිෂ්පා­දන සෞඛ්‍ය දෙපා­ර්ත­මේ­න්තු­වෙන් පැමිණ ගව­යන් සහ මීග­ව­යන්ට ජල­භී­තිකා එන්නත් දීම අරඹා තිබිණි. මේ වන විට මෙම ප්‍රදේ­ශයේ සුන­ඛ­ය­න්ටත් පූස­න්ටත් ජල­භී­තිකා එන්නත් ලබා දී අව­සන් කර ඇත. ජල­භී­ති­කා­වට ගොදුරු වීමේ අව­දා­නම ඇති ගම්වැ­සියෝ හය­දෙ­නෙක් එන්නත් ලබා ගනිති.

“දැන් අපිට වත්තේ වැඩට යන්න භයයි. දරු­වන්ව ඉස්කෝලේ යවන්න භයයි. කැලෑ­වෙන් කොයි­වෙ­ලාවේ නරි මතු වෙන­වාද කියලා කියන්න බැහැ. වැසි­කි­ළි­යට යන්න වෙන්නේ පොලු මුගුරු අරං. ළඟදි දව­සක් හරක් බඳින්න ගිය ගෑනු කෙනෙ­කුව නරි­යෙක් කාලා තියෙ­නවා. අපේ ගෙවල් ශක්ති­මත් නැහැ. ඒ නිසා නරි­ය­කුට ගෙට පනින එක මහ දෙයක් නොවෙයි.” යනු­වෙන් සඳ­හන් කළේ නිව්චැ­ට­ල්වත්තේ පදිං­චි­ක­රු­වන්ය.

මේ වන විට මිල්ල­නිය සෞඛ්‍ය වෛද්‍ය නිල­ධාරි කාර්යා­ල­ය­ටත් මදු­රා­වල සෞඛ්‍ය වෛද්‍ය නිල­ධාරි කාර්යා­ල­ය­ටත් අයත් ප්‍රදේ­ශ­ව­ලින් ජල­භී­තිකා රෝග­යට ගොදුරු වූ ගව­යන් 4ක් වාර්තා වී තිබේ. ඒ, ගව­යන්ව නරි සපා­කෑ­මට භාජ­නය වීමෙනි. මේ අත­රින් මිය ගිය එක් නරි­ය­කුගේ හිසත් ගව­ය­කුගේ හිසත් වෛද්‍ය පර්යේ­ෂණ ආය­ත­න­යට යොමු කිරී­මෙන් අන­තු­රුව මෙම සතුන් ජල­භී­තිකා රෝග­යට ගොදුරු වී ඇති බවට වාර්තා වී ඇත.

“ජල­භී­ති­කා­වෙන් මිය ගිය අයගේ තොර­තුරු පරීක්ෂා කරන විට නරි කාලා රෝගය හැදුණා කියලා තහ­වුරු වෙන්නේ අඩු­වෙන්. ගිය අවු­රුද්දේ රත්න­පු­ර­යෙන් එක් මර­ණ­යක් වාර්තා වුණා. ගිය අවු­රුද්දේ ජල­භී­ති­කාව හේතු­වෙන් මිය ගිය 26න් 10 - 15 අතර ගණ­නක් ඉන්නවා රෝගය හැදුණු හේතුව දන්නේ නැති. සම­හ­ර­විට ඒ අයට නරි­යකු කාලා, එහෙම නැත්නම් නරි­යකු කාපු ගව­යන්ගෙන් රෝගය හැදුණා වෙන්න පුළු­වන්. ඒත් ඒ අයට නිශ්චි­තව කියන්න මතක නැහැ. එක්කෙ­නෙක් කියලා තිබුණ රෑ නිදා­ගෙන සිටින විට දුඹු­රු­පාට බල්ලෙක් වගේ සතෙක් කාලා දිව්වා කියලා. කොහොම වුණත් නරි­ය­න්ගෙන් ජල­භී­ති­කාව වැල­ඳීමේ අව­දා­න­මක් තිබෙ­නවා. ජල­භී­ති­කාව හැදිලා මිය යන ගව­යන් නම් සෑහෙන්න වාර්තා වෙනවා. කැලෑ­බද ප්‍රදේ­ශ­වල නිදැල්ලේ යන ගව­යන්ට ජල­භී­ති­කාව හැදෙන්න පුළු­වන්. ඒ මඟින් මිනි­සුන්ට හැදෙන්න පුළු­වන්.” යනු­වෙන් පැවසූ මහ­ජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය එල්.ඩී. කිත්සිරි, නරි­යන් වැනි කැලෑ සතුන් ජල­භී­තිකා රෝග­යට ගොදුරු වීම වළක්වා ගැනී­මට වන ජීවි දෙපා­ර්ත­මේ­න්තුව කඩි­න­මින් වැඩ­පි­ළි­වෙ­ළක් සකස් කළ යුතු බව පෙන්වා දුන්නේය.

ඡායා­රූප - සමන් ශ්‍රී වෙදගේ

Comments