උතුරේ බෞද්ධ නටබුන් යටපත් කොට ඉදිවූ වවුනිකුළම් හා වල්ලිපුරම් කෝවිල් | සිළුමිණ

උතුරේ බෞද්ධ නටබුන් යටපත් කොට ඉදිවූ වවුනිකුළම් හා වල්ලිපුරම් කෝවිල්

තුරු පළාතට අයත් දිස්ත්‍රික්ක අතරින් යාපනය හා මුලතිව් යනු බෞද්ධ වෙහෙර විහාරයන්හි නටබුන් විශාල වශයෙන් විසිර ඇති භූමියන්ය. ඒ අනුව වල්ලිපුරම් හි බෞද්ධ උරුමය පිහිටි භූමිය යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරන අතර මුලතිව් දිස්ත්‍රික්කයට වවුනිකුළම් සිවපුරම් ශ්‍රී මලේ කෝවිල් බිමෙහි පිහිටි නටබුන් අයත් වේ.

මුලතිව් දිස්ත්‍රික්කය උතුරු පළාතේ ඊසාන දිගින් පිහිටි වර්ග කිලෝමීටර් 2617 ක වියළි කලාපයට අයත් භූමි ප්‍රමාණයෙන් යුක්තය. මෙහි සිවිල් පරිපාලනය මාන්තායි, තුණුක්කායි, ඔඩ්ඩුසුඩාන්,වැලිඔය, පුදුකුඩුරිප්පු හා මුහුදුබඩපත්තුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හයක් යටතේ ග්‍රාම නිලධාරී වසම් 136 කට බෙදා සිදු කරනු ලබයි. 1979 වසර තෙක්ම මුලතිව් හා වව්නියාව දිස්ත්‍රික්ක වන්නි දිස්ත්‍රික්කයට අයත්ව පැවති අතර 1979 දි මුලතිව් නමින් අලුතින් දිස්ත්‍රික්කයක් පිහිටවනු ලැබීය. අතීතයේ දී පැරණි ලාංකීය පරිපාලනයේ පළාත් හා මායිම් බෙදීමට අනුව මුලතිව් හෙවත් මුල්ලේදූව නමින් හැඳින් වූ මෙම පෙදෙස රජරටට අයත්විය. ජනප්‍රවාදයට අනුව මූලදීප යනුවෙන් අතීතයේ දී හඳුන්වා ඇති අතර මුලතිව් යන්න ඉන් බිඳී ආ නාමය යැයි විශ්වාස කෙරේ.

ආචාර්ය ශිරාන් දැරණියගලයන්ගෙ පර්යේෂණ අනුව තහවුරු වූයේ මුලතිව් දිස්ත්‍රික්කය ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් සාධක බහුලව ඇති ප්‍රදේශයක් බවය. එනම් ප්‍රාග් ඓතිහාසික මානවයා භාවිතා කරන්නට ඇතැයි සැලකෙන ශිලා මෙවලම් ඉරණමඩු, මුලතිව් සහ මාන්කුලම ආශ්‍රිතව ලැබී ඇත. ආචාර්ය දැරණියගලයන් ඉරණමඩු වැව හා ආශ්‍රිත පෙදෙසින් ප්‍රාග් ඓතිහාසික මානවයා වාසය කළ ස්ථාන කිහිපයක් අනාවරණය කර ගැනීමට සමත් විය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 2011 සිට සිදු කළ ගවේෂණය අනුව ඉරණමඩු වැවට බටහිරින් කොකාවිල් ප්‍රදේශයෙන් ප්‍රාග් ඓතිහාසික ජනාවාස සාධක වලින් යුත් විශාල භූමියක් හඳුනා ගනු ලැබීය.

වවුනිකුලම් වැව අසල වූ සිවපුරම් ශ්‍රී මලේ කෝවිල් භූමිය, මල්ලාවී ප්‍රදේශය, පුංචි කිරිඉබ්බන්වැව, කුම්භකරණමලෙයි, ඇහැටුගස්වැව, කුරුන්දාවශෝක විහාරය ඇතුළු මුලතිව් දිස්ත්‍රික්කයේ අනාරක්ෂිත ස්ථානයන්හි තිබූ පෞරාණික නටබුන් රැස්කොට ගෙනවිත් තබා ඇති වැලිඔය පැරණි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආදී ස්ථාන කිහිපයකින්ම ශිලාලේඛන හමු වූ බව මුලතිව් දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්ථාන මූලික ගවේෂණ 1-4 අදියරයෙහි දක්වා ඇත.

මෙම ශිලා ලිපි මගින් බොහෝ තොරතුරු ප්‍රමාණයක් අනාවරණය කර ගැනීමට හැකි වූ බවත් ඒ අනුව අනුරාධපුර රාජධානියෙහි අවසන් කාල වකවානුව දක්වාම මෙම ප්‍රදේශ අනුරාධපුර පාලකයාට යටත්ව පැවති බවත් සනාථ වන බව සඳහන්ය. මහාචාර්ය සෙනරත් පරණවිතාන පෙන්වා දෙන පරිදි පළමුවන පරාක්‍රමබාහු රජුගේ නාගදීප ශිලාලේඛනය අනුව යාපනයේ සමස්ත ප්‍රදේශයම පොළොන්නරු යුගයේ දී අග රජුගේ පාලනය යටතේ පැවති බවට සාධක ලැබේ. එම පුවරු ලිපිය පොළොන්නරුවේ රජ කළ මහා පරාක්‍රමබාහු රජු විසින් පිහිටුවන ලද්දක් බව ශිලා ලිපියේම සඳහන් කොට ඇත.

සිවපුරම් ශ්‍රී මලේ කෝවිල මාන්තායි නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මල්ලාවි ග්‍රාමයේ පාලිනගර් අංක 35 ග්‍රාම නිලධාරි වසමේ පිහිටි ස්ථානයයි. වවුනිකුලම් වැව් බැම්ම ආසන්නයේ පිහිටි මෙම භූමියට ළඟා වීමට A 9 මාර්ගයේ මාන්කුලම් හන්දියෙන් වමට හැරී මල්ලාවි තුණුක්කායි මාවතේ කිලෝමීටර් 6 ක් ගමන් කොට නැවතත් වමට හැරී අම්බල්පුරම් මාර්ගයේ කිලෝමීටර් 6 ක් ගමන් කළ යුතුය.

ජනප්‍රවාදය අනුව එළාර රජු විසින් මෙම වැව තනා ඇති බව කියැවේ. ප්‍රමාණයෙන් විශාල වැවක් වූ මෙහි වැව පාමුල භූමියෙහි අනුරාධපුර යුගයට අයත් පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් නටබුන් විසිර පවතී. අතීතයේ දී පැරණි දාගැබ් හා නටබුන්ව ගිය ගොඩනැගිලි කිහිපයක අවශේෂ පැවති බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදුකළ ගවේෂණයේ දී ගම්මුන් ප්‍රකාශ කළ බව පෞරාණික ස්ථාන හා ස්මාරක - මුලතිව් දිස්ත්‍රික්කය (එම්.වී.ජී. කල්ප අසංග, අයි.පී.එස්.නිශාන්ත) යන ග්‍රන්ථයේ සඳහන්ව ඇත.

1967-1968 වසර වල පුරාවිද්‍යා පාලන වාර්තාවන්හි සඳහන් වන්නේ මෙම ස්ථානයේ හින්දු භක්තියන් විසින් තාවකාලිකව පොල් අතු ගෙයක් තනවා එහි පැරණි ශිව ලිංගයක් තබා වැඳුම් පිඳුම් කළ බවය. වර්තමානයේ දී මෙහි සැලකිය යුතු මට්ටමේ විශාල කෝවිලක් බෞද්ධ නටබුන් මත ඉදිකර තිබේ.

මන්නාරම් දිසාව යටතේ 1964-1965 පුරාවිද්‍යා පාලන වාර්තාවෙ වවුනිකුලම් ගැන මෙසේ සටහන් කර ඇත.

“වන්නිවිලන්කුළම් කොට්ඨාසයේ වවුනිකුලම්හි යෝගපුරම් ජනපදයේ ‘යුනිට් එකේ’ පැරණි ස්ථානයක් තිබෙනවා. මෙහි අඩි 6 ක් පමණ උස ගල් පිළිමයක් තිබුණා. පිළිමය තිබුණ තැන ගඩොල් හා උළුකැට කෑලි තිබෙනවා. මෙය ප්‍රතිමාඝරයක අවශේෂයන් වෙන්නට ඇතැයි සිතෙනවා. මේ අසල අඩි 11 ක් පමණ දිග ආසනගලක් තිබෙනවා. ස්ථානයේ ඇති ගඩොලක ප්‍රමාණය දිග අඟල් 16 යි. පළල අඩි 9 යි. ඝනකම අඟල් 3 යි. මෙහි තිබුණ බුදුපිළිමය අනුරාධපුරයේ කෞතුකාගාරයට ගෙන ගියා.... ”

එමෙන්ම එම වාර්තාවේම 49 වන පිටුවේ වවුනිකුලම වැව අසල පැරණි ස්ථානය යනුවෙන් මෙසේ වාර්තා කර තිබේ.

“වන්නිවිලන්කුළම් කොට්ඨාසයේ වවුනිකුළම් වැව පාමුල ශිව දේවාලයක අවශේෂයන් තිබෙනවා. දේවාල ගොඩනැගිල්ල තනා තිබෙන්නේ ගඩොලින්ය. වවුනිකුළම් වැව කැඩී යෑමේ දී මේ ගොඩනැගිල්ලේ අඩිතාලම පවා තැනින් තැන ගැලවී ගොස්ය. මෙහි කළු ගලින් නෙළන ලද ශිව ලිංගයක් තිබේ. දේවාලය ඉදිරිපිට ගල්කුලුනු හතරකින් සෑදුණ ගොඩනැගිල්ලක අවශේෂයන් තිබේ.”

1967-1968 වර්ෂයේ පුරාවිද්‍යා පාලන වාර්තාවේ පිටු අංක 35 හි මෙම ස්ථානය පිළිබඳව වවුනිකුළම යන මාතෘකාව යටතේ දීර්ඝව සටහන් කර ඇත.

“තුනුක්කායි ප්‍රාදේශීය ආදායම් පාලක නිලධාරි කොට්ඨාසයේ වවුනිකුළම් නමැති වැව පාමුල තිබෙන පැරණි ස්ථානය පරීක්ෂා කරන ලදී. මෙහි එකට එක ලංව බෞද්ධ හා හින්දු අවශේෂයන් ඇත. මෙහි දැන් ඇති තත්ත්වයෙන් අඩි 5 ක් හා අඟල් 5 ක් උස හිස පාද සහ අත් රහිත හිටි බුදුපිළිමයක් ස්ථානයේ පස් වලින් වැසී තිබී හමුවිය. වැළලී ඇති පිළිමයේ සිට අඩි 70 ක් නිරිත දෙසින් කිසියම් ගොඩනැගිල්ලක ගල් කණු දෙකක් වේ. ඒ කණු අවට අඩි 23x3 ක් වූ පැරණි ගඩොල් අඩිතාලමක් මතුවී ඇත. තවද, මෙහි කැඩුණු මල් ආසනයක් ද කැඩුණු සඳකඩපහණක් ද හා ගල් උළුවස්සක කැබැල්ලක් ද තිබේ. මල් ආසනයට හා සඳකඩපහණට අඩි 90 ක් පමණ බටහිරින් බිම පෙරලී ඇති ගල් කුලුනු කැබෙලි හතරක් ද කණු පාදම් ගලක් ද දක්නට ඇත. සඳකඩපහණෙන් අඩි 200 ක් පමණ එපිටින් ප්‍රදේශයේ හින්දු භක්තිකයන් විසින් තාවකාලිකව පොල් අතු ගෙයක් තනා එහි පැරණි ශිවලිංගයක් තබා වැඳුම් පිදුම් කරනු ලැබේ. එම ගෙය ඉදිරිපස පැරණි එළිපත් ගලක් හා බොහෝ ගෙවී ගිය පැරණි සිරිපතුල් ගලක් ඇත. ශිවලිංගයට උතුරින් පැරණි ගොඩනැගිලි ඇති තැන් දක්වන ගොඩැලි තුනක් දක්නට ඇත. මෙයින් එකක සිටුවන ලද ගල් කුලුනු කැබෙලි දෙකක් තවම දක්නට ඇත. මෙම ස්ථානය කිසිවෙකුට පවරා නොදී පුරාවිද්‍යා කටයුතු සඳහා වෙන්කර දෙන මෙන් යාපනයේ දිසාපතිතුමාට දන්වා ඇත.”

කෝවිලට දකුණු පසින් පිහිටි ස්ථානයක වර්තමානයේ දී ශිලා ස්තම්භ විශාල ප්‍රමාණයක් ගොඩගසා ඇති අතර එහි ශිලා ස්තම්භ අතර පැරණි උඩලිපතක හා යටලිපතක සාධක මෙන්ම ටැම් ලිපියක කොටසක් ද දක්නට හැකිය. මධ්‍යකාලීන සිංහල භාෂාවෙන් යුක්ත වු මෙම ලිපිය ක්‍රි.ව. 9-10 අතර කාලයට අයත් යැයි සැලකේ. කපුටු රුවක් හා බල්ලෙකුගේ රුවක් කොටා ඇති මෙහි අක්ෂර පේළි 10 කින් යුත් ශිලා ලේඛනයක් ඇත. එහි ඇතැම් අක්ෂර මැකී ගොස් ඇති බැවින් සම්පූර්ණ අදහස ලබා ගැනීමට අපහසු වී ඇත.

ශිලා ලිපියට අනුව මහාවිහාරයේ නිලධාරීන් වැව් මෙහෙය සඳහා ලබාදිය යුතුය. එම සේවයේ නොයෙදෙන්නන් බලු, කපුටු ආත්මයන් ලබා ගන්නා බවත් සඳහන්ය.

ගෙවී ගිය සිරිපතුලක් සහ පැරණි ගඩොල් බැමි කොටස් කෝවිල තුළ දැකිය හැකිය. එමෙන්ම කෝවිල් බැම්මට පිටතින් ඇති ඉඩම්වල පැරණි ගොඩනැගිලි අවශේෂ විසිර පවතී. වවුනිකුළම් වාරි ඇළ හා කෝවිල අතර පිහිටි පෙදෙසේ ඇතැම් ස්ථානවල කණු පාදම්, ගල් කණු කොටස්, පැරණි උළු හා වළං කැබලි මෙන්ම ගඩොල් ද දක්නට ලැබේ.

ක්‍රමක්‍රමයෙන් සිදුවන කෝවිලේ සංවර්ධන කටයුතු හේතුවෙන් බොහෝ නටබුන් විනාශයට පත්ව ඇත. එහෙත් තවමත් චතුරාස්‍රාකාරව ඉදිව තිබූ පැරණි ගොඩනැගිලි පාදමක ශේෂ වූ සාධක දක්නට ලැබෙන අතර එහි පොළොවේ සිටුවන ලද කණු පාදම් ගල් 9 කින් යුක්තය. අනුරාධපුර යුගයට අයත් ප්‍රධාන සංඝාරාම සංකීර්ණයක් මෙහි තිබෙන්නට ඇතැයි යන්න ශේෂව ඇති නටබුන් හා ශිලාලේඛන අනුව අදහසයි.

වර්ග කිලෝමීටර් 1025 ක් පුරා පැතිරුණු යාපනය දිස්ත්‍රික්කය උතුරු දෙසින් කරෙයිගනර් සිට වල්ලිපුරම් දක්වා විහිදේ. අතීතයේ දී සිංහල ගම්මානයක් ලෙස වල්ලිපුරම් පැවතුන බවත් ‘වැලිපුර’ යන වචනය දෙමළ ඌරුවට වල්ලිපුරම් ලෙස ව්‍යවහාර වූ බවත් එල්ලාවල මේධානන්ද හිමි සඳහන් කරයි. මෙහි බෞද්ධ නෂ්ටාවශේෂයන් මැදිව ගොඩනැංවූ විෂ්ණු දේවාලයක් දක්නට ලැබේ. විශාල ප්‍රාකාරයක ශේෂයන් දේවාලය අසල වයඹ දිගින් ආරම්භව ගිනිකොණ දක්වා විහිදේ. දිග සැතපුමක් ඉක්මවන ප්‍රාකාරය පුළුල්ය. 1916 දී සටහන් කළ වාර්තාවක ප්‍රාකාරය මැනවින් ආරක්ෂිතව තිබූ බව සඳහන් වුව ද වර්තමානය වන විට බොහෝ සෙයින් විනාශ වී ඇත. මෙම විෂ්ණු දේවාලයට ආසන්නව ඊසාන දෙසින් කළ කැණීමක දී ප්‍රතිමාවක් මතු වු අතර එය දිගින් අඩි 8 ක් පමණ උස හිටි පිළිමයකි. 1900 දී මෙම පිළිමය සොයා ගත් බව කියැවේ. වම් අත විනාශ වී තිබිණි. එහෙත් ප්‍රතිමාවේ සෙසු කොටස් දර්ශනීය නිර්මාණයක් ලෙස හොඳින් ආරක්ෂිතව පැවතුණි. යාපනය පැරණි උද්‍යානයේ බෝධි වෘක්ෂයක් මුල හේත්තු කර තබා තිබූ වල්ලිපුරම් බුදු පිළිමයේ පෞරාණිකත්වය පිළිබඳව වටහා ගත් සියම් රජු 1906 දි මෙරටට පැමිණි අවස්ථාවේ දී එය සිත්ගත් බව පැවසූ හෙයින් එකල සිටි ඉංග්‍රීසි ආණ්ඩුකාර හෙන්රි බ්ලෙක් විසින් ඔහුට එම පිළිමය පරිත්‍යාග කරනු ලැබූ බව සඳහන්ය.

විෂ්ණු දේවාලය ඉදි කිරීමේ දී පැරණි අත්තිවාරම විනාශ වූ බවත් බොහෝ පුරාවස්තු යට වූ බවත් කියැවේ. එමෙන්ම දේවාලය ඉදිකිරීමට අත්තිවාරම කැපීමේ දී ගඩොළු බැම්මක වැලියට තිබී රන් තහඩුවක් 1936 දී හමුවිය. එය මෙරට ඉතිහාසයේ අලුත් කථිකාවක් ගොඩ නැංවීමට ඉවහල් වූ වටිනා පුරාවිද්‍යා සාධකයක්ය. අඟල් 03 ක් දිගැති අඟල් 01 පළලැති එහි අක්ෂර පේළි 04 කි. බ්‍රාහ්මී අක්ෂර 40 ක් මෙහි අන්තර්ගතය. වසභ රජුගේ (ක්‍රි.ව.67-111) රාජ්‍ය පාලන කාලය තුළ දී ඉසිගිරිය ඇමතිවරයා නකදිව ආණ්ඩු කරවන කාලයේ දී පියගුක තිස නැමැත්තා බදකර අතනෙහි විහාරයක් කර වූ බව එහි අර්ථයයි.

වල්ලිපුරම් සහ එහි නටබුන් පිළිබඳව ජේ.සී. දුවිස් තම සටහන්හි යම් විස්තරයක් දක්වා ඇත. එහි සඳහන් පරිදි ඔහු එම ස්ථානයට යන විට වැලිගොඩ මත විශාල විෂ්ණු කෝවිලක් ඉදිවෙමින් පැවතුණ අතර එහි සිටි බ්‍රාහ්මණ ජූජකවරයා උතුරට හා දකුණට මුහුද අතර ගඩොලින් බඳින ලද ප්‍රාකාරයක නටබුන් දැකිය හැකිය යන්න ඔහුට පැවසූ බවත් එමෙන්ම පූජකයා විසින් වැල්ල හාරා ගඩොල් කැබලි කිහිපයක් මතුකොට පෙන් වූ බවත් දුවිස් තම වාර්තාවේ සටහන් කරයි. 1890 දී සොයා ගත් රන් කාසියක් පොලිස් විදානෙ කෙනකු සතුව තිබී ඔහුගෙන් ලබාගෙන එවකට පුරාවිද්‍යා කොමසාරිස් වූ එච්.සී.පී. බෙල් වෙත තමා යොමු කළ බවත් එම කාසි කවලම් රත්තරං වලින් සෑදු ඉරක හෝ දරක නම් සිංහල කාසියක් බව ඔහු සටහන් කර ඇත. එහෙත් එල්ලාවල මේධානන්ද හිමි සඳහන් කරන්නේ මෙම කාසිය අක යනුවෙනි.

උතුරේ සහ නැගෙනහිර පළාත්වල විසිරී ඇති බෞද්ධ පූජනීය ස්ථාන වර්තමානය වන විට ක්‍රමයෙන් විනාශ වෙමින් පවතී. ඒ පිළිබඳව නිසි ඇගයුමක් කොට ක්‍රියාකිරීමට බලධාරීන්ගේ අවධානය යොමුවීම අනාගතය වෙනුවෙන් උරුමයන් ආරක්ෂා කර ගැනීමට ඉවහල් වනු ඇත.

ඡායාරූප පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙ අනුග්‍රහයෙනි

Comments