ඇමසන් යළිත් දැවේ | සිළුමිණ

ඇමසන් යළිත් දැවේ

පෘථිවියේ පෙනහලු බඳුව එහි වෙසෙන සුවහසක් ජීවීන්ගේ හුස්ම පොදට ජීවය දෙන බ්‍රසීලයේ ඇමසන් මහා වනය මේ වන විට යළිත් ගිනි ගෙන දැවෙමින් තිබේ. පසුගිය වසරේදී මෙලෙසම පැතිර ගිය ලැව් ගිනි මුළු ලෝකයම කැලඹීමට සමත් වූ අතර ඇමසන් වනයේ සිදුවන මහා විනාශය සම්බන්ධව ලොවපුරා ව්රෝධතා ද ඇති විය.දැන් යළිත් මේ වසරේදීද ඇමසන් වනය ගිනි තැබීමට සහ වනය එළි කරමින් ගොවිබිම් සකසාගැනීමට බ්‍රසීල ජනතාව පෙලඹී තිබේ. දත්ත වාර්තා අනුව මහා වන විනාශයක් සිදු වු පසුගිය වසරටත් වඩා මේ වසරේ දැනට සිදුවී ඇති විනාශය වැඩි බව පෙනීයන්නේ යැයි මේ වන විටත් ප්‍රකාශ වී තිබේ.

බ්‍රසීල වන විනාශය සම්බන්ධව ආයතන තුනක් එක්ව සමීක්ෂණයක් සිදු කර ඇති අතර එම සමීක්ෂණ⁣ වාර්තාව පසුගිය අගෝස්තු 29වැනිදා ලෝකයට ප්‍රසිද්ධ කර තිබේ.

ඇමසන් පාරිසරික පර්යේෂණ මධ්‍යස්ථානය, සෞඛ්‍ය නීති හැදැරීම පිළිබඳ මධ්‍යස්ථානය සහ හියුමන් රයිට්ස් වොච් යන ආයතන තුන එක්ව මෙකී පර්යේෂණ වාර්තාව ඉදිරිපත් කර තිබේ. එම වාර්තාවට අනුව පසුගිය වසරට වඩා සියයට විසි අටකින් මේ වන විට වන විනාශය සිදුවී තිබේ. එහෙත් පුදුමයට කරුණ වී ඇත්තේ බ්‍රසීල රජය මේ දත්ත ප්‍රතික්ෂේප කිරීමය.

පසුගිය වසරේ ඇමසන් මහ වනය දැවෙන විට මුළු ලෝකයේම අවධානය ඒ වෙත යොමු වු නමුත් මේ වසරේ තවමත් පැතිර යන කොවිඩ් වසංගතය හමුවේ ඇමසන් වනය සම්බන්ධව ලෝකයේ සෙසු රටවලින් එල්ල වී ඇති අවධානය අවමය. බොහෝ රටවල් වයිරසය පැතිර යෑම වළක්වා ගැනීමට සටන් කරමින් සිටින අතර තවත් රටවල් බිඳ වැටී ඇති තම ආර්ථිකයන් යළි ශක්තිමත් කර ගැනීමට කැස කවමින් සිටිති.

එබැවින් පසුගිය වසරටත් වඩා හානියක් ඇමසන් කලාපයේ සිදුවුවද ඒ සම්බන්ධව බ්‍රසීල පාලනාධිකාරියට එල්ල වන චෝදනා අවම වී තිබේ. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සෙනාරෝ ඇමසන් වනයේ ගිනි ගැනීම්වලට අදාළ දත්ත විශ්වසනීය ලෙස මාධ්‍ය වෙත ඉදිරිපත් නොකරන බවටද චෝදනා එල්ල වී තිබේ. අන්ත දක්ෂිණාංශික බොල්සෙනාරෝ පසුගිය වසරේදී ඇමසන් ගිනි ගැනීම සම්බන්ධව ඇති වෙන්නට ලෝකයෙන් බැණුම් අසා ගත්තේය. ඒ හේතුවෙන්ම ඔහු මෙවර නිශ්චිත තොරතුරු ප්‍රසිද්ධ නොකිරීමට වග බලා ගන්නට ඇතැයි සිතිය හැකිය.

පසුගිය මාස කිහිපයේදී ලෝකයේ දෙවැනියට වැඩිම කොවිඩ් රෝගීන් බ්‍රසීලයෙන් වාර්තා වීම ඇරඹීමත් සමඟ බ්‍රසීල ජනාධිපති බොල්සෙනාරෝ තම නිලධාරීන්ට නියෝග කර සිටියේ දෛනිකව කොවිඩ් ආසාදිතයන් පිළිබඳ දත්ත වාර්තා කිරීම අවශ්‍ය නොවන බවයි.

එහෙත් ජනාධිපතිගේ මෙම නියෝගයට විරුද්ධව එරට අධිකරණය තීන්දුවක් ලබා දුන්නේ දෛනිකව කොවිඩ් ආසාදියන් සම්බන්ධව නිශ්චිත තොරතුරු ප්‍රසිද්ධ කළ යුතු බවටය. මේ අනුව පොදු ජනතාවට, ජනමාධ්‍යයට මෙන්ම සෙසු ⁣රටවලටද දත්ත වසංකිරීම යනු බොල්සෙනාරෝට නුපුරුදු දෙයක් නොවන බව පෙනේ.

කෙසේ වුවද ඉහත කී පර්යේෂණය සිදුකළ සංවිධාන වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ මුළු ලෝකයටම උරුම සම්පතක් වන ඇමසන් වන විනාශ කිරීම නවත්වා නොගැනීමෙන් ප්‍රථමයෙන්ම දුර්විපාකවලට මුහුණ දීමට සිදුවනු ඇත්තේ බ්‍රසීල ජනතාවටම බවය.

වසරක් පුරා වන ගහනය අඩු වීමෙන් ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමට අමතරව රට වසා පැතිර යන දුමාරය හේතුවෙන් එරට ජනතාවට ශ්වසන ආබාධවලට විශල ලෙස ගොදුරුවීමට සිදුවනු ඇති බවට ඇමසන් පාරිසරික පර්යේෂණ මධ්‍යස්ථානය අනතුරු අඟවා තිබේ.

එහෙත් මේ සඳහා පිළිතුරු ලෙස බ්‍රසීල රජය පවසා ඇත්තේ පසුගිය වසරේ එළිපෙහෙළි කළ බිම් පවා මේ වසරේදී ගිනි තැබීමෙන් මෙලෙස වැඩි හානියක් ලෙස වාර්තා වී ඇති නමුත් එය එසේ නොවන බවයි.

එහෙත් සිදුවෙමින් පවතින වන විනාශය ලෝකයෙන් සැඟවීම යනු තමන්ගේ මිනී වළ තමන්ම කපා ගැනීමක් බව බ්‍රසීලය තේරුම් ගන්නේ නම් එය සමස්ත පෘථිවි වාසීන්ට වැදගත් වනු ඇත.

Comments