ගී ගය­මින් රේස් පදින කේසර | සිළුමිණ

ගී ගය­මින් රේස් පදින කේසර

 බොරලු සහිත දුෂ්කර ධාවන පථ­යක අධික වේග­යෙන් දිවෙන යතුරු පැදි­යකි.  ඊට වඩා දෙගු­ණ­යක වේග­යෙන් අහසේ පියඹා යන ත්‍රාස­ජ­නක මොහො­තේදී පවා මුදු සින­හව පිරි ඔහුගේ දෙතො­ළඟ මිමි­ණෙන්නේ ගීත­යකි. ‘රේස් පදි­න­කොට සින්දු­වක් නොකි­යපු දව­සක් නෑ. හැබැයි ඉතින් සම­හර රේස් සින්දු­වට කලින් ඉවර වෙනවා.‘ එසේ කිය­මින් සිනා­සෙන මේ යතු­රු­පැදි ශූරයා යොවුන් වියට පා තැබුවා පමණි. ඔහු 14 හැවි­රිදි කේසර ගොඩ­ගේය. මෑත කාලයේ මෙරට යතුරු පැදි තරග බිමේ කාගෙත් අව­ධා­න­යට ලක්වූ  ළාබා­ල­තම මෝටර් රථ ධාවන ශූරයා ඔහුය.

 

පස් හැවි­රිදි වියේදී තම පියා තෑගි කළ කුඩා යතුරු පැදි­යෙන් පළමු වරට සුපර් ක්‍රොස්  තරග බිමට කේසර එක්වෙද්දී ඔහුගේ වයසේ සෙසු දරු දැරි­යන් පදි­මින් සිටියේ සෙල්ලම් බයි­සි­කල්ය. අවු­රුදු 10න් පහළ තරග ඉස­ව්වට එක්වෙ­මින් සුපර් ක්‍රොස් තරග වරම් ලද ඔහු වසර දෙකක් ඇතු­ළත මෙරට යතු­රු­පැදි තරග ඉසව්වේ පෙර­ළි­කාර ක්‍රීඩ­ක­යකු බවට පත් වීමේ නිමිති පහළ කළේය.

2015සියැට් ස්ලාඩා වාර්ෂික සම්මාන උලෙ­ළේදී අවු­රුදු 13න් පහළ දක්ෂ­තම ක්‍රීඩ­කයා සම්මා­නය දිනා­ග­නිද්දී කේස­රගේ වයස අවු­රුදු 9කි. ඔහු 16න් පහළ තරග ඉස­ව්වට එක්වෙන්නේ 13න් පහළ ඉසව්ව පදි­ද්දී­මය. ඊළඟ වසර කිහි­පය ගෙවී ගියේ ඔහු 16න් පහළ තරග ඉසව්වේ විශි­ෂ්ටයා බවට පත්වෙ­මිනි. එම තරග අංශය පසු­කා­ලී­නව අවු­රුදු 15න් පහළ තර­ග­යක් බවට පත් කර තිබුණු අතර, ඔහු සිත් සේ සිය අණ­සක ධාවන පථය පුරා පතු­රු­වා­ල­න්නට විය.

දුහු­විලි අවු­ස්සා­ගෙන අධික වේග­යෙන් ඉදි­රි­යට ඇදී එන නොම්මර 23 කේස­රගේ යතු­රු­පැ­දිය ඊළඟ බෑවු­මේදී පහ­ළට ධාව­නය වන්නේ අඩි විස්ස­කට වඩා උස­කින් ත්‍රාසය මුසු පිම්ම­කින් පසු­වය. ඒවා දැන් ඔහුට සුපු­රුදු දේවල්ය. ‘ගොඩාක් රේස් ඉවර වුණේ කිසිම තර­ග­යක් නැති­වම මම ජය­ග්‍ර­හ­ණය කර­ලයි. ඒ වගේ රේස් මට හරි නීර­සයි. ‘රස­ඳුන සමඟ පිළි­ස­ඳ­ර­කට එක්වෙ­මින් ඔහු එසේ කීවේය.

කොවිඩ් වසං­ග­තය හේතු­වෙන් මේ වසරේ මුල් භාගයේ මෙරට මෝටර් රථ හා යතු­රු­පැදි ධාවන බිමේ පැව­ත්වූයේ කළු අග්ගල තන්ඩ­ර්වැලි සුපර් ක්‍රොස් තර­ගා­ව­ලිය පමණි. එහිදී ද ඔහු අවු­රුදු 15න් පහළ ඉසව්ව ජය­ගත්තේ තර­ග­ය­කින් තොර­වය.

‘ජාත්‍ය­න්තර තරග එක්ක සංස­න්ද­නය කරද්දී අපේ රටේ තර­ග­වල ප්‍රමි­තිය තව දියුණු වුණා නම් හොඳයි කිය­ලයි  මට හිතෙන්නේ. ගොඩාක් යතු­රු­පැදි තරග ඉවර වෙන්නේ මිනිත්තු 10ක්, 15ක් වගේ කෙටි කාල­යක් ඇතු­ළ­තයි. ඒත් ඒවා මිනිත්තු 30ක්  වගේ කාල­ය­කට පැවැ­ත්වෙ­නවා නම් තර­ග­ක­රු­වන්ගේ ශාරි­රික යෝග්‍ය­තා­ව­ටත් හොඳයි. රේස් එකක් අමාරු වෙන තර­මට ඉන් ලැබෙන විනෝ­දය ඉහ­ළයි. මම කැමැති ඒ වගේ අමාරු රේස් පදි­න්නයි. ‘ ඔහු සිනා­සෙ­මින් එසේ කීවේය.

කේසර ගොඩගේ මෝටර් රථ ක්‍රීඩා­වේ­දිත් දැන් දැන් කැපී පෙනෙන දස්කම් දක්ව­මින් සිටී. ඔහු මුලින්ම මෝටර් රථ ක්‍රීඩා­වට එක්වූයේ වසර 2017දීය. ඒ වස­රේදී  වලව සුපර් ක්‍රොස් තර­ගා­ව­ලියේ නිසාන් මාච් තරග ඉස­ව්වට එක්වෙද්දී ඔහුගේ වයස අවු­රුදු 12කි. අන­තු­රුව ඔහු ෆෝර්ඩ් ලේසර් වැනි තර­ග­ව­ල­ටත් එක් විය. ඔහුගේ ක්‍රීඩා දිවියේ හොඳම වසර පසු­ගිය වස­රය. එවර ෆොක්ස්  හිල් සුපර් ක්‍රොස් තරග බිමේ ත්‍රිත්ව ශූරතා දිනා­ගැ­නී­මට ඔහු සමත් වූයේ එවැනි දස්ක­මක් පෑ ළාබා­ල­තම ක්‍රීඩ­කයා බවට පත් වෙමිනි. එම තර­ගා­ව­ලි­යේදී ඔහු නිසාන් මාච්, ෆෝර්ඩ් ලේසර් මෝටර් රථ තරග ද්විත්ව­යත්, අවු­රුදු 15න් පහළ යතු­රු­පැදි තර­ග­යත් ජය­ග­ත්තේය. එම වසරේ වාර්ෂික ජාතික ශුර­තා­ව­ලියේ සහ ස්ලාඩා වාර්ෂික ශුර­තා­ව­ලියේ අවු­රුදු 15න් පහළ දක්ෂ­තම යතු­රු­පැදි ශූරයා ද කේස­රය.

ලබන වසර කේස­රට අති­ශය කාර්ය­බ­හුල වස­රක් බව ඔහු කියා සිටි­යේය. නුගේ­ගොඩ ලයි­සි­යම් ජාත්‍ය­න්තර පාසලේ අධ්‍යා­ප­නය ලබන කේසර ලබන වස­රේදී අපොස සාමාන්‍ය පෙළ විභා­ග­යට පෙනී සිටී­මට නිය­මි­තය. එමෙන්ම සිය ක්‍රීඩා දිවියේ තවත් පිය­ව­රක් ඉදි­රි­යට තබ­මින් ඔහු වැඩි තර­ග­කා­රී­ත්ව­යෙන් යුතු 250 කාණ්ඩයේ යතු­රු­පැදි තරග ඉස­ව්ව­ටත්, ප්‍රවීණ තර­ග­ක­රු­වන් වැඩි ප්‍රමා­ණ­යක් සහ­භාගි වන හොන්ඩා එස්.එල්.එච්. කාණ්ඩයේ මෝටර් රථ තරග ඉස­ව්ව­ටත් එක්වී­මට බලා­පො­රො­ත්තු­වෙන් පසු­වෙයි.

‘අධ්‍යා­පන කට­යුතු ඉදි­රි­යට කර­ගෙන යන ගමන්ම මෝටර් රථ හා යතු­රු­පැදි ක්‍රීඩා­වෙ­නුත් ඉහ­ළට යාම තමයි දැනට තියෙන ඉල­ක්කය. සුපර් ක්‍රොස් තරග බිමේ ප්‍රධා­න­තම තරග ඉසව්ව වන අධි­වේගී එස්.එල්.ජී.ටී.වර්ගයේ සුපර් කාර් තරග ඉස­ව්වට එක්වී­මත් එක බලා­පො­රො­ත්තු­වක්.

ජාත්‍ය­න්තර තර­ගා­ව­ලි­යක් වන ෆෝමි­යුලා රේස් පදි­න්නත් ආසා­වක් තියෙ­නවා.‘ ඔහු කියයි. ඔහු කියන්නේ බොරලු ඇතිරූ දුෂ්කර සුපර් ක්‍රොස් තර­ගා­වලි දැනට පැවැ­ත්වෙන මුහු­ණු­වර වෙනස් විය යුතු බවය. මෝටර් රථ සහ යතු­රු­පැදි  එකම ධාවන පථ­යක පැවැ­ත්වීම ඔහුගේ සිත් ගන්නේ නැත. ‘මෝටර් රථ­ව­ලට වෙනම ධාවන පථ­ය­කුත්, යතු­රු­පැදි තර­ග­ව­ලට  තවත් ධාවන පථ­ය­කුත් හැදෙ­නවා නම් හොඳයි. ‘ ඔහු කියා සිටි­යේය. 

තරග නොපැ­වැ­ත්වුණු කොවිඩ් වසං­ගත සම­යේදී  ඔහු වැඩි­පුර කාලය වැය කළේ ජාත්‍ය­න්තර තරග පිළි­බඳ අධ්‍ය­ය­නය කිරී­ම­ටය. ඊට අම­ත­රව තම එකම සොයු­රිය සමඟ කාලය ගත කළේය. පවුලේ බඩ පිස්සී මිනදි ඔහුගේ හොඳම යෙහෙ­ළි­යයි.

‘මම තාත්තා එක්ක එකතු වෙලා මෑක­රල්, බණ්ඩක්කා, වම්බටු, දඹල වගේ එළ­වළු වර්ග වගා කළා.‘ කේසර හිනැ­හෙ­මින් එසේ කීවේය. 

කේස­රගේ ජීවි­තයේ සෙවැ­ණැල්ල ඔහුගේ පියා ය. ව්‍යාපා­රි­ක­යකු වන ධම්මික ගොඩගේ මහතා ද මෝටර් රථ ධාවන ශුර­යෙකි. ඔහු තම පුත්‍ර­යාගේ සියලු කට­යුතු සඳහා කාලය වැය කරන්නේ ව්‍යාපා­රික කට­යුතු පවා අඩාළ කර ගනි­මිනි. කේසර සහ­භාගි  වන සිය­ලුම තර­ග­ව­ලට පවුලේ සාමා­ජි­ක­යන් සිය­ලු­දෙ­නාම සහ­භාගි වෙති. මව සාවිත්‍රි මෙන්ම  නැඟ­ණිය මින­දිත් ඔහුගේ තරග නැරැ­ඹී­මට පැමි­ණිය යුතුමය. ඔහුට තරග වැදී­මට ඔවුන් තරග බිමේ සිටිය යුතු­මය.

Comments