සේනාරත්න වීරසිංහගේ මුහුණු පොත ගැන පළමු විචාර පොත 21දා ජනගත වේ | සිළුමිණ

සේනාරත්න වීරසිංහගේ මුහුණු පොත ගැන පළමු විචාර පොත 21දා ජනගත වේ

මුහුණු පොත නමැති සන්නිවේදන මාධ්‍ය ඔස්සේ සාහිත්‍යකලා පරිශීලනය හා වින්දනය පිළිබඳව ප්‍රවීණ සාහිත්‍යවේදියකු වන සේනාරත්න වීරසිංහ විසින් ලියන ලද ‘මුහුණුපොත සහ විශ්ව සාහිත්‍යකලා ප‍්‍රවේශය’ නමැති විචාරාත්මක කෘතිය 21 වැනි සඳුදා පෙරවරු 10ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ D 158 ප්‍රදර්ශන කුටියේදී ජනගත වේ. එහිදී කතුවරයා විසින් කෘතියේ මුල් පිටපත ජනාධිපති මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ ප්‍රවීණ මාධ්‍යවේදී මෝහන් සමරනායක මහතා පිළිගැන්වීමට නියමිතය.


සරත්චන්ද්‍ර ජයවර්ධන ගේ ‘ඉතිහාසය සිතියම් පොත’ නිකුත් වේ

4 ශ්‍රේණියේ සිට 8 ශ්‍රේණිය දක්වා දක්වා ඉගෙනුම ලබන පාසල් සිසුන් වෙනුවෙන් ම නිර්මාණය කරන ලද මෙම කෘතිය මෙතෙක් ඉතිහාසය විෂයය සඳහා ම නිර්මාණය කළ සිතියම් පොතක් නොමැති වීමේ අඩුව පුරවන්නකි. ඉතිහාසය විෂයයට අදාළ විශාල කාල පරාසයක විහිදුණු ඓතිහාසක තොරතුරු ළමා මනසට උචිත පරිදි, වර්ණ පිංතූර, සිතියම් හා රූපසටහන් ආධාරයෙන් සංක්ෂිප්තව, පහසුවෙන් හා සැහැල්ලුවෙන් ඉගැන් වීමට මේ තුළින් කතුවරයා උත්සාහ දරා ඇත. පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාධාරියකු ලෙස මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයට මහඟු මෙහෙයක් සිදු කළ සරත්චන්ද්‍ර ජයවර්ධන මහතා තවත් අගනා පොත් කිහිපයක් ප්‍රකාශයට පත් කර ඇත. ඒ අතර “ඉතිහාසය ඉගෙනීමට හා ඉගැන්වීමට කෞතුකාගාර උපයෝගීකරණය” කෘතිය කෞතුකාගාර අධ්‍යාපනය සඳහා මෙරට පාසල් සිසුන් සඳහා ලියවී ඇති එකම සිංහල කෘතියයි.


කාශ්‍යප සත්‍යප්‍රිය ද සිල්වාගේ ප්‍රථම ගේය පදසරණිය ‘නුඹ මාලතී’ දොරට වඩී

1980 දශකයේ කාව්‍යකරණයට පිවිස, එකල විවිධ පුවත්පත්, සඟරා සහ කවිකොළ හරහා කාව්‍ය රසිකයන් දැනහඳුනාගත් කාශ්‍යප සත්‍යප්‍රිය ද සිල්වා ගේ ප්‍රථම ගේය පදසරණිය ‘නුඹ මාලතී’ පසුගියදා එළිදැක්විණ. දිවයිනේ ප්‍රවීණ සංගීතඥයන් ගේ මිහිරිතම තනුවලට ගැයුණු ගී පද රචනා මෙන්ම තවමත් ස, රි, ග, ම ස්වර මුසු නොවූ නැවුම් සුගායනීය පදමාලා රැසක් මෙම කෘතියේ අඩංගු වේ. එය සයුරි ප්‍රකාශනයකි.


කවි පොත් සල්පිල ලබන 27 වැනිදා දක්වා

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ පූර්ණ අනුග්‍රහයෙන් පැවැත්වෙන වාර්ෂික කවි පොත් සල්පිල කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමඟාමීව බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ලබන 27 වැනිදා දක්වා පැවැත්වේ.

පසුගිය 18 වැනිදා ආරම්භ වූ මෙම කවි පොත්සල්පිල ඔස්සේ සමස්ත සිංහල කවිය ආවරණය වන අතර පැරණි සහ නූතන කාව්‍ය කෘති, කාව්‍ය විචාර, පරිවර්තන කාව්‍ය කෘති මෙන්ම දෙමළ සහ ඉංග්‍රීසි කවි කෘති ද ලබාගත හැකිය. විවිධ කාව්‍ය කෘති රචනා කළ කවි කිවිඳියන්ට සිය කෘති අලෙවියට සහ ප්‍රදර්ශනයටද එහිදී අවස්ථාව ලැබෙන අතර ඒ පිළිබඳ වැඩි විස්තර 0714877380 (චන්දන), පියන්කාරගේ (0714991168) ඇමතීමෙන් ලබාගත හැකිය.


ජාතික යෞවන සම්මාන තරගාවලියට අයැදුම්පත් කැඳවයි

ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කරන 42 වැනි යෞවන සම්මාන තරගාවලිය සඳහා දැන් අයදුම්පත් භාර ගැනේ. නාට්‍ය, නර්තන, සංගීත, සාහිත්‍යය, චිත්‍ර, ඡායාරූප, නිවේදක, කථික,කැටයම් ආදී තරග අංශ ගණනාවක් යටතේ පැවැත්වෙන මෙම තරගාවලියට වයස අවුරුදු 15ත් 29ත් අතර තරුණ තරුණියන්ට අයැදුම් කළ හැකිය. නාට්‍ය තරග හා සාහිත්‍ය මුද්‍රණ කෘති තරග සඳහා පමණක් වයස අවුරුදු 15ත් 35ත් අතර තරුණ තරුණියන්ට සහභාගි විය හැකිය. සිංහල, දමිල සහ ඉංග්‍රීසි බසින් තරග පැවැත්වෙන අතර ආබාධිත තරුණ තරුණියන් සඳහා වෙනම තරගාවලියක් පැවැත්වීමටද නියමිතය. දිස්ත්‍රික්, පළාත් හා ජාතික මට්ටම ලෙස අදියර තුනකින් පැවැත්වෙන අයැදුම්පත් භාර ගන්නා අවසන් දිනය සැප්තැම්බර් 30 වැනිදා අතර www.nysc.lk වෙබ් අඩවියට පිවිසීමෙන් වැඩි විස්තර ලබාගත හැකිය. අයැදුම්පත් ජාතික තරුණ සේවා සභාවේ පළාත් සහ දිස්ත්‍රික් කාර්යාලවලින් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තරුණ සේවා නිලධාරී වෙතින් ලබාගත හැකිය.

Comments