සුගතපාල ද සිල්වා සහ තිස්ස අබේසේකර | සිළුමිණ

සුගතපාල ද සිල්වා සහ තිස්ස අබේසේකර

පුවත්පත් කලාවේදියෙකු ලෙස කටයුතු කිරීමේදී මෙන්ම නාට්‍ය ශාලාවන්හිදී ද සුගතපාලද සිල්වා නම් විශිෂ්ට කලාකරුවා සමඟ කතාබහ කර තිබුණද, ඔහුගෙන් අසන්නට සිතා සිටි, එහෙත් අසන්නට බැරි වූ ප්‍රශ්නයක් මා තුළ බොහෝ කාලයක් ඉතිරිව තිබණේය.

ඔහු නම් වේදිකා නාට්‍යකරුවෙකු, ගුවන් විදුලි නාට්‍ය නිෂ්පාදකයෙකු, පරිවර්තකයෙකු, කවියෙකු සහ නවකතා කරුවෙකු වශයෙන් හැකියාවන් රැසක් පෙන්වා සිටි මේ විශිෂ්ටයා චිත්‍රපට කරණයට නොපැමිණියේ මන්දැයි යන්නය.

එයට පිළිතුරක් ලැබුණේ බොහෝ කලෙකට පසුවය. එයද ප්‍රවීණ සිනමාවේදියෙකු වූ තිස්ස අබේසේකරගෙන් මිස සුගතපාල ද සිල්වාගෙන් නොවේ. ඒ ජෝන්ද සිල්වා සමරු රඟහලේ පැවති සුගතපාල ද සිල්වා උපහාර උළෙලකදීය. නාට්‍ය ශිල්පීන් ගණනාවකගේ එකතුවකිවකින් සංවිධානය කරන ලද මෙම උත්සවය පිළිබඳව මට දැනුම් දුන්නේ නාට්‍ය කරුවෙකු වූ ඊ.එම්.ඩී. උපාලිය.

එවකට අංශභාගයට ගොදුරුව ඇවිදීමට මෙන්ම හරි හැටි කතාකර ගැනීමටද නොහැකිව සිටි සුගතපාල ද සිල්වා වේදිකාව ඉදිරියට කැඳවා ගෙන එන ලද්දේ රෝද පුටුවකිනි.

තිස්ස අබේසේකර සිය කතාවට අවතීර්ණ වූයේ තරමක් පැරණි ග්‍රන්ථයක්ද තමා අසල තබා ගනිමිනි. ඔහුගේ කතාවෙන් කියවුණේ සුගතපාල ද සිල්වා සහ තමා ඇතුළු පිරිසක් ලෙස්ටර් පේම්ස් පීරිස්ද ඇතුළුව පටන් ගත් “අපේ කට්ටිය” පිළිබඳවය. මෙම පිරිසට ටෝනි රණසිංහ, ජී. ඩබ්ලිව්. සුරේන්ද්‍ර, ධර්මසිරි වික්‍රමරත්න, ප්‍රේමා ගණේගොඩ, නීතිඥ හේමන්ත වර්ණකුල ආදී පිරිසක්ද එයට සම්බන්ධ වූහ. මොවුන්ගේ මුල්ම අරමුණ වී තිබුණේ සිනමා කෘතියක් නිර්මාණය කිරීමය.

මේ ගමනේ එක් අවස්ථාවකදී තිස්ස අබේසේකර ඇතුළු පිරිසක් සිනමාවට ඇදී ගිය අතර සුගතපාල ද සිල්වා ඇතුළු පිරිසක් වේදිකා නාට්‍ය කලාව දෙසට අවතීර්ණ වූහ. තිස්ස අබේසේකරගේ අදහසට අනුව මෙම දෙකඩ වීම නිශ්චිතවම සිදුවූයේ එක්තරා වසරකදීය.

ඉන් පසු “ගම්පෙරලිය ” චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂණයට සහ එහි දෙබස් රචනයටද සම්බන්ධ වෙමින් සිනමා ගමන් මඟට පිළිපන් තිස්ස අබේසේකර ගේ වැඩි උනන්දුවක් යොමු වූයේ සිනමා තිර රචනය කෙරෙහිය. ඒ පිළිබඳව ලියවුණු බොහෝ විදෙස් පත පොත කියවූ තිස්ස අබේසේකර මුහුණ දුන් එක් ප්‍රශ්නයක් වූයේ ඒ සඳහා වූ එක්තරා විශිෂ්ට ග්‍රන්ථයක් සොයා ගැනීමට තිබූ අපහසුවය. මෙය ශ්‍රී ලංකාවේ කිසිදු පොත්හලක නොවූ අතර එංගලන්තයේ වූ අදාළ ප්‍රකාශන සමාගමද ඒ වන විට වසා දමා තිබුණි. පසු කලෙක ජර්මනිය, එංගලන්තය සහ අමෙරිකාව යන රටවල සංචාරය කිරීමට ලැබුණු අවස්ථාවල බොහෝ පොත් සාප්පු සිසාරා ඇවිද ගිය නමුත් ඔහුට ඉන් එක් පිටපතක් හෝ දක්නට නොලැබුණේය.

කාලය දශක කීපයක් ගෙවී ගියේය.

නමුත් ඉතා අහම්බයෙන් මෑත දවසක ඔහුට ඒ පොත සොයා ගත හැකි වූයේය.

ඒ මහනුවර පදික වේදිකාවක සිටි පොත් වෙළෙන්දෙකුගෙනි.

ඒ අනුව තමා කාලයක් බලාපොරොත්තුව සිටි ඒ මහානර්ඝ ග්‍රන්ථය ඔහුට කියවන්නට ලැබුණේ වසර තිහකට පසුවය. මේ ආකාරයට ලොව කොතනකවත් නොමැති කෘතියක් මහනුවර පදික වේදිකාවකින් සොයා ගන්නට ලැබීම හැරුණ කොට එහි තවත් විශේෂත්වයක්ද වූයේය. එනම් පොත අයිතිකරුගේ අත්සනද, එය මිලදී ගත් දිනයද එහි සඳහන්ව තිබීමය.

ඒ අනුව පොතේ අයිතිකරුවා වූයේ එදවස චිත්‍රපට තැනීමෙන් බැහැරව නාට්‍ය වේදිකාවට වූ කැපවීම හේතු කොට ගෙන මෙදවස සම්මානයට පාත්‍ර වී සිටින සුගතපාල ද සිල්වාය.

(සුගතපාල ද සිල්වාගෙන් ඒ පොත ඉල්ලා ගත් පොත් ගල් කරන්නෙකු විසින් ඉල්ලා ගනු ලැබ අනතුරුව පදික වේදිකාව වෙත පැමිණිම සිද්ධියේ පසු කතාවකි)

නමුත් මෙම කෘතිය මුල් කර ගනිමින් තිස්ස අබේසේකර අපට අවධාරණය කරන්නට බලාපොරොත්තු වුණේ කිසි සේත්ම එම කතාව නොවේ.

ඔහුට අවශ්‍ය වූයේ සුගතපාල ද සිල්වා මෙම පොත කියවා තිබූ කාල වකවානුව අපට මතක් කර දීමයි. ඔහු පෙන්වා දුන්නේ පොතෙහි සඳහන් දාතමෙහි ආකාරයට සුගතපාල ද සිල්වා මෙම පොත මිලදී ගෙන ඇත්තේ අපේ කට්ට්ය සිනමාව හා වේදිකාව තෝරා ගන්නට පෙර දවසකය. තවත් විදියකින් කියනවා නම් තිස්ස අබේසේකර සිනමාවේ බොහෝ දුරක් පැමිණි පසු කියවූ ඒ පොත සුගතපාල ද සිල්වා කියවා ඇත්තේ ඔහු සිනමාව වෙනුවට වේදිකාව තෝරා ගැනීමටත් පෙර සිට බවය.

සිනමාව අරබයා මේ සා දැනුවත් භාවයක් තිබූ මිනිසකු සිනමාව අතහැර බොහෝ දුෂ්කර මාවතක් ඔස්සේ පිය නගමින් නාට්‍ය වේදිකාවට ගොඩවීම සුගතපාල ද සිල්වාගේ මෙන්ම නාට්‍ය වේදිකාවේද ශ්‍රේෂ්ඨත්වය පිළිබිඹු කරන්නක් බව පැවසූ තිස්ස අබේසේකර අතීතයේ සුගත්ට හිමිව තිබූ ඒ දුර්ලභ ග්‍රන්ථය යළි ඔහු අතටම පත් කළේය.

මෙය අපගේ බොහෝ ඇසූ පිරූ තැන් ඇති මිනිසෙකුගේ නිශ්චල ගාම්භීරත්වයත්, එය කොතෙක් ශ්‍රේෂ­්ඨදැයි පෙන්වා දුන් තවත් ප්‍රාමාණිකයකුගේ නිහතමානී ගුණයත් ප්‍රකට කළ දුර්ලභ අවස්ථාවකි.

Comments