සම්මානයෙන් පසු මානව හිමිකම් ගිය එකම සාහිත්‍ය සම්මාන උලෙළ | සිළුමිණ

සම්මානයෙන් පසු මානව හිමිකම් ගිය එකම සාහිත්‍ය සම්මාන උලෙළ

සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවයක් අවසානයේ දී මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන තැනකින් අවසන් වේ, නම් එය පුදුම සහගත තත්වයකි. විශේෂයෙන්ම මෙරට සාහිත්‍යය ඉතිහාසය තුළ එවැනි තත්වයක් ඇසු නොවිරූ තරම් ය. නමුත් පසුගිය දිනවල දී අවසන් වූ විද්‍යෝදය සම්මාන උලෙළ ඒ (අව)සම්මානය ද රටට ලබා දුන්නේ ය.

මුලින්ම එය පත්තු වුණේ ගීත සාහිත්‍යය සම්බන්ධයෙන් සම්මාන විනිශ්චයට අදාළව ය. ඒ පිළබඳව විනිශ්චය කටයුත්ත බාරව සිටියේ විශ්වවිද්‍යාලයේ සිංහල හා ජන සන්නිවේදන අධ්‍යයනාංශයේ මහාචාර්ය සුනේත්‍රා කංකානම්ගේ ය. අවසන් වටයට තේරුණ කෘති වුයේ රත්න ශ්‍රී විජේසිංහගේ සුවඳ මුවරද මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ඇහිපිල්ලමක් අතර, යමුනා මාලනිගේ සඳ පහන් දැල් වී, අසංක රුවන් සාගරගේ පරසතු සහ එඩ්මන්ඩ් තිලකරත්න පියතුමාගේ ගීත සමුච්චය යන ඒවායි. සම්මානයට පාත්‍ර වුයේ රත්න ශ්‍රී ගේ සුවඳ මුවරද ය. ගින්න ඇවිළුණේ එතැනින් ය. එම කෘතිය සම්මාන උළෙලින් නෙරපා හැරීමට කටයුතු කරමින් එඩ්මන්ඩ් තිලකරත්න පියතුමාගේ ගීත සමුච්චය කෘතිය අවසන් වටයට තේරීම සම්බන්ධයෙන් ද දැඩි චෝදනා එල්ල වූයේ යැයි ද වාර්තා වේ. 

අනිත් අතට එකී විනිශ්චයික පසුබිමේ මහාචාර්ය සුනිල් ආරියරත්න සිය කෘතිය තරග ඉසව්වෙන් ඉවත් කර ගැනීමක් ගැන ද අසන්නට ලැබේ. සම්මාන ප්‍රදානෝත්සවයේ සංවිධායක ධුරය දරන්නේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හංසමාලා රිටිගහපොල ය. ප්‍රස්තුත සම්මානය වෙනුවෙන් පීඨාධිපති ද මුල් කොටගත් රැස්වීමක් කැඳවන්නට කටයුතු කොට ඇත්තේ ද ඇයම ය. ගීත සමුච්චය කෘතිය අවසන් වටයට තේරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන්නේ එහිදී ය. වඩාත් ජුගුප්සාජනක සිද්ධිය වී ඇත්තේ සිංහල හා ජන සන්නිවේදන අංශයේ සේවය කොට විශ්‍රාම ගිය මහාචාර්යවරයකු දුරකථනයෙන් සම්බන්ධ කරගනිමින් ඔහුගේ ප්‍රකාශය රැස්වීමට අසන්න සැලස් වූයේය යනුවෙන් ද සඳහන් වී තිබීම ය. ප්‍රතිඵලය වුයේ ගීත රචනා සම්මානය අවලංගු කිරීමයි. එක් මොහොතකට සම්මානය හිමි වී පසුව එය අහිමි වූ රත්න ශ්‍රී විජේසිංහ පවසා ඇත්තේ ඒ පිළිබඳව තමන් කනගාටු වෙනවා යන්න පමණි. ඒ සා අවමානයක් ප්‍රවීණ ගීත රචකයකුට සිදු වීම සම්බන්ධයෙන් විද්‍යෝදය සම්මාන ප්‍රදානෝත්සවයේ සංවිධායකයන්ට කියන්නට ඇත්තේ කුමක් ද? අප සිතන අන්දමට නම් කිසිදු සදාචාරයකින් තොරව උගත් විනිශ්චයික පැහැදිලි කිරීමක් ද නැතිව හිටිවනම සාහිත්‍යය සම්මානයක් අත්හිටුවීම පැහැදිලිවම, පැහැදිලි කළ යුතු තත්ත්වයක් වේ. එපමණක් නොව එවැනි අවමානයක් සමාජගත කිරීම සම්බන්යෙන් ඊට අදාළව ද මෙම සංවිධායකයන්ට වගකීමක් තිබේ.

විද්‍යෝදය සම්මාන ප්‍රදානය සිදු කෙරෙන්නේ පොදු විශ්වවිද්‍යාලයිය පසුබිමක වන නිසා මෙන්ම එය කාගෙවත් පුද්ගල බලධාරීත්වයකට යටත් නොවිය යුතු නිසාත් ඒ වගකීම පැහැර හැරීමට සංවිධායකවරුන්ට පුළුවන්කමක් නැත.

ලංකාවේ තීරු ලිපි රචනය, සම්මාන දිය යුතු සාහිත්‍යයක් හැටියට සලකා කටයුතු කිරීමේ හා එය එසේ හඳුන්වා දීමේ ගෞරවය හිමි වන්නේ විද්‍යෝදය සම්මාන ප්‍රදාන සංවිධායකයන්ට ය. ඒ අනුව මෙවර යසවර්ධන රොද්‍රිගු ගේ “යසාගේ වාක්කිය” කෘතියට එකී සම්මානය හිමිවන මුත් අවසාන මොහොතේ දී “කොළඹ කතා” නමින් ඉදිරිපත් කොට තිබු අනුරසිරි හෙට්ටිගේ ගේ කෘතිය ද ඊට ඇතුළත් කරමින් එකම සම්මානය දෙදෙනාම අතරේ බෙදා දීමට කටයුතු කොට ඇත. ප්‍රශ්නය තියෙන්නේ එය එසේ සිදුවීම තුළ නොවේ. එය ද දැනුම් දීමකින් තොව හිටිවනම සිදු වීම තුළ ය.

ඒ නිසාම ඊට අදාළව සම්මානලාභියා යන්නට අමතරව තීරු ලිපි සාහිත්‍යය නම් විෂය සීමාවන් හඳුනා ගැනීමේ අර්බුදයක් ද නිර්මාණය විය. තත්ත්වයේ සංකීර්ණත්වය නිසාම ඒ සම්බන්ධයෙන්, එහි විවාදාත්මක චරිතය බවට පත් වන අනුරසිරි හෙට්ටිගේගෙන්ම ඒ ගැන විමසීමට අපි කටයුතු කළෙමු.

අනුරසිරි එය හැඳින්වුයේ “අතරමඟදී මේසය මතට ආ සම්මානයක්” වශයෙනි. ඒ පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ කොළඹ කතා නම් තමන්ගේ කෘතියේ ලා අන්තර්ගත වන්නේ උසාවියේ ගෙවුණ සිය ළමා විය මෙන්ම තමන්ගේ ජීවිතයේ බොහෝ අත්දැකීම් බව ය. ඒ අනුව මෙය ඉතා පැහැදිලිවම ජීවන පදාසයක් පිළිබඳව සිදු කළා වූ ලිවීමක් වේ. එවැනි පසුබිමක සිටිමින් අනුරසිරි පවසන්නේ තමන්ට ඒ වෙනුවෙන් සම්මානයක් ලබා දීම සිදු කොට ඇත්තේ අවංක සිතින් නම්, එමඟින් තීරු ලිපි සාහිත්‍යයේ නව නීර්ණායකයක් වෙතට දොරටු විවර වන බවයි. ඉදින් එය එසේ නොවන්නේ නම්, තමාට එවැනි අතරමග සම්මානයක් ලබා දීම ගැන කනගාටු වන බවයි.

උක්ත පටලැවිලි තුළින් ඉස්මතුවන්නේ මෙම සම්මාන උත්සවයේ දී අදාළ විෂය කරණු පිළිබඳව විද්වත් මට්ටමින් සැලකිලිමත් වීමක් නැති බව ද? එසේ නැත්නම් ඒ විෂය කාරණා පසෙක තබා පුද්ගල බලධාරීත්වයන් මත කටයුතු කිරීම නිසා ඒවා එසේ සිදු වු බව ද? එවැනි කුකුසක් හමුවේ මෙවැනි විශ්ව විද්‍යාලයිය සම්මාන උත්සවයක් නිසි විමර්ශනයකට ලක් කිරීම ද ගැටලුකාරීය.

කෙටි කතාවට අදාළ සම්මානය සම්බන්ධයෙන් ද පටලැවිල්ලක් හට ගත්තේ යැයි ඊට ගොදුරු වු අනුරසිරි හෙට්ටිගේ පවසයි. ඒ අනුව මුලදී නිර්දේශ වී තිබුණේ අනුරසිරි හෙට්ටිගේ ලියූ “මැරයින් ඩ්රයිව්” නම් කෘතිය වුණත් පසුව එය එරික් ඉලියප්ආරච්චිගේ “විශ්‍රාමික පෙම්වතිය” ට ලබා දීමට කටයුතු කොට ඇතැයි පැවසේ. කෙසේ වෙතත් කෙටි කතා 15 කින් සමන්විත විශ්‍රාමික පෙම්වතිය අවධානයට ලක් විය යුතු කතා කිහිපයක්ම අන්තර්ගත කෙටි කතා සංග්‍රහයක්ය යන්න අපේ අදහසයි. විශේෂයෙන්ම මෙරට සමාජ ඉතිහාසයට අදාළ නිර්මාණාත්මක ප්‍රකාශයන් බඳු සිළිඳුගේ දියණිය, කමලනාත් නම් වහලා, නාට්‍ය අනුවර්තනය යන කෙටි කතා ද අපුර්ව මානව සම්බන්ධතා නිරූපණ ලෙසින් ගත හැකි අවාරිස්ගේ යතුරු පැදිය, විශ්‍රාමික පෙම්වතිය නම් කතා පිළිබඳව අවධානයක් යොමු වී නම් එය අසාධාරණ නොවේ. නමුත් ප්‍රශ්නකාරී තත්වය වන්නේ විනිශ්චයක් සිදු කිරීමෙන් අනතුරුව ය. ඒ නිසා එය ද විනිශ්චය සම්බන්ධ අර්බුදයකට වඩා සංවිධායකයන් ඇති කරන්නට යෙදුණ ගැටලුවක් යැයි සිතෙයි. විශේෂයෙන්ම අන්තර්ජාලයේ ප්‍රකාශිත වාර්තා පවා මකා දමන්නට කටයුතු කිරීම තුළ එය එසේ යැයි සිතන්නට ඇති ඉඩ අවකාශ වැඩි වේ. එමෙන්ම එසේ අහිමි වූ සම්මානය වෙනුවෙන් සැනසිලි ත්‍යාගයක් විදිහට තීරු ලිපි සඳහා සම්මාන දෙකක් ඇති කොට ඉන් එකක් අනුරසිරි හෙට්ටිගේට ලබා දීමට කටයුතු කළේදැයි සැකයක් ද ඒත් සමඟම ඇති වේ. ඇත්ත වශයෙන්ම සිදු වී ඇත්තේ එවැන්නක් නම් එය බරපතළ කරුණක් වේ. එනිසා අදාළ සංවිධායක කමිටුව මෙහිලා කළ යුතු සුදුසුම කාරණය වන්නේ ඒ සම්බන්ධයෙන් නිසි පැහැදිලි කිරීමක් ඉදිරිපත් කිරීමයි.

ඊට සමානම උදාහරණයක් අජිත් තිලකසේනගේ “මොන තරම් අවුලක් ද” යන කෘතියට ලැබුණ සම්මානය සම්බන්ධයෙන් ද මතු වී තිබේ. අජිත් තිලකසේන වැනි කාර්යභාරයක් සහිත නිර්මාණකරුවකු එසේ සම්මානයෙන් පිදුම් ලැබීම විවේචනයට ලක් විය යුත්කක් නොවේ. ඒ සම්බන්ධයෙන් අමනාපයක් ඇති කර ගැනීම ද අභව්‍ය තත්වයක්ම ය.

නමුත් ප්‍රශ්නය නිර්මාණය වන්නේ අදාළ සම්මානය වෙනුවෙන් කැඳවීම් ලබන අනුරාධා නිල්මිණි අවසාන මොහොත දක්වාම එය නොදැන සිටීම තුළ ය.

ඇයව එතැනට කැඳවීම හා පැමිණෙන බව තහවුරු කරගැනීම මතු නොව ඔවුන්ගේ නිල ප්‍රකාශන හරහා ඇගේ සම්මානය තහවුරු කොට තිබීම යන මේ සියල්ල පසෙක තබා අවසානයේදී ඇයව හිස් අතින් ගෙදර යැවීමෙන් අදාළ සංවිධායකයන් ඇගේ මානව හිමිකම් කඩ කිරීමක් හා සමාන තත්ත්වයක්ම සිදු කොට ඇත්තේ යැයි සිතන්නට බැරිකමක් නැත. එනිසාම තමන්ට සම්මානය නිර්දේශ වුණේ කුමන පදනමකින් ද යන්න සම්බන්ධයෙන් මෙන්ම තමාට එය නොලැබුණේ කුමන හේතුවක් නිසා ද යන්න සම්බන්ධයෙන් ද ඇය දැනුවත් කිරීමේ වගකීමක් සංවිධායක කිමිටුවට ඇතැයි සිතමි.

ඒ අනුව මෙතැනදී පැහැදිලිව සැකයට පාත්‍රවන කරුණක් තිබේ. එනම් සම්මාන විනිශ්චය හා සංවිධායකයන් අතර ගැටුමක් තිබුණේද යන්නයි. ඉදින් එසේ වී නම් ඒ වෙනුවෙන් ආත්ම ගරුත්වයක් ඇති නිර්මාණවේදීන්ට සම්මානනීය අවමානයෙන් එසේ සැලකීම ලැජ්ජාවට කරුණක් වේ.

සම්මාන ලබා දීම වෙනුවෙන් සංවිධානය වන කමිටුවක් සම්මාන දීම හෝ නොදීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නේ නම් එහි වගකීම ද ඔවුන්ට හිමි වේ.

කෙසේ වෙතත් එය තමන්ටම ලැබිය යුතුය යන පදනමින් සම්මාන ලැබීම නොලැබීම වෙනුවෙන් විවේචනය කිරීමේ හෝ අවලාද නැගීමේ අයිතියක් ලේඛකයන්ට ද තිබිය නොහැකිය. මන්ද ඒ වෙනුවෙන් සැදී පැහැදී කටයුතු කිරීම සැබෑ ලේඛකත්වය නොවන හෙයිනි. නමුත් ඊට අදාළව වුව විද්‍යෝදය සම්මාන උත්සවයේ මෙවර හැසිරීම තුළ අප දකින්නේ වෙනස්ම ආකාරයේ ගැටලුවකි. එය අභ්‍යන්තර ගැටලුවක් යැයි සිතීමට කරුණු තිබේ. ඉදින් එය එසේ නොවේ නම් මේ ගැටුම මානව හිමිකම් කොමිසම දක්වා යන තත්ත්වයක් ඇති නොවීමට ද ඉඩ තිබුණි.

Comments