සතියේ කවි පොත | සිළුමිණ

සතියේ කවි පොත

ග්‍රන්ථය - කෝමළනි කාව්‍ය සංග්‍රහය 
කර්තෘ - ලාල් හෑගොඩ 
විදර්ශන ප්‍රකාශනයකි

ඩිජිටල් කැමරා තාක්ෂණය මෙරට ප්‍රචලිත නොවූ යුගයක, එනම් මෙයින් වසර විස්සකට පමණ පෙර ඡායාරූප කලාව හැදෑරීම සඳහා එක්තරා පන්තියකට ගියෙමි. පන්තිය තිබුණේ බම්බලපිටියේ ය. විවිධ වයස් සීමාවල, විවිධ ප්‍ර දේශ වලින් පැමිණි කාන්තා පිරිමි දෙපාර්ශ්වයේම අය මෙහි ඉගෙනුම ලැබූහ. එය අරුම පුදුම පන්තියකි.

කැමරා තාක්ෂණය, නිර්මාණශිලි ඡායාරූප කලාව පමණක් නොව එහි කාව්‍ය කරණයද ඉගැන්වුයේය. එක් අතකින් කවි ඉගැන්වීම කළා යැයි කීම වැරදිය. හරියටම කිව්වෝත් එහිදි සිදු වුයේ කාව්‍ය රසවින්දනයයි.

ඡායාරූප කලාව ඉගෙන ගැනීමට පැමිණි අප අතර සිටි බොහෝ දෙනා ඡායාරූ කලාවට පමණක් නොව කවි රසවින්දයට ද ආශා කළෙමු. එකම පන්තියේ මේ දෙකම කළේ එක් අයෙකි. ඔහු නම් ප්‍රකට ඡායාරූප ශිල්පියෙකු මෙන්ම කවියකු ලේඛකයකු වන ලාල් හෑගොඩයන්ය. මා මිනිසෙක් ඔබ ගඟක් නිසා (1994), පසළොස්වක සඳ මගේය (1995) , සඳුන් අරටුව දැල්වූයේ ඔබයි (1998) ගඟ වක්වී ගලන තැන(1998) මෙ‘ කවි මෙතැනින් නවතිමි (2010), ලෝකය එකම යායක් (2013) ආදි වු කවි පොත් රැසක් රචනා කළ හෑගෝඩයන්ගේ ඇතැම් කාව්‍ය සංහ්‍රහ සඳහා රාජ්‍ය සම්මානද හිමි වී ඇත.

පසු කාලිනව කවි පොත් කිරීම අත්හැර දැමු ඔහු තමන්ට ලියැවෙන කවි අනෙක් අය හා බෙදා ගෙන රස විඳිම සඳහා තම මිත්‍රයන්ට තැපැල් කර හැරියේය. පසු කාලිනව අන්තර්ජාලයට කවි ලියූ ඔහු පසුකාලින මඳක් නිහඬව සිටියා යැයි කීවොත් නිවැරදිය. යළිත් ඒ නිහඬ බව බිඳිමින් ඔහු විසින් අන්තර්ජාලයට මුදා හැරිය කාව්‍ය සංග්‍රහය වන්නේ කෝමළනි ය.

කෝමළනි කාව්‍ය සංග්‍රහය ඉකුත්දා විදර්ශන ප්‍රකාශකයන් විසින් පොතක් ලෙසින් ප්‍රකාශයට පත් කළේය.

විවිධ මාතෘකා ඔස්සේ ඔහු කවි ලියයි. ඔහුගේ බොහෝ කවි අතර ඇත්තේ ගහ කොළ පරිසරය සමඟ බැඳුණු නිර්මාණය.

මේ සියල්ලම එක් මොහොතකින් වෙනස් වේ. එය බුදු දහමේ ද ඉගැන්නේ. මොහොතින් මොහොත සියල්ල වෙනස් වේ. මිනිස් සිතුවිලි ද මොහොතින් වෙනස් වේ. එනිසා මේ මොහොතේ දකින කෙනා ඊළඟ මොහොතේදී දැකිය නොහැකිය. ඔහු වෙනස් වී ඇත. කවියා මේ කියන්නට උත්සාහ දරන්නේද එයම වේ යැයි සිතේ. මාතෘකාව “පැවැතීම“ (එකම ගඟකින් දෙවරක් ස්නානය කළ නොහැකිය)

“එන්න මිතුරනි, 

බරසාර හිස් වැසුම් ගලවා

බලන්න මිතුරනි

මින් රැළ සැනසෙන මා හා...

වරකැයි දෙවරකැයි නොසලකා

කිමිදෙනා මින්

කිතියක් ද ගෙනයි මට...

ඉඳහිට ඉහළට පනින උන්

වැටෙයි මා ඇකයට නැවතත්

වැටුණේ පහළට

පැන්න එකාමදැයි ඉහළට

ඇසුවේ නැත කවුරුන්....

දෙවරක් සැනසිය නොහැකි බස්

පවසන්නේ ඔබයි

දෙවරක් පැවතිය නොහැකි ඔබයි..

මිතුර දයාබර

නොව දෙවරක්

වරක්වත් ස්නානය කර

ඉවුරට ගොඩ විය නොහැක ඔබට...

එක්කෝ ඇය පරණ පෙම්වතියක් වන්නට ඇත. එහෙමත් නැත්නම් ඇයත් ඔහුත් අතර යම් බැඳිමක් තිබෙන්නට ඇත. යෞවන වියේ තිබු බැඳිමක් යළි යළිත් සිහි ගන්වමින් ඔහුට ඇය හමුවෙයි. ඒ නුවරදීය පදික වේදිකාවේ ලොතරැයි විකුණන්නියක් ලෙසිනි. ඔහු සමඟ බිරිද ද සිටි. නමුදු සන්ධ්‍යා ඔහු හඳුනා ගත්තද ඔහු දෙස බලා වැරදීමක් වූ බව කියයි. නමුදු සුපුරුදු ලෙස ඔසරිය හැඳ සිටින සන්ධ්‍යා වියපත්ය. ඔහුට බොහෝ දේ සිතෙයි ඈ ගැන. ඒ සියල්ල අතීතයක් පමණක් කරමින් ඔහු සැනසේ; එහෙත් අතීතයක් සමඟ හිතට සැනසිල්ලක් නැත. මාතෘකාව සන්ධ්‍යා

“මතක නැද්ද , මම සන්ධ්‍යා“ 

බිරිඳ ද එතැනට ළඟාවෙන බව හැඟේ විසිර තිබූ මතක බිඳු එක්වී ඒ රුව සෑදිණි.

“මේ ඒ සන්ධ්‍යා ද?“

රුසිරු නටබුන් අතරේ නිරුත්තර වීමි. හරි හරියට ම කිලුටු වී , තැනින් තැන දිය වී ඇතත්, තවමත් ඔසරියමයි අදින්නේ. සන්ධ්‍යා නේද මේ?.

එකල සන්ධ්‍යා ලොතරැයියක් වීය අප සැමට.“

“සන්ධ්‍යා“ටත් වඩා “මාන්නක්කාරි“ බොහෝ දිගුය. එහෙත් ඔහු ලියයි. සිතේ ඇති දේ වචන වලට පෙරළයි

මේ කවි ඇතැම් විට කතා වැනිය. විවිධ ආකෘති අත්හදා බැලීම මේ කවියාගේ පුරුද්දය. කෙටි කවි මෙන්ම දිගු කවි ඇති කෝමළනි පාඨකයාට අලුත් අත්දැකීමක් වනු ඇත.

Comments