වැසුණ සිනමාහල් අරින්නට හොඳ චිත්‍රපට අවශ්‍යව තිබේ! | සිළුමිණ

වැසුණ සිනමාහල් අරින්නට හොඳ චිත්‍රපට අවශ්‍යව තිබේ!

කොවිඩ් වසංගතයත් සමඟ මෙම වසරේ මාර්තු 13 වෙනිදා සිට වසා දමනු ලැබූ ශ්‍රී ලංකාවේ සියලු සිනමා හල් යළි විවෘත කරනු ලැබුවේ මාස 04 කට පසුවය. නමුත් සිනමාහල් කරා ප්‍රේක්ෂකයන් තවමත් ආකර්ෂණය වෙමින් සිටින්නේ ඉතා මන්දගාමී ස්වභාවයකින් බව පෙනෙන්නට ඇති දෙයකි.

සෙලවෙමින් තිබූ වරිච්චි බිත්තියකට අලියෙකු හේත්තු වුණා සේ කොරෝනා පැමිණීම හේතු කොටගෙන එතෙක් ආවාට ගියාට පවත්වාගෙන ගිය සිනමා ශාලා සදහටම බිම ඇදවැටී ගිය බවක් මේ වන විට දකින්නට ලැබේ.

අප විසින් කළ සොයා බැලීමකදී පෙනී ගියේ ගම්පහ නගරයේ සුප්‍රකට සිනමා ශාලාවක් වූ “පබ්ලික් හෝල්” මෙන්ම ඊට බොහෝ කලෙකට පසු ආරම්භ කරන ලද “ නයෝමි” සහ “මේකලා’‘ යන සිනමා ශාලාද වසා දමා ඇති බවය. ගම්පහ නගරයේ තිබූ පබ්ලික් හෝල් තරම්ම පැරණි සිනමා හලක් වූ “ජයන්තා” සිනමා හල වැසී ගියේ ඊටද කාලයකට පෙරය. දැන් එතන ඇත්තේ දැවැන්ත සුපිරි වෙළඳ සැලකි.

මීගමුව නගරයේ පිහිටා තිබූ සිලෝන් තියටර්ස් සමාගමට අයත් “රීගල්” සිනමා ශාලාව මෙන්ම “කිංග්ස්” සහ “මීපුර” ද අද දක්නට නැත. “රාජ්” සිනමා හල ගිනි තබා විනාශ කරනු ලැබුවේ 83 දී එළියට ආ ඊනියා ජාතිවාදීන් විසිනි.

මිනුවන්ගොඩ සිට දිවුලපිටිය දක්වා මාර්ගයේ පිහිටි ඉතා පැරණි සිනමා හලක් මෙන්ම ඒ මාර්ගයේම දිවුලපිටිය හන්දිය ආසන්නයේ පසු කලෙක ඉදි කරනු ලැබූ “හෙළදිව” සිනමා හලද අද දක්නට නැත. මීගමුව හලාවත මාර්ගයේ කොච්චිකඩේ හන්දියට මෙහායින් තිබූ “එලයිට්”ද අද වල් බිහි වූ ගොඩනැගිල්ලක් පමණි.

මේ කතාව බොහෝ දිග එකකි.

මෙම සිනමා හල් වලින් සමහරක් වැසී ගියේ කොරෝනා පැමිණීමට බොහෝ කලෙකට පෙරය. නමුත් එනිසාම ලෙඩේ ඇත්තේ කොරෝනා වෛරසය තුළ පමණක්ම නොවන බව තේරුම් ගැනීමට ද මෙය අවස්ථාවක් කර ගත යුතුය.

මේ පිළිබඳව අප සමඟ කතා කළ “ශ්‍රී ලංකා චිත්‍රපට ප්‍රදර්ශකයන්ගේ සංගමයේ සභාපති අනුරාධ බී. රැකව මහතා පවසන්නේ කොරෝනා නිසා වැසී ගිය චිත්‍රපට ශාලා පණස් ගණනින් 15 ක් වැනි ප්‍රමාණයක් හැරෙන්නට අනෙක්වා වැසී ඇත්තේ තාවකාලිකව බවය. මේ ගැන කතා බහේදී ඔහු පෙන්වා දුන් විශේෂ කරුණ වූයේ කොරෝනා නිසා ලොකුම අර්බුදයට මුහුණ පා ඇත්තේ ද්‍රවිඩ චිත්‍රපට පමණක් ප්‍රදර්ශනය කරන උතුරු නැනෙහිර දෙපළාතේ සිනමා ශාලා හිමියන් බවය. ඉන්දියානු සහ හොලිවුඩ් සිනමා නිර්මාණ මෙරටට ගෙන්වීම නැවතී ඇති හෙයින් එම සිනමා ශාලා තාවකාලිකව වසා දැමීම හැර වෙන විකල්පයක් නැතිවී තිබේ.

මෙම අර්බුදය අරබයා කටයුතුකළ කරන ආකාරය සහ එම තීරණ ක්‍රියාත්මක කිරීම පිළිබඳ පැන නැගී ඇති ගැටලු පිළිබඳව කතා කරන රැකව මහතා ගේ අදහස වී ඇත්තේ තම සංගමය විසින් කොතරම් ඉල්ලීම් කරනු ලැබූවත් බෙදා හැරීමේ මණ්ඩල හෝ චිත්‍රපට සංස්ථාව ඒ කිසිවක් සඳහා අනුග්‍රහ නොදැක්වූ බවය. “වසර 20ක් මුළුල්ලේ සියයට 10 ක කොමිස් මුදලකින් විශාල ලාභයක් ලැබූ බෙදා හැරීමේ මණ්ඩල පවා මේ අර්බුදකාරී තත්වයේදී සිනමා ශාලා අමතක කර දැමීම කනගාටුවට කරුණක්. නමුත් චිත්‍රපට ප්‍රදර්ශකයන්ගේ සංගමය දිගින් දිගටම රජයෙන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් පසුගිය ජූනි 27 වෙනිදා සිට සියයට 50 ක ධාරිතාවයකින් යුතුව සිනමා ශාලා පවත්වා ගෙන යාමට අවසර ලබා ගැනීම අප සංගමය ලබා ගත් ජයග්‍රහණයක් ’‘

හෙතෙම පවසයි.

ඔහුගේ අදහස වන්නේ මේ පවතින පසුබෑම ගෝලීය අර්බුදයක ප්‍රතිඵලයක් ලෙස අප තේරුම් ගත යුතු බවයි. ඇමෙරිකාවේ ප්‍රාන්ත ගණනාවක සිනමා ශාලා විශාල ප්‍රමාණයක් දින නියමයකින් තොරව වැසී ඇති අතර නිව් ජර්සි ප්‍රාන්තයේ කුඩා සිනමාශාලා හිමියන් තමන්ගේ සිනමා ශාලා විවෘත කිරීමට අවසර දෙන ලෙස ඉල්ලමින් නඩු මඟට බැසීමට පවා සූදානමින් සිටන බව රැකව මහතා කියයි. ඉන්දියාවේ බොලිවුඩ් මෙන්ම කොලිවුඩ් සිනමා කරුවන්ද එක හඬින් ඉල්ලා සිටින්නේ කවර නීති රීති යටතේ හෝ සිනමා ශාලා විවෘත කිරීමට අවසර දෙන ලෙසය. නමුත් මේ වන විට කොවිඩ් අවධානම අඩුවෙමින් පවතින ප්‍රංශය, චීනය, දකුණු කොරියාව, සහ ජර්මනිය යන රටවල් සිනමා හල් විවෘත කිරීමෙහි ලා ප්‍රගතියක් පෙන්වන බව දක්නට ලැබේ. 

රැකව මහතාගේ අදහස වන්නේ සිනමාව ජනතාවට විවෘත කර එහි ප්‍රගමනය ගැන උනන්දු වෙනවා මිස සෘණාත්මකව ඒ ගැන කතා කිරීම හිතකර නොවන බවය. 

කොවිඩ් වසංතය හමුවේ අප රටේ සිනමා ශාලා හිමියා මුහුණ දෙන චිත්‍රපට නැතිකම බව රැකව මහතා පෙන්වා දෙයි.

හොලිවුඩ්, බොලිවුඩ් සහ කොලිවුඩ් චිත්‍රපටකරුවන්ද තමන්ගේ නිර්මාණ මුදා හැරීම ලබන වසර තෙක් පමා කිරීමට තීරණය කර තිබේ.

නමුත් අප රට තුළ දේශීය සිනමාවක් පවතින බැවින් පවතින තත්ත්වයට සාපේක්ෂව අපට සතුටු විය හැකි බව අනුරාධ බී රැකව මහතාගේ අදහසයි.

ඒ නිසා මේ අවස්ථාවේ අප කළ යුතුව ඇත්තේ දේශීය සිනමා කර්මාන්තය නඟා සිටුවිමට මෙම තත්ත්වය පාදක කොට ගැනීම ය. ඒ සඳහා දේශිය චිත්‍රපට නිෂ්පාදකයින් දිරිමත් කොට, ඔවුනට ලබා දිය හැකි ප්‍රතිලාභ වැඩි දියුණු කර ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගන්නා චිත්‍රපට වැඩි වශයෙන් මුදා හැරීමට අවස්ථාව සලසා දිය යුතු ය.

මෙසේ පවසන ඔහු මේ සඳහා දිය හැකි හොඳම උදාහරණය වශයෙන් පෙන්වා දෙන්නේ මේ දිනවල තිරගත වන විසාකේස චන්ද්‍රසේකරම්ගේ “පාංශු” ය. පාංශු ඉතා හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබමින් තිරගත වන බව ඔහුගේ නිරීක්ෂණය වී තිබේ.

මේ සියල්ලටම අමතරව වසර 20 ක කාලයක් මුළුල්ලේ සිංහල සිනමාව විනාශ මුඛයට ඇද දැමූ අතර මැදි බෙදා හැරීමේ මණඩලය අහෝසි කර දමා ප්‍රදර්ශකයා, නිෂ්පාදකයා සහ ප්‍රේක්ෂකයා පමණක් සම්බන්ධ වන ක්‍රමවේදයක් සැකසීම ද සිංහල සිනමාවේ ප්‍රගතියට මහත් රුකුලක් වන බවද ප්‍රදර්ශකයන්ගේ සංගමයේ සභාපතිවරයාගේ අදහස වී තිබේ.

සිනමාව ගැන නිරන්තර අවධානයකින් පසුවන්නකු වන මීපුර සිනමා සහෘද සංගමයේ සභාපතිවරයා වන සුදත් සේරසිංහ මහතා ද මෙහිදී අපට සම්බන්ධ කරගත හැකි විය.

ඔහුගේ අදහස වන්නේ සමහර සිනමා ශාලා පවත්වාගෙන යන පිළිවෙළ දකින විට ඒවා වැසී ගිය එක සිනමාවට සිදුවූ යහපතක් බවය. සිනමා සංස්කාතියක් ගොඩනැඟිය යුතු යයි කතා කරන යුගයක මිනිසකුට චිත්‍රපටයක් රස විඳීමට ආශාවක් ඇති කරන තත්ත්වයේ පරිසරයක් සහිත සිනමා ශාලා තිබිය යුතු බව ඔහුගේ අදහසයි. ඒ නිසා සිනමා කෘතිය කොතෙක් හොඳ නිර්මාණයක් වුවත් එය ජනතාවට සමීප නොවීමට මේ කාරණයද බලපා ඇති බව ඔහුගේ අදහස වී තිබේ.

Comments