කවි සිළුමිණ | සිළුමිණ

කවි සිළුමිණ

තුරු විපත්

ගත පණ සිඳුණු දා ඇති වුණ පිපා­සෙට
නැවතී ගිමන් හළ මහ බුරු­තයේ යට
යන එන කවුරු කවු­රුත් රෑ දවා­ලට
මත­කය උන්නු සැටි දවසේ බොහෝ­විට..
හිස රැඳි පත් තිබුණි එහි තැන තැන විසිර
අත පය කැබ­ළි ­කළ සල­කුණු විය පැතිර
විස නැහැ­යට දැනුණි කිය­තක දැති අතර
ඇසුනේ ලැගු­ම්ගත් සියො­තුන හඬ විතර..
බේරී මිදෙ­න්නට ගන දැඩි හිරුගෙ රැසින්
ආගිය කතා දෙඩු­වෙමු හද­පි­රුණු තොසින්
සිහි­පත් කළ යුතුය කඳු­ළක් නැගුණ ඇසින්
විමසා බලන විට මිතුරා මොරටු ගොසින්

දඹේ­ගොඩ ජින­දාස


දිව­මන් දසුන

දම්සක් සුතුරු සර මුසු සැන්දෑ පවන

මූල­ග­න්ධි­කුටි මහ වෙහෙ­රින් පැමිණ
සම්බුදු මහිමි දෙසු මුල් බණ පද වරුණ
පිළි­රැවු නඟත දම්පල් මාහිමි එතැන
සාදු නාද පිරි­තිර ගුව­නත පැතිර
සාරා­නා­තය ම හොබ­වන කල නිතොර
පූජා වන සහ­සක් මල් රොන් පතර
පීරා එන සුවඳ මැද සමිඳු ය පවර
සපු නා නුග ඇසතු සල් ඈ තුරු පිරිස
සුළඟේ මතුර මතුරා පව­සන රහස
අහසේ නැඟී අට දෙස පැති­රෙත නොලස
දිගතේ දකිමි දම්පල් බුදු පුත් සිරස
මුල්ග­ඳ­කුටි වෙහෙරැ සිවු මුදුන් කුලු­වල
නැංවෙන කේතු­මාලා ප්‍රභා රෑ කල
නිම­වනු පිණිස මේ බුදු මැඳුර නික­සළ
හිමි බට දුක­ඳු­රට පුද පහන් වනු බල
ගයා හිස පිපී ගිය කුසුම් රස පිස
හමා එන නලින් අතු අත් නො වී ලස
ලෙළේ සඳ­කැනේ වුව දකිමි සොම්නස
දැනේ ප්‍රීති සිත සමි­ඳුගෙ දසනු දෙස

නන්දන වීර­සිංහ
(දම්පල් හිමි අනු­ස්ම­ර­ණය නිමි­ත්තෙනි)


මම කිය­වමි

මම කිය­වමි 
නුඹේ හිතම  
දිවා රෑ ගැන  
කිසිත් නොතකා...  
කියවා ගන්නට

අප­හසු තැන­කදි
නුඹ තනි කර­න්ටත්
සිත් නොම වීලා...
කොහෙ­න්වත් මට
නොම ලැබු­ණේය
පියා­පත් ඔය සිත
අත්හැර පිය­ඹන්ටා...
ඒත්...
නුඹෙ සිතේ
මට රැක­වල්
ඇතිද බැව්
තාම නුඹ නොකියූ
රහ­සක් වෙලා...

ශාමිනී නටාෂා


හිත මිතුරේ

“දිගත පතළ සුව­ඳැති සොඳ සඳුන් කඳ 
සිඳිත මඩිත එක ලෙස පැති­රෙයි සුවඳ” 
නියත ලෙසට සැසැ‍ඳෙයි කා බුන් පසුද 
ඇසෙත අභය සුන්දර නම හා සබඳ

වතුරේ ගම - අභය සුන්දර දෙ දෙන එදා
සසරේ බැම්ම පෙන්නා කවි කැකුළු විදා
පැතිරේ ඔවුන්ගේ නම් දකුණු දෙස සදා
මිතුරේ ඔබට ගුරු­කම් දෙනු ඇත හැම දා
ඉරු ඉළු අනු­ස්වා­රය හෙළ බසේ නැතී
දොඩ­මලු හෙළ මුවට නුහු­රුයි සිතා ඇතී
තැබූ වලු පසෙක සකු බස ඇතැ­මෙක් පෙරැතී
දොර­ගුළු කළේ විම­ලුයි පබ­ඳින් රසැතී
විදු­ල­කරේ සර­ස­වි­යෙදි බැඳුණු සෙනේ
අප අතරේ වැඩුණා දලු ලමින් අනේ
ගිය අතරේ අප හැර දා නො පැතු දිනේ
හිත මිතුරේ මා හද තැවෙයි වියො­විනේ
පණ්ඩිත උපා­ධිය ඔබ අප ලියා සමත්
දැන් අත අත යැවෙන මෙව­ල­මකි සිඳි අරුත්
ඉන් හිත රිදෙන මුත් කළ හැකි දෙයක් නැතත්
වින් දිත යන් නො වෙමු අප නොවැ බස අත පත්
පැළ­පත නිසා මවු ගස එළිය වන වගක්
ඇත අප අසා සැන­සෙත හැකි පියෙකි ඔබත්
ලැබ ඇති­මෙසා බුහු­මන් කර­මින් සිහි­පත්
සැවැ තව්තිසා වෙන් ඔබ මෙහි එන්න යළිත්


පණ්ඩිත අශෝක කරු­ණා­රත්න
(දිවං­ගත පණ්ඩිත විමල් අභය­සු­න්දර කවි­යාගේ අනූ නව වැනි ජන්ම සම­රුව නිමි­ත්තෙනි)


තාත්තා

සිතු­විලි නිර­තු­රුව කවි කර ඔබ ලියුවේ 
සිවු­පද යසට ගැළපූ හැටි මා දුටුවේ 
පද ගැළ­පීම සේ අරු­තෙහි රස බැලුවේ 
මට බැරි ඇයි ද ඒ ලෙස යැයි මා සිතුවේ

උපැස් යුවළ පලඳා ගෙන දිවා රැයේ
කවි, ලිපි ලිවී­මට ඔබ සිත යොමු වූයේ
කෑමද නින්ද නැහැ ඔබ හට සිහි වූයේ
මැසි­විලි ඒ ගැනයි මම ඔබ හට කීයේ
සැමදා උදෑ­සන හන්දිය වෙතට ගියේ
පුවත් පතක් ගෙන මිස නැහැ ඔබ ආවේ
පත් පිටු පුරා ඔබේ දෙන­යන යනු දුටුවේ
කවි­යන් නෙත ගැටී ඔ‍ෙබ් හිත පිනා ගියේ
නිවසේ කෑමට පෙන්වා ඉන් තුටු වන්නේ
දුර­ක­ථ­නය වෙතයි දෙව­නුව ඔබ යන්නේ
ලොකු දුව­ටයි මුල් ඇම­තුම් ඔබ ගන්නේ
ඉන්පසු අනෙක් හිත­ව­තු­නට පව­සන්නේ
ඉඳ­හිට දිනෙක මා කවි පද ලියූ විට
මසි­තට දැනේ කොප­ම­ණ­දැයි එහි සතුට
පිය­තුම එදා ලිවු හැටි සිහිවී මෙමට
කඳු­ළක් නැගේ මා නොදැ­නිමි නෙත් අගට
කවි සිත ඔබේ පම­ණක් මට ඉතිරි කර
ඔබ අද ගොසින් අප සැම­දෙන මෙහි අතැර
සිටිනා ලොවක සිට ඔබ මේ කවි අතර
පෙන්නා දෙන්න ඇත්නම් වර­දක් කවර

රසංගි සිරි­ව­ර්ධන


ගස­කට හිතෙ­නවා

හිමි­දිරි පාන්දර ජාමේ නැගි­ට­ගෙන 
බට් අඹ ගස වටේ රවු­මට ඇවි­ද­ගෙන 
උඩ බලා අතු­ප­ත­රත් විමි­ස­මින 
ගස බය කර­න්නට වාගේ බැණ වදින

අල්ලපු ඉඩම් වල අඹ ගස් පුර­වාලා
හරි ලස්ස­නට හැම ගහ­කම මල් පිපිලා
බට් ගස් නිසා යුතු­කම් අම­තක කරලා
ඒ හින්දාද කල් මර­මින් ඉන්නෙ බලා
මිනි­සුන් සතා සිවු­පා­වුන් හැම අයම
හිතා ඉන්නෙ කව­දත් එහෙම තමයි
ඔවුන් හැමට අප සතු පරම යුතු­කම්
කල් යල් බලා මල් පල බර දරන එකයි
ගහ­කොළ කිය­න්නෙත් ජීවින් කොට­ස­ක්මයි
අප­ටත් උරුම ඇව­තුම් පැව­තුම් බොහො­මයි
අලු­තින් සිත­න්නට අප කවු­රුත් කැම­තියි

සරත් කෝදා­ගොඩ


කඳුළ

හද ගැබෙන් මෝරන 
දලු­ල­මින් දින දින වැඩෙන 
ළෙන්ග­තුව ආද­රය 
පිදුවේ නුඹට මම...

නේක­විද අංග­නා­වන්
සිත්ල­මින් නුඹ සිත
සිනහ වඩ­වයි
මසිත උප­දින...
මධු­මති බද්දේ­වි­තාන
විමු­ක්තිය ද?
පිනි වැටෙන මහ රෑක
දුරු­ක­තර ගෙවා­ගෙන
මම ආවේ සිහි­නෙක
විමු­ක්තිය සොයා ගෙන...
සුවඳ මල් මක­රන් ද
මලට මල වෙන වෙනම
සිප­ගත් මා ද මේ
විමු­ක්තිය සොයන්නේ...
කන්දෙන් කන්ද, ලන්දෙන් ලන්ද
තැනි­තලා හෙල් මතින්
ගල් බොරලු කටු­කො­හොල්
විමු­ක්තිය සොයා යන...
කිසි­වෙ­කුගේ පය නොගැ­ටුණු
මිහි­ක­තගේ ගීරාව පම­ණක් ම
සන්සුන් මොහො­තක දැහැන
විමු­ක්තිය ද මේ මා සොයන...

මේදනී මැණි­ක්කු­ඹුර


සඳ රෑ මල්

වැට කඩොලු බැදන් 
කුමු­දි­නිය ලෙසින් 
රෑ තුන්යම පෙති 
විද­හන යන්තම්

එළි වෙන පැය­කින්
හැන්ගෙන රෑ මල්
නෑ දකින්නෙ
ඉර අව­රට යන­කම්
හිත කිළිටි කරන්
දිව එන බබ­රැන්
රෑ කුමුදු කොදින්
සැන­සෙ­න්නට නම්
උන් උගත යුතුයි
සැඩ හිරැ රස්නෙන්
වෙන් කර හඳුන­න්නට
සඳ කැල්මන්....
සියු­මැලි තටු­වෙන්
පිරි­ම­දින ලෙසින්
විස කටු පහ­රක
වේදනා දෙමින්
මත් උනු බැල්මක්
ඇස් අග රන්දන්
උන් ඒවි වරින් වර
මැදි­ය­ම­ටත්....
අනේ ඉතින්
විස බඹර තුඩින්
හැකි­ලෙ­න්නට වී නම්
මුදු කුමුදු කොදත්
පෙම් සුසුම් පොදක්
සිප ඇහැ­ර­න­කම්
ඇස් අරිනු එපා
තුන්ය­ම­ක­ට­වත්...

අචිනි නිසං­සලා


දයා­බර දඬු­වම

මම කිසි දින­ක­වත් නොදුටු 
ළයෙහි තබා 
හිස සත­පවා 
නොමැති...

පෙකෙණි වැලෙන්
වෙන් කෙරුවේ
සසර යළිදු
සැරි සර­න්නට
නොදී...
කඳුළු අත­හැර
යනෙන මඟ­තොට
සොයන
ඈ රුව
ගුණ... සුවඳ
දයා­බර දඬු­වමකි

නන්දන පලුකන්දෑව

මල්...

පිපුණු මල් 
හැලෙන මල් 
සිය­ල්ලම 
එක ඉත්තෙ

කේ.ඩබ්ලිව්. සිරි­සේන


සමා­වෙනු මැන

ගෙදර එන්නට ඉසිඹු නැති බව 
කියමි මුල­දීම හද සොවින් 
සල්ලි එව­නවා බේත් ගන්නට 
තාත්තේ නුව­රට ගිහින්...

ගිනි­යමේ පස පෙර­ළුවා නුඹ
එතෙර කර­නට අප දුකෙන්
ලෙඩට මුල වෙහෙ­සීම දිග­ටම
අහර නැති­වුණ හිස් කුසින්....
ගම්දොරේ පැති­රෙන කතා හැම
බොරුම බව පව­සමි සොවින්
මෙතැන සුව අර­ණකි නම් ලද
බොහෝ අය සුව­වෙයි සැණින්...
රැය දිවා නිසි වෙනස නොම­දැන
වැඩ­ක­රමි සන්සුන් සිතින්
ඉඩ ලැබුණු විට ගෙදර එන්නම්
සමා­වෙනු මැන මට ඉතින්...

රඹු­ක්කන රුවන් සුද­ස්සන


නොනි­මෙන අලුත් ඇඳුම්

ගිනි දහ­වල මැදත් 
රෑ තුන් යාමෙ­දිත් 
මා දරා­ගත් වෙහෙස 
එක පයින් කාසි කොට

නිවා­ලන්නෙ ද
ඔබෙන් ලැබූ අතෘ­ප්තිය....
එක­වර ම ඔබේ සැන­සුම
පැමිණේ ද මා අසල
නොනි­ම­වෙන “අලුත්“
ගත පැලඳි නමුදු’ගෙන
ඔබ තවත් දේ කියනු
ඇත නිසැක...
නාස්තිය කුමට මට
බැර කරන් නුඹෙ වදන්

බිනූ දිලාරා ගමගේ


කුරවි කිරි­ල්ලියේ

කුරවි කිරි­ල්ලිය 
තටු නොගසා ම නික්ම ගිය 
සැඬ­සුළං දහ­රට 
ස්ව කැමැ­ත්තෙන් ම එක්වුණ...

පන්ති කාමර
ඉබි­ය­තුරු කඩා දා දිව­ගිය
අඩි­පාර දිගට ම
වැටුණු කඳු­ළුයි බොහොම
ගුරු ඇසේ විම­සු­මට
නොහ­සුව
හොරෙන් මල්සර හා දොඩ­ම­ලුව
ඒ මල් සිහින
ඇස් ඉදි­රි­පිට දී ම පිපු­රුණ
සුදු­ග­වුම් රැලි බිඳී
මංජ­රියේ මල් විසිරී
නපුරු උල් කටු ඇනී
කිම වුණේ බාල­ බො­ළඳී....
සිප් හලේ දොර­කඩ
තාමත් නුඹේ උණු­හුම
තැනින් තැන තාමත්
නුඹ ගැන ම දොඩ­වන
කියන් දියණී නුඹ
සුළං දොර­කඩ
හෙළ උඩක
කැදැ­ල්ලක් සැදුවේ කිම.....?

කිත්සිරි කොත­ලා­වල

Comments