ආර්ථිකය පණ ගන්වන හැටි කියන 21 එළිදකින ශ්‍යාම් නුවන් ගේ අලුත් පොත | සිළුමිණ

ආර්ථිකය පණ ගන්වන හැටි කියන 21 එළිදකින ශ්‍යාම් නුවන් ගේ අලුත් පොත

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ලෝකයේ සෑම රටකටම පාහේ අඩු වැඩි වශයෙන් බලවත් ආර්ථික විපාකයන්ට මුහුණ දීමට සිදුව තිබේ. එම ආර්ථික විපාකයන් ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාවටද කටයුතු කිරීමට සිදුව ඇත්තේ දේශීය සහ ජාත්‍යන්තර ආර්ථික බලපෑම් සහිත වාතාවරණයට මුහුණ දෙමිනි.

එවැනි පසුබිමක් තුළ කොවිඩ් - 19 හමුවේ ශ්‍රී ලංකා ආර්ථිකය පණ ගැන්වීමේ උපායමාර්ග ගැන ජන සමාජය තුළ කතිකාවක් ඇති කිරීම සහ ඒ සම්බන්ධයෙන් ජනයා දැනුවත් කිරීම සැබෑ මාධ්‍යවේදියකුගේ යුතුකමක් යැයි හැඟේ. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශ්‍යාම් නුවන් ගනේවත්ත ‘කොවිඩ් 19 හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය පණ ගැන්වීම’නම් සිය නවතම කෘතිය පළ කරන්නේ ඒ යුතුකම ඉටු කරමිනි. එම කෘතිය පිළිබඳ මාධ්‍යවේදී ශ්‍යාම් නුවන් ගනේවත්ත මෙසේ කීවේය.

”කොවිඩ් වසංගතයෙන් අකර්මණ්‍ය වූ අපේ රටේ ආර්ථිකය නැවත පණගැන්වීම ගැන බොහෝ සාකච්ජා සිදුවෙමින් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අනුගමනය කළ හැකි විවිධ උපායමාර්ග ගැන අදහස් බොහොමයක්ද ඉදිරිපත් වී තිබෙනවා. බොහෝ දෙනා පශ්චාත් කොවිඩ් යුගයක් ගැන කතා කරනවා. නමුත් අපි කවුරුත් දන්නවා ලෝකයේ බොහෝ රටවල්වල වගේම අපේ රටෙත් තවම කොවිඩ් වසංගතය සම්පූර්ණයෙන් අවසන් වී නැහැ. රටේ ආර්ථිකය ගොඩ නැඟීමට කොවිඩ් වසංගතය අවසන් වන තුරු බලා සිටීමට හැකියාවක් නැහැ. ඒ නිසා කළ යුත්තේ සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම වේද අනුගමන කරමින් රටේ ආර්ථිකය පණ ගැන්වීමට අවශ්‍ය උපායමාර්ග ක්‍රියාවට නැංවීමයි.“

කොවිඩ් 19 සම්බන්ධ මෙම කෘතිය මාධ්‍යවේදී ශ්‍යාම් නුවන් ගනේවත්ත විසින් රචිත 19 වැනි කෘතිය වීමද විශේෂත්වයකි. කොරෝනා වසංගතය හමුවේ ශ්‍රී ලංකාවට ආර්ථික බලපෑම් සහ ශ්‍රී ලංකා ආර්ථිකය පණ ගැන්වීම සම්බන්ධයෙන් කතුවරයා විසින් ම ලියන ලද පරිච්ජේදවලට අමතරව ඒ සම්බන්ධයෙන් විවිධ විද්වතුන් දැක්වූ අදහස්වලින් සමන්විත පරිච්ඡේද කිහිපයක්ද මෙම කෘතියට ඇතුළත්ය. ඒ අනුව රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල්, ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂ ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර, මහාචාර්ය නලින් අබේසේකර සහ ආචාර්ය දිනේෂ් සමරසිංහ යන විද්වතුන්ගේ අදහස් මෙම කෘතියේ වේ.

කොළඹ නාලන්ද විද්‍යාලයේ ආදි සිසුවකු වන මාධ්‍යවේදී ශ්‍යාම් නුවන් ගනේවත්ත ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ වාණිජවේදී විශේෂ උපාධිධාරියෙකි. රජයේ මාධ්‍ය පුහුණු ආයතනයේ ජනමාධ්‍ය පිළිබඳ ඩිප්ලෝමාධාරියෙකි. 2003 වසරේදී දිවයින පුවත්පතේ මාණ්ඩලික මාධ්‍ය වේදියකු ලෙස සේවයට බැඳුණු ඔහු දැන් එහි ෙජ්‍යෂ්ඨ මාධ්‍ය වේදියෙකි. බැදුම්කර මගඩිය, කවුද හොරා, යහපාලන රජයේ ආර්ථික ශේෂ පත්‍රය, කොටස් වෙළෙඳපොළ ඉතා සරලව, සංචාරක ආර්ථිකයට රට සූදානම් කිරීම, බුදු දහමේ ආර්ථික විද්‍යාව, අපේ ආර්ථිකයේ හෙට දවස, ශ්‍රී ලංකා ආර්ථිකයට ප්‍රවේශයක්, ආර්ථික යුද්ධය ජය ගැනීම ඇතුළු ව ඔහු විසින් මේ දක්වා ලියන ලද සහ සංස්කරණය කරන ලද කෘති සංඛ්‍යාව 18කි.

ඔහුගේ නවතම කෘතිය ‘කොවිඩ් 19 හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය පණ ගැන්වීම’ ජනගත කිරීම 21 වැනි සඳුදා පස්වරු 3.00- 5.30 දක්වා කොළඹ පුස්තාල හා ප්‍ර ලේඛන මණ්ඩල ශ්‍රවනාගාරයේදී මුදල් රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු ආර්ථික හා මූල්‍ය අංශවල සම්භාවනීය ආරාධිතන් රැසකගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

 සුරේකා නිල්මිණි ඉලංගකෝන්

Comments