හතර වටේ GOසිIP | සිළුමිණ

හතර වටේ GOසිIP

නිල නිවෙසින් එළවන්නට බැරි කුම්භාණ්ඩයෝ

ගෘහපාලන සමයේ මැති ඇමතිවරුන් කළ කී දෑ බොහොමයක් දැන් දැන් එළිවෙන්න පටන් අරන් කියලයි ආරංචිය.

සමහර අය තමන් සේවය කරමින් සිටි රාජ්‍ය ආයතනවල බඩුමුට්ටු නිවෙස් වෙත රැගෙන ගියා කියලත් කියන්නේ.

මේ පිළිබඳව සොයා බලන්නට රජය පියවර ගෙන ඇති නිසා සමහර ඇත්තන් ගෙනගිය දේවල් නැවත ගෙනැල්ල තිබ්බත් කියලා කියනවා.

යහපාලන රජය යටතේ ඇමතිකම් දැරූ තවත් පිරිසක් මෙතෙක් තම නිල නිවාස රජයට ලබාදී නැති බවත් ඉතා ඉක්මණින් ඒවා රජයට ලබා දෙන්න කියලත් රජය ඔවුන් කිහිපවිටක්ම දන්වා ඇතත් ඔවුන් එය මඟ හරිමින් සිටිනවා කියල කණින් කොනින් ආරංචියි.

කළුතර කටකාරයට පුතාණෝගේ සද්දේ දමයි

යහපාලන රජය පැවැති සමයේ නොයෙක් නොයෙක් රංගනයන් ඉදිරිපත් කළ කළුතර පළාතේ කටකාරයා නැවතත් එළියට බැහැලා කියලයි කියන්නේ.

මැති ඇමතිකම් රැසක්ම තම නම ඉදිරියෙන් සටහන් කරගත් මේ හාදයාට අගමැති සිහිනයක් තිබුණා කියලයි ආරචිය.

එක දිගටම බොරු රංගනයන් ඉදිරිපත් කිරීම නිසා කළුතර වගේම තවත් ප්‍රදේශ රැසකදීම ජනතාව මොහුට දැඩි විරෝධතාවයක් දක්වමින් දේශපාලන වේදිකාවන්වලදී එළවා දැමුවා කියන්නේ. නිල් පාටියෙන් කොළ පාටියටත් කොළ පාටියෙන් පුතාණෝගේ පාටියටත් පැනගත්ත මේ හාදයා මෙවරත් දියවන්නාව නියෝජනය කිරීමේ අවස්ථාව ලබාගෙන ඉන්නවා කියලයි කියන්නේ.

පුත‍ාණෝගේ පාටියේ චණ්ඩියෙක් වගේ රඟපාන මොහුට සද්දේ වහගන ඉන්න කියලා පු‍තාණෝගේ වටේ ඉන්න චණ්ඩි සෙට් එකක් හොඳටම ඇමතුවා කියලයි ආරංචිය.

නායකයා වෙන්න සැඟවෙන හාදයා

නායකත්වයට මෑත ඉතිහාසයේ වැඩිම ගැටුම් ඇති වූයේ කොළ පාටියේ බව මෙරට වැසියන් හොඳින් දන්නා කාරණයකි.

කොළ පාටියේ ඉඳල පුතාණෝගේ පාටියත් සමඟ එකතු වුණු හීන්දෑරි උස හාදයා මේ දිනවල අලුත්ම ගේමක් ගහනවා කියලයි කියන්නේ.

කොළඹ පළාත තුළ නොයෙක් නොයෙක් සංවිධාන නිර්මාණය කරමින් මාධ්‍ය ඉදිරියට එන මොහු කොළ පාටියේ සාමාජිකයෙක්ව සිටියදී එම පාටියේ නායකතුමන් වෙන්නත් ලොකු උත්සහයක් ගත්තා කියලයි ආරංචිය.

පුතාණෝගේ පාටියට පැන ගත්ත මේ හාදයා මෙවරත් දියවන්නාවට තේරී පත්වුණා කියන්නේ. පුතාණෝගේ පාටිය සංවිධානය කරනු ලබන ජන හමු සහ දේශපාලන හමු දිගින් දිගටම මඟ හරින මොහුට පුතාණෝගේ පාටියේ නායකයා වෙන්නත් ඕන කියලා කියන්නේ. පුතාණෝ මේ බැව් දැනගෙන කිසිම දෙයක් නොදන්නවා සේ කටයුතු කරනවා කියලයි ආරංචිය.

කැමැත්තෙන්ම සිරගතවන හිටපු ඇමැතිවරු

නොයෙක් වංචා දූෂණ සම්බන්ධව චෝදනා එල්ල වී ඇති හිටපු මැති ඇමැතිවරු කිහිපදෙනකුම ළඟදීම හිරගෙදරට යන බව ඔවුන් විසින් ම ප්‍රකාශ කරනවා කියලයි ආරංචිය.

යහපාලන රජය සමයේ සිටි මැති ඇමතිවරුන් සිවුදෙනකු දැන් දැන් සමාජ මාධ්‍ය යොදා ගනිමින් මේ බැව් ප්‍රචාර කරනවාලු. රිදී තිරය ජයගත් මෙවරත් දියවන්නාවට පැනගත් කඩවසම් හාදයා නිතර නිතර මේ ගැන කියවනවා කියන්නේ. කළුතර පළාතින් දියවන්නාව පැනගත්ත හාදයෙක් ජනහමු කිහිපයකදීම තමන් ළඟදීම හිරගෙදරට යන බැව් ප්‍රකාශ කළ බව

කණින් කොනින් පැවසෙනවා. මොනරාගල දිස්ත්‍රික්කයෙන් දියවන්නාවට පැන්න තවත් හාදයෙක් හිරගෙදර යන්න සූදානම්ලු. කොළඹ දිස්ත්‍රික්කයෙන් දියවන්නාවට පුතාණෝගේ පාටියෙන් පැනගත්ත උස හාදයත් මේ ගැන කිව්වලු.

යුව රජු පස්සේ වැටුණ දියවන්නා සාමාජිකයෝ

රටට සේවය කරන්නට තමන් දියවන්නාවට පැමිණි බව බොහෝ දියවන්නා සාමාජිකයන්ගේ තේමා පාඨය බවට පත්ව තිබේ.

ඔවුන් එසේ ප්‍රකාශ කර සිටියත් ඇමතිකම් නොලැබීමෙන් මෙවර දියවන්නාවට පැමිණි සාමාජිකයින් බොහෝ දෙනකු දැඩි කනස්සල්ලෙන් පසුවෙනවා කියලයි ආරංචිය.

මින් කිහිපදෙනකුම තමන්ගේ හිත හදාගන්න ලංකාව වටේ සංචාරය කරනවා කියලත් කියන්නේ.

තවත් ඇමතිකම් කිහිපයක් ම ඉදිරියේදි ලබා දෙන බව ජනමාධ්‍ය විසින් ප්‍රචාරය වීමත් සමඟ ඇමතිකම් නොමැති දියවන්නා සාමාජිකයින් යුව රජු පස්සේම වැටිලා කියලයි ආරංචිය.

ආරාධනා ඇතත් නැතත් මේ අය යුව රජු සහභාගි වන සෑම උත්සවයකට ම ගොඩවෙන්නට වග බලා ගන්නවලු. නිතර නිතර යුව රජුගේ සැප දුක් විමසමින් ඔහුගේ නිල නිවසටත් යනවා කියලයි කියන්නේ.

මේ පිරිසෙන් බේරිලා ඉන්න යුව රජු නොයෙක් ක්‍රම භාවිතා කරනවා කියලයි ආරංචිය

අලුත් පාටියක් හදන නිල් පාටියේ ලොක්කි

නිල් පාටියේ තරුණ නායකයන් නිල්පාටිය ගොඩ නගන්නට මේ දිනවල අලුත් වැඩසටහන් රැසක්ම ආරම්භ කරල කියලයි කියන්නේ.

මොන ගැටලු පැමිණියත් නිල්පාටිය අතහැර නොගිය නායකයන්ට සිය ප්‍රණාමය පුද කරන මේ තරුණ නායකයන් පිරිස දියවන්නාව නියෝජනය කිරීමට සමත්ව ඇත්තේ පොහොට්ටු පාටියත් සමඟ එක ගමනක් ගිය නිසා කියලයි කියන්නේ.

‍ෙම් අතර නිල් පාටියෙන් රටේම නායිකාවක්ව සිටිය ගම්පහ පැත්තේ නායිකාව නිල්පාටිය නැති කරන්න අලුත් සෙල්ලමක් ක්‍රියාත්මක කරල කියලයි ආරංචිය. නිල් පාටියෙනුයි, කොළ පාටියෙනුයි, පුතාණෝගේ පාටියෙනුයි කට්ටියක් අමුණාගෙන අලුත්ම පාටියක් හදන්න ආයේ කටයුතු කරමින් සිටිනවලු.

Comments