සරණක් නැති ළඳුන්ට කාන්තා පිහිට | සිළුමිණ

සරණක් නැති ළඳුන්ට කාන්තා පිහිට

ජීවන ගමන්ම‍ඟෙ සුවහසක් අවස්ථා වලදී කිසිවෙකුගේ සරණක් නොමැතිව අසරණවන කාන්තාවන් සමාජයේ ඕනෑ තරම් අපට හමුවේ. ජීවිතයට වාරුවක් නොමැතිව දුකට පත්වන කාන්තාවන් වෙනුවෙන් අතහිත දෙන ආයතන කීපයක් අප සමාජයේ තිබේ. කාන්තාවන් වෙනුවෙන් පිහිටුවූ කාන්තා පිහිට ද එවැන්නකි. කාන්තා පිහිටෙන් අසරණ කාන්තාවන්ට සරණ වන්නේ කෙසේදැයි සොයනු වස් පසුගියදා අප බොරැල්ල ටිකල් පාරේ කාන්තා පිහිට ආයතනය වෙත පියමං කෙරුවෙමු. ඒ මොහොත වන විටත් කාන්තාවක් තම දුක් ගැනවිල්ල කීමට කාන්තා පිහිටට පැමිණ සිටියාය.

කාන්තා පිහිට හෙවත් WIN ආයතනය, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට එරෙහිව කටයුතු කිරීමට උනන්දුවූ කාන්තාවන් කිහිපදෙනෙක් විසින් 1968 දී ආරම්භ කරන ලදි. 

දැනට කාන්තා පිහිට ආයතනයේ ශාඛාවන් 6ක්, බස්නාහිර, උතුර, දකුණු, ඌව, නැගෙනහිර යන පළාත්වල සාර්ථකව ක්‍රියාත්මක වේ.

රෝහල්ගතව සිටින ප්‍රචණ්ඩත්වයට භාජනය වූ කාන්තාවන් සහ ළමයින් සඳහා මධ්‍යගත සේවාවන් රැසක් සපයන රෝහල් සහ සහන සේවා මධ්‍යස්ථාන එකකටද පොලිස් ස්ථාන 6 ද කාන්තා පිහිට මධ්‍යස්ථාන ක්‍රියාත්මක කෙරේ. කාන්තාවන් සහ ළමයින්ගේ අයිතිවාසිකම් අගය කරන හා සුරකින ප්‍රචණ්ඩත්වයෙන් තොර සමාජයක් ගොඩනැඟීම ඔවුන්ගේ අරමුණයි. නිශ්ශබ්දතාව බිඳ දමා ප්‍රචණ්ඩත්වයට එරෙහිව, ප්‍රචණ්ඩත්වයෙන් තොර සමාජයක් කරා යාමට මඟ පෙන්වීම කාන්තා පිහිටේ සේවයයි.

වර්ෂ 1987 පිහිටුවන ලද මෙම ආයතනය, සමාජසේවා, දෙපාර්තමේන්තු යටතේ ලියාපදිංචි කර ඇති අතර එය ලාභ නොලබන රාජ්‍ය නොවන සංවිධානයකි. මෙහිදි කාන්තාවන්ට හා ළමයින්ට මනෝවිද්‍යා උපදේශනය, නීති ආධාර හා නීති උපදෙස් ලබා දෙයි.

උපදේශනය පුද්ගලයකුගේ ජීවිතයට වැදගත් වන්නේ, ඔබ මුහුණ දෙන කුඩා ගැටලුවක් පවා හෙට දිනයේදී එය විසඳා ගත නොහැකි විශාල ගැටලුවක් වීමට ඉඩ ඇති බැවිනි. එමනිසා ඔබ මනා පළපුරුද්දක් සහිත වෘත්තීය සහායක් ලබාගෙන ඔබේ දුක් පීඩාවන් අවම කර ගැනීමට ම‍නෝ විද්‍යානුකූල ක්‍රමවේදයන්ගෙන් සමන්විත උපදේශන සේවාව අත්‍යවශ්‍ය වනු ඇත.

කාන්තා පිහිට ආයතනයෙන් කාන්තාවන් සඳහා ලබා දෙන සේවය පිළිබඳව එම පදනමේ කොළඹ ශාඛාවේ නීති නිලධාරිනී, ශානිකා විජේසිංහ සිළුමිණට මෙසේ පැවසීය.

“යම් අයෙකුට නීතිමය පිහිට අවශ්‍යයයි කියලා අපිට තහවුරු වුණොත් අපි ඒ සහාය ලබා දෙනවා. නීති සහාය ලබාදීමේදී ස්ත්‍රී පුරුෂ කියා භේදයක් නැහැ. නීති උපදෙස් ලබාදෙන්න බැඳී සිටිනවා. නමුත් අධිකරණ ක්‍රියාවලියේදි ප්‍රචණ්ඩත්වයට පත්වූ දරුවන් හා කාන්තාවන් වෙනුවෙන් පමණයි අපි නීතිය ඉදිරියේ පෙනී සිටින්නේ.

නඩත්තු, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, ස්ත්‍රී දූෂණ, ලිංගික අප‍‍යෝජන, ලිංගික අපචාරය, ළමා අපයෝජන මෙන්ම වර්තමානයේ සයිබර් අපරාධ ගැන නීතිය ඉදිරියේ කථා කිරීමට ඇත්නම් අපේ අංකය 077 5676555 හා 0114718585. ඊට අමතරව දැනුම්වත් කිරීමේ වැඩසටහන් සඳහා නීති සායන පැවැත්වෙනවා. සමාජයේ සෑම තරා තිරකම වෘත්තිකයන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සමඟ කටයුතු කරනවා. විශේෂයෙන් ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව පනත යටතේ ලංකාවේ පවරන ලද නඩුවලදී කාන්තා පිහිට ආයතනය ප්‍රමුඛව කථාකරයි. නීති උපදෙස් ලබාදීමේදි කිසිඳු මුදලක් අය නොකරයි. තරාතිරමක් නැතිව සේවය ලබාදෙයි. ලේඛනයක් පවා නොමැතිව උපදෙස් ලබාදීමට බැඳී සිටී. එසේම දික්කසාද නඩුවලදී කැපවී ක්‍රියා කරයි. දික්කසාද නඩුවලදී හොඳින් ක්‍රියාකර සොයා බලයි.

ළමා අපචාර, අපයෝජන හා සුදුසු භාරකාරත්වයට පත්කිරීමේ නඩු හා ප්‍රචණ්ඩත්ව සම්බන්ධ නඩුවලදී කටයුතු කරයි.

අපි විවිධ වැඩසටහන්, සංවර්ධනය කරන ආයතනයක්. දීපව්‍යාප්ත වැඩසටහන් දක්වා දැනුම්වත් කිරීම් කරනවා. සාමාන්‍ය ජනතාවගේ ඉඳලා පොලිස් නිලධාරීන්, ප්‍රතිපත්ති සම්පාදනය කරන නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය නොවන නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් කරනවා. කාන්තා හිංසනයන් සිදුකිරීමට තත්ත්වයක් සමාජ තලයක් බලපාන්නෙ නැහැ. පහළ ස්තරයේ සිට ඉහළ ස්තරය දක්වාම වෛද්‍ය, ඉංජිනේරු ස්තරවල අයටත්, පවුල්වල ප්‍රචණ්ඩත්වය, ලිංගික අතවරයන් සමාජය තුළ සිදුවිය හැකියි.

අධික පහර කෑමට ලක්වෙලා ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට පත්වුණු කාන්තාවෝ බොහොමයි. ඊට අමතරව දැන් වෙද්දි සයිබර් අපරාධවලටත් පත්වන කාන්තාවෝ දරුවෝ වැඩියි.“

මෙලෙස ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය යටතේ පීඩනයට පත් කාන්තාවන් පිළිබඳ සිද්ධි කිහිපයක් ගැන අපට කිවේය

“එක් විවාහක පිරිමියෙක් කුඩු උරන්නේ ලයිට් පත්තු කරන බල්බ් එකට දාගෙන. දවසක් බිරිඳ ඒ ගැන විමසුව නිසා බල්බ් එකෙන් ගහලා තමයි බිරිඳව පුච්චලා තියෙන්නේ. දරුවෝ තුන්දෙනෙක්. ගැහැනු දරුවව තාවකාලික රැඳවු බාරයට පත්කළා. අනිත් ළමයි දෙන්නා සැමියගේ මව ළඟ වැල්ලම්පිටියේ. අර ගැහැනු දරුවා අධිපෝෂක දරුවෙක්. දැන් ඒ පුද්ගලයා යම්තාක් සමනය වෙලා පවුලේ අයත් සමඟ ඉන්නවා. ඒ එක් සිද්ධියක් මේ තවත් සිද්ධියක්. අපිට සයිබර් අපරාධ සිද්ධියක් දැනගන්නට ලැබුණා විශ්ව විද්‍යාල ශිෂ්‍යයාවක් පිටස්තර පුද්ගලයෙකු සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන. ඇගේ පින්තූර පරිගණකයෙන් හදලා. ඇයට තර්ජනය කරලා එම පින්තූර face book එකට පවා මුදාහැර තිබුණා. ඒ ගෑනු ළමයි සියදිවි හානි කරගන්න හැදුවා. අපි ඔහු සයිබර් අපරාධ සම්බන්ධ ඒකකයට යොමුකර ඔහුගෙන් වන්දියක් ගත්තා. ඒ ඡායාරූප ඉවත් කළා. මේ තවත් සිද්ධියක්. මෙය නඩත්තු නඩුවක්. අපි නඩත්තුවක් පවරන්නේ තමාට තමන්ව පෝෂණය කරන්න බැරිනම්. ලෙඩ රෝගවලින් පෙළෙනව නම් භාර්යාවට පුළුවන් ස්වාමියාට විරුද්ධව නඩත්තු ඉල්ලන්න. අපි පිරිමි පාර්ශ්වය වෙනුවෙන් නඩු භාරගන්නෙ නැහැ. ඒත් සමහර පිරිමි අප සමඟ ඇවිත් කියනවා බිරිඳ දාලා ගියා. දරුවා වෙනුවෙන් ගෙන්වලා දෙන්න කියලා. එවැනි අවස්ථාවල අපි මැදිහත් වෙනවා. අප මැදිහත් වූ තවත් සිද්ධියක

දරුවාගේ උප්පැන්නට තාත්තා නම දීලා නැහැ. තව දරුවෙක් ඉන්නවා පාසල් යන. අපි ඒ තාත්තා සමඟ කතා කළා. අවසානයේ ඔහු දරුවගෙ උප්පැන්නෙට නම දෙන්න ඒ තාත්තා කැමති වුණා. තව සිදුවීමක් මෙහෙමයි. කඩවත ඇඟළුම් කර්මාන්ත ශාලාවක වැඩකරන කාන්තාවක් විවාහක පිරිමියෙක් එක්ක යාළුවෙලා දරුවෙක් ලැබෙන්න හිටියා. පිරිමියා මඟ හරින්න ගත්තාම අපි ඇයව භාරගෙන අපේ නිවාසේ තබාගෙන දරුවා ලැබුණාම ළමා මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරලා දරුවට වන්දි ලබාදෙන්න කටයුතු කළා. ගල්කිස්ස උසාවියේ නඩත්තු නඩුවක් පවරලා තියෙන්නේ. ලිංගික අතවර සිද්ධි නම් එමටයි.

නර්සින් හෝම් එකක වැඩ කරන කාන්තාවක් නොදන්නා පිරිමියකු විසින් ඇගේ පින්තූර ගැනීම නිසා හා අනවශ්‍ය ඉඟි බිඟි පෑම නිසා ලිංගික අනාචාර ගැන නඩුවක් පවරලා රු. 5000 වන්දි ගෙවීමට සිදුවුණා. මෙවැනි සිද්ධීන් තවත් ඕනෑතරම් තියනවා.” යැයි පැවැසීය.

කාන්තා පිහිට ආයතනයේ ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා අනෝජා මාකාවිට සිළුමිණට මෙසේ කීවාය.

ඇත්තෙන්ම 1987 ඉඳලා ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වෙනුවෙන් අපි නොමිලේ උපදේශනය ලබාදෙනවා. යම් ගැටලුවක් තියෙන කෙනෙක්ට, තමන්ට ගතහැකි විකල්ප මොනවාද? කොහොමද ගොඩ එන්නේ කියන එක ගැන යම් වෘත්තීය දැනුමක් තියෙන අයෙක් සමඟ කතාබහ කිරීම තමයි උපදේශනය කියන්නේ. එමඟින් එම ප්‍රශ්නයට උත්තර හොයලා දීම, විකල්ප පෙන්වලා දීම තමයි අප කරන්නේ.

කාන්තා පිහිට ආයතනයට සේවා ලාභීන් යොමුවන්නේ කට වචනයෙන් දෙන පණිවිඩවලින්. පාසල් වියේ දරුවෝ, විවාහපත් වෙලා ඉන්න අය, කුඩා දරුවෝ, නව යොවුන් වියේ අය අප ළඟට එනවා. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ගැන වැඩි අවධානය යොමු කරමින් දරුවන්ට අධ්‍යාපනික මෙන්ම මනෝ උපදේශනයක් ලබා දෙනවා.

උපදේශනයට පවුලක් ආවාම සැමියයි බිරිඳයි වෙන වෙනම ගන්නේ. සමහර වෙලාවට පුරුෂයින් ඇවිත් පැමිණිලි කරන අවස්ථාත් තියනවා. පැය 24 පුරාම පැමිණිලි කරන්න හැකි hotline අංකයක් තියනවා. 0114718585 කියලා. ඒ වගේම සෑම දිස්ත්‍රික්කයකම, පාසල්, ප්‍රජා සංවිධාන, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ග්‍රාම නිලධාරි සමෘද්ධි, කෘෂිකර්ම නිලධාරි, දිස්ත්‍රික් ලේකම්, පරිවාස කාර්යාලය, පොලිසිය, M.O.H කාර්යාල දැනුම්වත් කරලා තියෙන්නේ.

දවසකට කොළඹ කාර්යාලයට පමණක් මෙවැනි සිද්ධින් පහළොවක් විස්සක් පමණ එනවා. ඇතැම් විට පාසල්වලින් යොමුකරන අයත් ඉන්නවා. ඒ අයට අධ්‍යාපන උපදේශනය ලබා දෙනවා. බිරිඳ ඇවිත් කථා කළොත් සැමියවත් ගෙන්වනවා. විවාහ ජීවිතය තුළ තියන බොහෝ ගැටලු බොහෝ අය එළියට ගේන්නෙ නැහැ. විඳ දරාගෙන ඉන්නවා. අධිකරණයෙන් පවුල් උපදේශනය සඳහා යොමුකරන අයත් කාන්තා පිහිටේ පිහිට පතනවා. ඒ කටයුතු සොයා බලා අපි උසාවියටත් වාර්තාවක් දිය යුතුයි.“

කාන්තා පිහිට ආයතනයේ අනෝමා ජයවර්ධන සමාජ වැඩ උපදේශිකාය.ඇය අප හා මෙසේ පැවසුවාය.

“කාන්තා පිහිට 1987 ඇරඹුවේ ගෘශස්ථ ප්‍රචණ්ඩත්වයට පත්වූ කාන්තාවන්ට හා ළමුන්ට උදව් කරන්න. පසුකාලීනව කාන්තාවන්ට හා ළමුන්ට එරෙහි සියලු කටයුතුවලදී උදව් කළා. රෝහල්ගතවූ අය අය වෙනුවෙන් මනෝ විද්‍යා අංශයක්ද ද සොයිසා කාන්තා රෝහලේ පිහිටුවා තිබෙනවා.

මීට අමතරව රජයේ රෝහල්වල හා පොලිස් මධ්‍යස්ථානවලත් ශාඛා පිහිටුවා තියනවා. අපේ ආයතනයේ සේවාවන් අතර ම‍නෝවිද්‍යා උපදේශනය, නීති උපදේශනය, තාවකාලික රැකවරණ නිවහන කොළඹ ආශ්‍රිතව හා මාතර, මඩකලපුව ආදී ප්‍රදේශවල පිහිටා තිබෙනවා. අපි රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස, සමාජ සේවා අමාත්‍යාංශයේ ලියාපදිංචි වෙලා තියෙන්නේ. විධායක අධ්‍යක්ෂවරියක් යටතේ පාලනය වෙනවා. (265 Ap) ජංගම යෙදුම මඟින් එක් එක් ප්‍රදේශවල සිද්ධීන් පොලිසියට යොමු කරන්න හැකියි.

එසේම yeheli.lk යෙහෙළි ජංගම යෙදුම මඟින් Online මඟින් සම්බන්ධ විය හැකියි. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල අපට උදව් කරනවා. කාන්තා පිහිට ආයතනයේ කාන්තා උපදේශනයට යොමුවන කාන්තාවන්ට win for her වැඩසටහන යටතේ ආර්ථිකය ශක්තිමත් කර ගන්නත් පුළුවන්.

කාන්තා පිහිට සේවය ලබාගැනිමට පහත ලිපිනයට පැමිණ සම්බන්ධ විය හැකියි.

කාන්තා පිහිට

25, ටිකල් පාර, බොරැල්ල. 
දුරකතනය - 011 4718585

නිශානී හේරත් බන්නැහැක 
සේයාරූ - කැළුම් ලියනගේ

 

Comments