පරිසර විනාශයේ අලුත්ම ගොදුර වනාතවිල්ලුව සංහාරයයි | සිළුමිණ

පරිසර විනාශයේ අලුත්ම ගොදුර වනාතවිල්ලුව සංහාරයයි

නවිලුන්දාව අභයභූමිය විනාශ වීමෙන් පසු පුත්තලම දිස්ත්‍රික්කයේ ම තවත් වන සංහාරයක් පිළිබඳ පසුගියදා තොරතුරු දැනගන්නට ලැබුණි. එය ආනවිලුන්දාව අභය භූමියටත් වඩා දරුණු ගණයේ වන විනාශයකි. මෙය සිදුකර තිබුණේ වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේය. වඩාත් නිවැරදිව සඳහන් කරන්නේ නම් එළුවන්කුලම මංගලපුර ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වූ ඉඩමකය. අක්කර 5000ක පමණ මේ ඉඩම් කොටසේ අක්කර 100ක් පමණ කපා විනාශ කිරීමකට ලක් කර තිබුණි. විනාශ කරන ලද වනාතවිල්ලුව වනාන්තර භූමියේ වසර ගණනාවක් පැරණි වටිනා ශාක කපා විනාශ කර දමා ඇති අතර මාදන්, පළු ,වීර වැනි ශාකයන්ද මේ ගොන්නට අයත් ව තිබේ. පරිසර සංවිධාන පවසන ආකාරයට මෙම ශාක වසර 400ත් 500ත් අතර පැරණි වන බවද සඳහන් කරයි. 

මෙම විනාශ කර දමනු ලැබූ වනාතවිල්ලුව අක්කර 5000 ක පමණ භූමි ප්‍රමාණය 1977.9. 20 වන දිනැති අංක 283/2 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවට පවරා දෙන ලද්දකි. නමුත් 1987 අංක 23 දරන රාජ්‍ය සංස්ථා මණ්ඩල දේපළ විකිණීමේ පනත මඟින් 1993 දී මෙම පුත්තලම සිමෙන්ති කර්මාන්තශාලාව පකිස්තානු තවක්කාල් සමාගමට විකුණ පසුව එම සමාගම විසින් හොල්සිම් ලංකා සමාගමට විකිණීමෙන් පසු අක්කර 5000කට ආසන්න හුණුගල් නිධියද හොල්සිම් සමාගමට 1996. 08.23 දිනැති අංක 495 දරන බදු ගිවිසුම මඟින් වසර 50කට බදු දී තිබිණි.

මෙම වන විනාශය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ සභාපති නීතිඥ ගාමිණී ඒකනායක මහතා ප්‍රකාශ කරන්නේ මේ පිළිබඳව ඔහුට දැනගන්නට ලැබුණේ පසුගිය මස පස්වැනි දින රාත්‍රියේ වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම්වරයා විසින් දෙන ලද දුරකථන පණිවිඩයකට අනුව බවය. පසුගිය උදෑසන තමා එම ස්ථානයට ගිය බවත් මීට කාලයකට පෙර සිටම මෙය සිදු කරගෙන ගොස් ඇති බව තමාට දක්නට ලැබුණු බවත් ඔහු පැවසීය. ඒ අනුව වන අක්කර 35ක 40ක ප්‍රමාණයක් දින කිහිපයකට පෙර විනාශ කර ඇති බව පැවසූ ඔහු තවදුරටත් පැවසුවේ ඒ පිළිබඳ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා සහ පොලිසිය නිහඬව සිටීම ගැටලුවක් බවයි.

වර්තමානයේදී දිගින් දිගටම අපට අසන්නට දකින්නට ලැබෙන්නේ අභය භූමි විනාශය මෙන්ම වනාන්තර විනාශයන් සම්බන්ධවය. මෙයින් වඩාත් කතාබහට ලක්වූ මාතෘකාවක් වන්නේ පසුගියදා විනාශ කරන ලද ආනවිලුන්දාව සම්බන්ධ ගැටලුවයි. හෙක්ටයාර 1397 ප්‍රදේශය තිබෙන්නා වූ අභයභූමියෙහි කොටසක් විනාශ කර ඉස්සන් වගාව සඳහා එළිපෙහෙළි කර ඇති බවයි. ජන ජීවිතය තුළ කටයුතු සඳහා වන පෙත් හෙළි වීම සාමාන්‍ය දෙයක් වුවද මෙවැනි ආකාරයේ අභයභූමි මෙන්ම කඩොලාන විනාශය සමස්ත පරිසර පද්ධතියට ම සිදු කරනු ලබන මහත් වූ විනාශයකි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා පත්කෙරුණු පංච පුද්ගල විශේෂ කමිටුවට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වන ආකාරයට ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකු වූ ජගත් සමන්ත යන පුද්ගලයාගේ ඉල්ලීම මත නිශාන්ත ප්‍රනාන්දු යන අය මෙම කොන්ත්‍රාත්තුව ලබා ගෙන වැඩ පවරා ඇත්තේ සුජිත් නිශාන්ත යන ඩෝසර් රථයේ හිමිකරුටය.

මෙම වන විනාශය සම්බන්ධයෙන් වයඹ හඬ පරිසර සංවිධානයේ සභාපති විල්පොත පේමානන්ද හිමියන් පවසන්නේ මෙම වන විනාශ කිසිදු අයුරකින් අනුමත කිරීමට නොහැකි බවත් මෙය ජාතික අපරාධයක් බවත් ය. උන්වහන්සේ වැඩිදුරටත් පවසන්නේ මෙම වන විනාශය වනාතවිල්ලුව පොලිසිය හෝ නොදැන සිදු වීම පුදුමයට කරුණක් බවයි. මේ සඳහා සම්බන්ධ වූ සියලු දෙනාට දැඩි දඬුවම් පැමිණවිය යුතු බවද උන්වහන්සේ අවධාරණය කරයි.

ශ්‍රී ලංකාව තුළ වනාන්තර විනාශ වීම සඳහා ප්‍රධාන හේතූන් ලෙසින් සඳහන් කළ හැක්කේ මූලික වශයෙන් කෘෂි කර්මාන්තය, මැණික් කැපීම, ජනාවාස ඇතිවීම, හේන් ගොවිතැන යනාදිය සඳහාය. වර්තමානයේ දක්නට ලැබෙන පරිදි ශ්‍රී ලංකාවේ නිවර්තන වැසි වනාන්තරවලට සමීපව කැලෑ ගිනි ගැනීම් ද මෙම වන විනාශය උදෙසා හේතු සාධක වන බව පෙනේ. දැනට දශකයටත් එහා කාලයක් ඇතුළත සිට වන විනාශයන් ලැව් ගිනි මාර්ගයෙන් සිදුවීම නිසා එම භූමි ප්‍රදේශයන්හි සාරවත් බවද හා ජෛව විවිධත්වයටද විවිධ අයුරින් බලපෑම් එල්ල වී තිබේ.

තවදුරටත් වනාතවිල්ලුව සිදුවීම සම්බන්ධයෙන් හඬ නඟන වයඹ පරිසර හඬ සංවිධානයේ කැඳවුම්කරු ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී අජිත් ගිහාන් මහතා පවසන ආකාරයට පසුගිය දිනවල පුත්තලම ප්‍රදේශයේ මෙවැනි ක්‍රියාකාරම් රාශියක් ම සිදු වූ බවත් මේ සඳහා දේශපාලන අනුග්‍රහය නොඅඩුව ලැබී තිබුණු බවද පුත්තලම දිස්ත්‍රික්කය තුළ මෙවන් වූ වන විනාශයන් සිදු වන තුරු වයඹ පළාත් පරිසර අධිකාරිය නිද්‍රාශීලීව සිටීම කනගාටුදායක කරුණක් බවයි. එමෙන්ම ඔවුන් තමන්ගේ වගකීම් නිසි ආකාරයෙන් සිදු කළා නම් මෙවැනි වූ වන විනාශයන් සිදු නොවීමේ ඉඩකඩ නොවන බව ද ඔහු පැවසීය. තවදුරටත් ඔහු පවසන ආකාරයට මෙවන් පළාත් පරිසර අධිකාරීන් පවතින්නේ මහජන මුදල් වැය කර බවත් ඒ සඳහා ඔවුන් සාධාරණ ලෙස තමන්ගේ රාජකාරිය ඉටු කළ යුතු බවත්ය. 

මේ වන විට ශ්‍රී ලංකාව තුළ පවතින වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර 173,6628 වන අතර මේ අතරින් හෙක්ටයාර 314,674ක් වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වන අතර හෙක්ටයාර 142,954 පමණ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වේ. මේ අයුරින් ශ්‍රී ලංකාවේ පවතින වනාන්තර දෙපාර්තමේන්තු දෙකක් යටතේ බෙදී පැවතියද සමස්තයක් ලෙසින් ගත් විට පහත රට වැසි වනාන්තර හෙක්ටයාර 124,340ක් පමණද තෙත් මෝසම් වනාන්තරවලට හෙක්ටයාර 22 1977 අයත් වන විට වියළි මෝසම් වනාන්තර සඳහා හෙක්ටයාර 102,744 ගංගාධාර වනාන්තර සඳහා හෙක්ටයාර 183 52 පමණද අයත් වේ. මින් කඩොලාන වනාන්තර සඳහා අයත් වන්නේ හෙක්ටයාර 9530ක් පමණය. කෙසේ වෙතත් කඳුකර වනාන්තර සඳහා හෙක්ටයාර 3100ක් අයත් වන විට හෙක්ටයාර 65792ක් පමණ අයත් වන්නේ උප කඳු වනාන්තර උදෙසාය.

කෙසේවෙතත් පසුගිය 10 වැනිදා මධ්‍යම පරිසර අධිකාරියේ පැවති මාධ්‍ය හමුවකදී ලංකා සිමෙන්ති සමාගමේ සභාපති නීතිඥ ගාමිණී ඒකනායක මහතා පැවසුවේ වනාතවිල්ලුව කැලෑ ප්‍රදේශය ගිනි තැබීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රියාකාරී සැලැස්මක් සකස් කරන බවයි. එම ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීම සඳහා ඊට සම්බන්ධ සියලු පාර්ශ්ව ලබන 14 වැනිදා වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කැඳවන බවද ඒ මහතා පැවසුවේය. එමෙන්ම එහි අනවසර ඉදිකිරීම් පිළිබඳ සොයා බලා ඔවුන් එම ස්ථානවලින් ඉවත් කිරීමට කටයුතු කරන බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. එම ප්‍රදේශයේ පෙර සිටි සහ දැනට රාජකාරියේ නියුතු ග්‍රාමසේවා නිලධාරීන් හා පරිසරයට සම්බන්ධ සියලු නිලධාරීන් මේ පිළිබඳ වගකීම භාරගත යුතු බවත් මෙම සිදුවීම පිටුපස සිටින පුද්ගලයා කවරකු වුවත් ඔහුට දඬුවම් ලබාදීම වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් සභාපතිවරයා එහිදී අවධාරණය කළේය.

 රජිත බස්නායක

Comments