දුම්රිය ‘ටිකට්’ අලුත් වෙයිද? | Page 2 | සිළුමිණ

දුම්රිය ‘ටිකට්’ අලුත් වෙයිද?

තිරිංග පද්ධතියේ ප්‍රශ්නයක් මුල් කරගෙන 2010 වසරේ චීනයෙන් ආනයනය කළ දුම්රිය මැදිරි ධාවනයෙන් වැළකී සිටින්නට පසුගිය දිනක දුම්රිය රියැදුරෝ තීරණය කර තිබුණි. දුම්රිය දෙපාර්තමේන්තුවේ කාලාන්තරයක් තිස්සේ පවතින්නේ මෙවන් අර්බුදයන්ය.

මෙරට ප්‍රවාහන සේවාවේ රජයේ හිමිකාරිත්වය යටතේ පමණක්ම තවමත් රඳා පවත්වා ගැනීමට හැකිව ඇති එකම අංශය වන්නේ දුම්රිය සේවාවයි. මේ වන විට වසර 160කට ආසන්න කාලයක් ජනතා සේවයට කැපවුණු මේ දෙපාර්තමේන්තුව මඟින් සලසන ලද සේවාව සුළුපටු නොවුණද දෙපාර්තමේන්තුවේ යල් පැන ගිය නීති රීති, ක්‍රමවේද නිසා මඟියා නන්නත්තාර වන අවස්ථා මෙන්ම දුම්රිය සේවාව නවීකරණය කිරීමට මෙන්ම, සේවා සැපයීමේදී ද විශාල ගැටලු මතුව තිබේ.

උදාහරණයක් ලෙස මේ වන විටත් දුම්රිය ස්ථානයන්හි ප්‍රවේශ පත්‍ර නිකුත් කරන දින මුද්‍රාව තබන යන්ත්‍ර වසර 50ක් පමණ පැරැණිය. එමෙන්ම දුම්රිය සියල්ලම මෙන් පාලනය කරනු ලබන ප්‍රධාන පාලක මැදිරියේ ප්‍රධාන පැනලය වසර 50කට ආසන්න කාලයක් පැරැණිය. කොළඹ හා නගරාසන්න සංඥා ක්‍රමවේදයද එතරම්ම කාලයක් පැරැණිය. මේ සියල්ල මත නවීන ලෝකයට පා නැඟීම කෙසේ වෙතත් දෛනික දුම්රිය සේවාව පවත්වා ගැනීම පවා ඉතාම අසීරු කරුණකි. එම නිසා දුම්රිය සේවාවද කඩිනමින් නවීකරණය කිරීමට පසුගිය කාලයේ අවධානය යොමු වූ අතර එහිදී ප්‍රධාන තැනක් ගත්තේ දෙපාර්තමේන්තුවේ දුම්රිය සංඥා පද්ධතිය හා දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය නවීකරණය කිරීම සම්බන්ධයෙනි.

මෙරට සියලුම දුම්රිය ස්ථාන ගණන 341කි. ඒ සියලු දුම්රිය ස්ථානවලින් ප්‍රවේශ පත්‍ර නිකුත්කිරීම තවමත් කරනු ලබන්නේ සුද්දාගේ ක්‍රමවේදයටය. ප්‍රවේශ පත්‍රයේ දිනය පැරැණි යන්ත්‍රයකින් මුද්‍රා තබා එය මගියාට ලබා දීම තවමත් සිදු කෙරේ. වසර තුන හතරක පමණ සිට දුම්රිය ආසන වෙන් කිරිම පමණක් ජංගම දුරකතන හරහා සිදු කිරීමට පහසුකම් ලබා දෙන ලදී. එහෙත් දිනපතා දුම්රියෙන් ගමන් ගන්නා මඟීන් ලක්ෂ ගණනකට එය කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ. එමෙන්ම දුම්රිය ස්ථාන හා උප දුම්රිය ස්ථාන 341හිම සිට අනෙක් දුම්රිය ස්ථාන සියල්ල සඳහාම ප්‍රවේශ වෙන් - වෙන් වශයෙන් මුද්‍රණය කළ යුතුය. ඒ අතර 1 ,2, හා 3 පංති සදහා වෙන වෙනම ප්‍රවේශ පත්‍ර මුද්‍රණය කළ යුතුය. ඒ අනුව එක් දුම්රිය ස්ථානයක සිට අනෙක් සියලු දුම්රිය ස්ථාන වෙත මුද්‍රණය කරනු ලබන 3 පංතියේ ලබන ප්‍රවේශ පත්‍ර වර්ග සංඛ්‍යාව පමණක් 1,37,641ක් වනු ඇත.

දුම්රිය වේදිකා ප්‍රවේශ පත්‍ර 1 හා 2 පංතියේ ප්‍රවේශ පත්‍ර සමග එම වර්ග සංඛ්‍යාව ලක්ෂ 2 ඉක්මවා යනු ඇත. උප දුම්රිය ස්ථානවලින් බොහෝ විට 1 හා 2 පංති සදහා ප්‍රවේශ පත්‍ර වෙනුවට අතින් ලියා දෙන ප්‍රවේශ පත්‍ර (Book Ticket) ලබා දෙන බැවින් එම සංඛ්‍යාව ලක්ෂ දෙකක පමණ ප්‍රමාණයකට සීමා වනු ඇත. එසේම මාසික හා සති පතා වාර ප්‍රවේශ පත්‍ර හා කොළඹ නගරාසන්න (රාගම, ගම්පහ, වේයන්ගොඩ, මොරටුව ආදී) යාම් ඊම් ප්‍රවේශ පත්‍ර සමඟින් මුදුණය කළ යුතු ප්‍රවේශ පත්‍ර වර්ග සංඛ්‍යාව පමණක් ලක්ෂ 3 ඉක්මවනු ඇත.

දුම්රිය ස්ථානයට ගොස් මුදල් දී ප්‍රවේශ පත්‍ර පහසුවෙන් ලබා ගත්තද ඒ සඳහා වන ක්‍රමවේදය අතිසංකීර්ණ වූ කාර්යයකි. නිකුත් කළ යුතු ප්‍රවේශ පත්‍ර වර්ග සංඛ්‍යාව දෙස බැලීමේදී පවා එය ඉතා පැහැදිලිය.

ප්‍රවේශ පත්‍ර මුද්‍රණයේ සිට දුම්රිය ස්ථානයෙන් ලබා ගැනීම දක්වා වූ ක්‍රමවේදයට සැලකිය යුතු දෙපාර්තමේන්තු හා ආයතන ගණනාවක් සම්බන්ධ වේ.

අදාළ ප්‍රවේශ පත්‍ර කඩදාසි (කාඩ්බෝඩ්) විදෙස් රටවලින් ආනයනය කළ යුතු වේ. ඒවා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට ලබා දී මුද්‍රණය කළ යුතුය. එහිදී බාර දෙනු ලබන සෑම ඇණවුමක් සඳහාම නිරතුරු සැලකිලිමත් අවධානයක් යොමු කළ යුතු වන්නේ දුම්රිය ගාස්තු වෙනස්ව තිබුණහොත් සංශෝධිත මිල මුද්‍රණය කළ යුතු හෙයිනි. වාර ප්‍රවේශ පත්‍ර ද එසේමය.

මේ සියල්ල මුද්‍රණය කිරීමෙන් පසුව ලොරි මගින් දුම්රිය දෙපාර්තමේන්තුවට ප්‍රවාහනය කළ යුතුය. එක් ප්‍රවේශ පත්‍රයක කඩදාසි වියදම පමණක් රුපියල් 1.30ක් පමණ වේ. ඒ සඳහා වන මුද්‍රණ වියදම් හා අනෙකුත් වියදම් සහිතව සැලකිය යුතු මුදලක් වැය කරන්නට සිදු වේ. දෙපාර්තමේන්තුවට ගෙනා පසුව සියලු දුම්රිය ස්ථානයන්ට ඒවා බෙදා හැරිය යුත්තේ මුදල් ලබා දෙන ආකාරයේ වගකීමක් හා ආරක්ෂාවක් සහිතවය. ඒ සඳහා ලිපි ලේඛන ගණනාවක් පිරවීමට ඇත. මේ කටයුතු සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (වාණිජ) යටතේ වෙනම දෙපාර්තමේන්තුවක් පවත්වාගෙන යයි. දුම්රිය ස්ථානවලදී ඉතිරිමුදල් ලබා ගැනීමේදී මෙන්ම මාසික වාර ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමේදී මාසය ආරම්භයේදී දැකිය හැකි දිගු පෝලිම් සඳහාද විසඳුමක් ලෙසින් දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ නව ක්‍රමයක් හඳුන්වා දීමට දෙපාර්තමේන්තුව විසින් කටයුතු කරන ලදී. ඒ සඳහා ටෙන්ඩර් කැඳවන ලද්දේ යල් පැන ගිය සියලු ක්‍රමයන් ඉවත ලා දුම්රිය සේවයේ පහසුව ජනතාවට ලබා දීම පිණිස බව දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසයි. එම නිසා ලෝකයේ සෙසු රටවල පවත්නා ආකාරයේ නවීන ස්වයං ක්‍රමවේදයක් ආරම්භ කිරීමට දෙපාර්තමේන්තුව විසින් කටයුතු කළ බවද ඔහු පවසයි.

ඒ සඳහා ස්මාට්කාඩ් පවා භාවිත කළ හැකි වන පරිදි දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයක් සඳහා ටෙන්ඩර් කැඳවන ලද අතර එහිදී චීන සමාගමක් විසින් මේ ටෙන්ඩරය ලබා ගන්නා ලදී. එහෙත් වර්තමාන රජයේ ප්‍රතිපත්තිවලට අනුව දේශීය සමාගමක්ද එහි කොටස්කරුවන් වී ඇත.

මේ නව ක්‍රමය යටතේ දුම්රිය ප්‍රවේශ පත්‍ර ආකාර 6කින් අපට ලබා ගත හැකිය.

එයින් එක් ක්‍රමයක් වන්නේ වර්තමානයේ සිදු කෙරෙන ආකාරයෙන් දුම්රිය ස්ථානයට ගොස් කවුන්ටරයෙන් මුදල් ගෙවා දුම්රිය ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමයි. දෙවැන්න දුම්රිය ස්ථානයේ ඇති ස්වයංක්‍රීය ප්‍රවේශපත් නිකුත් කරන යන්ත්‍රයෙන් ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමයි. (පසුකාලීනව එම ස්වයංක්‍රීය යන්ත්‍ර සුපිරි වෙළෙඳසල් ඇතුළු ජනතාව බහුතර වශයෙන් එක් රැස්වන ස්ථානවලද ස්ථාපිත කරනු ලැබේ)

තුන්වැනිව ස්මාට්කාඩ් ආධාරයෙන් ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමයි. ඉදිරියේදී එය ක්‍රෙඩිට්කාඩ්පතෙන් ලබා ගැනීමට පවා හැකියාව ලැබෙනු ඇත.

සිවුවැන්න වන්නේ වර්තමානයේ ජංගම දුරකතන ‘රී ලෝඩ්‘ කරන්නාක් මෙන් තමන් සතුව ඇති ස්මාට්කාඩ්පතට මුදල් යොදා මාසික වාර ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමයි 

එමෙන්ම ජංගම දුරතතනය ඔස්සේ (වර්තමානයේ ආසන වෙන් කරන්නාක් මෙන්) ප්‍රවේශ පත්‍ර ලබා ගෙන (QR CODE) එම සංකේතය හරහා ගමන් පහසුව සලසා ගැනීමයි. එමෙන්ම අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශ පත්‍ර ලබා ගෙන එහිදී ප්‍රවේශ පත්‍රයේ මුද්‍රණ ටිකට්පතක් තමන් විසින්ම ලබාගෙන එය (QR CODE) ඔස්සේ තම ගමන් පහසුව සලසා ගැනීමයි. මෙහිදී ප්‍රවේශපත්‍රයක් ලබා ගන්නා අවස්ථාවේදී ඒ සඳහා වැය වන මුදලද ශත 30ක් පමණ වනු ඇත. මේ සියලු කටයුතු සිදු කර ඇත්තේ මේ සඳහා ණය ආධාර සපයනු ලබන ආසියානු සංවර්ධන බැංකුවේද නිර්ණායක ඇසුරු කරගෙනය.

මේ ස්මාට්කාඩ් ඔස්සේ භාවිත වන හා නවීන තාක්ෂණය භාවිත කෙරෙන දුම්රිය ප්‍රවේශ පත්‍ර ලබා දීම තුළින් ලිපි ලේඛන අංශ 15ක් පමණ ඔස්සේ සිදු කෙරෙන සියල්ල පරිගණකයෙන්ම සිදු කෙරෙනු ඇත. එමෙන්ම දුම්රිය නිදහස් ගමන් බලපත්‍ර (Rail Warrant) හිමි අයට වුවද මෙහිදී අපහසුවකින් තොරව ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමේ පහසුව ලැබෙනු ඇත.

දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (වාණිජ) වී.එස්. පොල්වත්තගේ පවසන්නේ වසර 5ක වගකීමක් සහිත මේ ක්‍රමවේදයට ඉන්පසුව වසර 6ක නඩත්තු කාල සීමාවක්ද අයත් වන බවයි. එමෙන්ම ඒ වෙනුවෙන් දුම්රිය මූලස්ථානයේ මෙන්ම දුම්රිය ස්ථානවල මුල්‍ය කටයුතු සිදු කරනු ලබන නිලධාරීන් සංඛ්‍යාව ඉතා විශාල ලෙසින් අඩු කරගෙන (5% කටත් අඩු ප්‍රමාණයකට) එම නිලධාරීන්ගෙන් වෙනත් සේවාවක් ලබා ගත හැකි බවයි.

එමෙන්ම දුම්රිය සේවාවේ සිදු කෙරෙන සියලු මූල්‍ය ගනුදෙනු මේ පද්ධතිය හරහා සිදු කෙරෙන බැවින් දුම්රිය පාර්සල් ප්‍රවාහනය මෙන්ම අනෙකුත් සියලු ගනුදෙනු මේ හරහා ගිනුම් ගත වන බවත් දෛනිව මඟී ගමනාගමනය, ආදායම් මෙන්ම අනෙකුත් සියලු මූල්‍ය තොරතුරු විස්තරාත්මකව ලබා ගත හැකි බවයි.

මෙහිදී දුම්රිය මඟියාගේ ප්‍රධාන වගකීම වන්නේ තමන් මිලදී ගන්නා ප්‍රවේශ පත්‍රය හෝ තමන් සතු කාඩ්පත දුම්රිය ස්ථානයට ඇතුළු වීමේදී හා පිටවීමේදී අදාළ යන්ත්‍රයට යොමු කර යාමයි. විශේෂයෙන්ම ස්මාට් කාඩ් හිමි අයෙක් ඇතුළු වීමේදී පමණක් අදාළ කාඩ්පත පරිගණකයට යොමු කර පිටවීමේදී එසේ යොමු නොකළහොත් ස්මාට්කාඩ්පතින් එම ගමනාන්තයටම මුදල් අය වනු ඇත.

උදාහරණයක් ලෙසින් රාගම දුම්රිය ස්ථානයෙන් ස්මාට්කාඩ්පත පරිගණයෙන් ඇතුළුවීමට යොමු කරවාගෙන වනවාසල උප දුම්රිය ස්ථානයෙන් එය යළි පරිගණකයට යොමු නොකර ගියහොත් එහිදී කොළඹ දෙසට අවසන් ගමනාන්තය වන බෙලිඅත්ත දක්වාම එයින් මුදල් අයවනු ඇත.

එමෙන්ම උප දුම්රියකින් තවත් උප දුම්රිය ස්ථානයකට මේ තාක්ෂණය හරහා ප්‍රවේශ පත්‍ර නොගෙන ගමන් කළ හැකියැයි සිතුවද නිරතුරුවම පරීක්ෂකවරුන් දුම්රියේ යොදවන හෙයින් එය පහසු කාර්යයක් නොවනු ඇත. විශේෂයෙන්ම නව ක්‍රමවේදයට අනුව දුම්රිය ස්ථානවල පරීක්ෂකවරුන් අවශ්‍ය නොවන නිසා දුම්රියයන්හි පරීක්ෂා කිරීමට වැඩි පිරිසක් යෙදවිය හැකි බවද පොල්වත්තගේ මහතා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ ඇති සියලුම දුම්රිය ස්ථාන මේ අනුව ඉදිරි වසර දෙක ඇතුළතදී සම්පූර්ණයෙන්ම නව ස්මාට් කාඩ් ක්‍රමවේදයට අනුගත වනු ඇත. එහෙත් මේ ක්‍රමවේදයට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂවරයෙක් යම් විරෝධයක් පළ කර තිබේ. ඔහු එම විරෝධතාව දක්වා ඇත්තේ මේ ක්‍රමවේදය පැරැණි බව පවසමින් වන නමුත් අපට දැන ගන්නට ලැබුණේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය විසින් මේ ක්‍රමවේදයට අනුමැතිය ලබා දී ඇති බවයි.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසුවේ දුම්රිය දෙපාර්තමේන්තුවට නව ස්මාට් කාඩ් ප්‍රවේශපත්‍ර ක්‍රමවේදය ඉදිරිපත් කළ අස්ථාවේදී අදාළ අධ්‍යක්ෂවරයාද එම කමිටුවේ සිටි නමුත් එහිදී කිසිදු විරෝධයක් නොදැක්වු බවයි. කෙසේ හෝ වත්මන් රජයේ කැබිනට් අනුමැතිය බවා මේ සඳහා ලැබී ඇත්තේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ අනුමැතිය මතය.

දිනපතා බැට කන දුම්රිය මඟියාට තවත් පෝලිම් වල රස්තියාදු නොවී ගමන් යාමට දිනයක් එන්නේ නම් එහ සුභාරංචියකි.

Comments